Labels

Tuesday, February 9, 2016

පා දෝවනය කළ පැන් ඉසීමෙන් උමතු බව දුරු විය


බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වසන සමයෙහි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන භාවනා කිරීම සඳහා ඈත පළාතකට වැඩම කරනු ලැබුවා. කමටහන් ගැනීම යනුවෙන් ප්‍රකාශ කරනු ලබන්නේ තමන්ගේ දැනුම, අවබෝධය අනුව බුදුරජාණන් වහන්සේ විසින් බණ භාවනා කිරීම සඳහා ලබාදෙනු ලබන මාතෘකා අනුව කටයුතු කිරීමය උන්වහන්සේත් ඒ ආකාරයට කමටහන් ලබාගෙන බණ භාවනා කිරීමට වැඩම කළා.


උන්වහන්සේ වනාන්තරයේ සෙනසුනක වැඩවාසය කළ නිසා “පබ්බාරවාසීතිස්ස” නමින් මේ ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධ වුණා. එම ස්වාමීන් වහන්සේගේ පෙර නම තිස්ස වුවද, පර්වතය තුළ ජීවත් වූ නිසාම උන්වහන්සේ “පබ්බාරවාසී තිස්ස” යන නමින් ප්‍රසිද්ධියට පත් වුණා. උන්වහන්සේ එම වන සෙනසුනෙහි වැඩ වාසය කළාට උන්වහන්සේ එම ස්ථානයට වැඩම කිරීමට පෙර එක්තරා දේවතාවියක. එම වන සෙනසුනෙහි වාසය කරනු ලැබුවා. ස්වාමින් වහන්සේ එම ස්ථානයට වැඩම කළත්, එම ස්වාමීන් වහන්සේ දවසක්, දෙකක් වැඩ වාසය කරමින් වෙනත් ස්ථානයකට වඩීවි යැයි එම දේවතාවිය කල්පනා කළා.

දේවතාවිය එසේ සිතමින් සිත සනසාගත් විගසම පබ්බරවාසීතිස්ස ස්වාමින් වහන්සේ එම වන සෙනසුන තුළ තිබෙන ගල්ලෙනෙහි වැඩ වාසය කරන ගමන්ම පිණ්ඩපාතය සඳහා වැඩම කරනු ලැබුවා. ස්වාමින් වහන්සේ පිණ්ඩපාතය සඳහා වැඩම කරනවා දුටු බොහෝ පිරිස් ඒ හාමුදුරුවන් තුළ පවතින සිල්වත්කමත් , ගුණවත්කමත් පිළිබඳව ප්‍රසාදයට පත්ව ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව දානය පූජා කළා. ගම්වැසියන් දෙන දානය පිළිගත් පබ්බාරවාසී තිස්ස හාමුදුරුවන්ට ගම්වැසියන් ආරාධනාවක් කරනු ලැබුවා.

මෙම වස් තුන් මාසය තුළ අපට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරමින් මේ ලෙනෙහිම වැඩ වාසය කළ යුතු බවට කරනු ලැබූ ආරාධනාවයි. එම ස්ථානය තුළ වස් සමාදන් වීමේ අදහසක් ස්වාමීන් වහන්සේ තුළ නොතිබුණත් ගිහියන් විසින් කරනු ලැබු ආරාධනාව බාර නොගෙන ප්‍රතික්ෂේපවූ කිරීමට නොහැකිවීම නිසාත් හාමුදුරුවන් එම ආරාධනාව භාරගත්තා. ස්වාමින් වහන්සේ ආරාධනාව භාරගත් නිසාම උන්වහන්සේ වැඩ වාසය කරනු ලැබු ගල්ලෙනෙහි දීර්ඝ කාලයක් වැඩ වාසය කිරීමට සිදු වුණා. එම ගල්ලෙන තුළ මුලින්ම ජීවත් වූ දේවතා දියණිය ස්වාමීන් වහන්සේ දවසක් දෙකක් ගල්ලෙන තුළ වැඩ වාසය කරල ආපසු වඩීවි යැයි සිතුවත්, හාමුදුරුවන් ආපසු වඩින ආකාරයක් පේන්න තිබුණේ නැහැ. බොහෝකල් ජීවත්වීම සඳහා අවශ්‍ය කළමනා කුටිය තුළම සකස් කරගෙන ස්වාමීන් වහන්සේ ස්ථිවරම කුටිය තුළ පදිංචි වීමට සූදානම් වන බව දේවතාවියට පැහැදිළි වුණා. මෙම සිදුවීම් දේවතාවිය දකින විට මට උන්හිටිතැන් නැතිවෙන්න යන සිද්ධියක් සිදුවීමට යන බවට කල්පනා කළා. “මම මෙතරම් කාලයක් ජීවත් වූ ගල්ලෙන තුළ පබ්බරවාසීතිස්ස හාමුදුරුවනුත් ස්ථිරවම වැඩ වාසය කිරීමට සූදානම් වෙනවා. 

උන්වහන්සේ නැවත මෙම ස්ථානය අතහැර දමා ආපසු වැඩම කරවන්නේ නැති වෙයි. ස්වාමින් වහන්සේ සමීපයට ගියත් එකපාරටම මෙම කාරණාව ප්‍රකාශ කරන්නත් බැහැ. මගේ ගෙය තුළ ස්වාමින් වහන්සේ වැඩිසිටියත්, මේ ගෙය තුළින් ආපසු වැඩම කරන ලෙසට හාමුදුරුවන්ට ප්‍රකාශ කරන්නත් බැහැ. ස්වාමීන් වහන්සේ සමඟ එකට ජීවත්වීමටත් බැහැ. මට මගේ ගල්ලෙන ආපසු බාරදී හාමුදුරුවන් වෙනත් පළාතකට වැඩම කරන්නේත් නැහැ. මේ ආකාරයට සිතමින් සිටින දේවතාවියගේ සිතිවිලිත් ටිකක් ගැඹුරට කිඳාබසින්නට වුණා. දේවතාවියගේ අදහස කෙසේ හෝ මුදුන් පමුණුවා ගැනීමේ අදහසින් එක්තරා උපායක් සූදානම් කර ක්‍රියාත්මක කළා. හාමුදුරුවන්ට ඇප උපස්ථාන කරන දායිකාවගේ එකම පුතාට ආවේශ වීම දේවතාවියගේ උපක්‍රමය වුණා. දේවතාවිය එම දායිකාවගේ පුතාට ආවේශ වී පුතාගේ මනස අවුල් කළ නිසා . එම පුත්‍රයා උමතුවෙන් මෙන් විකාර දොඩවන්න පටන් ගත්තා. හොඳට හිටි ළමයා වෙනස් වුණා.

 කට දෙකොනින් කෙළ වක්කරමින් ඇස් දෙක සාමාන්‍ය පුද්ගලයකු හසුරුවනවාට වඩා වෙනස් ආකාරයට හසුරුවන්න පටන් ගත්තා. පුතාගේ ශරීර ලක්ෂණ දකින දායිකාව තුළ බියකුත් හටගත්තා. අසනීපෙන් පසුවන තම පුත්‍රයාට ප්‍රතිකාර කිරීමට සූදානම් වන උපාසිකාවට නොපෙනෙන ස්ථානයකින් කතා කරන ආකාරයෙන් කටහඬක් ඇහෙන්න පටන් ගත්තා. එම කටහඬ පුතාටත් අම්මාටත් ඇසෙන ආකාරයෙන් පැවැතුණා. පුතා ඉක්මනට සනීප කරගන්නට වුවමනා නම්, පබ්බාරවාඩීතිස්ස හාමුදුරුවන්ගේ පා සෝදපු වතුර පුතාගේ ඔළුවට ඉසින්න යනුවෙන් කටහඬක් ඇසුණා. මෙම කතාව ඇසූ දරුවාගේ මව කල්පනා කරනු ලැබුවේ සඟසරණ ලබල හාමුදුරුවන්ට ඇප උපස්ථාන කරන මට හාමුදුරුවන්ගේ පා සෝදල වතුර ටිකක් ගැනීමට අපහසුවක් වෙන එකක් නැහැ. ඒ වගේම පා සේදූ වතුරෙන්ම. දරුවාගේ හිස සේදූ විට දරුවාට සනීප වෙනවා නම්, එය පහසුම ප්‍රතිකර්මයක් බවට කල්පනා කරනු ලැබූ උපාසිකාව හාමුදුරුවන්ට දානය පූජා කරල හාමුදුරුවන්ගේ පා දෝවනය කළ පැන් ටිකක් භාජනයකට ලබාගැනීම සඳහා හාමුදුරුවන්ගෙන් අවසර ඉල්ලා සිටියා. මගේ පා සෝදපු ජලය ඔබ ගෙදර රැගෙන යාමේ හේතුව කුමක්ද? යනුවෙන් ස්වාමීන් වහන්සේ උපාසිකාවගෙන් විමසා සිටිනු ලැබු අවස්ථාවේ තමාට සිදුවූ සිදුවීම නොවලහා ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනු ලැබුවා. එම ප්‍රතිකර්මය මත හාමුදුරුවන්ගේ පා සෝදපු වතුරෙන් දරුවාගේ හිසට පැන් ටිකක් ඉසීමෙන් දරුවා සුවපත් වන නිසා දරුවාට පැන් ඉසීමට එම පැන් ලබාගැනීම සඳහා අවසරය ලබා දුන්නා. 

සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ නමකට මිනිසකු වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර කිරීම, බේත්හේත් කිරීම විනය නීතිවලට පටහැනි වූ ක්‍රියාවකි. වෛද්‍ය වෘත්තියේ යෙදී ඒ අනුව කටයුතු කිරීම බුද්ධ නීතිය අනුව උපසම්පදා භික්ෂුවකට කැප සරුප් ක්‍රියාවක් නොවෙයි. එය පාරාජිකා හෝ වෙනත් සංඝාදී ඇවැත්වලට හසුවිය හැකි සිදුවීමක්. පාරාජිකා වීමට හසුවීම බරපතළ වරදක්. උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් ගිහියෙකුට බේත්හේත් කිරීම බරපතළ වැරැදිවලට එකතුවන වරදක් නොවුනත් එය වරදක්. මෙම දේවතාවිය එවැනි උපක්‍රමයක් කිරීමට උත්සාහ කරනු ලැබුවා. හාමුදුරුවන් ගිහියන්ට බෙහෙත් කළාය යන චෝදනාව හාමුදුරුවන් වෙතට පමුණුවන තමන් ජීවත් වුණ ගෙය නැවත තමන් අයිති කරගැනීමට සහ හාමුදුරුවන් එම ස්ථානයෙන් එළවාදැමීමට දේවතාවිය කල්පනා කරනු ලැබුවා. දේවතාවන් වුවත් යම් යම් ආකාරයේ වැරැදි සිතිවිලි හිස මත දමාගන්නවාය කියන කාරණාව මේ තුළින් පැහැදිළි වෙනවා. පැන් ඉස දරුවා සුවපත් වූවාට පසුව පුතාගේ විකාර ගතිය නන්දොඩවන ස්වභාවය .කට දෙකොනින් කෙළ වැගිරෙන ස්වභාවය නැතිවෙලා ගියා. එම දරුවා ඉක්මනින් සුවපත් වුණා. දරුවා සුවපත් වූවාට පසුව හාමුදුරුවන්ටත් සතුටක් දැණුනා. හාමුදුරුවන් අමතන ලැබූ දේවතාවිය, ඔබ වහන්සේ බෙහෙත් ප්‍රතිකාර කළා නේද? කියලා විමසා සිටියා. මම ප්‍රතිකාර කිරීමට ගියේ නැහැ. මා කළ වෙදකමකුත් නැහැ. උවැසියගේ ඉල්ලීම පරිදි මගේ පා සෝදපු වතුර දරුවාගේ හිසට ඉසීමට අවසර දීම මා කළ වරදක් ලෙස මා සලකනු ලබන්නේ නැහැ. එය මම බෙහෙත් කරපු ක්‍රියාවක් නොවන බවට හාමුදුරුවන් තර්කානුකූලව පැහැදිළි කළා.

මෙම සිදුවීම බුදුරජාණන් වහන්සේට සැළවීමත් සමඟ බුදුරජාණන් වහන්සේ පබ්බාරවාසී තිස්ස හාමුදුරුවන් සංසාරය තුළ පතාගෙන ආපු ආකාරයට උන්වහන්සේ බණ භාවනා කිරීම, උන්වහන්සේගේ අධිෂ්ඨානපූර්වක බව, උන්වහන්සේ ගිහිගෙදර සමඟ වැඩියෙන් ඇලීමට නොයනකම,පැවිදි ජීවිතයට ආශිර්වාදයක් බව බුදුරජාණන් වහන්සේ පැහැදිළි කර වදාළා.
වර්තමාන සමාජය තුළ වුණත් භික්ෂූන් වහන්සේ සහ ගිහිගෙදර සමඟ ඇලීම් ගැලීම් ඇතිකර ගනු ලබන අවස්ථා දක්නට තිබෙනවා. එම ඇලීම් ගැලීම් සහිත සම්බන්ධතාවල තිබිය යුතු ආකාරය පිළිබඳව බණපොත තුළ සදහන් වන්නේත් දෙපක්ෂයේම ආධ්‍යාත්මික සංවර්ධනයට මිස වෙන වෙන පුද්ගලික ජීවනෝපාය සකස්කර ගැනීම බුදුදහම අනුව වැරැදි ක්‍රියාවක් බව. පබ්බාරතිස්ස හාමුදුරුවන් පුතාට බෙහෙත් කරනු ලැබුවේ සිව්පසය බලාපොරොත්තුවෙන් නොවේ. පුතා සුවපත්භාවයට පත්කිරීමට පා සේදූ ජලය හිසට ඉසීමට අවසර ලබාදුන්නේ කිසිදුලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නොවේ. කෙනකු යම් ක්‍රියාවක් කිරීමේදී එම ක්‍රියාවේ අරමුණ වැදගත් වන බව බුදුරජාණන් වහන්සේ පබ්බාරවාසී තිස්ස හාමුදුරුවන්ගේ සිදුවීම හරහා අනෙකුත් ස්වාමීන් වහන්සේලාට පැහැදිළි කොට වදාළා.




මහාචාර්ය 
පාතේගම ඤාණිස්සර හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජනවාරි 23 වන සෙනසුරාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment