Labels

Thursday, February 1, 2018

මොහඳුරු වැඩුණු තරමට ගනඳුරු වේ ය මෙ සසර

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අවජ්ජෙ වජ්ජදස්සිමෝ
වජ්ජේ චාවජ්ජදස්සිනෝ
මිච්ඡාදිට්ඨි සමාදානා
සත්තා ගච්ඡන්ති දුග්ගතිං
වජ්ජං ච වජ්ජතො ඤත්වා
අවජ්ජං ච අවජ්ජ තෝ
සම්මා දිට්ඨි සමාදානා
සත්තා ගච්ඡන්ති සුග්ගතිං

පින්වත්නි,

අද පෝදා ධර්මානුශාසනාව ලෙස මා මාතෘකා කළේ බෞද්ධයාගේ හස්ථසාරය වන ධම්මපදයේ නිරය වග්ගයේ අන්තිම ගාථා දෙකයි. එහි සරල අදහස වන්නේ “නිවැරැද්ද වැරැද්ද සේ ද, වැරැද්ද නිවැරැද්ද සේ ද සලකන, මිසදිටු අදහස් දරන්නෝ අපායට යති. වරද වරද ලෙස ද, නිවැරද නිවැරැදි ලෙස ද, දැන සම්මා දෘෂ්ඨිය ගත් අය සුගතියට යති.මෙම වටිනා අදහස් ඇතුළත් ගාථා දේශනාව බුදුරදුන් දේශනා කළේ සැවැත්නුවර නිවටුන් අදහන පිරිසක් මුල්කර ගෙන ය.
සැවැත්නුවර ඒ ඒ ප්‍රදේශවල බුදුරදුන් සරණ ගොස් තුනුරුවන්ට ගරු සරු ඇතිව ජීවත්වන මිනිසුන් අතර මිථ්‍යාදෘෂ්ඨික ශාස්තෘන් අදහන අය ද වාසය කළහ. ඔවුන්ගේ දරු දැරියෝ භේදයකින් තොරව කෙළි සෙල්ලම් කළ අතර සමගිව වාසය කළහ. තුණුරුවනට ගරුකරන ළමයි විහාරයට යති එති. භික්ෂූන් දුටු තැන වඳිති පුදති. නමුත් මිථ්‍යාදෘෂ්ටික අදහස් ඇති මවුපියවරු තම දරුවන්ට විහාරයට නොයන ලෙස තහනම් කළහ. දිනක් සෙල්ලම් කරමින් සිටි ළමයින් කණ්ඩායමක් දෙව්රම් විහාර දොරටුව අභියසට පැමිණි අතර පිපාසාව සන්සිඳුවා ගැනීමට විහාරස්ථානයට ඇතුළුවීමට සාකච්ඡා කළහ.
එහෙත් අබෞද්ධ ළමයි තම මවුපියන් දුන් අවවාදය කියා විහාරස්ථානයට ඇතුළු නොවී ඔබලා ගොස් පැන් බී අපටත් පැන් රැගෙන එන ලෙස කියයි. බෞද්ධ ළමයි වෙහෙරට ගොස් පැන් බී යාළුවන්ට පැන් රැගෙන එන විට බුදුරජාණන් වහන්සේ හමුවුණි. බුදුරදුන්ට වන්දනා කළ ළමයි, තමන් පැන් බී දොරටුව ළඟ සිටින ළමයින්ට පැන් රැගෙන යන බව කී හ. ඔබ ගොස් පැන් බීමට ඒ ළමයින්ටත් මෙහි එන්න කියන්න” බුදුරදුන් වදාළෙන් බුදුවදන ඉවත දැමිය නොහැකි ඒ ළමයි පැමිණ පැන් බී බුදුරදුන් හමුවට ගියහ. මොවුන් අන්‍යාගමික ශාස්තෘන් සරණ ගිය ද පෙර පින් කළ අය බව දැන ගත් බුදුරජාණන් වහන්සේ ඔවුන්ට ධර්මය දේශනා කළ සේක. ඒ මිථ්‍යා ආගමික ළමයි ද පිරිසත් සමඟ ම සෝවාන් ඵලයෙහි පිහිටියහ. නිවැරැදි මග හෙළිකර දුන් ළමයින්ට ආර්ය මාර්ගයට ඒමට හැකියාව ලැබුණි.
“වජ්ජං “ වැරදි දේ වැරැදි වශයෙන් දැකීමට පුරුදුවිය යුතු ය. වැරැදි දේ මෙලොව අයහපතට හා අපකීර්තියට පමුණුවයි. එමෙන් ම පරලොව අපාය දුකට හේතුවෙයි. දස වැදැරුම්’ මිථ්‍යා දෘෂ්ඨිය වැරදි දෙය යි. එය තේරුම් ගැනීම පණ්ඩිත ලක්ෂණයකි. ‘අවජ්ජං යනු නිවැරැදි දෙයයි. මෙලොව කීර්තියට හා අභිවෘද්ධියට පමුණුවන පරලොව සුගතිගාමී වන යහපත් පිළිවෙත් ය. දස අකුසල්වලින් වෙන්වීම නිවැරදි දෙය ය. මෙය තම නුවණින් දැන දැක ගත යුතු අතර නිවැරදි දෙය ම කළයුතු වන්නේ ය.
හොඳ – නරක , පින් – පව් , කුසල් –අකුසල් , සරු – නිසරු ,තේරුම් ගත හැකිවන්නේ මිනිසාට පමණි.උසස් මනසකින් හෙබි මානවයාට තම සිත උච්චතම අවස්ථාවට දියුණු කළ හැකි ය. කෙලෙස්වලින් අඳුරුවන සිත ආලෝකවත් කර ප්‍රඥාව වර්ධනය කරන්නේ ද මිනිසා ය. බුදු, පසේ බුදු, මහරහත් උතුමෝ සිත පිරිසුදු කරගත් උත්තමයෝ ය. ඒ මග යාමට ශ්‍රාවකයාට නිවැරදි මාර්ග පෙන්වා දී ඇත. තිදොරින් කෙලෙස් උපදින අයුරුත්, එමගින් කර්ම රැස්වන අයුරුත් බුදුදහමින් මනාව පැහැදිලි කර දෙයි. මිනිස් සිත තුළ උපදින තෘෂ්ණාව හේතුවෙන් ඔහු විපතට හරවයි. ඊර්ෂ්‍යාව ,ක්‍රෝධය, මානය, උද්ධච්චකම ආදි කෙලෙස් දහම් අඳුරු චිත්ත වේගයන් ය. අඳුරු සිතිවිලි සිතේ වර්ධනය වන තරමට සසර භයංකර භාවය ද වැඩිවෙයි. එක් එක් අයගේ හිතට ඇදීගෙන එන අඳුරු තාලයේ සිතිවිලි හේතුවෙන් පසුතැවීමට පත් වන්නෝ එමට ය. බෝධිරාජ කුමාරයාගේ සිතට ගලා ගෙන ආ අඳුරු සිතිවිල්ලේ භයානකත්වය ඔහුටද තේරුම්ගැනීමට නොහැකි විය. “කෝකනද” නම් දර්ශනීය ප්‍රාසාදය ගොඩනගා ගෙන යද්දී බෝධිරාජ කුමාරයාගේ සිතට ගලාගෙන එන්නේ ‘මානය” උත්සන්න වු කෙලෙස් සිතිවිලි ය. මගේ ප්‍රාසාදය වැනි දර්ශනීය මන්දිරයක් මේ දඹදිව් තලයේ තවත් නැත. මේ දක්ෂ වඩුවා ජීවත් වුවහොත් මේ සමාන වූ තවත් ප්‍රාසාදයක් ඉදිකරන්නේ ය. එවිට මට සිදුවන්නේ මහත් පාඩුවකි. මට ලැබෙන නම්බුව තවත් කෙනෙක් හමුවේ බෙදී යයි. මෙය සිදු නොවිය යුත්තක්. මෙයට එකම විසඳුම වඩුවා මරා දැමීම ය. මෙවන් සාහසික අදහස් පෘථග්ජන සිතට ගලා ඒම සාමාන්‍ය දෙයකි. එහෙත් එම සැහැසි ක්‍රියාවට ඉඩ නොලැබුණ හෙයින් බෝධිරාජ කුමාරයාගේ සිත ගිනිගත් ගෙයකින් බේරුණි. කුමන හෝ අවාසනාවකින් අඥානවූ සිත ක්‍රියාවේ යෙදුණේ නම් දුර්ලභ ගණයේ අති දක්ෂ වඩුවෙකු අහිමි වෙනවා පමණක් නොව බෝධි රාජ කුමාරයාගේ අපාගත වීම නොවැළැක්විය හැකි ය.අකුසල් සිත් ඇතිවන මාවත් වසා කුසල් ඇතිවන අයුරින් තම කටයුතු මෙහෙය විය යුතුය. වැරැදි දේ කිරීම තමන්ට සතුරුකම් කිරීමකි. නිවැරැදි දේ සිදුකිරීම තමන්ට මිතුරුවීමකි. හොඳ, නරක තේරුම් ගෙන යහපත් වෑයමෙන් කටයුතු කර සසර කෙටිකර ගැනීමට උත්සාහ වන්න.

තෙරුවන් සරණයි!


බලංගොඩ කොටවෙහෙරමංකඩ, 
දම්වැල්ඕඩය රජමහා විහාරාධිපති 
ර/බල/වැලිපතයාය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති වැලිපත පඤ්ඤානන්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍දුරුතු අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 16 වන අඟහරුවාදා බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment