ඉවසීම පාරමිතාවකි. නිවන් මඟ සාක්ෂාත් කිරීමට වෙසෙසින් පුරුදු පුහුණු කළ යුතු උතුම් ගුණයකි. ද්වේෂයෙන් අගතියට ගිය කලාබු රජු බෝසත් තාපසතුමන්ට අපමණ හිරිහැර කළේ ය. කස පහර දුන්නේ ය. අත් පා කපා දැමුවේ ය. එහෙත් ඒ සියලු වේදනා උන්වහන්සේ මෛත්‍රී සිතින් ඉවසූහ. ක්ෂාන්තිවාදී ජාතකයේ එන බෝසතාණන් වහන්සේගේ ඉවසීම අප ගේ ජීවිතයට මාහැඟි ආදර්ශයකි. සාමාන්‍ය ජීවිතයේ සුළු කරුණක දී ත් වහා කිපෙන, කලහ කරන සැමට බෝසතාණන් වහන්සේ තුළ වූ ඉවසීමෙන් අංශු මාත්‍රයක තරම්වත් ඉවසන්නට පුරුදු පුහුණු කරනවා නම් ලද හැකි සැනසුම සුවිශාල ය.
වෛරය, ක්‍රෝධය වඩාත් වැඩෙන්නේ ඉවසුම් නැති තැන ය. ක්‍රෝධය වැඩි තැනැත්තා හොඳ නරක තේරුම් නො ගනී. ධර්මය අධර්මය නො දනී. මව, පියා, සැමියා, බිරිය, මිතුරා, මිතුරිය, අසල්වැසියා, ආගන්තුකයා නොහඳුනන්නේ එවැනි පසුබිමක ය. ඇතැම් විට සමහර අය ඉවසුම් නොදෙන්නේ ඉඩ, කඩම්, දේපළවලටය. සිතූ පැතූ දෙයක් නොලැබූ විටෙක ය. කවදා හෝ දිනෙක මේ සියල්ල හැර දමා ජීවිතයෙන් සමුගන්නට සිදුවේ. ගෙනයන්ට තිබෙන්නේ කළ කම් පමණකි.
ජීවිතයේ සියලු වැරැදීම්, එය තේරුම් නොගැනීම නිසා ය. තමන් වෙනුවෙන් මොහොතක් වෙන් කරන්න. ඉවසීම නැති තැන හටගත් පාපී සිතක විනාශකාරී බලය හා ශක්තිය ගැන නුවණින් සිතන්න. ඔබ අතින් මොනතරම් අයහපත් දේ සිදුවී තිබෙනවා ද?
“දවල් කාලයෙහි බකමූණාට ඇස් නොපෙනේ. කපුටාට රාත්‍රී කාලයෙහි ඇස් නොපෙනේ. ලෝභය, ද්වේෂය, මෝහයෙන් යුතු තැනැත්තාට රාත්‍රී මෙන් ම දවාල නොපෙනේ” ඉවසීම දුරු කරන්නේ මේ අකුසල මූලයන් ය. මෙවැනි පුද්ගලයෙක් කෙරේ කෙසේ නම් සීල, සමාධි, ප්‍රඥා ගුණ වැඩෙන්නේ ද? එලොවටත් නැති මොලොවටත් නැති මහා පව්කාරයෝ යැයි ජනවහරේ කියන්නේ මෙවැනි අයට ය. ඉවසීමේ ගුණය පුරුදු කළ තැනැත්තා වෛරී පුද්ගලයන් අතර අවෛරීව වාසය කරයි. සිතෙහි පිරිසුදු බව නිසා සුවසේ ජීවත් වෙයි .
මේ ලෝකයේ දෙදෙනෙක් කිසිවිටෙකත් අදහස් අනුව සමාන නොවෙති. පෙනුමෙන් එක හා සමාන විය හැකි ය. අදහස්වලින් මෙන් ම චරිත ලක්ෂණවලින් වෙනස් ය. එකම අම්මාගේ දරුවන් අතර පවා විවිධ වෙනස්කම් පවතී. මෙය තම පවුල් පරිසරයෙන් ම හඳුනාගත හැකි ය. මේ ආකාරයෙන් සිතන විට ඔබ ජීවත්වන පරිසරයේ ද විවිධ වෙනස්කම්වලින් යුතු පිරිස් සිටිති.
ගැලපෙන දෙයට මෙන් ම නොගැලපෙන දෙයට කැමැති, අකැමැති දෙයට මුහුණදීමට සෑම කෙනෙකුට ම සිදුවේ. අකැමැත්ත සහ නොගැළපීම ඉදිරියේ කෝපයට, තරහවට පත් නොවී ක්‍රෝධ හෝ වෛර නොකොට ඉවසීම පුරුදු කිරීම උතුම් ගුණයකි.
මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රයේ දී ‘අධිවාසනා පහාතබ්බා’ යනුවෙන් ආශ්‍රවයක් හෙවත් ක්ලේශයක් වූ නොඉවසීම බැහැර කළ යුතු බව දැක්වෙයි. බඩගින්න, සා පිපාසාව, රුදුරු කායික මානසික පීඩා, නපුරු වචන, ඇනුම් බැනුම්, සීතල උෂ්ණත්වය, මැසි, මදුරු, සර්ප, පීඩා පවා ඉවසීමට තරම් ශක්තියක් ඇතිකර ගත යුතු බව පෙන්වා දෙයි.
ස්වභාවික පරිසරයෙන් පවා ඇතිවන පීඩාවල දී ඉවසීම පුරුදු කිරීම යනු ඒවා මඟින් තමන්ට සිදුවන හානියෙන් ආරක්ෂා වී සිත සන්සුන්ව පවත්වා ගැනීමයි. වැස්ස, අව්ව, පින්න, සීතල සමඟ ගැටීමෙන් හෝ කේන්ති ගැනීමෙන් තේරුමක් තිබේ ද? ඒවාට බැනවදිමින් සහ දොස් කියමින් තම ශරීරයේ ලේ ධාතුව විනාශ කර ගන්නා අය ද සමාජයේ දුර්ලභ නොවෙති.
ඉවසීමේ අනුසස් පහක් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සේක. එනම් බොහෝ අයට ප්‍රියශීලි කෙනෙක් වෙයි. හිත මිතුරන් බොහෝ සේ ඇතිවෙයි. වැරැදි අඩුපාඩු අඩු අයෙක් වෙයි. සිහිනුවණින් යුතුව මරණයට පත්වීමට හැකිවෙයි. මරණින් මතු සුගතිගාමී වෙයි යනුවෙනි. අප උත්සාහ කළ යුතු ඒ අනුසස් ජීවිතයට සමීප කර ගන්නට ය.
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ දුරුතු අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 16 වන අඟහරුවාදා බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment