Labels

Thursday, February 1, 2018

තමා කළ නොකළ දේ විමසා බැලීම

තමන් සිහි කළ යුත්තේ ද, විමසා බැලිය යුත්තේ ද, තමා කළ නෙකළ දේ පිළිබඳව ය. අනුන් කළ, නොකළ දේ, පිළිබඳව සිත යොමු කිරීම තමන්ට අදාළ කාරණයක් නොවේ . නමුත් සාමාන්‍ය සමාජයේ සිරිත වන්නේ අනුන් කළ, නොකළ දේ හොඳින් විමසා බැලීමත් තමා කළ, නොකළ දේ නිවැරැදි ඒවා ලෙස සලකා නොසිතා හැරීමත් ය.

සාමාන්‍ය මිනිස් සිත්සතන්වල ස්වභාවය වන්නේ තමන් නිවැරැදි පුද්ගලයෙකු ලෙස පිළිගැනීම හා අන්‍යයා වැරැදි පුද්ගලයෙකු ලෙස පිළිගැනීමය. තමන් උසස් උත්තම වර්ගයේ පුද්ගලයෙකු ලෙස හඳුන්වා දෙමින් අන්‍යයා පහත් අයෙකු බව හෙළිකිරීමට උත්සාහ කරයි. බුදුසමයෙහි එම ගති ලක්ෂණය “අත්තුක්කංසන පරවම්භන” වශයෙන් හඳුන්වයි. තමන් සිතන, කියන, කරන, කටයුතු උදාරාර්ථයෙන්ම සලකා බැලීම අත්තුක්කංසන නම් වේ. එසේ සිතා සමාජයේ ද ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කර යි.

අන්‍යයා පහත් ය යන හැඟීමෙන් කල්පනා කිරීම පරවම්භන නම් වේ. සමාජයේ ද එලෙසම ප්‍රකාශ කරයි. බුදුදහම තුළ සිදුකරනු ලබන බොහෝ ඉගැන්වීම් මගින් පුද්ගල වශයෙන් ඇතිවන්නාවූ එම දුර්ගති ලක්ෂණය දුර්ගති ලක්ෂණයක් ලෙස හඳුනාගෙන එයින් ඉවත්වීම කළ යුතු ය.

මිනිසා තුළ පවතින එම ලක්ෂණය තමා තුළ කොපමණ ප්‍රමාණයක් තිබෙනවා ද? යන්න විමසා බැලිය යුතු ය.සෑම විටම සිහිනුවණින් යුතුව විමසුම් නුවණින් බැලීම කළ යුතු ය. එසේ කිරීම තුළින් අවංකව තමා තුළ පවතින මෙම නරක ගති සිත පිළිබඳව හැඟීමක් සහ දැනීමක් ඇති වේ. එය තමා තුළින් අකා මකා දැමිය යුතුය යන සිතිවිල්ල තමා වෙතට එන්නේ ද එසේ සොයා බලන පුද්ගලයෙකුට පමණය විමසා නොබලන කෙනෙකුට වැටහෙන්නේ තමා තුළ අත්තුක්කංසන පරවම්භන ගති ලක්ෂණය නොමැති බවය. සමාජයේ අනෙක් පිරිස සමඟ අදහස් ප්‍රකාශ කරනු ලබන්නේ ද, එම අදහසම ය.
එබඳු අවස්ථාවලින් පෙන්නුම් කරන්නේ තමා තුළ පවතින අකුසල ධර්ම පිළිබඳ හොඳ මානසික කියවීමක් නොමැති පුද්ගලයා අකුසලයෙහි ගිලී සිටින්නේ එබඳු ගති ලක්ෂණ තමා තුළද පවතින බව ද නොදැනගෙන ය.
බුද්ධකාලීන සමාජය තුළ පවතින ගති සිරිත් අනුගමනය කළ බුද්ධශ්‍රාවක නොවන බොහෝ පිරිස් ද සිටියහ. 'ආජීවක' යන නමින් හඳුන්වා ගත් පිරිසක් ද ඒ අතර විය.

එක්තරා දායිකාවකට බොහෝ හිතවත්ව ළෙන්ගතුකම් පෑ පාඨික නම්, ආජීවකයෙක් විසීය. එක උපාසිකාවක් සිවුපසයෙන් උවටැන් කරමින් එම ආජීවකයාට අපමණ සත්කාර සම්මාන කළාය. දවසක් ඇයට තෙල් මල් ගෙන විහාරයට යන සැදැහැසම්පන්න බෞද්ධ පිරිසක් මුණ ගැසුණි. ඔබ සැම සුදු වතින් සැරසී සුදු මල් අතින් ගෙන මේ යන්නේ කොහෝ දැයි ඇය විසින් විමසනු ලැබුවාය. එවිට අපි මේ තථාගත බුදුහිම්යන් වඳින්නට යන්නෙමු. යනුවෙන් ඔවුන් ලබාදුන් ප්‍රකාශයෙන් පාඨික ආජීවකයාට උවටැන් කළ උවැසියට ද බුදුරජාණන් වහන්සේ දැකිමේ ආසාවක් ඇති විය. බුදුරදුන්ට දානය පිදීමේ ඇල්මක් ඇති විය. ඒ බව ඇය විසින් පාඨික ආජිවක තුමාට ද දැනුම් දෙන ලදී.
ඇයගේ අදහස ඇසූ පාඨික ආජීවකයා බොහෝ සෙයින් කිපුණේය. කිපී උවැසියට බැණ වැදුණේ ය. මා වැනි උතුම් ශාස්තෘවරයෙකු සිටිය දීි බුදුහාමුදුරුවන් සමීපයට යන්නේ කුමන හේතුවක් නිසාදැයි ඔහු විචාළේය. උවැසියගේ සිත පතුලේ කැකෑරෙන බුදුහිමියන් දැකීමේ අනවරත ආශාව පාඨික ආජීවකයාගේ වචන නිසා නැති වී ගියේ නැත. ඇය උපක්‍රමයක් සිතුවාය. තමාට ජේතවනාරාමයට ගොස් බුදු බණ අසන්නට අවස්ථාව පාඨික නමැති ශාස්තෘවරයා නිසා ඇහිරී ඇති බැවින් දහවල තමන්ගේ නිවසෙහි දානය සඳහා වැඩම වන ලෙස බුදු හිමියන්ට ආරාධනා කිරීමට ඈ සිතුවා ය.
සිය පුතා කැඳවා සිය අදහස දක්වා හෙට දින නිවසේ පැවැත්වෙන දානයට වඩින ලෙස පන්සලට ගොස් බුදු හිමියන්ට ආරාධනා කොට එන ලෙස දැනුම් දුන්නාය. පුතණුවන් ද මෑණියන්ගේ අදහස පිළිගෙන දවල් දානයට බුදුහිමියන්ට ආරාධනා කිරීමට යන අතරමග පන්සලට යෑමට පෙර තමන්ට හුරුපුරුදු ආජීවක ආශ්‍රමයට ගියේ ය.
මේ වෙලාවේ කුමන ස්ථානයකට යන්නේ දැයි ආජීවකයා විමසූ කල්හි සිය මෑණියන්ගේ අදහස ඔහු විසින් ආජීීවක තුමාටත් පවසන ලදී එය ඇසූ ආජීවක තුමා අතිශයින් ම කිපුණේ ය.
තමාගේ විරෝධතාවය මැද මෙසේ උපක්‍රම කිරීම පිළිබඳ තදින් කේන්ති ගත්තේය. දෙදෙනාටම හොඳ වැඩක් කරන්නේ මැයි සිතට ගත් ආජීවකයා පුතණුවන්ට මෙසේ ප්‍රකාශ කළේය. ඔබ ජේතවනාරාමයට ගොස් බුදු හිමියන්ට හෙට දවල් දානයට ආරාධනා කරන්න. එම ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේට ගෙදරට වඩින පාර කීමට අමතක කරන්න. එවිට හෙට දවල් දානය සඳහා දානය බාරගත්ත ද බුදුහාමුදුරුවන් වඩින්නේ නැහැ. මම එම වෙලාවට ගෙදරට එන්නම්. ඇවිත් බුදුහාමුදුරවන්ගේ අගුණ ඔබේ මවටත් කියා දෙන්නම්, ආරාධනාව බාරගෙන වෙලාවට නොවැඩිය එක බරපතළ වරදක් නිසා අම්මාගේ සිතත් බුදුහාමුදුරුවන් පිළිබඳව කලකිරේවි. එවිට දවල් දානයට බුදුහාමුදුරුවන් වෙනුවෙන් පිසූ රසමසුවුළු සහිත ආහාර අප දෙදෙනා සතුටින් භුක්ති විඳිමු. යැයි ආජීවකයා කී ය. ළමයා ද කුඩා කල සිට දන්නා හඳුනන ආජීවකතුමන්ගේ් කතාව අසා ඒ ක්‍රමයට සිදු කළේ ය.
දෙවැනි දවස දවල් දාන වෙලාව උදාවිය. බුුදුරජාණන් වහන්සේ මහා සංඝයා වහන්සේ සමඟ එම උවැසියගේ නිවසට වැඩම කළහ. හරි සතුටින් දානය පිළිගැන්වූ ඇය දෙස කාමරයට වී සැඟවී පාඨික ආජීවකයා කේන්තියෙන් බලා සිටියේ ය. දන් වළඳා අවසානයේ අනුමෙවැනි බණ දේශනා කරනු ලැබූහ. දන් වළඳා ඉක්මණින් පිටත් වී යා යුතු වෙනුවට ගෙදර නතර වී ධර්ම දේශනා කරන්නට පටන් ගැනීම පිළිබඳව පාඨික ආජීවකයාට ඉහිලුම් නොදෙන තරම් කේන්තියක් ඇති විය. සැඟව සිටි කාමරයෙන් එළියටවිත් බුදුරජාණන් වහන්සේට ඇහෙන ලෙස උපාසිකාවට හොඳටම බැණ වැදුණේය. සිතේ හරි සතුටකින් කළ පින්කම පිළිබඳවත් බුදුහිමියන් දෙසූ බණ ගැනත් ප්‍ර‍්‍රමුදිත මනසින් සිටි උවැසිය බොහෝ චිත්ත පීඩාවට පත්වූවා ය. එම අවස්ථාෙවි දීි උවැසියගේ සිතිවිල්ල පිළිබඳව අවධානය යොමුකළ බුදුරජාණන් වහන්සේ පැහැදළි කරනු ලැබූවේ තමන් සිහි කළ යුත්තේද, විමසා බැලිය යුත්තේ ද, තමා කළ නෙකළ දේ පිළිබඳව වන බව ය.
අනුන් කළ, නොකළ දේ, පිළිබඳව සිත යොමු කිරීම තමන්ට අදාළ කාරණයක් නොවන බව ය. නමුත් සාමාන්‍ය සමාජයේ සිරිත වන්නේ අනුන් කළ, නොකළ, දේ හොඳින් විමසා බැලීමත් තමා කළ, නොකළ දේ නිවැරැදි ඒවා ලෙස සලකා නොසිතා හැරීමත් ය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබූු අලුත් බණ පදය ඇසූ කාන්තාව ඇයගේ සිතෙහි තිබුණ කලකිරීම, මානසික පීඩනය, සිතෙහි හටගත් ලජ්ජාව තුනීකර ගත්තා ය.

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ 
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍දුරුතු අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 16 වන අඟහරුවාදා බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment