Labels

Friday, February 12, 2016

සිතකට සුවය විවේකයයි


කවුරුන් සමඟ කතා කළත් කියන කතාවක් තමයි විවේකයක්, සහනයක් නැති බව, රැකියා කරන අය වැඩ කටයතු බහුල නිසා ආතතියෙන් පෙළෙනවා. පාසල් දරුවන්ට පාසලට අමතරව අතිරේක පන්ති අමතර බාහිර ක්‍රියාකාරකම් නිසා පරිසරයෙ මිහිරක් විඳගන්න ලැබෙන්න කලාතුරකින්. මව්වරුන්ට පවුලේ හැම දෙනා වෙනුවෙන්ම ඇප කැප වෙනව මිසක් පොතක් පත්තරයක් බලන්නවත් කෝ ඉඩක්.

විවේකය යන වචනය අහන්න ලැබීමත් ලොකු සැනසිල්ලක්. බුදු දහමේ විවේකයට වැදගත් තැනක් ලැබෙනවා. විවේකයෙන් හටගත් පී‍්‍රති සුවය බොදු පිළිවෙත් මගේ, ලෞකික සැප අතර උසස්ම වින්දනයයි.උසස් විවේක සුවය ලැබීමට විධිමත් පිළිවෙළකට සිත, කය, පුහුණු කළ යුතුයි. දහක් වැඩ කරදර මැද ඔබට එවන් පුහුණුවකට ඉඩක් නැහැ. ඒත් ඔබ මොහොතකට හරි හිත සන්සුන් කර ගැනීමට හිතුවොත් එය ඔබේ චරිතයේ ලොකු වෙනසකට හේතු වෙනවා.
ජන සමූහයෙන් ඈත්ව සිටීමත් විවේකයක් (කාය විවේක ) සිතිවිලි හැකිතාක් දුරට බැහැර කරගෙන කාලය ගත කිරීමත් විවේකයක් (චිත්ත විවේක) ඔබට දුකට දොම්නසට වගේම ආස්වාදයට ප්‍රමෝදයට හේතුවන සිතිවිලි බැහැර කරගෙන විසිය හැකිනම් (උපධි විවේක) ඒ තමයි උතුම්ම විවේකය.
විවේකය කියන්නෙ වැඩ කටයුතු නවත්තල පැත්තකට වෙලා නිහඩව සිටීම නොවෙයි. ඒ වගේම මිනිස් වාසයෙන් ඈත් වෙලා වන දහනක ජීවත් වීමත් නොවෙයි. ඔබේ හිත තුළ අතීතයට විහිද ගිය අනාගතය කරා දුවන්න සිතිවිලි වලින් බැහැරව සිටිය හැකිනම් එය එක්තරා දුරකට විවේකය ලැබීමක් කියන්න පුළුවන්. එක්තරා දුරකට කිව්වේ මේ මොහොතෙදී ඔබ මමත්වයෙන් තොර වුණොත් පමණයි නියම විවේකය ලබන්න හැකිවන්නේ.
විවේකය ලැබෙන්නේ සිත එකඟ වූ විට පමණටයි. සිතේ එකඟකම මොන තරම් වටිනවද, එහි තිබෙන අගය වටිනකම කෙනෙකු දන්නව නම් ඔහු දවසෙ ඉඩක් ලද හැමවිටම කරන්නේ හිත එකඟ කරගෙන ඒ තුළින් සුවයක් ලබන එකයි. ඒත් වැඩිදෙනා පුුරුදුවෙලා ඉන්නෙ වැඩක් නොකර ඉන්න වෙලාවට මොනවට හරි දෙයක් ගැන හිතන්න. බසයකින් දුර ගමනක් යනවිටත් ගෙදර පුටුවකට හාන්සි වෙලා සිටින විටත් එහෙමත් නැතිනම් ඇඳේ දිගා වෙලා නින්ද එනතුරු ඒ අතට මේ අතට පෙරළෙමින් සිටින විටත් එක එක දේ කල්පනා කරනව මිසක් මේ උතුම් සැපය විඳින්නෙ නැහැ. දිගින් දිගට හිතන්නේ බොහෝ විට අර්ථවත් දේ නොවෙයි. හෙට දවසෙ කළ යුතු දේ ගැන එහෙම නැතිනම් කුමක් හෝ තමාට තිබෙන ගැටලුවක් ගැන තැන්පත්ව හිතන්නේ කලාතුරකින් කෙනෙකු තමයි. ගැටලුවක් ගැන හිතුවත් හිතන ක්‍රමය වැරැදි නිසා ගැටලු උග්‍ර වෙනවා මිසක් ලිහිල් වෙන්නේ නැහැ.
නිහඬව කල්පනා කරන බොහෝ වෙලාවට හිතට එන්නේ තමන් කැමැති දෙය මිස අකඥමැති දෙය නොවෙයි. ධම්මපදයෙ සඳහන් වන්නේත් හිත නිතරම තමන් කැමැති දේ ගැනම හිතන බවයි. (යත්ථකාම නිපාතිනො) එහෙනම් ඔබ ඉඩක් ලද වෙලාවේ කරන එකම දෙය අහසෙ මාලිගා තැනීම හැර වෙන මොනවද?
පැය දෙක තුනක දිගු ගමනක් බසයෙන් යන ඔබ මොකද කරන්නෙ. කපුටෙකු වගෙ ඒ අත මේ අත බලමින් යනව, එහෙම නැතිනම් ළඟ සිටින තැනැත්තා කතාවට අල්ල ගන්න දඟලනවා. එහෙමත් නැතිනම් නිදා වැටෙනවා. මා ඉහතින් සඳහන් කළ පී‍්‍රති සුවය සඳහා ඔබට යම් උත්සාහයක් කරන්න බැරිද?
ඔබ අසුනෙ හරිබරි ගැහිල හිඳගත්ත නම් දෙනෙත් අඩවන් කර ගන්න. ඔබට ඒ මොහොතම වෙනසක් දැනෙනවා. ඔබේ ඇස්දෙකට ලොකු පහසුවක් දැනෙනවා. කලබලකාරි පරිසරයක හිටියත් හිතට අමුතු සංහිඳියාවක් දැනෙනවා. බලන්න ඔබේ දෙසවනට දැන් දෙනෙත් විවරව තිබෙන විට වගෙ නොවෙයි ඉතාම සියුම් ශබ්ද පවා ඇහෙන හැටි. මිනිසුන් වැඩිපුර ගැවසෙන ඝෝෂාකාරි පරිසරයක ඔබ සිටින විට මොහොතකට නෙතු යුග පියාගෙන නිශ්ශබ්දව සිටින්න පුහුණුවන්න.මුලදී ඔබට රළු අන්දමින් ගොරෝසු අන්දමින් ඇසුණ ශබ්දවල දැනීම මදින් මදව අඩුවෙල යනවා. හැබැයි ඒ එක දවසකින්ම නොවෙයි. දින කිහිපයක් ඔබ මේ පුහුණුව හිතට දෙන්න ඕන. එවිට අවටින් ඇහෙන ඝෝෂාව ශබ්දවල රළු පරළු බව මුලදී වගෙ ඔබේ දෙසවනට කරදර කරන්නේ නැහැ. කොහොම හරි ඔබට යම් තරම් දුරකට සිත එක දෙයකට යොමු කරන්න දැන් පුළුවන්. එය සිත සාර්ථකව පුහුණු කළ යෝගියෙකු ලබන නිහැඬියාවට සම නොවුණත් තරමක් දුරකටවත් ඔබේ සිතේ වෙනසක් ඇතිකරනවා. එක්තරා තරුණයෙකු භාග්‍යවතුන් වහන්සේට අතීත සිද්ධියක් මතක් කරනව“ සමිඳුනි, මා දන්නා එක්තරා තවුසෙක් හිටියා. ඔහු ගහක් මුල හිත එකඟ කරගෙන සිටින විට ඔහු ඉදිරියෙන් කරත්ත පන්සියයක් ගිහින් තියෙනවා. ඔහුට ඒ ගැන මොනම දැනීමක්වත් ඇතිවෙලා නැහැ. හරි පුදුමයි නේද සමිඳුනි..”
“මානවකය, ඒ තරම් පුදුම වෙන්න දෙයක් නැහැ. මම එක්තරා ගම් පියසෙක සිටිද්දි දවසක් තද වරුෂාව අකුණු සැර වැදිල යාබද ඉඩමේ කුඹුරු කරමින් සිටි ගොවියෙකුයි, ගවයින්, රැලකුයි මරණයට පත් වෙලා මට ඒ ගැන කිසිම දැනීමක් තිබුණෙ නැහැ.”
භාග්‍යවතුන් වහන්සේට සම කළ හැකි උතුම් එකඟකමක් අපට ලබන්න බැරි බව හැබෑව, ඒත් අප ඒ මග අනුව යමින් උතුම් සුවය ලබන්න හිතනව නම් අපටත් යම් තරම් දුරකට සහනයක් ලබන්න පුළුවන්.

පළමු පියවරේදී ඉහළින් එකඟ බව බලාපොරොත්තු වෙන්න එපා. මෙහිදී ඔබට ලැබෙන්නේ දොරවල් හයෙන් එක දොරක් වසාගැනීමෙන් ඇතිවන සහනය පමණයි. නෙතු සඟල වසාගත්තම තව තියෙන්නේ දෙසවන, නාසය, මුඛය, ශරීරය වගේම මනස විතරයි. දෙනෙත වැසුනවිට අනෙක් ඉඳුරන්ගෙන් සංවේදීබව වැඩියි. ඔබට මේ සරළ පුහුණුවෙන්ම යම් සුවයක් අත්විඳීන්න හැකිවුණා. එහෙමනම් ඔබ මෙය තව ඉදිරියට ගෙන යන්න. කලින් සඳහන් කළා වගේ දැන් ඔබට තදින් දැනෙන්නෙ දෙසවනටයි. පිටතින් එන ශබ්ද බැහැර කිරීමට නැතිනම් ඒ පිළිබඳ සංවේදී නොවීමට ඔබ කළ යුත්තේ ඔබේ සිත සුදුසු තැනක තැබීමයි. සිත සුදුසු තැනක තැබීම දැන් අප කතා කළ විදිහට කලබලකාරී පරිසරයක් තුළ හිතන තරම් පහසු නැහැ. භාවනාවට උපදෙස් දෙන විට ඇතැම් උපදේශකවරුන් විවිධ ක්‍රම උපායන් ගැන කියාදෙනවා. ඒ හැම ක්‍රමයකින්ම බලාපොරොත්තුවන්නේ සිත එකඟකර ගැනීමයි. ඒත් ඔබ සිටින පරිසරය අනුව ඊට ගැළපෙන පහසු ක්‍රමයක් ඔබ තෝරා ගතයුතුයි. ඔබ සිටින්නේ කන්තෝරුවෙ නම් වැඩ කටයුතු ගොඩගැහිල අවුල් මානසිකත්වයෙන් නම් මනස සමඟ සටනට යන්න එපා. අවුල් මනසින් වැඩට අතගහන්නත් එපා. ඒ වෙනුවට පුටුවෙ හිඳගෙන මිනිත්තු කිහිපයක් නෙතු යුග වසාගෙන නිහඬව ඉන්න. නිහඬබවට ඇහුන් කන් දෙන්න.අතීතය අනාගතය ගැන හිතන්නේ නැතිව මේ මොහොත ගැන හිතන්න. ඔබේම රුව අරමුණු කරගන්න. ඔබේ සිරුර දිහා හිතින් බලාගෙන ඉන්න.







කඩවත සමාධි මැදුරේ 
පයාගල නන්ද හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජනවාරි 23 වන සෙනසුරාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment