Labels

Thursday, February 11, 2016

යොනිසො මනසිකාර යනු කුමක්ද?


පෘථග්ජන මිනිසුන්ගේ සිත් තුළ විවිධාකාරයෙන් සැක මතුවීම ස්වභාවයකි. සැකයක් මතුවන්නේ යම් දෙයක් පිළිබඳව නිවැරැදිව හා නිශ්චිතව අවබෝධ කර ගැනීමට නොහැකි වූ විටදීය. ඒ සඳහා සිතීමෙන් විමසීමෙන් සැකය පහව යන තෙක් නැවත නැවත විමර්ශනයක යෙදීම අත්‍යවශ්‍යය. එනිසා සැක කිරීම, ප්‍රශ්න කිරීම් පාපයක් ලෙස බුදුදහම නොදකියි. නොදැනුවත්කම් වලින් පිරුණූ මනස තුළ වැරදි මිථ්‍යා ආකල්ප පැළපදියම් වීමද ස්වභාවයකි. එසේ නොවන්නට නුවණින් සහ සිහියෙන් තතු විමසා දැනගත යුතුය.

බුදුන් වහන්සේ වදාළ ධර්මය පරිපූර්ණ ඥාන මාර්ගයකි. සිතීමෙන් හා විමසීමෙන් තොරව හුදු විශ්වාසයෙන් පමණක් අනුගමනය කළ යුතු ඉගැන්වීමක් නොවන බුද්ධ දේශනාව සියලු තැන සියල්ලන්ටම (විවෘතව) පවතින සර්වව්‍යාපී ඉගැන්වීමකි. මිනිස් මනසට මුල් තැන දෙමින් අන්ධ විශ්වාසයනට මං අහුරා ඇති තථාගත දේශනය ,ප්‍රඥාව හා වීය¸ය පදනම් කරගත් මනා සිහියෙන් අනුගමනය කළ යුතු ඍජු ජීවන මාර්ගයක් සහ විමුක්ති මාර්ගයක් වශයෙන්ද හඳුන්වා දිය හැකිය. “පඤ්ඤාවන්තස්සායං ධර්‍මමා නායං ධම්මා දුප්පඤ්ඤස්ස යන බුද්ධ වචනයට අනුව තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම සිතීමේ හා විමසීමේ හැකියාවෙන් යුත් ඥානගවේෂී ප්‍රඥාවන්තයන්ටය.අන්ධ විශ්වාසයන් සහ දෘෂ්ටින් තුළ හිර වූ ආවෘත මනසක් ඇති අනුවණයන්ට එම ඉගැන්වීම විෂය නොවේ.
යොනිසො මනසිකාරය හෙවත් නුවණින් මෙනෙහි කිරීම බුදු දහමේ එන උසස් සංකල්පයකි. පුද්ගලයෙකුගේ සන්තානයෙහි සැඟවී ඇති ආධ්‍යාත්ම බලය ඉස්මතු කරගැනීමෙහිලා උපනිශ්‍රය වන යොනිසො මනසිකාරය පංච නීවරණ ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස අත්‍යවශ්‍ය ධර්ම කාරණයක් බව අංගුත්තර නිකායේ එකක නිපාතයෙහි සඳහන් වේ. කාමච්ඡන්ද ,ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච ,කුක්කුච්ච, විචිකිච්ඡා යන නීවරණ ධර්මයෝ ප්‍රඥාලෝකය මුවහ කරන ධර්මයෝය. ඒ අතුරින් ප්‍රධාන සංයෝජනයක් වන විචිකිච්ඡාව දුරලීම පිණිස කටයුතු කිරීම සත්‍යාවබෝධය පිණිස අනිවාර්යය වූවකි.

පෘථග්ජන මිනිසුන්ගේ සිත් තුළ විවිධාකාරයෙන් සැක මතුවීම ස්වභාවයකි. සැකයක් මතුවන්නේ යම් දෙයක් පිළිබඳව නිවැරැදිව හා නිශ්චිතව අවබෝධ කර ගැනීමට නොහැකි වූ විටදීය. ඒ සඳහා සිතීමෙන් විමසීමෙන් සැකය පහව යන තෙක් නැවත නැවත විමර්ශනයක යෙදීම අත්‍යවශ්‍යය. එනිසා සැක කිරීම, ප්‍රශ්න කිරීම් පාපයක් ලෙස බුදුදහම නොදකියි. නොදැනුවත්කම් වලින් පිරුණූ මනස තුළ වැරදි මිථ්‍යා ආකල්ප පැළපදියම් වීමද ස්වභාවයකි. එසේ නොවන්නට නුවණින් සහ සිහියෙන් තතු විමසා දැනගත යුතුය.

වරක් බුදුරජාණන් වහන්සේ කේසපුත්ත කාලාමයන් හමු වූ අවස්ථාවේදී විවිධ ශ්‍රමණ බ්‍රාහ්මණයන් පැමිණ කාලාමයන් මුළාවන අයුරින් සහ ඔවුන්ගේ සැකය ඉස්මතු වන අයුරින් ඔවුන් නොවුන්ගේ දර්ශන ඉදිරිපත් කිරීම නිසා මහත් මානසික වියවුලට පත්ව සිටි කාලාමයන්ට පිළිගත හැකි ඥාන මාර්ගයක් දේශනා කළහ. ඒ අනුව යමක් පිළිගැනීමේදී ඒ සඳහා අනුගමනය කළයුතු විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දුන් බුදුන් වහන්සේ නුවණින් විමසා බලා කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් යථාර්ථාවබෝධය පිණිස හේතු නොවන සම්ප්‍රදායිකව සමාජගතව තිබූ ක්‍රමවේද 10 ක් ප්‍රතික්ෂේප කළහ. එසේ ප්‍රතික්ෂේප කරන ලද දස විවිධ මාර්ගයන් කාලාම සූත්‍රයේ මෙසේ සඳහන් වේ.

1.යමක් වේද ග්‍රන්ථවල සඳහන්ව ඇති නිසා නොපිළිගන්න.

2.පරම්පරාවෙන් එන නිසා නොපිළිගන්න.

3. එසේ වන්නට ඇතැයි අනුමානයෙන් නොපිළිගන්න.

4.තමන්ගේ පිටකයනට හා සම්ප්‍රදායනට සමාන යැයි නොපිළිගන්න.

5.තර්කයට ගැලපේයැයි සිතා පිළිනොගන්න.

6. තමන් දන්නා න්‍යායන්ට ගැලපේ යැයි පිළිනොගන්න.

7. මතු පිටින් හොඳ යැයි පෙනුනත් පිළි නොගන්න.

8.තමන් බැසගත් දෘෂ්ඨීන්ට ගැළපේ යැයි පිළි නොගන්න.

9.පුද්ගල ගෞරවයෙන් පිළිනොගන්න.

10. මේ ශ්‍රමණයා (පූජකයා) අපගේ ගුරුවරයා යැයි පිළිනොගන්න.

මේ අනුව යමක් සාවද්‍ය හෝ නිරවද්‍යදැයි නිශ්චය කරගත යුත්තේ පදනම්වල හිරවීමෙන් තොරව නිදහස් මනසින් විමර්ශනය කිරීමෙන් බව අවධාරණය කළ බුදුරජාණන් වහන්සේ යමක් යහපත සමාධිය හා ශාන්තිය පිණිස පවතී නම් එසේම එය යහපත් යැයි තම නුවණින් වටහා ගත හැකිනම් එය අනුගමනය කළ යුතු බවත් එසේ යහපත, පිණිස හේතු නොවන දෙය ප්‍රතික්ෂේප කළ යුතු බවටත් ඔවුනට උපදෙස් දුන්හ. මෙබඳු විශිෂ්ඨ ඉගැන්වීමක් ලොව බිහි වූ කිසිදු ආගමික දර්ශනයක දැකගත නොහැකිය. බුදු දහමේ පදනම නිදහස් මනස පදනම කරගත් නිදහස් චින්තනයයි. එය යොනිසෝ මනසිකාරය තුළින්ම ඇති කරගත යුතු වූවකි.
අංගුත්තර නිකායයේ චතුක්ක නිපාතයේ මහාපදේස සූත්‍රයේදීද යමක් පිළිගැනීමට භාවිත කළ යුතු ක්‍රම 4 ක් පිළිබඳව උගන්වා ඇත. එම සතරාකාර මහාපදේස 4 මෙසේය.

1.යමක් තමා බුදුරදුන්ගෙන් අසා පිළිගත් ධර්මයක් විනයක් යැයි යම් ඉගැන්වීමක් ඉදිරිපත් කලත් (බුද්ධාපදේස)

2. යමෙකු අසවල් විහාරයේ සංඝයාගෙන් අසා පිළිගත් ධර්මයක් විනයක් යැයි යමක් ඉදිරිපත් කළත්. (සංඝාපදේස)

3.යමෙකු තමා අසවල් විහාරයේ බොහෝ භික්ෂූන්ගෙන්. අසා දැනගත් ධර්මයක් විනය කරුණක් යැයි යම්කාරණයක් ඉදිරිපත් කළත් (සම්බහුලා ථෙරාපදේස)

4.යමෙකු අසවල් විහාරයේ ධර්මධර විනයධර උගත් භික්ෂුවකගෙන් අසා දැන පිළිගත් දෙයක් ලෙස යම් ධර්ම විනය කාරණයක් ඉදිරිපත් කළත් (එකත්ථෙරාපදේස)

ඉහත දැක්වූ ක්‍රම හතරට අනුව යමක් එක්වරම පිළිගැනීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් නොකර එය සූත්‍ර විනය දෙක හා සසඳා ගැළපේ නම් පමණක් පිළිගත යුතු බව දේශනා කළ බුදුන් වහන්සේ ධර්ම විනය සම්බන්ධයෙන් වුවද ඒකාන්ත නිගමනයට බැස ගත යුත්තේ සිහියෙන් සහ නුවණින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව බව අවධාරණය කළහ. මේ හා සමාන තවත් උපදේශ 04 ක් විශුද්ධි මාර්ගයේ දක්නට ලැබේ. එනම් සුත්ත, සුත්තානුලෝම,ආචරියවාද, අත්තනොමති යන සතරයි. යමෙකු යම් කරුණක් ඉදිරිපත් කළ විට එය සූත්‍රයක දක්නට ලැබේද? නො ලැබේද? සූත්‍රයන්ට අනුලෝම ද හෙවත් එකඟ ද නැද්ද ,ආචාර්ය වාදයනට ගුරු පරපුරේ අදහස්වලට එකඟ ද නැද්ද තමාගේ මතයට ගැළපේද නොගැළපේද යනුවෙන් විමසා බලා වරදක් නැති බව පෙනී ගියහොත් මතුවට විමතියක් ඇති නොවීමට හේතු වන්නේ යැයි ස්වයං තීරණයකට එළඹ පිළිගැනීම වරදක් නොවන බව බුදුන් වහන්සේගේ අවවාදයයි. මේ අනුව සත්‍ය ගවේෂණයෙහිලා කෙතරම් උසස් නිදහසක් බුදුසමය අනුගමනය කරන ශ්‍රාවකයනට ලබා දී ඇත්ද ? යන්න වටහා ගත හැකිය.

මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වීමංසක සූත්‍රයේදී තථාගතයන් වහන්සේ ගැන පවා විමසා දැනගැනීමට අවකාශ ලබා දී ඇති බුදුන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව හෝ තමන් වහන්සේ දේශනා කළ ධර්මය පිළිබඳව හෝ සැකයක් විමතියක් ඇති ඕනෑම අයෙකුට එම සැකය දුර කරගැනීම සඳහා ප්‍රශ්න කිරීමට හා විමසීමට තමන් වහන්සේ සහ තම ධර්මය විවෘත බව අවධාරණය කළහ. එනිසා බුදු දහෙමි සැඟවී ඇති අප්‍රකට කිසිවක් නොමැති බව විමංසක සූත්‍රය අනාවරණය කරයි.

මජ්ක්‍ධිම නිකායයෙහිම සඳහන් වන බ්‍රහ්මායු සූත්‍රයට අනුව බුදුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව පරීක්ෂා කිරීමේ අරමුණින් උත්තර නම් තරුණ බ්‍රාහ්මණයෙකු සත් මසක් බුදුන් වැඩි මග උන්වහන්සේ පසු පසින් ගමන් කළ බව සඳහන් වන පුවතින් බුදුරජාණන් වහන්සේගේ විවෘතභාවය සහ සත්‍යායගවේෂණය සඳහා ලබා දුන් ඉඩහසර කෙබඳු දැයි වටහා ගත හැකිය.
එනිසා ලෝකයේ යථාර්ථය දැකීමට විවෘත මනසක් ඇති කරගත යුතුමය. පටු සීමා මායිම් හා දෘෂ්ටීන්ට අනුගතව යමක යථා ස්වභාවය අවබෝධ කරගත නොහැකි බව තවදුරටත් බුදුසමය අවධාරණය කරයි.





රාජකීය පණ්ඩිත 
ශාස්ත්‍රපති 
අයගම සුසීල හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජනවාරි 23 වන සෙනසුරාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment