මග්ගානට්ඨංගිකො සෙට්ඨො
සච්චානං චතුරො පදා
විරාගො සෙට්ඨෝ ධම්මානං
දිපදානඤ්ච චක්ඛුමා
සච්චානං චතුරො පදා
විරාගො සෙට්ඨෝ ධම්මානං
දිපදානඤ්ච චක්ඛුමා
පින්වත්නි,
මෙය ධම්ම පද පාලියෙහි විසිවන (20) වග්ගයෙහි ආරම්භයෙහිම දැක්වෙන එකට සම්බන්ධවී ඇති ගාථා සතරක ආරම්භක ගාථාවයි.
ලොව අතීතයෙහි පහළ වී ඇත්තාවූත්, වර්තමානයෙහි පහළව පවත්නාවූත් අනාගතයෙහි පහළවිය හැකිවූත් සියලු ආගමික ශාස්තෘන් හා ඔවුන් විසින් දක්වන ලද හා දක්වනු ලබන ආවසානික විමුක්තීන් හා එම විමුක්ති සාදනය සඳහා පෙන්වා දුන් හා පෙන්වා දෙනු ලබන සියලු විමුක්ති මාර්ගයන් අතරින්,
ශාස්තෘන් වහන්සේ වරයෙකු වශයෙන් තථාගත බුදුරදුන් උන්වහන්සේ විසින් අනාවරණය කරනු ලැබූ සත්වයාගේ ආවසානික විමුක්තියත් එය සාක්ෂාත් කර ගත යුතු චරණ මාර්ගය තුළත් කැපී පෙනෙන සුවිශේෂත්වය කවරේද? යන්න මෙම ගාථා සතරින් මනාව අනාවරණය කොට දක්වති.
මෙම අනාවරණයන් බුදුරදුන් විසින් සිදු කරන ලද්දේ භික්ෂූන් වහන්සේ කැටුව ධර්ම චාරිකාවේ යෙදෙන අතරතුර එක් ස්ථානයක දී උන්වහන්සේලා ආ ගිය ඒ ඒ මාර්ගයන් පිළිබඳව දම්සභා මණ්ඩපය තුළ කරන ලද කතා බහ නිමිති කොටගෙනය. “මහණෙනි කතා කරන්නහු නම් එම බාහිර මං මාවත් පිළිබඳව නොව මෙන්න මේ එකම මාර්ගය පිළිබඳව කතා කළ යුතු” යනාදීන් වදාළ උන්වහන්සේ විසින් අනාවරණය කරනු ලැබූ එම ඒකායන මාර්ගය හා තදනුගත සෙසු කරුණු පිළිබඳව ද එලෙස පහදා දුන්හ.
එහිදී පළමුවෙන්ම උන් වහන්සේ පෙන්වා දෙන්නේ මාර්ගයන් අතර ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨ බවයි. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අරිය සච්ච ලෙසින් දැක්වෙන සම්මා දිට්ඨියෙන් ආරම්භව සම්මා සමාධියෙන් අවසන් වන මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය සත්වයාගේ සාංසාරික විමුක්තිය සඳහා එකම මාර්ගය ලෙස බුදුදහම පෙන්වා දෙයි. බුදු, පසේ බුදු, මහරහතුන් වහන්සේලා සත්‍යාවබෝධය තුළින් සාක්ෂාත් කරගනු ලබන දුක්ඛ නිරෝධ සංඛ්‍යාත නිර්වාණය සාක්ෂාත් කරගනු ලබන්නේ මෙම අරි අටඟි මඟෙහි ගමන් කිරීමෙනි. මජ්ක්‍ධිමා පටිපදා හෙවත් මැදුම් පිළිවෙත නමින් හඳුන්වනු ලබන මෙම විමුක්ති මාර්ගය ලොව්තුරු බුදුවරයන් වහන්සේ නමක විසින් පමණක් අනාවරණය කරනු ලබන්නක් වන අතර මහා සීහනාද වැනි සූත්‍රයන්හි දී අවධාරණය කොට දක්වන්නේ,
“මහණෙනි, ප්‍රථම ශ්‍රමණයාත් මෙහිමය, දෙවන ශ්‍රමණයාත් මෙහිමය, තෙවන ශ්‍රමණයාත් මෙහිමය, අනෙක් පර ප්‍රවාදයන් (හෙවත් ඉගැන්වීම්) ශ්‍රමණයන්ගෙන් හිස් යැයි මනාව සිංහනාද පවත්වවු’ (සුඤ්ඤා පරප්පවාදා අඤ්ඥේ සමණේහි) මෙහිදී සිංහනාද යන්නෙන් සඳහන් වන්නේ නොබියව කරනු ලබන අභියෝගාත්මක ප්‍රකාශනයයි. තම ශ්‍රාවකයනට එවැනි අභීත ප්‍රකාශනයක් කරන්නැයි වදාළේ කවර හේතු සාධකයක් නිසාදැයි යන්න පැහැදිලි කරන තථාගතයන් වහන්සේ ප්‍රථම ශ්‍රමණයා ලෙස දැක් වෙන්නේ සෝතාපන්න තැනැත්තා වන අතර දෙවන, තෙවන හා සිව්වන ශ්‍රමණයා ලෙස දැක්වෙන්නේ සකදාගාමී, අනාගාමී හා අර්හත් භාවයට පත් ආර්යයන් වහන්සේ බව ද පෙන්වා දෙති.
මෙම සෝතාපන්න ආදී මාර්ග ඵලයන් සාක්ෂාත් කර ගැනීමෙහිලා ඉවහල් වන ඒකායන මාර්ගය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වන අතර එම ආර්ය අෂ්ටාංගික මාර්ගය අනාවරණය කරනු ලබන්නේ ලොව්තුරා බුදුවරයන් වහන්සේ නමක් විසින් පමණක් වන හෙයින්, බුදු සසුනෙන් පිට වෙනත් කිසිඳු සසුනක හෙවත් ශ්‍රමණ සම්ප්‍රදායක් තුළ සෝතාපන්නාදී මාර්ග ඵලයන් සාක්ෂාත් කරගත් ආර්ය පුද්ගලයන් කිසිසේත් විද්‍යාමාන නොවන බව බුදු රජුහු තවදුරටත් අවධාරණය කොට දක්වති. ඒ සඳහා එකම හේතු සාධකය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්බුදු සසුන තුළ මිස වෙනත් කිසිඳු සසුනක් තුළ විද්‍යාමාන නොවීම බව ද උන්වහන්සේ තව දුරටත් පෙන්වා වදාළහ.
එය තව දුරටත් අවධාරණය කොට දක්වන තථාගතයන් වහන්සේ,
“එසේම මග්ගෝ නත්ථඤ්ඤෝ - දස්සනස්ස විසුද්ධියා” යනුවෙන් දර්ශන විසුද්ධිය සඳහා මේ අරිඅටඟි මගම හැර වෙනත් අනෙක් මාර්ගයක් නොමැති බව ද පෙන්වා දුන්හ. මෙහි දස්සන විසුද්ධිය හෙවත් දර්ශනයාගේ පාරිසුද්ධ ලෙසින් දැක්වෙන්නේ චතුස් සත්‍යය හා නිර්වාණය දක්නා මාර්ගඵල ප්‍රඥාවයි. එම මාර්ගඵල ප්‍රඥාව සාක්ෂාත් කර ගැනීම සඳහා එකම මාර්ගය වන්නේ ද මෙම අරි අටඟි මඟයි.
බුදුදහම මඟින් අනාවරණය කරනු ලබන අවසානික විමුක්ති සාධනය සඳහා ඉවහල් වන මෙම අරි අටඟි මඟ පුද්ගල සන්තානගත සකල විධ ක්ලේශයන් ප්‍රහාණය කිරීමේ එකම මග වන හෙයින් හා මෙම මග මාරයා හට විෂය නොවන කෙලෙස් නසන මග වන අතර මෙම අරි අටඟ මග මාරයා මුලා කරවන මග බව ද (මාරස්සේතං පමොහනං) පෙන්වා දෙති.
කෙලෙස් උල් ගලවා දමන මේ මග තමන් වහන්සේ විසින් අනුශ්‍රවණ, අනුමාන ආදී ඤාණයන්ගෙන් තොරව ප්‍රත්‍යක්ෂඥානයෙන්ම දැන (අඤ්ඤාය) ප්‍රකාශ කොට ඇති අතර මේ මගට පිළිපන් තැනැත්තා දුක් කෙළවර කරන බව ද පෙන්වා දෙති. මෙලෙස සත්වයාගේ විමුක්තිය සාධනය සඳහා බුදුවරයන් වහන්සේලා විසින් පමණක් අනාවරණය කරනු ලබන මේ අරි අටඟ මඟ සීල, සමාධි, ප්‍රඥා සංඛ්‍යාත අනුපූර්ව ප්‍රතිපදාව අනුව සැකසී ඇති අතර එම ලක්ෂණය බුදුදහම තුළ දක්නට ලැබෙන සුවිශේෂී අනන්‍යතාව ද වේ. විමුක්ති සාක්ෂාත් කරණයෙහිලා පුද්ගලයා සතු වගකීම අවධාරණය කෙරෙන මෙම මග නිර්මාණවාදී, ආත්මවාදී ආදී විවිධ ආගමික හා දාර්ශනික චරණ මාර්ගයන් අතර විශිෂ්ටත්වයට පත්ව ඇත. පුද්ගලගත දුක්ඛ ප්‍රහාණය පිළිබඳ පුද්ගලයා සතු කාර්ය භාරයක් බව ‘අත්තාහි අත්තනො නාථො’ වැනි ඉගැන්වීම් මගින් අවධාරණය කොට දක්වන තථාගතයන් වහන්සේ එහිදී අපට මෙසේ අනුශාසනා කරති.
ඔබලා විසින් ආතප්පන වීර්යයෙන් කාර්යාරම්භ කළ යුතු ය. (තුම්හේහි කිචිචං ආතප්පං) හුදෙක් තථාගතයන් වහන්සේලා නිවන් මග ප්‍රකාශ කරන්නෝ වෙති. (අක්ඛාතාරෝ තථාගතා) එහෙයින් අරි අටඟමග අනුගතව ධ්‍යාන – භාවනා (සමථ – විදර්ශනා) වන්හි යෙදෙන්නෝ මාර බන්ධනයයි නම් ලද තෛ‍්‍රභූමික වෘත්තයෙන් මිදෙන්නාහ. (පටිපන්නා පමොක්ඛන්ති – ඣායිනෝ මාර බන්ධනා)
මෙහි ආතප්පන වීර්ය ලෙසින් දැක්වෙන්නේ අරි අටඟ මඟෙහි සම්මා වායාම අංගයෙහිලා දැක්වෙන 1. උපන් කෙලෙස් නැසීමට
2. නූපන් කෙලෙස් නූපදීමට
3. නූපන් කුසල් උපදවාලීමට
4. උපන් කුසල් වැඩි දියුණු කිරීම හා සම්බන්ධ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයි. එහෙයින් අපගේ සාංසාරික විමුක්ති සාධනය සඳහා තථාගතයන් වහන්සේ විසින් අනාවරණය කොට දුන් එකම මග වන අරි අටඟ මග අනුගත වෙමින් අප සසරට බැඳ තබන සකල විධ මාර බන්ධනයන් ගෙන් නිදහස් වීම සඳහා ‘ආරහථ නික්ඛමත, යුඤ්ජථ බුද්ධ සාසනේ’ (අරඹන්න, නික්මෙන්න, බුදු සසුනෙහි යෙදෙන්න)
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
මාහල්ලේ විපුලතිස්ස නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ නොවැම්බර් 14 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment