Labels

Thursday, February 1, 2018

සැමට සෙත සදන පිරිත් දෙසුම

අතීතයේ සිට වර්තමානය දක්වාම ඉන්දියාවේ මෙන් ම ලංකාවේ ද පිරිත් දේශනා පැවැත්වූ බවට තොරතුරු සඳහන් වේ. වර්තමාන ලාංකික පිරිත් දේශනා සම්ප්‍රදාය පොළොන්නරු යුගයේ දී ආරම්භ වු බව සැලකේ. එහෙත් අනුරාධපුර යුගයේ දී ද ඇතැම් අවස්ථාවන්හි දී පිරිත් දේශනා පවත්වා ඇති බවට තොරතුරු හමු වේ.
රත්නමාලි සෑ රඳුන්ට මුල් ගල් තබන ලද අවස්ථාව, පළවෙනි උපතිස්ස රජ දවස ඇතිවූ ව්‍යයසනයක් තුරන් කිරීම සඳහා රතන සූත්‍රය දේශනා කරමින් භික්ෂූන් වහන්සේලා නුවර වටා පිරිත් පැන් ඉසීම, හතරවන අග්‍රබෝධි රජතුමා නිතර නිතර පිරිත් දේශනා පවත්වා ඇත.
දෙවන සේන රජතුමා පත්ඉරුවල ලියා රතන සූත්‍රය කියවීම , පස්වන කාශ්‍යප රජතුමා පිරිත් කියවීම හා පිරිත් සතර බණවර කටපාඩම් නොමැති අය පැවිදි නොකළ යුතු බවට නියෝග පැනවීම, මහා පරාක්‍රමබාහු රජතුමා පිරිත් පැන් , පිරිත් නූල් ලබා දීමට ගෘහයක් ඉදිකිරීම, කීර්ති ශ්‍රී නිශ්ශංක රජතුමා පිරිත් දේශනා පැවැත්වීම සඳහා ම ස්ථිර මණ්ඩපයක් සකස් කිරීම, දෙවන පැරකුම්බා මහ රජතුමා පිරිත් පිළිබඳ ව කතිකාවතක් සම්පාදනය කිරීම, දොළොස්වන සියවසේ දී පළවන පරාක්‍රමබාහු රජතුමා පංච සත් සති මන්දිර නමින් ස්ථිර මණ්ඩපයක් ඉදි කිරීම , යනා දී අවස්ථාවන් ය.

වර්තමාන ශ්‍රී ලංකාවේ පවත්වන පිරිත් දේශනා
ශ්‍රී ලාංකිකයන් අතර ඉතා ජනපි‍්‍රය ආගමික වතාවතක් ලෙස පිරිත් දේශනාව හඳුනාගත හැකි ය. යමෙකු මෙලොව එළිය දැකීමට පෙර මවු කුසේ පසුවන අවස්ථාවේ සිට ම පිරිත් දේශනා පවත්වා ආශීර්වාද කිරීම චාරිත්‍රයකි.
පිරිත් දේශනා
ගෘහ හෝ පෞද්ගලික අවශ්‍යතා, සාමාජීය හෝ පොදු අවශ්‍යතා, ආගමික අවශ්‍යතා, දේශපාලන අවශ්‍යතා, විශේෂ අවශ්‍යතා යන කරුණු මූලික කරගෙන පවත්වනු ලබයි.
වරු පිරිත්
වරු පිරිතක් දේශනා කරවා ගැනීමේ දී එය එක්වරු , තුන්වරු, පස්වරු, හත්වරු යනුවෙන් වෙන්කරගෙන නියම කරගත් දිනයක උදේ හෝ සවස ආරම්භ කරයි.
අතීතයේ මෙන් ම වර්තමානයේ ද බොහෝ විට පවත්වන්නේ වරු පිරිත් දේශනා වන අතර තුන්වරු පිරිත් බහුල ලෙස ම පවත්වයි.
තුන් වරු පිරිත්
ගර්භනී මාතාවන්ට, විවාහ ආවාහ සිදුකිරීමට පෙර, කෙනෙකු රෝගී වූ අවස්ථාවක දී, ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීමට පෙර යනා දී අවස්ථාවන් හි දී පවත්වනු ලබයි. වරු පිරිත් දේශනා වඩාත් ප්‍රතිඵලදායක බවට සමාජයමය මතයක් ඇතිවීමට,
කෙටි වේලාවක් පවත්වන නිසා සමස්ත කාලය තුළම ශ්‍රවණය කිරීමට අවස්ථාව සැලසීම.
ශ්‍රද්ධාදී ගුණධර්ම වැඩිදියුණු වීම
දේශකයාණන් වහන්සේ මෛත්‍රී සහගතව ම දේශනා කිරීම යනාදී කරුණු බලපා තිබේ.
වරු පිරිත් දේශනාවකදී සිදුකරන ක්‍රියා අනුපිළිවෙල වන්නේ
භික්ෂූන් වහන්සේ වැඩම වීම.
මල්,පහන් , සුවඳදුම් පූජා කිරීම.
පන්සිල් සමාදන් වීම.
අරමුණ හා පිරිත පිළිබඳ ව කෙටි හැඳින්වීමක් කිරීම.
තෙරුවන් වන්දනා පාඨ සජ්ඣායනා කිරීම.
තුන් සූත්‍රය, අටවිසි පිරිත, ජින පඤ්ජරය
ඇණවුම් පිරිත හා ආශිර්වාද ගාථා දේශනා කර දෙවියන්ට පින් දීමයි.
ඇතැම් පළාත්වල හා භික්ෂූන් වහන්සේලා මීට වඩා වෙනස් අනුපිළිවෙලක් අනුගමනය කරනු දක්නට ලැබේ.
තිස්පැයේ පිරිත (සර්ව රාත්‍රික පිරිත් දේශනාව)
විහාරස්ථානවල වාර්ෂික කඨින චීවර පින්කමට පෙර දින මෙන් ම නිවසක් තනාගෙන ගෘහ ප්‍රවේශය, ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කිරීම, ස්වභාවික ව්‍යයසනයක් ඇතිවීම, වර්ෂාව නොලැබීම, යන අවස්ථාවන්හි දී පවත්වනු ලැබේ. වර්තමානයේ රාත්‍රී 9.00 ට ආරම්භ කොට උදෑසන 5.00 පමණ වන තෙක් පවත්වනු ලැබේ. භික්ෂූන් වහන්සේලා දොළොස් නමක් සහභාගි වීම සිදු කරයි. පිරිත් මණ්ඩපයක් අනිවාර්යයෙන් ම ඉදිකරනු ලබන අතර හේවිසි නාද කිරීම ද බොහෝ දුරට සිදු කරයි.

ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ 
සහකාර විදුහල්පති 
ශාස්ත්‍රපති
බුස්දුල්ලේ සිරිධම්ම හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍දුරුතු අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 08 වන සඳුදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment