Labels

Friday, February 12, 2016

මනසේ ඇති වරද හදා ගැනීම


දැන් අම්මා සිහි කරන්න පුළුවන් හැකියාව හිතේ තියෙන හැකියාව අම්මා කියලා සිහිකරන විටම වේගයෙන් එයා දුක පිරිසිඳ දකිනවා. මම අම්මා සිහි කරලා බලන්න කියලා ගියොත් ඇත්තටම එතන වෙන්නේ සතිපට්ඨානයට නුවණයි කන, බොන ආහාරයෙන් සැදුණු කෙස්, ලොම්, නිය, දත්, ආදී කුණුප කොටස්වලින් පිහිටලා තියෙන තැනක වර්ණ සටහන , චිත්‍රය ඇස් ඉදිරිපිටට එනවිටම , මේ දැන් තියෙන ගතිය මනසෙ සිහි වෙනවා නේද? දැන් එයාට යන්න පෙර සිටම නුවණයි, ගියවිට මට අම්මා හම්බවෙනවා නොවෙයි. අනාත්ම වූ ස්කන්ධ ටික ඇස් ඉදිරිපිටට එනවිට මේ ආත්ම සංඥාව සිහිකරගන්නවා නේද කියලා ඇත්ත ඇති සැටියෙන් දකිනවා
මෙහෙ ඉඳලා ඉන්න කෙනෙක් ගැන සිතලා දුක් විඳින්න තරම් මෝඩ නැහැ. මගේ මනසෙයි මේ හැඟීම තියෙන්නේ. එහෙමනම් ඊයේ මම අම්මා දැක්කා කියන තැනට ගියොත් එහෙමනම් ඊයේ ද තිබිලා තියෙන්නේ ඕකම නේද අනාත්ම වූ කෙස්, ලොම්, නිය, දත් , සම්, මස් කියන කුණුප කොටස් ටිකක් තියෙන තැනක පිහිටි වර්ණ සටහනක් ඇස් ඉදිරිපිටට එනකොටම මේ මගෙ අම්මා කියන හැඟීම් ටික ප්‍රපංච ටික ආදරය සෙනෙහස කියන ගති ටික මනසේ ඉපදිලා නේද කියලා සිහි ගන්වනවා.

මම පැයක් භාවනා කළා කිව්වේ උපදින , උපදින විතර්ක ටික මේ විදිහට දෙපැත්තට තිය තියා විදර්ශනා කළ නිසා, මම නැගිටින විටම මට මේ නුවණ පිහිටනවා. ගෙදර අම්මා කියලා සිහිවෙන විටම මට මේ සරණ එනවා. මම භාවනා කරනවා කියලා එකතැනක ඉඳගෙන මනසේ උපදින උපදින විතර්කයන්ට දෙපැත්තට පෙන්න පෙන්නා හිටියේ. භාවනා කරනවා කියලා මම මේ සිතිවිලිවල මුකුත් කළේ නැහැ. “නුඹ කෙනෙක් සිහිකරද්දී බලපන්කො ඇත්ත” කියලා දෙපැත්ත පෙන්නන එක තමයි කර කර සිටියේ. සති නිමිත්තේ හිටියෙත්, භාවනාවෙන් නැඟිටිනවිට පසුවත් සිහිවෙන විට අර භාවනා කරපු නුවණමයි. එයාගේ මනසට පිහිටලා තියෙන්නේ කොහොමද මම බලන්න යන්නේ.

එතකොට මෙහෙම ඇත්තක් නේ පෙනෙන්නේ කියන තැනකින් දකිනවා. මෙහෙම කාලයක් කරන්න බාහිරව ඉන්නවා තියෙනවා, ඉන්නවා තියෙනවා කියන එක වෙනුවට විශාල වෙනසක් එයි. මේ ආයතන සියල්ල ශූණ්‍යතාවයක් පෙනෙයි. සත්ත්ව, පුද්ගල ආත්මභාවයන් ශූණ්‍යයයි. තමන්ගේ මනස තුළ රාග, ද්වේශ, මෝහ කියන නිමිති ටිකක් ඇතිවෙලා කියන එක පෙනෙයි. එහෙමනම් මම කොහොමද බාහිර ඉන්න පුද්ගලයෙක්, කෙනෙක් ගැන සිතන්නේ කියන එක තමන් තමන්ගෙන්ම අහන තැන දක්වාම ප්‍රශ්න කරන තැන දක්වාම අරගෙන යනවා. ගඩොල්, වැලි, සිමෙන්ති දිහා බලාගෙන මව් මළ දුක් විඳින්න තරම් මම මෝඩද? ගඩොල්, වැලි, සිමෙන්තියෙන් හැදුණු බිත්තිය ඇසුරු කරගෙන තියෙන චිත්‍රය දිහා බලාගෙන මව් ලෙඩ වූ දුක විඳින්න තරම් මම මෝඩද, ඕකට සමානයි එහෙමනම් කුණුප කොටස් ටිකක් ඇසුරු කරගෙන ගඩොල්, වැලි, සිමෙන්තියෙන් තියෙන වර්ණ සටහන දිහා බලාගෙන මව් මළ දුක විඳින්න තරම් මෝඩද? පියා මළ දුක විඳින්න තරම් මම මෝඩද? කියලා උත්තරයක් එයි. මේකට කියන්නේ යෝනිසෝමනසිකාරය කියලයි. ඔහොම කරන විට කරනවිට බාහිරෙන් ඉන්නවා තියෙනවා කියන හැගීම් ටික ටික අඩුවෙනවා. අඩුවෙන්න අඩුවෙන්න මෙහි සිතිවිලිත් තොරතෝංචියක් නැතිව කෙළවරක් නැතිව එකිනෙකා ගැන සිහිවෙමින් සහිකරමින් උපදින මෙන්න මේ මනසේ ගතිය ටික ටික අඩුවෙනවා. මේක අඩුවෙන්න අඩුවෙන්න දුක හොඳට පිරිසිඳ දකිනවා. දුක පිරිසිඳ දකින්න දකින්න සමුදය දුරු වෙනවා. මේ විදිහට කරද්දී මේ සිතෙනකම තමන් තුළම සන්සිඳීමට පත්වෙනවා. සිත , කය දෙක පිනවාගිය අතිශය ප්‍රමෝධමත් තැනකට එනවා. අනේ අවිද්‍යාව නමැති කෝෂයෙන් එළියට එන්න පුළුවන් වුණා නේද කියලා එයා දකිනවා මේ මුලුලෝකයම අවිද්‍යාව තුළ නේද ඉන්නේ? තමන්ගේ මනස තුළ කෙනෙක්ව සිහිකරගන්නවා මේක හිතේ පවතින සමුදය සත්‍යය. රාග, ද්වේශ, මෝහ කෙලෙස් ගුලිය කියලා පෙන්වන්නේ නැහැ.

ආයෙත් දුකෙඛ ඤාණං දුක් වූ ස්කන්ධ ටික පිරිසිඳ නොදන්නකම නිසා මේ කෙලෙස් ගුලිය මතුකර ගන්නවා. සමුදය සත්‍යය ඇති කරගන්නවා. නැවත සමුදය සත්‍ය උදව්කරගෙන දුක් වු ස්කන්ධ ටික හදා ගන්නවා. දුක් වූ ස්කන්ධ ටික පිරිසිඳ නොදන්නාකම නිසා සමුදය හදා ගන්නවා. මේ සමුදය සත්‍යයෙන් නැවත දුක්වූ ස්කන්ධ ටික හදාගන්නවා මේ චක්‍රය කෙළවරක් නැහැ. ලෝකය කියන්නේ දුක්ඛ සත්‍යයටයි. සමුදය සත්‍යයටයි නේද කියලා පෙනෙයි. අම්මා කියලා මට සිතෙන ටික සමුදය සත්‍යයයි. මෙය කුමකට උපකාරද? බලන්න යනවා කියලා කරන්නේ සිතේ තියෙන මේ නාම ධර්ම අරමුණු කරලා සිත මේ කයට අරමුණු කරලා ආයතන ටික හදාගන්න එක. ආයතන ටික හදාගනිද්දී අම්මා දැක්කා නෙමෙයි. අනාත්ම වූ ආයතන ටික නැවත හැදෙනවා. හැදෙන විටම දුක පිරිසිඳ නොදන්නා නිසා ආයතන ඉදිරියට ආපු මේ හම්බ වූ ආයතනයන්ගේ ඇත්ත නොදකින විටම ආයෙත් මේ කෙලෙස් ගුලිය ප්‍රපංච ටික මනසේ යෙදෙනෙවා. ආයෙත් දුක පිරිසිඳ නොදන්නාකම නිසා, සමුදය සත්‍යය.
 ආයෙත් සමුදය නිසා මොකද වෙන්නේ? තණ්හාව නිසා දුක හටගන්නවා කියලා කියන්නේ මේ කෙලෙස් මුල්කරගෙන ආයෙත් ස්කන්ධ ටික හදාගන්නවා. ආයෙත් ස්කන්ධ ටික පිරිසිඳ නොදන්නාකම නිසා ඒ කියන්නේ අම්මා කියන හැඟීම මුල් කාරණාව වෙන්නේ කුමටද මට? ආයෙත් බලන්න යනවා කියලා කියන්නේ. ඇහැ සාදාගන්න රූපය සාදාගන්න. චක්ඛු විඤ්ඤාණය උපදවා ගන්නයි උදව්වෙලා තියෙන්නේ . දුක්වූ ස්කන්ධ ටික හදාගන්න . ඔන්න බලන්න ගියා කියන්නේ ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය උපන්නා. අනේ පෙනෙනවා කියන්නේ මෙතන මහා භූත සහ වර්ණ සටහනක් තියෙන තැනක් නේද? එහෙනම් මේ කෙලෙස් ටික මනසේ නේද ඇතිවෙලා තියෙන්නේ කියලා දුකයි සමුදයයි දෙක ආයෙත් තේරුම් ගන්නේ නැහැ. ඒ නොදන්නාකම නිසා ඒ දුක් වූ ස්කන්ධ ටික නොදන්නාකම නිසා ආයෙත් මේ අම්මා එක්කයි කතා කරන්නේ. කියලා හැඟීම මට ආයෙත් මනසෙ උපදිනවා. ඔන්න අවිද්‍යාව නිසා ආයෙත් ක්ලේෂය, ආයෙත් කෙලෙස්ටික කුමක් පිණිසද තියෙන්නේ? ඊළඟ දවසෙත් අම්මා බලන්න පුළුවන්කම ආයතන ටික හදන්න. මේක නෙවෙයි ද මුලු ලෝකයම කරන්නේ කියලා බලන්න. අවිද්‍යාව නිසායි ආශ්‍රව, එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් පෙර ආයතන ටික පිරිසිඳ නොදැක්ක නිසා දැන් මට අම්මා තාත්තා කියලා සිහිකර ගන්න පුළුවන්කම ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ තණ්හාව නැති කළොත් මේ තණ්හාව තියෙන නිමිත්ත අද මම නැති කළොත් දුක පිරිසිඳ දැකලා තණ්හාව දුරු කළොත් නැවත දුක් වූ ස්කන්ධ ටික හදන්න යන්නේ නැහැ.

ඒ කියන්නේ අම්මා කියලා සිහිවෙද්දීම මම සිහිපත්කරගන්නවා මෙතන තියෙන සැබෑම ඇත්ත කුමක්ද? මම අම්මා කියලා සිහිකර ගනිද්දිත් එතන තියෙන්නේ අනාත්ම වූ සත්ව, පුද්ගල, නොවන, මහා භූත සහ උපාදාන රූපයන් නේද? බලන්න කියලා ගියහමත් අනාත්ම වූ සත්ත්ව, පුද්ගල නොවන මහා භූත රූපයක් ඇස් හමුවට එයි නේද කියලා බලන්න. මෙහෙම දෙපැත්තට හැම වෙලාවෙම මේ මනසෙ ඇති නිමිත්ත අයින් කරන්න. දෙපැත්තට භවය විදර්ශනා කරන්න ඕන. ඒ කියන්නේ පුබ්බන්තෙ ඤාණයට , අපරන්තෙ ඤාණයට , පුබ්බන්තාපරන්තෙ ඤාණයට යන්න මේ නිමිත්ත ඇතිවෙන්න හේතුව පෙර පැත්තට ගන්න. මෙහෙම මට නිමිත්තේ හදාගන්න පුළුවන්කම මනසෙ තිබුණට මේ නිමිත්ත හදාගන්න තැන සැබැම ඇත්ත බලන්න. ඒ හම්බ වූ ඇසේ ඇත්ත බලන්න. ඒ රූපයේ ඇත්ත බලන්න, ඒ දෙන්න නිසා එහෙමනම් මේ ගතියයි එදත් සිහිවෙලා තියෙන්නේ. මේ ගතියම කියන එක පුබ්බන්තෙ ඤාණය බලන්න යන පැත්ත මම සිහිකරගන්න කියලා ගිය විටත් මෙහෙම ඇත්තක් කියලා ගිය විටත් මෙහෙම ඇත්තක් හම්බවෙනවිට මේ ගතියම සිහිකරයි කියන ටික අපරන්තෙ ඤාණය. ඔය ටික විතරක් උඩට යටට පෙරළ පෙරළා ඉන්න. මුකුත්ම ඕන නැහැ. මහා ගැඹුරු දහම් කරුණු පෙනෙන දේ අල්ලන්න බැහැ. අල්ලන දේ පෙනෙන්නේ නෑ වගේ මේ මුකුත් මහා ගැඹුරකට ඕන නැහැ. හැබැයි, ඔය කරන දේ තුළ දක්ෂයෙක් වෙන්න. යම්තාක් මහ මුහුද අනුක්‍රමයෙන් අනුපූර්ව ටිකෙන් ටික ගැඹුරු වෙලා තියෙනවා වගේ මේ සද්ධර්මයේ මහා විශාල ගැඹුරක් තියෙයි. අනුක්‍රමයෙන් මේ පින්වතුන්ව අරගෙන යයි.

ඉතිං, මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුණ නිසා , අවබෝධ කර නොගැනීම නිසායි අප මේ සසරෙ හැමදාම ඇවිද්දේ. දුක වින්ඳේ කියලා පෙන්නුවේ. අපේ මනසේ ඇති වැරැද්ද හදාගන්න හම්බ වුණේ නැහැ කියන එකයි.
බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වුණත් නැතත් ලෝකයේ සැමදාම පැවතුන, පවතින ඇත්තක් තමයි අපේ ඇස් ඉදිරිපිටට ආවේ.




ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ 
කම්මට්ඨානාචාර්ය
මාන්කඩවල සුදස්සන හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජනවාරි 23 වන සෙනසුරාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment