බෝසත් අවධියේ ප්‍රගුණ කළ සමාජ විඥානය බුද්ධත්වයෙන් තව තවත් තියුණු වූවා මිස මොට වූයේ නැත. යමෙක් එසේ සිතන්නේ නම් එය කෙතරම් අනුවණකමක්ද? උම්මග්ග ජාතකය කියැවීමෙන් බෝසතුන්ගේ ලෞකික හා අධ්‍යාත්මික ප්‍රඥා මහිමය තේරුම් ගත හැකිය.
සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ අතිශය සියුමැලි ක්ෂත්‍රිය වංශික කුමාරයෙකි. ඔහු සිය පිය උරුමයෙන් ලද විශාල වස්තු සම්භාරයකට හිමිකම් කියූ නමුත් ඒ කෙරෙහි කිසිදු ඇල්මක් නො දැක්වූ කෙනෙකු බවද සඳහන් වේ. අනාවැකිකරුවන් විසින් සුදොවුන් රජතුමාට මොහුගේ අනාගත ඉරණම පිළිබඳව වැදගත් කරුණු දෙකක් අනාවරණය කර තිබුණි.
ඉන් පළමුවැන්න වූයේ යම් ලෙසකින් මොහු ගිහිගෙයි නවත්වාගැනීමට සමත් වුවහොත් ලෝකයම පාලනය කරන බලගතු රජෙකු වන බවයි. දෙවැන්න වූයේ ගිහිගෙයින් නික්ම පැවිදි වුවහොත් බුදුවරයෙකු වන බවයි. ලෞකික අපේක්ෂා සහිත දෙමාපියන්ගේ අපේක්ෂාව වූයේ තම දරුවා ලොව බලගතු සක්විති රජු කරවීම වූ හෙයින් සියලු සැලසුම් සංවිධානය වූයේ ඒ අනුවය.
සුදොවුන් රජතුමා විසින් සිදුහත් කුමරු සඳහා ඍතු තුනට ගැළපෙන ප්‍රාසාද තුනක් කරවා තිබුණි. එම ප්‍රාසාදවල නිබඳව තරුණ යුවතියන් රඳවා ඔවුන් විසින් සපයනු ලබන ගායන වාදන ආදී සෞන්දර්ය රසාස්වාදය නන් අයුරින් විඳ ගැනීමේ පසුබිම සලසා තිබුණි. කෙටියෙන් කිවහොත් මතු මහළින් පහත මහළට බැසීමේ අවශ්‍යතාව නොවන පරිදි සියලු පහසුකම් සපයා තිබුණි. සියලු රාජකීය ඓශ්චර්යය ලබාදීමට උත්සුක වූ පියා විසින් උසස් අධ්‍යාපනයක් ලබාදීමට කරන ලද උත්සාහයක් ගැන කරුණු අනාවරණය නොවේ.
යථෝක්ත පසුබිම යටතේ සිදුහත් චරිතය සම්බන්ධයෙන් ත්‍රිපිටකයට අයත් නොවන පැරණි වාර්තාවන්හි පවා දක්වන කරුණුවල විසංවාදයක් පවතී. නිදසුනක් ලෙස පාලි අට්ඨකතාකරුවන් පවා දක්වා ඇත්තේ සිදුහත් කුමරු මහල්ලෙකු, රෝගියෙකු මළ මිනියක් සහ පැවිද්දෙකු හඳුනා ගැනීමට තරම් දැනුවත්ව නොසිටි බවයි. එසේම ඔහු එම අවබෝධය තම රියදුරුගෙන් ලබාගත් බවකි. කිසිදු ත්‍රිපිටක මූලාශ්‍රයක මෙබඳු අදහසක් සටහන් නොවේ. එහි දැක්වෙන්නේ සතරපෙර නිමිති දැක සංවේගය උපදවාගත් බවකි. ලොව කවර කෙනෙකුට වුවත් යම් යම් දේ සම්බන්ධයෙන් ගැඹුරු ඥානමය අවදියක් කවර අවස්ථාවකදී වුවද ඇතිවිය හැකිය. නිතරම දකින , කරන හෝ කියන දෙයක් සම්බන්ධයෙන් වෙනත් ආකාරයක් ගැඹුරු ප්‍රතිභාවක් ලැබෙනුයේ ජීවිතය අත්දැකීම් සහිත හා මුහුකුරා යාමත් සමඟය. මේ නිසා සිදුහත් කුමරුගේ සවිඥානක බව සම්බන්ධයෙන් වැරදි සහගත උපකල්පනයන්ට එළඹිම වැරදිය. වයස 10 ක පමණ කුඩා දහම් පාසල් ශිෂ්‍යයෙකුට උගන්වමින් සිටි අවස්ථාවක් මගේ සිහියට නැගේ. සතර පෙරනිමිති පිළිබඳව එකී විසිතුරු කථාව විස්තර කළ මගෙන් කුඩා ළමයා ප්‍රශ්නයක් ඇසීය. එනම් මහල්ලෙකු, ලෙඩෙකු, මලමිනියක් හා පැවිද්දෙකු හඳුනා ගැනීමට තරම් බුද්ධියක් නැති කෙනෙකු බුදු වූයේ කෙසේද? යන්නයි. එසේම බුදුවීමෙන් අනතුරුව සතියක කාලයක් ඇසිපිය නොහෙළීමෙන් බෝරුක දෙස බලා සිටීමෙන් අනිමිස ලෝචන පූජාව කළ බව ප්‍රකාශ කළ විට ඔහුගේ ප්‍රශ්නය වූයේ ජලය බඳුනක් සහ පොහොර ස්වල්පයක් දමා සංග්‍රහයක් කළේ නම් ඊට වඩා සුදුසු නොවේද? යන්නයි.
ඉහත කරුණෙන් අනාවරණය වන්නේ බෝසත් චරිතය පිළිබඳව සාමාන්‍ය ජන විඥානයේ කිඳා බැස ඇති ඇතැම් කරුණු සාවද්‍ය බව කුඩා දරුවෙකුට වුවත් වැටහෙන කරුණක් බවයි. බෝසත් චරිතයේ සැබෑ ස්වරූපය මෙසේ සැඟවී යාමට හේතුවක් ඇත. එනම් සාහිත්‍යය ධර්මය ලෙස බොහෝ අය තේරුම් ගැනීමයි. මේ නිසා සැබෑ බෝසත් චරිතය පිළිබඳව ත්‍රිපිටක සූත්‍රාන්ත දේශනා ආශ්‍රයෙන් වටහා ගැනීමට උත්සාහ කිරීම අතිශය ප්‍රයෝජනවත් වේ. පහත දැක්වෙනුයේ ඊට අදාළ කරුණු කිහිපයකි.
සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ වූකලි ක්ෂත්‍රිය වංශිකයෙකි. මේ නිසා උන්වහන්සේ උසස් පවුල් පසුබිමක් සහිත වූ කෙනෙකි. වයස අවුරදු විසිනවයක් දක්වා රාජකීය සම්පත් උපරිම අයුරින් වින්දනය කළ මෙම කුමරු සෞන්දර්යාත්මක ජීවිතයක් භුක්ති විඳි අයුරු මහාවග්ගපාලි නම් ග්‍රන්ථයේ මැනවින් සටහන් කොට ඇත. රූමත් තරුණ ස්ත්‍රින් විසින් නිරන්තරයෙන් සපයන ලද නෘත්‍ය වාද්‍යයෙන් කල්ගෙවූ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ නම් සංසාරිකව ප්‍රඥාව පාරමිතාවක් ලෙස වඩන ලද මොහුට ආතත, විතත, විතතාතත, ඝන, සුසිර යන පඤ්ච තුර්යභාණ්ඩ පරිහරණය පිළිබඳව දැනුමක් නො තිබෙන්නට ඇතැයි ඔබට සිතිය හැකිද? ඔහු වර්ෂ විසි නමයක්ම සාමාන්‍ය අයෙකු ලෙස මෙම නැටුම් ගැයුම් දෙස බලා සිටි තරුණයෙකු විය හැකිද? යසෝධරා දේවිය සරණ පාවා ගැනීමේ දී අනෙක් අයට ඔසවා ගත නොහැකි තරම් වූ දුනු හී එක් ඇඟිල්ලකින් එස වූ මොහුගේ කාය ශක්තිය පිළිබඳව අපට සිතාගත හැකිය. එබඳු කෙනෙකු තම මිතුරන් සමඟ ඇත්, අස්,රථ ගෙන මාලිගයෙන් පිට ක්‍රීඩා කිරීමට නො යන්නට ඇතැයි සිතිය හැකිද? සැබැවින්ම එබඳු දෙයක් අපේක්ෂා කළ නොහැකිය. හංසයෙකුට ගල් කැටයකින් ගැසීම නිසා ඇති වූ දෙබසකදී වරක් දෙව්දත් කුමරුට පිරිස් මැද කනේ පහරක් ගසන්නේ මෙම බෝධිසත්වයන්මය, එබැවින් බෝසතුන් යනු ප්‍රබුද්ධ සංවේදී උගත් සහ කෘත පුණ්‍යධර පුද්ගලයෙකු වේ. එම චරිතයෙහි ද සාමාන්‍ය ලෝකයෙහි අනෙක් පුද්ගලයන්ගේ මෙන්ම අඩු වැඩි වශයෙන් කළු සුදු ගති ලක්ෂණ විද්‍යමාන වූ බවට සාක්ෂි පෙළෙහි විද්‍යමාන වේ.
බෝසතුන්ගේ බුද්ධි ප්‍රභවය පිළිබඳව මෙම ලිපිය ලිවීමට මා මෙහෙයවනු ලබනුයේ එක්තරා අතිරේක පන්තියක පණ්ඩිතමානී ගුරුරවයෙකු විසින් කරන ලදැයි කියැවෙන ප්‍රකාශයකි. බෝසතුන් අවිඥානක බුද්ධි පසුබිමකින් කල් ගෙවූ කෙනෙකු ලෙස ශිෂ්‍යයන් තුළ හාස්‍ය රසය දැනවෙන පරිදි විචාරයක් කරන ලද බව එක් ශිෂ්‍යයෙකු විසින් මාහට ප්‍රකාශ කරන ලදී. මෙය ඇසූ සැනින් මාහට සිහිපත් වූයේ බොළඳ චින්තනයකින් සිටිය හැකි පුද්ගලයින් ගැන මීට ශතවර්ෂ ගණනාවකට පෙර සුදොවුන් රජු පවා දැන සිටි බවයි.අංගුත්තර නිකායේ සුකුමාල සූත්‍රාර්ථ වර්ණනාවේ මෙබඳු අදහස් දරන පුද්ගලයන් නිසා පිළිතුරු මැනවින් සටහන් වී ඇත. පිය රජතුමා බෝසතුන් සිප් සතර හැදෑරවීමට ගුරුවරුන් වෙත යැවීය. ඔහු එම ඇදුරන් සතු දැනුම වහා ලබා ගැනීමට සමතෙක් විය. වහා ශිල්ප හදාරන හෙයින් බොහෝ අය සිතුයේ මොහු ශිල්ප නො දන්නෙකු බවයි. එනිසාම එකී චෝදනාව ඇතැම්හු එකල ද කළහ. වරක් පිය රජු පිරිස් ඉදිරියේ ශිල්ප දක්වන ලෙස තම පුතුට කීය. එහිදී ඔහු විසින් තමා උගත් දේ ප්‍රදර්ශනය කරන අයුරු දුටු සුදොවුන් රජු පවා මවිත විය. මේ සරභංග ජාතකයේ දැක්වෙන විස්තරය අතිශය දීර්ඝ වන හෙයින් මෙහිලා නො දක්වමු. ඔහු විසින් කඩු ශිල්ප දුනු ශිල්පාදිය දක්වන වේලාවෙහි මුළු නගරයම මේඝ ගර්ජනාවක් මෙන් ගිගුම් දුන් බවත් නගර වැසියන් භීතියට පත් වූ බවත් සඳහන් වේ. පෙර කී අයුරු විචාරයන් කරන මෙකල පඬිවරුන් බෝසතුන් දත් සෙයින් දහසින් කොටසක්වත් නො දන්නා බව නම් ඉර හඳ මෙන් සහතික කරුණකි.
අනෙක් අතින් බෞද්ධ ජාතක කථා වූකලි මෙරට සාහිත්‍යය පමණකින් නොව විශ්ව සාහිත්‍යයම පෝෂණය කිරීමට වස්තුබීජ සැපයු කෘතියකි. මෙම ජාතක කථා වූ කලී සකල වර්ගයේ මනුෂ්‍ය අධ්‍යාත්මයන් විනිවිද දකින කථා වස්තු වේ. මේවා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් අපගේ දැනුම් සම්භාරයන් පෝෂණය කිරීමට දේශනා කරන ලද ඒවාය. මෙම කථාවල අන්තර්ගත වන්නේ බෝසතුන් සකල දඹදිව සිසාරා ලබාගත් ජීවිත අත්දැකීම් භාරතය වූ කලි රටක් නොව ලෝකයක් බව ඉන්දියාව ගැන දන්නෝ දනිති. එය සමස්ත ලෝකයේම එකතුවක් වැනිය. බුදුන් දවස මෙහි ජනපද සොළොසක් විය. තරුණ සිදුහත් කුමරු තම මිතුරු සගයන් සමඟ අසුන් පිට නැඟි මෙකී ජනපදවල සිසෑරූ බවට සැකයක් නැත. කුමක් නිසාද යත් ඊට අවශ්‍ය ජවය හා ශක්තියත් බුද්ධිය හා වුවමනාවත් ඔහු තුළ තිබුණු බවට සැකයක් නැති හෙයිනි. මේ ජනපදවල සංචාරය කිරීමෙන් ඉන්දියානු බමුණූ ගෘහපති ආදින් පමණක් නොව රජ, සිටු, වෙළෙඳ, කම්කරු, දුප්පත්, පොහොසත්, දුගී, මගී, යාචක, ගැහැනු, පිරිමි ආදී විවිධ පන්තිවල ජනයන්ගේ යහපත් හා ගුප්ත චර්යා ලක්ෂණ විනිවිද දුටු බෝධිසත්වයන් තුළ පැවැතියේ ගැඹුරු ජීවිත පරිඥානයකි. විවිධ තේමා අනුව රචනා වී ඇති ජාතක කතාවලින් මනුෂ්‍ය ජීවිතය විශේලේෂණය කෙරෙන අයුරු පරීක්ෂා කරන කවරෙකුට වුවත් මෙය මැනවින් පැහැදිලි වන කරුණකි.
තවද බෞද්ධ ශික්ෂණ ප්‍රතිපදාව ඵල ගැන්වීම වූකලී පොතපත කියැවීමෙන් උපාධියක් ලැබීම වැනි ක්‍රියාවක් නොවේ. එය බුද්ධිය මෙන්ම පුද්ගල අභ්‍යන්තරය තුළ පවතින වින්දනාත්මක පක්ෂය ද දියුණු කිරීමෙන් මල්පල ගැන්විය යුත්තකි. එබැවින් බෝසතාණන් වහන්සේ ප්‍රඥාව පාරමිතාවක් ලෙස පෝෂණය කළ අතර දාන, ශීල, පරිත්‍යාග, ඍජුබව, මෘදු බව, තපස ආදියෙන් ප්‍රගුණ කළේ චින්තනාත්මක පක්ෂයයි. මෙම උභය කාර්යයටම ජීවිත අත්දැකීම් අවශ්‍ය වේ. බෝසත් අවධියේ ප්‍රගුණ කළ සමාජ විඥානය බුද්ධත්වයෙන් තව තවත් තියුණු වූවා මිස මොට වූයේ නැත. යමෙක් එසේ සිතන්නේ නම් එය කෙතරම් අනුවණකමක්ද? උම්මග්ග ජාතකය කියැවීමෙන් බෝසතුන්ගේ ලෞකික හා අධ්‍යාත්මික ප්‍රඥා මහිමය තේරුම් ගත හැකිය. ලෝකයේ විද්‍යුත් ධාරිතාවන් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් මුලින්ම සඳහන් වන්නේ උම්මග්ග ජාතකයේ වීම මෙයට එක වැදගත් නිදසුනකි. යුද්ධ ජයග්‍රහණය කිරීමේ උපාය මාර්ග පිළිබදව සිදුහත් බෝසතුන් උම්මග්ග ජාතකයේදී සපයන උපදේශ දේශපාලන විද්‍යාවේ න්‍යායයන් සමඟ සැසඳීමෙන් කෙනෙකුට අනාවරණය කරගත හැකිය. මේ නිසා බෝසත් චරිතය යනු අවිඥානික ජීවන ප්‍රතිපදාවක් ලෙසත් බුද්ධත්වය යනු පුරාකෘත පුණ්‍ය ශක්තියේ ප්‍රභවයක් ලෙසත් නොසිතිය යුතු බව මෙයින් දක්වමු.
කැලණිය විශ්ව විද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජනවාරි 23 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment