Labels

Tuesday, February 16, 2016

ජීවිතයෙන් ගත යුතු හරය කුමක්ද?


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
‘ඡ ඉමානී භික්ඛවෙ අනුත්තරියානී . කතමෙ දස්සනානුත්තරියං සවණානුත්තරියං ලභාණුත්තරියං , සික්ඛානුත්තරියං ,පාදචරියාණුත්තරියං අනුස්සුතාණුත්තරියං තී’

ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි

ලොවටම කරුණාවෙන් පහළ වූ අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු ලෝ සතුන් වෙත පතල මහා කරුණාවෙන් දේශනා කළාවූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් බුදුසරණ පාඨක ඔබට කියවීමට සැලැස්වීමටයි මේ සූදානම.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අංගුත්තර නිකායේ තික නිපාතයේ පැහැදිලි කිරීමක්. මේ තාවකාලික නවාතැන් පොළක නවාතැන් ගත් මහා පොළවට පස් වී යන අපේ මේ සිරුරින් ගත යුතු හරය, ඵලය තේරුම් අරගෙන ක්‍රියා කළ යුතු බව දේශනා කළහ. පළමු කාරණය ,දස්සනානුත්තරිය,ඇසෙන දැකිය යුතු දර්ශනයන් බුද්ධිමත්ව දකින්න. ඇති ව තිබෙන රාගයන් ඇති නොවෙන ආකාරයට නැති රාගයන් ඇති නොවන ආකාරයට දෑස පිනවන්න.
දඹදිව රජකම් කළ චණ්ඩාශෝක මහරජතුමා කාලිංග යුද්ධයෙන් පසුව ඇවිද රජතුමා වීදිය දෙස බලන විට හිස මුඩු කරගත් සිවුරක් පොරවාගෙන පිටේ පාත්‍රයක් එල්ලා ගෙන සන්සුන් ඉඳුරන් ඇති සත්හැවිරිදි නිග්‍රෝධ පුංචි හාමුදුරුවෝ මහ මඟ වඩින දර්ශනය තුළින් රජතුමාගේ ගත සිත නිවුණා. රාජ මන්දිරයට වැඩම වූ නිග්‍රෝධ පුංචි හාමුදුරුවෝ රජතුමාට පුංචි අනුශාසනාවක් කළා. 'අප්පමාදෝ අමතපදං' යන ගාථාවෙන් කරුණු පහදා දුන්හ. මහරජතුමා ධර්මාශෝක නමින් ප්‍රසිද්ධියට පත් වුනා.

සම්බුද්ධ ශාසනය වෙනුවෙන් උදාර සේවයක් කරන්න ලැබුණේ සම්‍යයක් දෘෂ්ඨියෙන් දැකපු නිසයි. දෙවෙනි කාරණය සවණානුත්තරියං, කන් දෙකෙන් ඇසිය යුතු ශබ්ද රසය ඇති වෙලා තිබෙන්නා වු රාගයන් නැති වෙන ආකාරයට කන පිනවිය යුතුයි. එදා අත දරුවා තොටිල්ලේ නැළවුණේ බුදු ගුණ අහලයි. හේනේ පැලේ කුඹූරේ ගුවනට මුසු වුනේ බුද්ධ, ධම්ම, සංඝ ගුණ වරුණයි. නිතර නිතර බුදු බණ ශ්‍රවණය කළ බෞද්ධයා ගෙදර ,ගමේ, පළාතේ, රටේ හොඳ පුරවැසියෙක්. ධාර්මික ජීවිතයක් ගත කළා. පස් පවින් ඈත් වී ආදර්ශමත් ජීවිතයක් ගත කළේ වැඩිහිටියන් ගේ අවවාද අනුශාසනා හොඳට ශ්‍රවණය කළ නිසයි. අසන්ද්‍රිමිත්‍රා කුරුළු කෙවිල්ලකගේ කටහඬ අහලයි. බුද්ධාම්බන පී‍්‍රතිය උපදවා ගත්තේ නිවන පසක් කළේ සුනාථ, ධාරෙථ, චරාථ , ධම්මේ, අහන්න , දරන්න, පිළිපදින්න, කන පිනවන්න ඇති වී තිබෙන්නා වු රාගයන් නැති වෙන ආකාරයට, තුන්වෙනි අනුත්තරිය ධර්මය ලාභාණුත්තරියා. ලඛන්නා වූ ලාභයන් අතර උතුම් ම ලාභය නම් කුමක්ද? අපි ගොවිතැන් බත් කරනවා. වෙළෙහෙළදාම් කරනවා රැකි රක්ෂා කරනවා. මේ ලෞකික ජීවිතයේ තාවකාලික තෘප්තියක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා උතුම්ම ලාභය ශ්‍රද්ධාව බව. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති වන්නා වූ විශ්වාසයට, පිළිගැනීමට ශ්‍රී සද්ධර්මය කෙරෙහි, සංඝරත්නය කෙරෙහි ඇති වන්නා වු පිළිගැනීමට, විශ්වාසයට ශ්‍රද්ධාව කියනවා. ආර්ය ධනය තුළ පළමු ධනය ශ්‍රද්ධාව ශ්‍රද්ධානුසාරී පුද්ගලයකු වෙන්න ඕන. මහා පින්කම් ඉටු කරන්නේ ශ්‍රද්ධාව තුළින්. දානය ස්වර්ගයට නගින්න තිබෙන සෝපානය (ඉනිමඟ) මෙහි පළමු පියවර ශ්‍රද්ධාවයි. තුණුරුවන් කෙරෙහි අචල ගෞරවයක් ඔබත් ඇති කර ගන්න. හතර වෙනි කාරණය සික්ඛානුත්තරියා, ඇති හික්මීම, සිත, කය, වචනය සංවර කර ගැනීමයි මිනිසා තිරිසන් ලෝකයෙන් ඈත් කරන්නේ පංච ශීලය තුළින් බව වටහා ගත යුතුයි. මානව දායාවක් ජනිත කරන පළමු සික්ඛා පදය, ප්‍රාණ ඝාතයෙන් ඈත් විය යුතුයි. මෛත්‍රිය , දයාව, කරුණාව අනුකම්පාව ජනිත වන්නේ මේ සික්ඛාපදය ආරක්ෂා කළොත් පමණයි. පින්වත ඔබත් පංචශීලය ආරක්ෂා කර ගමට, රටට, ආදර්ශමත් ජීවිතයක් ගත කර මෙලොවත්, පරලොවත් සාර්ථක කරගන්න උත්සාහ කරන්න. පස් වෙනි අනුත්තරීය ධර්මය නම් පාදචරියානුත්තරීයං අපේ අත පය තුළින් කළ යුතු යහපත් ක්‍රියාවන් තුළින් පැහැදිලි කරනවා.

පරහට සේවය කරන්න පුහුණුවන්න. ගෙදර බුදුන් ලෙස වඳීන පුදන අම්මටයි, තාත්තටයි හොඳට සලකන්න .
එදා ඈත අතීතයේ අපේ මුතුන් මිත්තන්ට බාහිර අධ්‍යාපනය එතරම් නොතිබුණත් අධ්‍යාත්මික ගුණය තුළින් හදවත් පෝෂණය කරගත් අපේ මුතුන් මිත්තන් කළ පොදු කටයුතු සමාජ මෙහෙවරය අති විශාලයි.
අතීතයේදී ආගමට– දහමට නැඹුරු වූ මහජනයා අලි, කොටි, වග වලසුන් ලැග්ග ගල් ගුහාවන් විහාර මන්දිර බවට පත් කළා. සාගරය පරදා හැදු වැව් අමුණු දෙස බලන්න. ආරාම රෝපා වන රෝපා යෝජනා සේතුකාරකා මේ ගාථාව දෙස බලන විට අම්බලම්, පැන්තාලි කෙත් වතු ආදිය අන් අය වෙනුවෙන්මයි කළේ. ඔබත් නිතර නිතර බණ අහන්න, සුභාසිත වචන භාවිතා කරන්න. දෙමව්පියන්ට සලකන්න. වැඩිහිටියන්ට ගරු කරන්න යුතු අයුතුකම් ඉටු කරන්න. අඹූ සැමි දෙපොල දුවා දරුවන්ට ආදර්ශවත් මව් පිය යුවළක් වන්න. අවසාන කාරණය අනුස්සුතා නුත්තරියං ඔබ අප සෑම දෙනාටම සයන දර්ශනය උදාවෙනවා. ඇස් පේන්නේ නැහැ. කන් ඇහෙන්නේ නැහැ. කොන්ද කුදු ගැහිලා ඇඟ රැලි වැටිලා. ඉන්ද්‍රියන් දුබලයි. තව කෙනෙකු ගේ පිහිටක් අනුව කාලය ගත කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ අවස්ථාවේද සිහි කල්පනාව හොඳයි. වයසක උදවිය ජීවත් වන්නේ අතීතයේ මිස වර්තමානයේවත් අනාගතයේවත් නෙවෙයි. එම නිසා නිරත්තරයෙන්ම පින් උපදවන පින්කම් කළ යුතුයි. පුළුවන් කාලයේදි අපේ ඈත අතීතයේ මුතුන් මිත්තන් අවසාන කාලයේදී දූ දරුවන් ලවා පින් පොත කියවනවා. අපේ රටේ රජකම් කළ දුටුගැමුණු මහ රජතුමා අවසාන භාගයේ පින් පොත කියවා ගෙන යද්දී. හිත රැඳුනේ එදා වනය මැද දී අතරමං වුන මොහොතේ රහතන් වහන්සේ නමකට තමන් ගේ බත් මුලෙන් කොටසක් දන් දීම පිළිබඳවයි. සිහිපත් වුණේ. අපේ උපාසක උපාසිකාවන් කරන පින්කම් සටහන් කර තැබුවා.

මේ පොත නිතර නිතර කියවා නිරන්තර පී‍්‍රතියක් ලැබුවා. සෝමනස්ස සහගත ඤාණසම්ප්‍රයුක්ත අසංකාරික සිතක් උපදවා ගන්නට. නිතර නිතර පින් උපදවන අට මහා කුසල් සිද්ධකර “උදබින්දු නිපාතෙන, උදකුම්භි පුරති පුරති ධිරෝ පුඤ්ඤස්ස ථෝක ථෝකම්පි අචිනං’ පැන් කළයට පැන් බින්දුව බින්දුව එකතු වී පිරී යන්නා සේ තමන්ගේ සිත පිනෙන් පිරී සිතක් බවට පත් කර ගන්නට ඔබත් උත්සාහ කරන්න.



ඔබ සැමට තෙරුවන් සරණයි.



වෙලව 
වළගම්බා රජමහා විහාරයේ 
හිඳව සෝභිත හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ දුරුතු අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ පෙබරවාරි 08 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment