භාවනාව යනු සිතේ වැඩීම යි. සිත දියුණු කර ගැනීමේ අර්ථයෙන් ද භාවනා අර්ථය වටහා ගත හැකි යි. තම ගුණ නුවණ දියුණු කර, සති, සමාධි , ඥාන වැඩි දියුණුවෙන් බෝධි පාක්ෂික ධර්මයන් සම්පූර්ණ කර ගැනීමෙන් සිතේ වැඩීම හොඳින් සිදු වෙයි. සිත දියුණු කර ගන්නා ක්‍රම බුදුරජාණන් වහන්සේ බහුලව පැහැදිලි කර තිබෙ යි. සමථ භාවනා හතළිහක් දේශනා කර වදාළේ නීවරණ සංසිඳුවාගෙන සිත දියුණු කර ගැනීම සඳහා යි. සිතේ බලවත් ලෙස පහළ වන තණ්හාව, තරහව, මෝහය, උඩඟුකම, ආදී පාපී සිතිවිලි තුරන් කර ගැනීම සඳහා භාවනාව පිටිවහලක් වෙයි. බෞද්ධ මෙන් ම අබෞද්ධ ජනතාවත් මේ ක්‍රමවල යෙදී ගවේෂණය සිදු කරනවා. ලොවේ සෑම රටක ම භාවනා ක්‍රම තිබෙ යි. එයට අනුයුක්තව අති විශාල පිරිසක් කටයුතු කරනවා. ඒ මඟින් සිය, සිත දියුණු කර, ගත , වචනය සංවර ව වාසය කරනවා.
බුදුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය සඳහා භාවනා ක්‍රම දේශනා කර වදාළා. මරණ සතියෙන් ‘ජීවිතය අනියත යි. මරණය නියත යි’ වදන කවුරුත් සිතට ගෙන මරණ සතිය වඩන්න අවශ්‍යය යි. අපේ මහ බෝසතාණන් වහන්සේ ද ඉහත ආත්මයක මරණානුස්සති භාවනාව වඩන නිවසක උපන්නා. ඒ උත්තමයාට හදිසියේ සර්පයෙක් දෂ්ට කර මරණයට පත් වුණා. උන් වහන්සේ මරණාසන්න මොහොතේ ද ‘ජීවිත ය අනියත යි. මරණය නියත යි’. යනුවෙන් මෙනෙහි කළ නිසා මහා දෙව් රජාණන් කෙනෙක් වී උපත ලැබුවා. එතුමා මරණ සති භාවනාව පිළිබඳ පැහැදිලි විවරණයක් තම පෙර භවයේ මව් පියන්ට ද පහදා දී මරණ සතිය හොඳින් දියුණු කර දෙව් ලොවට ම පැමිණීමට අවශ්‍යය ගුණ සම්පත් දියුණු කළ යුතු බව ද පැහැදිලි කළා.