Labels

Thursday, November 24, 2016

සම්මා දිට්ඨිය තුළින් දැනගන්නා කුසලය සහ කුසල මූලය

" සිතෙහි කෙලෙස් සමාජගත කරන්නේ කයින් සහ වචනයෙනුයි. සිතිවිලි නරක නම් කය සහ වචනයෙන් පිට වන්නේ නරක කි‍්‍රයා සහ නරක වචනයි. කයින් සිදුකරනු ලබන නරක ක්‍රියා හෙවත් පව් තුනකි. සත්ත්ව ඝාතනය,
සොරකම සහ වැරැදි කාම සේවයනයයි.'
තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වී දුක් විඳින මිනිසුන්ට ඒ දුකෙන් නිදහස් වන මාර්ගය දෙසා වදාළ සේක. ඒ මාර්ගයේ ගමන් කොට නිදහස් වූ තථාගතයන් වහන්සේ අපටද ඒ මාර්ගය වදාළේ අප කෙරෙහි ඇති වූ අප්‍රමාණ වූ කරුණාව නිසාවෙනි. මේ ධර්ම මාර්ගයේ ගමන් කරන අප ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය යන දෙකෙන් එකකට අයත් වෙති. භාග්‍යවතුන් වහන්සේ මේ දෙක අතරින් වර්ණනා කළ ලෞකික සම්මා දිට්ඨිය පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.
සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ සම්මා දිට්ඨිය කවරාකරදැයි සම්මාදිට්ඨි සූත්‍රයෙන් මනාව පිළිබිඹු වෙයි. ඒ ආර්ය ශ්‍රාවකයා

1. අකුසලය දැන ගනියි.

2. අකුසල මූලය දැනගනී,

3. කුසලය දැන ගනී.

4. කුසල මූලයද දැන ගනී. 
අකුසලය වශයෙන් දස අකුසලය මෙසේ විස්තර වෙයි.
 (1. ප්‍රාණඝාතය 

(2. අදත්තාදානය 

(3. කාමමිථ්‍යාචාරය

 (4. මුසාවාදය 

(5. කේලාම් කීම 

(6. රළු වචන කීම

 (7. හිස් වචන කීම 

(8. විෂම ලෝභය 

(9. ව්‍යාපාදය

 (10. මිත්‍යාදෘෂ්ටිය යන අකුලසයන්ය.

ඒ වගේම මෙම අකුසලයන්ට හේතු වන්නා වූ අකුසල මූලයන් දක්වා තිබේ
 1. ලෝභය 
2. ද්වේශය 
3. මෝහය යන අකුසල මූලයන්ය.

සම්මාදිට්ඨිකයා කුසලයද, කුසල මූලයද දැන ගන්නා බව ඉන්පසු දක්වා තිබෙයි. මෙහිදී දස කුසලය මෙසේ දක්වයි. ප්‍රණඝාතයයෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාමමිථ්‍යාචාරයෙන් වැළැකීම, බොරු කීමෙන් වැළැකීම, කේළාම් කීමෙන් වැළැකීම, පරුෂ වචනයෙන් වැළැකීම, හිස් වචනයෙන් වැළැකීම, විෂම ලෝභයෙන් වැළැකීම, ව්‍යාපාදයෙන් වැළැකීම මෙන්ම සම්මා දිට්ඨිය ද කුසලයක් වෙයි.

ඒ වගේම මෙම කුසලයන්ට හේතු වන්නා වූ කුසල මූලයන් මෙසේ දක්වා තිබේ.
 1. අලෝභය කුසල මූලයකි,

 2. අද්වේෂය කුසල මූලයකි 

3. අමෝහය කුසල මූලයකි.

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවකයා මේ කියන ලද අකුසලයත් අකුසල මූලයත්, කුසලයත්, කුසල මූලයත් මනා ලෙස දැන ගනීද, ඔහු සියලු ආකාරයෙන් රාගානුසය නැතිකොට පටිඝානුස්සය දුරු කොට මම ය යන දෘෂ්ඨිය මුල්කරගත් මානානුසය නසා අවිද්‍යාව හැර දමා විද්‍යාව උපදවා මේ ආත්ම භවයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි. මේ ආකාරයෙන් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨිකයෙකු වෙයි. ධර්මය පිළිබඳව ඔහුගේ දෘෂ්ඨිය සෘජු වෙයි. ධර්මය ගැන පැහැදෙන ලක්ෂණයෙන් යුක්ත වෙයි. පෘථග්ජන භූමිය ඉක්මවා ලෝකෝත්තර භූමියට පැමිණ වාසය කරන්නෙක් වෙයි.

ආර්ය ශ්‍රාවකයා තුළ සම්මාදිට්ඨිය පිහිටන්නේ ඔහු කාරණා හතරක් ගැන මනා ලෙස දැන ගන්නා බැවිනි. ඒවානම් 

1. අකුසලය දැන ගනී, 

2. අකුසල මූලය දැනගනී,

 3. කුසලය දැනගනී,

 4. කුසල මූලය දැනගනී. 
මෙයට අමතරව ආර්ය ශ්‍රාවකයා අකුසලය නමින් නම් කරන ලද දස අකුසල් මනාලෙස දැන ගනී. එයට හේතු වශයෙන් ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් බව මනා ලෙස දැන ගනී. දස අකුසලයන්ගෙන් වැළැකීම දස කුසලය බව දැන එයට හේතුව අලෝභ, අද්වේෂ, අමෝහ යන කුසල මූලයන් බව මනා ලෙස දැනගනී.
මේ ලෝභ, ද්වේෂ, මෝහ මුල් වී දස අකුසල් සිදු වන්නේ කෙසේද? සිතෙහි කෙලෙස් ක්‍රියාත්මක වන ආකාරයද තුනකි. ඒ අනුසය, පරියුට්ඨාන හා විතික්කම යි. අනුසය අවස්ථාවේ ක්‍රියාත්මක වන සිතිවිලි ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් වශයෙන් දැක්වේ. පරියුට්ඨාන අවස්ථාව යනු - සිතින් සිතන අවස්ථාවයි. ලෝභ, ද්වේෂ මෝහ මනසින් ක්‍රියාත්මක කිරීම චේතසික කර්ම වශයෙන්ද දක්වා තිබේ. චේතසික කර්ම වශයෙන් හඳුන්වනු හෙවත් සිතින් කරන පව් තුනකි. අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි ඒවායි. මේවා සිතෙහි කි‍්‍රයාත්මකවීම පරියුට්ඨාන අවස්ථාව හෙවත් ඇතුළත සිතිවිලි කැකෑරෙන අවස්ථාව ලෙසින් දැක්වේ. මේවා සිතෙහි ම යෙදෙන අකුසල කර්ම නිසා, පව් නිසා චේතසික කර්ම වශයෙන් දක්වා තිබේ. අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි යන සිතිවිලි සිතෙහි පාලනය කර ගත නොහැකි විට ඒවා කයින් සහ වචනයෙන් ක්‍රියාත්මක වේ. එළියට දැමේ. පිට කෙරේ. සමාජගත කෙරේ. විතික්කම අවස්ථාව යනු එම අවස්ථාවටයි. සිතෙහි කෙලෙස් සමාජගත කරන්නේ කයින් සහ වචනයෙනුයි. සිතිවිලි නරක නම් කය සහ වචනයෙන් පිට වන්නේ නරක කි‍්‍රයා සහ නරක වචනයි. කයින් සිදුකරනු ලබන නරක ක්‍රියා හෙවත් පව් තුනකි. සත්ත්ව ඝාතනය, සොරකම සහ වැරැදි කාම සේවයනයයි. බොරුකීම, කේළාම්කීම, පරුෂවචන කීම, හා හිස් වචන කීම වචනයෙන් සිදුවන පව් හතරයි. මේ අනුව සිත, කය සහ වචනය යන තුන් දොරින් සිදු කරනු ලබන වැරැදි සියල්ල දහයකි. මේ දහය ම සිදු කරනු ලබන්නේ ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් නිසාය.

මේ අකුසල මූලයන් අතුරෙන් මෝහය නම් වූ අකුසලය සෑම අකුසල ක්‍රියාවකට මුල් වෙයි. අනෙක් සිතිවිලි ඒ ඒ ක්‍රියාව අනුව වෙනස් වෙයි. ඒ අනුව ලෝභය මුල් වී අභිජඣාව නම් සිතින් කරනු ලබන පව් ද, සොරකම හා කාමය වරදවා හැසිරීම නම් කයින් කරනු ලබන පව්ද, බොරුකීම නම් වචනයෙන් කරනු ලබන පවද සිදුවෙයි. ද්වේෂය මුල් වී ව්‍යාපාදය නම් වූ සිතින් කරනු ලබන පවද, සත්ත්ව ඝාතනය නම් වූ කයින් කරනු ලබන පවද සිදුවෙයි. පරුෂ වචනකීම සහ කේලාම්කීම නම් වූ වචනයෙන් කරනු ලබන පව්ද සිදුවෙයි. මෝහය මුල් වී මිච්ඡාදිට්ඨි නම් වූ සිතින් කරන වරද ද, හිස් චචනකීම නම් වූ වචනයෙන් කරනු ලබන පවද සිදුවයි. මෙහිදී කයින් වචනයෙන් සිදු කරනු ලබන පව් චේතනා කර්ම වශයෙන් දක්වා තිබේ. කයින් වචනයෙන් සිදු කරනු ලබන එම ක්‍රියාවන්නට සෘජුවම සිතින් කරනු ලබන වැරැදි හෙවත් නරක සිතිවිලි වන අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි යන සිතිවිලි තුන මුල්වන බැවින් ඒවා චේතනා කර්ම වශයෙන් දක්වා තිබේ. මේ කියන ලද ක්‍රමවේදය මනා ලෙස දැනගැනීම “අකුසලං ච පජානාති” වශයෙන් හඳුන්වයි. එසේ ම අකුසලයන් නිසා ඇති වන විපාක මිහිරි ඒවා නොවන බවත්, කටුක වේදනාබර ඒවා බවත් ඒවා නිසා දුක් විඳින්නට සිදුවෙන බවත් ඒ අනුව මෙලොව සහ පරලොව කිසියම් දුකක් තිබේනම් එයට මුල මේ ලෝභ, ද්වේශ, සහ මෝහයන් නිසා ඇති වූ අකුසල කර්මයන් බව දැන ගැනීමද මෙහි දී “අකුසලංච පජානාති” යන්නෙන් අදහස් කරයි.


ඒ වගේම ආර්ය ශ්‍රාවකයා ලෝභ, ද්වේශ, මෝහ සිත තුළ ඇති වන්නේ කෙසේදැයි නුවණින් දැන ගනී. සත්ත්වයා තම ඉන්ද්‍රියයන්ට ගොදුරුවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම නම් වූ අරමුණු පි‍්‍රයමනාප ලෙසින් රස විඳින්නට යාම නිසා මෙම අකුසල මූලයන් සිතෙහි ඇතිවයි. උදාහරණ ලෙස යමෙක් ඇසින් රූපයක් දකී. ඒ රූපය ලස්සන රූපයක් නම් පි‍්‍රයමනාප රූපයක් නම් ඒ තැනැත්තාගේ සිතෙහි ඒ රූපය නිසා කිසියම් වින්දනයක් ඇතිවෙයි. එය වේදනාව යනුවෙන් පැවසේ. පි‍්‍රයමානප රූප නිසා ඇතිවෙන වේදනාව සුඛ වේදනාවකි. අපි‍්‍රය අමනාප රූපයක් නම් ඇතිවන්නේ එය දුක්ඛ වේදනාවකි. පි‍්‍රයත් නැති, අපි‍්‍රයත් නැති රූපයක් නම් ඇතිවන්නේ මැදහත් වේදනාවකි. මෙයත් උපේක්ෂා වේදනාවක්. මේ කියන ලද සුඛ වේදනාව නිසා ඇතිවන්නේ ලෝභයක්. දුක්ඛ වේදනාව නිසා ඇතිවන්නේ ද්වේෂයක්. උපෙක්ඛා වේදනාව නිසා ඇතිවන්නේ මෝහයකි. ඒ අනුව සිතෙහි වන අකුසල මූලයන්ට හේතු වී තිබෙන්නේ මේ තුන් ආකාර වේදනාවයි. “අකුසල මූලං ච පජානාති” යන ප්‍රකාශයෙන් කියැවෙන්නේ ආර්ය ශ්‍රාවකයා ලෝභ, ද්වේෂ, මෝහ ඇති වන්නට හේතු වූ මේ ත්‍රිවිධාකාර වේදනාව ද මනා ලෙස දැනගන්නා බවයි.





ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි









ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ නොවැම්බර් 14 වන සඳුදා දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment