Labels

Thursday, February 1, 2018

නුවණැත්තා ධර්මයතුළ අප්‍රමාදී වෙයි ( සීහළවත්ථු කතා ඇසුරෙනි )

පෙර දවසක කෝකානිජ කණ්ඩගිරි නමින් පර්වතයක් තිබුණි. ඒ පර්වතයට ආසන්නව එක් ලෙනක ධුතාංගධාරී අඩු ආශා ඇති, ලද දෙයින් සතුටු වෙන අරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ නමක් වැඩ විසූ සේක.

දිනක් එක් සොරෙක් පනහක් පමණ තවත් සොර පිරිසක් සමඟ මේ පර්වතය අසලින් ගමන් කළහ. ලෙන තුළ සිටි ස්වාමින් වහන්සේ දැක සොර නායකයා මෙසේ අසා සිටියේ ය.

“ස්වාමින් වහන්ස, මේ ලෙනෙහි වැඩ වෙසන ඔබ වහන්සේ දැනට අවුරුදු කීයක සිට මෙහි වැඩ සිටි සේක් ද?”

“ පින්වත, මම දැනට අවුරුදු හයක් පමණ දෙ වැන්නෙක් නො මැතිව භාවනායෝගීව මෙහි වැඩ වාසය කරන්නෙමි”

“භාවනාවේ යෙදෙමින් සය වසක් මුළුල්ලේ ඔබවහන්සේ සුවසේ වැඩ සිටි කාලය තුළ කිසියම් ධ්‍යානයක් හෝ සමාපත්තියක් හෝ අභිඥාවක් හෝ උපදවා ගත්තේ වේ ද?

“මිත්‍රය, මම සමවතක් හෝ ධ්‍යානයක් හෝ වෙනත් විශේෂයක් හෝ නො ලැබූ අයෙකි. නමුත් මා සිල් පිරිසුදුව රකිමි. විවේකයෙහි ඇලුන අයෙක් වෙමි’යි භික්ෂුන් වහන්සේ කීහ.


”ස්වාමිනි, සිල් පමණක් රැක සිටි පමණින් ඔබ වහන්සේට ධර්ම මාර්ගයේ ගමන් කළ නො හැකි ය. රහත්බව ලැබීම පිණිස මේ ඝෝර සසර ගමන තරණය කිරීම පිණිස වහා උත්සාහ කළ මැනව.එසේ නොමැතිවුවහොත් ඔබ වහන්සේට එය මහත් වූ අයහපතක් වනු ඇත.

”මිත්‍රය, ඔබ එසේ පවසනුයේ කිම ද?”

ස්වාමිනි, මම පෙර පැවිදිව සිටි භික්ෂුවකි. මම ද මේ ලෙනහි බොහෝ කලක් විසුවෙමි. භාවනා කොට අභිඥාවෙන් පරතෙරට ගියෙමි. දිවැස ද, දිව්‍ය ශ්‍රවණය ද පිරිසුදු කොට ගත්තෙමි. සෘද්ධිබල ලැබුවෙමි. පෙර විසූ ආත්ම දුටුවෙමි. අනුන්ගේ සිත් දැක ගතිමි. එසේ අභිඥාලාභි වූ මම ඒ බලයන්ට ම ඇලී සිටියෙමි. රහත්ඵලය ලබා ගැනීමට ප්‍රමාද වූයෙමි.

ස්වාමිනි, එක් දිනයක දී සවස් කාලයේ ධ්‍යානයෙන් නැගිට කුටියෙන් නික්ම දොරකොඩ අසලට පැමිණියෙමි. මා දුර බලද්දී අලංකාරයෙන් සැරසුණ එක් ගොපලු දැරියක් දුටුවෙමි. ඇය දුටු සැණින් මා සිතෙහි රාගය ඉපදුණි. ඒ රාග සිතින් මා ගත ගිනි ගත්තේ ය. ඒ රාගය මා මුළාවට පත් කළේය. ඒ රාග සිත නිසා ම මම මහණකම පසෙක තබා ඒ දැරිය සොයමින් ගියෙමි. මම ජීවත්වීමට කිසිදු කර්මාන්තයක් දැන සිටියේ නැත. ඒ නිසාම මම සොරකම් කරන්නට පටන් ගතිමි. මම සොරකමට දක්ෂයෙක් වූයෙමි. පසුව මම තවත් සොරුන් පනස් දෙනෙක් සොයාගෙන ඔවුන්ට නායකයා වූයෙමි. ඒ සොර කණ්ඩායම සමඟ ගොස් ගෙවල් බිඳ සොරකමෙහි යෙදුණේ විය. වැරැදිකාම සේවනයේ යෙදුනේ විය. මා විසින් සිල්පද බිඳ දමමින් බොහෝ පව්කම් සිදු කරන ලදී. එ නිසාම මා අපායේ කටුක දුක් විඳීමට නියමිතව ඇත. කාමයෙන් මත්ව මිනිසුන් තලා පෙලා ධන ධාන්‍ය රැස්කළ නමුත්, කාමයන්හි තෘප්තියක් නම් ලැබුණේ නැත.

ස්වාමිනි, මා විසින් පෙර කළ යම් විශේෂ ගුණයක් ලද්දේ නම් ඒ සියල්ල කාමය නිසා විනාශ විය. ධ්‍යාන, අභිඥා, සමාපත්තිහු හුදෙක් ක්ලේශ සමනය කිරීම පිණිස ම වෙති. නුවණැති ස්වාමිනි, මාගේ කීම අසා ඔබවහන්සේ ධර්ම සංවේගයක් ඇති කරගනු මැනව. සිතේ වසඟයට නො ගිය මැනව, ප්‍රමාදවීමෙන් විනාශ නො වෙනු මැනව. සිතට වසඟයෙන් ප්‍රමාදයට පැමිණි පුද්ගලයා නොයෙක් දුක් අනුභව කරයි. ඔබවහන්සේගේ ආයුෂ ගෙවී යයි. ක්‍රමයෙන් ධර්මය ලෝකයෙන් තුරන් වේ. එබැවින් සංවේගය උපදවා භාවනාවෙහි යෙදෙනු මැනව.

සොරාගේ අවවාද පිළිගත් ඒ ස්වාමින් වහන්සේ වීර්යයෙන් භාවනාවේ යෙදී නොබෝ කලකින් රහත් භාවයට පත්වූහ.

අභිඥාලාභීන්ගේ සිත් පවා කාමයන්ගෙන් අපිරිසුදු වෙති. එනිසා වහ වහා අප්‍රමාද වී ධර්මයේ හැසිරීම නුවණැත්තාගේ ලක්ෂණය බව මෙම කතාවෙන් අපට ලබා දෙන උපදේශය වෙයි.


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍දුරුතු අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 08 වන සඳුදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment