" තථාගත බුදුරජාණන් වහන්සේ නම් මහාකාරුණිකයාණන් වහන්සේ යි. තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා වූ ඒ අමා නිවනේ ඇති සැනසිල්ල සියලු ශ්‍රාවකයන්ට දේශනා කළ සේක. ඒ අවබෝධකරගත් දහම ශ්‍රවණය වන විටත් සිත් සැනසෙන බව ඔබම නුවණින් කල්පනා කරන්න. "
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක. එනම් ශෝක ධර්ම වූයෙම් ශෝක ධර්මයේ ආදීනව දැන ශෝක රහිත වූ නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම්. ශෝක රහිත වූ නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන අවබෝධ කළෙමි. එනම් සියලු සත්ත්වයන් සේ ම සංසාර ගමනේ දී තමනුත් අප්‍රමාණ වූ ශෝකයට පත් වූ බව සිහිපත් කිරීමයි.
බෝධිසත්ව අවධියේ දී, ඔබ සියලුදෙනා දන්නා කුස ජාතකයේ දී සිත බැඳුණු ප්‍රභාවතිය නිසා ශෝකයට පත්ව යොදුන් ගණන් පා ගමනින් ඇවිද ගොස්, වසර කිහිපයක් හැලිවළං පවා සෝදමින් විඳි දුක් ශෝකයකින් ම පිරුණු කයක් හා මනසින් යුක්ත විය. බෝධිසත්වයන් වහන්සේ පවා එවැනි අත්දැකීම් ඇතිවූූහ. බුදුවන මේ ජීවිතයේ ඉතා ම පහසුවෙන් ශෝකයේ ඇති භයානක බව, පීඩිත බව නුවණින් සිහිපත් කරන්නට වූූහ.
එසේ නුවණින් සිහිපත් කරමින් මේ ශෝකයේ ආදීනවය මැනවින් අවබෝධ කරගෙන නැවත කවදාවත් ශෝක නොවන්නට නම් නිවනම අවබෝධ කරගත යුතු බව අධිෂ්ඨාන කර ගත්හ. ඒ අනුව බෝධිසත්වයන් වහන්සේ ශෝක රහිත වූ කෙලෙස්වලින් බැහැර වූ නිවන ම සොයමින් ඒ නිවන ම අවබෝධ කළ බව භික්ෂූන් වහන්සේලාට දේශනා කළහ.
තමා සංක්ලේෂ ධර්ම වූයෙන්, එනම් සියලු කෙලෙසුන්ට උරුමකම් කියන්නේ, ඒ සියලු කෙලෙසුන්ගේ ඇති ආදීනවය දැන නොකිළිටි වූ එනම් කෙලෙස්වලින් දූෂිත නොවූ සිතක් ඇතිව නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම්. කෙලෙස්වලින් කිලිටි නොවූ නිරුත්තර වූ, කෙලෙස් බැහැර කළ ඒ අමා නිවන ම අවබෝධ කළ බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ.
භාග්‍යවතුන් වහන්සේ ඉන් අනතුරුව තමන් වහන්සේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදියෙන් සඳහට ම නිදහස්ව අමා නිවන් අවබෝධයෙන් අනතුරුව තමන් වහන්සේගේ උදානය මෙසේ දේශනා කළහ.
“ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි
අකුප්පා මෙ චෙතො විමුත්ති අයමන්තිමා ජාති
අකුප්පා මෙ චෙතො විමුත්ති අයමන්තිමා ජාති
නත්ථිදානි පුනබ්භවොති” “මේ මාගේ අන්තිම උපතයි. දැන් පුනර්භවයක් නැතැයි මට ඤාණ දර්ශනය එනම් සියලු දේ දන්නා වූ සර්වඥතා ඤාණය පහළ විය” යන අදහසයි.
බෝධිසත්වයන් වහන්සේ අනන්ත සංසාර ගමනේ සිය දහස් ගණන් කල්පයන් පසුකොට පාරමී ධර්ම සම්පූර්ණ කළහ. තමන් වහන්සේගේ ආර්ය පර්යේෂණයේ උතුම් ම ඵලය, කුසලය නම් කුමක් දැයි? යනුවෙන් ප්‍රශ්න කරමින් පැමිණ ලබාගත්තා වූ සැනසීම නිවන ලෙස උන්වහන්සේ එසේ දේශනා කළ සේක. උන්වහන්සේගේ ඒ උත්සාහයේ, ප්‍රධන්වීර්යයේ ඵලය ප්‍රකාශ කළ ආකාරය උන්වහන්සේගේ ගමන් මඟ සාරාංශකොට දැක්වීමක් බඳු ය. එනම් ‘මේ මාගේ අන්තිම උපත’ යනුවෙන් දැක්වීමයි. නැවතත් මට ඉපදීමක් නැත. මට සර්වඥතාඤාණය පහළවිය යන අදහසයි. ඔබටත් මටත් නොදැනෙන, නොපෙනෙන අනන්ත සංසාර ගමනේ කෙලෙසුන්ගේ පටන් ලෞකික ලෝකෝත්තර සියලු මඟ භාග්‍යවතුන් වහන්සේ සියල්ල දන්නා වූ සර්වඥතා ඤාණයෙන් දේශනා කළ බව මින් ඉතා ම පැහැදිලියි.
ලෞකික ලෝකයේ වස්තූන්ට තදින් ඇලී, එනම් සිතින් උපාදානයන් කරගෙන නැවතත් සතර අපායත් මුල්කොට ඉපදෙන්නට මඟ සාදාගැනීමයි. එනම් උපත හා සමඟින් දිරාගෙන යෑම, ලෙඩදුක්, මරණය, ශෝක පරිදේව සියලු කෙලෙසුන්ගෙන් පීඩිත වූ දුක්ඛ දෝමනස්සයන්ට උරුමකම් කියන ජීවිතයක යථාර්ථය හෙවත් භයානක වූ ආදීනවය භාග්‍යවතුන් වහන්සේ විසින් සර්වඥතා ඤාණයෙන් දේශනා කළ දහම් පෙළ ඔස්සේ අවබෝධ කරගත යුතුමයි.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන, අවබෝධයෙන් යුතු විශ්වාසයක් ඇති කරගෙන ම මේ ජාති, ජරා, ව්‍යාධි, මරණයෙන් නිදහස්වීම ම දුර්ලභව ලබාගත්තා වූ උතුම් මනුෂ්‍ය ජීවිතයේ උතුම්ම ඵලයයි. එය අප සියලු දෙනා විසින් අවබෝධ කරගත යුතු නොවේ ද?
භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙසේ දේශනා කළ සේක. මහණෙනි, ඒ උතුම් සත්‍යාවබෝධය හෙවත් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවනින් සැනසුණු පසු මට මෙවැනි අදහසක් පහළ වුණි. ඒ මෙසේයි. මා අවබෝධ කළ මෙම ධර්මය ඉතාම ගැඹුරුයි. නුවණින් දැකීමට හා අවබෝධය අපහසුයි. තර්කයෙන් බැස ගත නොහැක්කේ ය. නිපුණයි. පණ්ඩිතයන් විසින් ම දැනගත යුතුයි. මේ ලෝකයේ මේ අශ්‍රැතවත් පෘතග්ජන මනුෂ්‍යයෝ පංචකාම ගුණයෙන් යුක්තව රාගය, ලෝභය, කාමය, රතිය ම ඇසුරු කරමින් සිටින්නෝ ය. ඇලීමෙහි, ඇලී පංචකාම ගුණයෙන් ම සතුටුවෙති. පංචකාම ගුණයන්හි ඇලී සිත සතුටු කරමින් ජීවත්වන මේ මනුෂ්‍යයන් විසින් ‘යම් මේ ඉදප්පච්චයතා’ සංස්කාර ආදීන්ට ප්‍රත්‍ය වූ අවිද්‍යා ආදී යම් වූ ද පටිච්චසමුප්පාදය හෙවත් හේතුඵල ධර්මයක් වේද? එවැනි ගැඹුරු දහම අවබෝධ කර ගැනීමට නුසුදුස්සෝ ය. එය ඔවුන්ට අපහසුයි. සියලු සංස්කාරයන්ගේ සංසිඳීම වූ සියලු කෙලෙසුන්ගේ දුරුවීම වූ ආශාව නැති කිරීම වූ විරාගය හෙවත් නො ඇලීම හෝ නිරෝධය වූ සියල්ලම හටගත්තා සේ ම නැතිවෙනවා යන අවබෝධය වේද? යම් වූ නිවනක් වේද? මේ කාරණය ද, නුවණින් අවබෝධකර ගැනීමට පංචකාම ගුණයන්ගෙන් පිරිපුන් වූ මේ මනුෂ්‍යයන්ට නොහැකියි. මම දහම් දේශනා කරන්නේ නම්, අන්‍යයෝ එය දැන නොගන්නා හු නම් ඒ මට ක්ලාන්තයකි. එනම් මම දහම් දෙසුවත් අන් අයට එය අවබෝධ කර ගන්න බැරි නම් මට වෙහෙසක්වීමයි සිදුවන්නේ.
තථාගත බුදුරජාණන් වහන්සේ නම් මහාකාරුණිකයාණන් වහන්සේයි. තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා වූ ඒ අමා නිවනේ ඇති සැනසිල්ල සියලු ශ්‍රාවකයන්ට දේශනා කළ අයුරුයි. ඒ අවබෝධකරගත් දහම ශ්‍රවණය වන විටත් සිත් සැනසෙන බව ඔබම නුවණින් කල්පනා කරන්න.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ගාථා රත්නයෙහි අදහස මෙයයි. ‘මා විසින් දුක සේ අවබෝධ කරන ලද මේ ධර්මය දැන් ප්‍රකාශ කිරීම තේරුමක් නැත. රාග, ද්වේෂයන්ගෙන් මැඩුණවුන් විසින් මේ ධර්මය අවබෝධ කිරීම පහසු නොවේ.
චතුරාර්ය සත්‍ය ධර්මය කරා යන මෘදු වූ එනමුත් අති ගම්භීර වූ අවබෝධයට අපහසු වූ සියුම් වූ මේ ධර්මය රාගයෙන් රත් වූ මෝහ එකතුවකින් වෙළුනා වූ මේ සත්වයෝ නොදන්නාහ යන අදහසයි. තථාගත බුදුරජාණන් වහන්සේ අනන්ත සංසාර ගමනේ, අනන්ත දුක් විඳිමින් අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයන්ට අවබෝධ කරගත නොහැක්කේ නම් එය අභාග්‍යයකි.
බුදු උතුමකුගේ ලොව පහළවීම මොනතරම් දුර්ලභ ද? එසේ දුර්ලභ වූ බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වී සිටියත් සත්වයන් කාමයෙන් ඇලී ඒ නිසා ම ධර්මය අවබෝධයට නුසුදුස්සන් වන්නේ නම් එයත් මහත් වූ අභාග්‍යයකි.
මේ නිසා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වූ අවස්ථාවෙහි ධර්ම ඤාණය සකසාගත් හේතුඵල සම්පත් ඇති අධිගම හෙවත් මාර්ගඵල අවබෝධයට සුදුසුකම් ඇති සත්වයන් විසින් ඒ පහළ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙතින් දහම් මඟ දැන උතුම් වූ ධර්මාවබෝධය පිණිස වෙහෙසවිය යුතුම ය.
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ දුරුතු අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 16 වන අඟහරුවාදා බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment