අප නිතර ම බුදුරජාණන් වහන්සේගේ ‘අනන්ත ගුණ’ ගැන කියනවා. අපේ පැරණි පොතපතේ බුදුරජාණන් වහන්සේ ගැන කියන්නට බුදුගුණ කියැවෙන විවිධ නම් විශේෂ බුදුරජාණන් වහන්සේ කියන මේ වචනයට මුලින් යොදා තිබෙනවා. ඒ විතරක් නොවෙයි අනිත් අය බුදුගුණ ගැන කියනවා අහලත් තියෙනවා.එහි අදහස තමා බුදුගුණ අනන්ත බව.
මේ කරුණ මෙහෙම කී විට කාටත් තේරෙනවා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ විසූ කාලයෙහි එක් එක් අයට බුදුරජාණන් වහන්සේ ඇසුරු කළාම උන්වහන්සේගේ ගුණ අත්දැකීමෙන් තේරුම් ගොස් තිබෙන බව. මේ නිසා විශාලා නුවර වාසය කළ උග්‍ර නම් ගෘහපති පුත්‍රයා බුදුරජාණන් වහන්සේ පිළිබඳ අත්දැකීමෙන් අවබෝධ කර ගත් අසිරිමත් කරුණු අට අද දවස් අපේ විමසුමට ලක් කිරීම සුදුසුයි කියලා මම කල්පනා කරනවා. ඒ තුළින් අපේ සිතේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඇති ශ්‍රද්ධාව තව තවත් වූ දියුණු කර බලවත් පැහැදීමක් වැඩිදියුණු කර ගැනීමට හැකිවෙනවා ඇති. මෙහිදී උග්‍ර බුදුරජාණන් වහන්සේ පිළිබඳ ලබපු පළමු අත්දැකීම වූයේ ඔහු “යම් දවසක බුදුරජාණන් වහන්සේ පළමුවෙන් ම ඈත තියා ම දුටුවේ නම් ඒ දකිනවාත් සමඟ ම ඔහුගේ සිත මහත් වූ ප්‍රසාදයකට පත්වීමයි.” ඒ කුමක් නිසා දැයි අප විමසිය යුතුව පවතිනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය නිසා ම නොවන බව අප තේරුම් ගත යුතුයි. එහිදී “මේ බුදුවරයෙක් ද? එසේ නොවන්නේ ද? කියා මේ උග්‍රට සැකයක් ඇති වී නැහැ. එහිදී දුටු පමණින් ම උග්‍රට උන්වහන්සේගේ බුද්ධත්වය පිළිබඳ සැකයක් ඇති නො වූයේ පෙනුමෙන් ම බුදුවරයෙකු පිළිබඳ තිබෙන අව්‍යාජ ස්වභාවයත්, උග්‍රගේ බුද්ධිමත්, භාවයත්, ශ්‍රද්ධාදී කුසල් සිතිවිලිවල බලවත්භාවයත් හේතු වී ඇති බව පෙනෙනවා. මරණ මඤ්චක අවස්ථාවට පත් වී සිටි මට්ටකුණ්ඩලී තරුණයාටත් මේ තත්ත්වමයි බලපා තිබුණේ. එදා ඔහු බුදුරජාණන් වහන්සේ දුටු පමණින් ඇති කර ගත් සිතේ ප්‍රසාදය නිසා ඒ අවස්ථාවේ දී ම මිය පරලොව ගොස් දිව්‍ය ලෝකයෙහි මට්ටකුණ්ඩලී නම් දිව්‍ය පුත්‍රයාව පහළ වූ බව කියැවෙනවා. එහෙම වුණත් මේ තත්ත්වය දේවදත්ත වැනි අය හා සසඳන විට හාත්පසින් ම වෙනස් වෙනවා. නිතර බුදුරජාණන් වහන්සේ සමඟ එකම විහාරයෙහි වාසය කළත් දේවදත්ත එක ම බුදු ගුණයක අංශුමාත්‍රයක් පමණ කුදු තේරුම් ගත නොහැකි ව අන්තිමට මරණින් පසු අවීචි උපන්නා. ඒ දේවදත්තගේ සිතේ පැවැති බලවත් අකුසල සිතිවිලිවල තරම නිසයි.
මෙසේ පළමුවෙන් ම ඈත තියාම දුටු පමණින් බුදුරජාණන් වහන්සේ පිළිබඳ බලවත් ව පැහැදුණු උග්‍ර ඊළඟට කල්පනා කළේ උන්වහන්සේ මහත් වූ පැහැදීමකින් යුතුව ඇසුරු කිරීමයි. එයින් උග්‍රට මහත් වූ ප්‍රතිලාභයක් ලැබුණා. ඒ කුමක්ද කියනවා නම් උන්වහන්සේ සමඟ මොහොතකුදු කාලය ගත කරන්නට ලැබෙනවා නම් ඒ කාලය ප්‍රයෝජනවත්ව ගෙවී යන නිසයි. උන්වහන්සේ උග්‍ර සමඟ කතා කරන්නේ මොනවාද? දාන කතාවෙන් ආරම්භ කරලා අනුපිළිවෙලින් සීලකතා, සග්ගකථා, කාමයන්ගේ ආදීනව, කිළිටි බව, කෙලෙස්වලින් ඉවත්වීමේ ආනිසංස, චතුස්සත්‍යාවබෝධය දක්වා වූ බුදුවරයන් වහන්සේලා විසින් ම අවබෝධ කර ගත් සාමුක්කංසික දේශනාවයි. මේ කල්‍යාණ මිත්‍රශීලී කතාබහ අවසානයේ දී උග්‍රට ලැබුණු මහත් වූ ප්‍රතිලාභයක් වූවා. ඒක තමා උග්‍ර ධර්මාවබෝධය නම් වූ සෝවාන් ඵලයෙහි පිහිටීම. එය උග්‍ර ලද මහත් වූ ආර්ය ලාභයක් ම වුණා. ඒ නිසා ම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන කෙලෙස් වලින් සපුරා ඉවත් වීමේ භාග්‍යය උදා කරගත්තා. ඒ හේතුවෙන් ම උග්‍ර බ්‍රහ්මචර්යාව පස්වැනි කොට ඇති සීලය අනුගමනය කිරීමත් ආරම්භ කළා.
මෙසේ බඹසර පස්වැනි කොට ඇති පංචමක සීල අනුගමනය කිරීමේ උග්‍රගේ පිළිවෙත නිසා ඒ වෙනවිටත් උග්‍ර විසින් සරණ පාවාගෙන හිටි තරුණ භාර්යාවන් සතර දෙනම කැඳවා උග්‍ර කියා සිටියා. “මම බඹසර පස්වැනි කොට ඇති පංචමක සීලය සමාදන් ව සිටින නිසා කිසියම් ම භාර්යාවක් මා සමඟ මෙම බඹසර රැකීමේ පිළිවෙත අනුව ජීවත් වීමට කැමැති නම් ඒ අයට කෑම බීම, ඉඳුම් හිටුම් ඇතිව ජීවත් වීමේ ගැටලුවක් නැහැ. එසේ නැතිව තමන්ගේ ගෙදරට යාමට හෝ වෙනත් පුරුෂයෙකු සමඟ යාමට කැමති නම් එසේ සරණ පාවා දීමට ද මම කැමැති යි කියා. එසේ කී පසු එයින් ජ්‍යෙෂ්ඨ භාර්යාව වෙනත් පුරුෂයෙකුගේ අත ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළා. උග්‍ර අත පැන් වත් කර එම පුරුෂයාට ඇය සරණ පාවා දුන්නා. ඒ අවස්ථාවෙහි උග්‍රගේ සිතෙහි දුකක් දොම්නසක් හෝ කිසිදු වෙනස් කෙලෙස් සිතිවිල්ලක් ඇති වී නැහැ. මෙය ද බුදුරජාණන් වහන්සේ පිළිබඳ අසිරිමත් කරුණක් ලෙසයි උග්‍ර පෙන්වා දෙන්නේ. මෙවැනි නිකෙලෙස් සිතක් උග්‍රට පහළ වීමයි මේ අසිරිමත් බව.
ඊළඟ අසිරිමත් කරුණ වූයේ උග්‍රයේ නිවසේ බොහෝ භවගෝභ සම්පත් තිබුණා. සියල්ල සීලවන්ත කල්‍යාණ මිත්‍රයන්ට පරිත්‍යාග කිරීමේ දී ‘මේ මේ කොටස් දෙනවා, මේ භෝගය දෙන්නේ මේ අසවල් අයටයි. මේ කොටස අහවල් අයට, මේ කොටස මට තියා ගන්නවායි කියා බෙදා වෙන් කොට විශේෂ වශයෙන් දෙන්නේ නැහැ. ඒ සියල්ල ම වුවත් භේදයක් නැතිව දන්දීමේ පරිත්‍යාග සිතිවිල්ල බලවත් වූ බවයි එයින් පෙනී යන්නේ. මෙයත් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බව පිළිබඳ කරුණක් ලෙසයි ප්‍රකාශ වන්නේ.
එමෙන්ම බුදුරජාණන් වහන්සේ පිළිබඳ යම් අයෙක් පැහැදීමකින් ක්‍රියා කරනවා නම් ඒ අය කිසියම් ම භික්ෂුවක් ඇසුරු කොට බොහොම ළඟින් ම ඒ භික්ෂුව ඇසුරු කරනවා. එනම් ඒ භික්ෂුවගේ කුදුමහත් කටයුතු සිදු කර දෙනවා. සියලු ඇප උපස්ථාන කරනවා. කැමැත්තෙන් ම කරනවා. කිසිවක් සිතාමතා මග හරින්නේ නැහැ. ආවාට ගියාට ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ චේතනාවක් ඇති කර ගන්නේ නැහැ. ඒ පමණකුත් නොවෙයි ඒ සියලු ඇප උපස්ථාන කටයුතු බොහොම සැලකිල්ලක් දක්වලා ම කර දෙනවා. මෙයත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ පස්වැනි අසිරිමත් කරුණ ලෙසයි ප්‍රකාශ වන්නේ.
බුදුරජාණන් වහන්සේ පිළිබඳ සයවැනි අසිරිමත් කරුණ ලෙස ප්‍රකාශ වන්නේ සුවිශේෂ වූවක්. එනම් යම් කල්‍යාණ මිත්‍ර භික්ෂුවක් විසින් හෝ වෙනත් එබඳු සත්පුරුෂයෙකු විසින් තමන්ට යම් දහමක් දේශනා කරනවා නම් මහත් වූ ශ්‍රද්ධාවෙන් මනාව ඒ දහම ශ්‍රවණය කරනවා. කිසිම අවස්ථාවක එය පැහැර හරින්නේ නැහැ. ඒ අය තමන්ට ලාභයක් ලබා දුන් අය ලෙසයි දකින්නේ. ඒ විතරක් නොවෙයි එවැනි කල්‍යාණ මිත්‍රයෙකු විසින් තමන්ට යම් ධර්මයක්, කළගුණයක් ප්‍රකාශ නොකරන අවස්ථාවක් වුවහොත් ඒ කාලය ප්‍රයෝජනයට ගෙන තමන් විසින් තමන් දන්නා ප්‍රයෝජනවත් දහමක් ඒ අයට ප්‍රකාශ කරන බවයි. මෙහිදී දක්වා තිබෙන්නේ, මෙහි දී අදහස් කර තිබෙන්නේ කල්‍යාණ මිත්‍රයන් හමු වූ විට ඔවුනොවුන්ගේ කාලය ප්‍රයෝජනවත්ව ගත කරන ආකාරයයි.
එමෙන් ම සමහර අවස්ථාවල දී බුදුරජාණන් වහන්සේ ඇතැම් දෙවිදේවතාවරුන් හමු වීමෙන් පසු උන්වහන්සේ හොඳින් ඔවුන්ට ධර්මය දේශනා කරනවා. ඔවුන් බුදුරජාණන් වහන්සේගේ දහම් දෙසුමට සවන් දීලා එයට පැහැදෙනවා. පැහැදිලා ඒ බව උග්‍රට කියනවා. “බුදුරජාණන් වහන්සේ අපට දහම් දේශනා කළා. අපේ හිතේ ලොකු පැහැදීමක් ඇති වුණා.” කියා. එවිට උග්‍ර කියා සිටින්නේ ‘එය මට පුදුමයක් නොවේ. බුදුරජාණන් වහන්සේ මනාකොට ධර්මය දේශනා කළා කීවත්, එසේ නො කීවත් මම ඒ කීම් දෙකෙහි ම වෙනසක් අපූරු බවක් දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා සම්බන්ධයෙන් මට කිසිවෙක් හඳුන්වා දිය යුතු වන්නේ නැහැ. ඒක එහෙම ම තමා. උන්වහන්සේ මනා කොට දේශනා කරනවාමයි. ඒ විතරකුත් නොවෙයි දෙවිවරු මා හමු වෙන්නට එනවා. දෙවිවරු මා සමඟ කතාබස් කරනවා කියා මට මගේ සිතේ මහත් ආඩම්බරයක් දැනෙනවා කියා මගේ අමුතු උසස් බවක් ඇති වන්නේ නැහැ. කිසිවිටෙකත් මට එහෙම දැනෙන්නේ නැහැ. මෙය හත්වැනි අසිරිමත් කරුණ ලෙසයි ප්‍රකාශ වන්නේ.
මී ළඟට බුදුරජාණන් වහන්සේ පිළිබඳ අටවැනි අසිරිමත් කාරණයක් ලෙස උග්‍ර විසින් ප්‍රකාශ කරනවා. උන්වහන්සේ සසර සත්වයාගේ හිත සුව පිණිස බැහැර කළ යුතු කිසියම් ඔරම්භාගිය සංයෝජන කරුණු පෙන්වා දුන් සේක්වී නම් ඒ සියල්ල අඩුවක් නැතිව තමන් විසින් ප්‍රහීණ කරන ලද බව. ඉතින් උග්‍ර ගහපති විසින් මේ දකින බුදුරජාණන් වහන්සේ පිළිබඳ අසිරිමත් හා අද්භූත කරුණු අට ම උන්වහන්සේ පිළිබඳ අව්‍යාජ පැහැදීමක් ඇති කර ගන්නා ඕනෑම අයෙකුට සාධාරණව ලැබෙන ප්‍රතිලාභ ලෙස යි අපේ සිහියට නඟා ගත යුතු වන්නේ. එසේ නම් මේ අව්‍යාජ දැක්මයි ඉතා බරපතළ කරුණ ලෙස පෙනී යන්නේ. අපිත් ඒ බුදුගුණ මෙනෙහි කර සිත පිරිසුදු කර ගනිමු.
රාජමහා විහාරාධිපති මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ පෙබරවාරි 22 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment