ගුණය යනු ධර්මයක් මිස තණ්හාවක් නෙමෙයි. ඒ නිසා හොඳ අධිෂ්ඨාන ප්‍රාර්ථනා තබාගෙන කටයුතු කරන්න හැම දෙනාම බොහොම ඕනෑ කමින් කටයුතු කළොත් බොහොම වටිනවා. පිනට දහමට ගුණයට නැඹුරුව කටයුතු කිරීමෙන් තමන්ට පුදුම ගුණයක් ශක්තියක් ගොඩනංවා ගැනීමට පුළුවන්.
අවශ්‍යය කාරණය මෛත්‍රියයි. මේ දේත් සියලු දෙනාටම අවශ්‍යයයි. තමන්ට වැඩියෙන් තරහා එනවා නම් මම වෛර නොවී මම තරහ නොවී මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුවපත් වෙම්වා කියලා සියවර ,දසවර, දසදහස්වර මෙනෙහි කරන්න. ඕන තැනකදීි මෙනෙහි කරන්න පුළුවන්. යන එන කොට, ඒවගේම බස්රියේ යන විට, වැඩට යද්දිත් , ඕන ඉරියව්වකදී මේ කියන ධර්මය මෙනෙහි කරන්න පුළුවන්. ඒකට කියන්නේ මිත්‍රත්වය කියලයි. මිත්‍රත්වය තිබුණොත් හැමදෙනාටම යහපතක් මිස, අයහපතක් නොවන බව තමයි මේ ධර්මයෙන් අපට පෙන්නුම් කරන්නේ. මිත්‍රත්වය ලෝකයේ හැමෝටම අවශ්‍ය කරන දෙයක් ලෙස කරණීය මෙත්ත සූත්‍රයෙහි සඳහන් වෙනවා. අපේ ධර්මයේ පෙන්නුම් කර තිබෙන ලෙස එක්තරා ස්වාමීන් වහන්සේ නමකට සර්පයෙක් දෂ්ඨ කරලා අපවත් වූණා. මේ ස්වාමීන් වහන්සේ ආදාහනය කරලා ,අනෙක් ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ හමුවෙළා මෙහෙම විමසුවා. ස්වාමීනි, අසවල් හාමුදුරුවන්ට සර්පයෙක් දෂ්ඨ කළා, මොකද, හේතුව කියලා ඇහුවා. මහණෙනි, ඒ ස්වාමීන් වහන්සේ සර්ප කුලයන්ට මෛත්‍රී කරලා නෑ. මෛත්‍රී කළානම් ජීවිතක්ෂයට පත්වෙන්නේ නෑ කියලා සඳහන් කළා.
ඒ නිසා අපට ඒක හොඳ පාඩමක්. හැමෝම මෛත්‍රී භාවනා කරන්න සියලු සත්ත්වයෝ සුවපත්වෙත්වා කියලා සියවර, දසවර, දස දහස්වර මෙනෙහි කරන්න. එවිට හැමෝටම මෛත්‍රී කළා වෙනවා. ඒනිසා ඒ මිත්‍රත්වය මෛත්‍රිය නිසා තමන්ට බොහොම අනුසස් ලැබෙනවා. සිතට වද හිංසා නෑ. බොහොම හොඳට නින්ද යනවා. හොඳට අවධි වෙනවා. නපුරු සිහින දකින්නේ නෑ. දෙවියන්ට පි‍්‍රයයි, මනුෂ්‍යයන්ට පි‍්‍රයයි, ඒ වගේම දෙව් රැකවරණය හොඳට ලැබෙනවා. සිත සමාධිගත වෙනවා, ගිිනි –ජල–වසවිස–අවි ආයුධ වලින් විපත් වැළකී යනවා, සිහි කල්පනාවෙන් අවසන් ගමන යනවා, මරණයෙන් පසුව දෙව්ලොවට යනවා. මෛත්‍රිය පිළිබඳව ඒවගේ ආනිශංස රැසක් මේ තථාගත ධර්මයේ පෙන්වනවා. ඒ නිසා තරහා , වෛර, කෝර්ධ, ඊර්ෂ්‍යාව වැඩි උදවිය පුළුවන්තරම් මෛත්‍රී භාවනාව කර ගන්න. මෛත්‍රිය ලබනකොටම සිත සැහැල්ලුයි. සිතට ගතට ලොකු සැනසුමක් ලැබෙනවා. එවැනි දහමක් පින්වත්නි, ලෝකයේ තවත් හම්බවෙලා නෑ. ඒ නිසාම සෑම දෙනාම පිනට, දහමට මෙතෙක් ගුණයට නැඹුරුවෙලා පින, දහම, ගුණය දියුණු කරගත්තහම මෙලොවටත් හොඳයි, පරලොවටත් හොඳයි, සංසාරෙටම හොඳයි. දසවන දොරටුව උපේක්ෂාවයි. මොනම දෙයකටවත් ඇලීමක්, ගැටීමක් නැතිව මධ්‍යස්ථව ඉන්න කියන එක බොහොම වැදගත්. ඇලීම , ගැටීම දෙකේ මධ්‍යස්ථභාවය උපේ්ක්ෂාවයි. අන්න බලන්න, මේ දහම කොපමණ හොඳද කියලා මොනම දෙයක්වත් කෙරෙහි ඇලීමක් ,ගැටීමක් නැතිව සිත සකසා ගැනීම බොහොම වැදගත්. එවිට ඒ විදිහට කටයුතු කරගෙන යන අයට විශාල ශක්තියක් ලැබෙනවා. සැනසුමක් ලැබෙනවා. බලයක් ලැබෙනවා. ඒ වගේ වටිනා දහමක් තමයි මේ ලොවුතුරු දහම. දියුණුවීමේ දොරටු හැටියට දියුණු වීමේ ක්‍රම හැටියට මේවා අප අනුගමනය කළොත් හරිම වටිනවා. ඒ මඟින් යහපතක් සලසාගෙන තම ජීවිතය සරුසාර කරගන්න පුළුවන්.
ඒ වගේම බුද්ධ ශාසනයේ වරප්‍රසාද තිබෙන්නේ සෑම දෙනාටම ශීල, සමාධි , ප්‍රඥා ගුණ දියුණු කරගන්නට පමණයි බුද්ධ ශාසනයේ වරප්‍රසාද තිබෙන්නේ. අනිත් කාලවල මේවා සොයන්න දියුණු කරගන්න ලේසි නෑ. අවශ්‍ය ගුරුවරු නෑ. බුදුරජාණන් වහන්සේ පරම කල්‍යාණ මිත්‍ර ගුරුතුමා හැටියට මේ සියලුම දේවල් අපට පෙන්වලා තියෙනවා. යා යුතු නිවැරැදි මඟ හොඳට පෙන්වා දී තිබෙනවා. ඒවා කොයි කවුරුත් සිතට අරගෙන දියුණුවීම සඳහා කටයුතු කිරීම බොහොම වැදගත්. ලොවුතුරු තථාගත ධර්මය ලෝකයේ සෑම කාලයේම නෑ. අපේ වාසනාවට , අපේ දියුණුව සකසා ගැනීමට, බුද්ධ ශාසනය ලැබී තිබෙන්නේ. “බුද්ධ ශාසනයයි, මනුෂ්‍යය ජීවිතයයි, ශ්‍රද්ධාවේ ගුණ සම්පතයි” එකට එකතු වුණොත් ඒ ජීවිතය බොහොම වටිනවා. එබඳු ජීවිතයක වටිනාකම අනන්තයි, අප්‍රමාණයි. එක ජීවිතයක් නිවැරැදිව සකසා ගත්තොත් සංසාරෙටම ඇති. ලෝකයේ බොහෝ දෙනෙක් අපායට වැටිලා දුක් විඳින්නේ පින් කරලා නෑ. අඳ, ගොළු, බිහිරි ආත්ම භාව අසරණ වුණේ පින මදි නිසයි.
මේවා හොඳට කල්පනාකරලා පින දියුණු කරගන්න මහන්සි වෙන්න. පින නැත්නම් සෑමදාම අපායේ වැටිලා දුක් විඳින්න වෙනවා. පින ඇත්නම් භය නෑ. ඕන දෙයක් ලැබෙනවා. මිල මුදල්, කෙත් වතු , යාන වාහන, ඉඩකඩම්, දුවා දරුවන් , ඥාතීන් , සද් පුරුෂයන් ,මේ ඔක්කෝම ලැබෙන්නේ පින් කරපු අයට පමණයි. පින අඩුනම් මුකුත් ලැබෙන්නේ නෑ. මේ කාරණා හොඳට මතක තියාගෙන යහපතෙහි යෙදෙන්න, අයහපතෙන් වළකින්න. පාප මිත්‍රයෝ අතහැර කල්‍යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න. ඒ වගේම පරිත්‍යාගය දියුණුකරගෙන මසුරුකම දුරු කරන්න. මෛත්‍රිය වඩමින් තරහ, වෛර, ක්‍රෝධ,ඊර්ෂ්‍යාව දුරු කරන්න. ඥානය , අමෝහය දියුණු කරගනිමින් අවිද්‍යාව , මෝහය තුරන් කරන්න. මේ වගේ පිළිවෙතක් තමයි මේ තථාගත ධර්මය අපට ගෙනහැර දක්වලා තියෙන්නේ. මහා මංගල සූත්‍රය , පරාභව සූත්‍රය, වසල සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය ආදියෙන් අපට පුදුම විදිහට උපදෙස් මාලාවක් ලබලා දීලා ජීවත්වන ආකාරය හොඳ ලස්සනට කියලා දෙනවා. අපට ධර්මයේ කියන්නේ අවේලාවේ පාරේ යන්නත් එපා කියලයි. අපට යම් විදිහකින් පාරේ ඇවිදගෙන යනවිට කාගේ හරි මොනවා හරි නැතිවුණොත් අන්න අර මනුස්සයා තමයි නිතර පාරේ යන්නේ කියලා සොරෙකුට වගේ චෝදනා කරන්න පුළුවන්. අන්න එහෙමනම් සිර ගෙදරට යන්න වෙනවා. මේ සියලුම දේ තථාගත ධර්මයේ පෙන්වා දෙනවා. මෙන්න මේවා කොයි කවුරුත් හොඳට දැනකියාගෙන ලොවුතුරු දහම වටිනා දහමක් බව හොඳට සිහිපත් කරගෙන තමාගේ අධ්‍යාත්මික , බාහිර දියුණුව හොඳින් සකසා ගත යුතුයි. මේ දේ වෙනකෙනෙකුට කරන්න බෑ. උපදෙස් දෙනවා මිස තම තමන්ම උත්සාහ වී තමන්ගේ දියුණුව තමන්ගේ යහපත සකසා ගත යුතුයි.” සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපණං ඒතං බුද්ධාන සාසනං” කියන ගාථාව කවුරුත් දන්නවා. මේ ගාථාව සම්බුද්ධ ශාසනයම විදහා දක්වන ගාථාවක්. සියලු පව් නොකිරීම, සියලු පින් දහම් කිරීම, සිත සකසා ගැනීම කියන කරුණු තුනම කිරීමෙන් තමන් බුද්ධ ශාසනය වැළඳගෙන ඉන්නේ. ශීල, සමාධි , ප්‍රඥා කියන්නෙත් සූත්‍ර, විනය , අභිධර්මය තුන් පිටකය කියන්නෙත් ඔය පද තුනටම තමයි. මේ ගාථාව හරිම ප්‍රභලයි. කරදර, පීඩා , බාධා තියෙන අයට මේ ගාථාව හරිම වටිනවා. නිබඳවම කියන්න, සොර සතුරන් පවා එන්නේ නෑ. හරිම බලගතුයි. ඒ වගේම භය , සංකා, අනතුරු තියෙනවානම් මේ ගාථාව සියවර , දසවර, දස දහස් වර කියවන්න. හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. තමන්ම කියවා ගන්න තරමට බලය වැඩියි. ලොවුතුරු දහම යනු මෙලොව ජීවිතය සකස් කරදෙන උතුම් දහමක්. ඒ නිසා මේ ගාථාවත් අපේ ගුණ ධර්ම දියුණු කරන යහපත් වටිනා දහමක් ලෙස පෙන්වන නිසා නිතර නිතර මෙනෙහි කරන්න. බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ පුළුවන් තරම් දවස පුරාම කියවන්න. එවිට තමන්ගේ ජීවිතයට ආරක්ෂාව ලැබෙනවා. කරදර පීඩා ,ග්‍රහ දෝස, විපත් පවා සන්සිඳිලා යනවා. ඒ නිසා පුළුවන් තරම් පිනට දහමට ගුණයට නැඹුරු වෙලා අපේ ජීවිතය සකසාගෙන කටයුතු කිරීමට අධිෂ්ඨාන කිරීම බොහොම වැදගත්. මේ වගේ පිවිතුරු දහමක් උතුම් දහමක්,දියුණුවීමේ දොරටු තිබෙන දහමක් ලොවුතුරු බුද්ධ ශාසනයේ හැර ලෝකයේ කිසිම ශාස්තෘවරයෙක් වදාළේ නෑ. එවකට භාරතයේ නොයෙක් ශාස්තෘවරු පහළ වුණා. ඒ ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම නොයෙක් නොයෙක් ක්‍රම වලින් තමයි පෙන්වා දුන්නේ. ඒ ඒ ශාස්තෘවරු පෙන්වපු දහම බුදු දහමට සම්පූර්ණයෙන්ම විරුද්ධයි . එවැනි අයට යහපතක් වුණේ නෑ. ඒ අයගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ලොවුතුරු දහම අනුව සරණ ගියා.ඒ මොකද, බුදුරජාණන් වහන්සේ නිවැරැදි දහමක් පෙන්වූවා. දියුණුවීමේ මඟ පෙන්වූවා. මෙලොව දියුණුව පරලොව දියුණුව කියලා දුන්නා. සිතේ ස්වභාවය පෙන්වූවා. පවින් වැළකිලා කටයුතු කළොත් සෑම දෙනාටම සිත සකසා ගෙන කටයුතු කරන්න පුළුවන්.
ඒ නිසා ලංකාවාසී, ලෝකවාසී බෞද්ධ අබෞද්ධ සියලු පින්වතුන් පවින් වැළකිලා පින් කරගෙන සිත සකසාගෙන කටයුතු කළොත් විශාල දියුණුවක් සකසා ගන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ ආරක්ෂාව තමන්ගේ පිහිට තමන්ගේ රැකවරණය එපමණයි. එවැනි දේ දියුණු තියුණු කරගෙන හැමදෙනාටම පුදුම ශක්තියක් ගොඩනංවා ගෙන, තමන්ගේ දියුණුව, යහපත ආරක්ෂාවත් හදාගෙන, බුදුසසුනත් රැකගෙන ජාතියත් ආරක්ෂා කරගෙන නිබඳවම කටයුතු කරන්න.
අම්බලන්ගොඩ, කහව ගල්දූව ආරණ්‍ය සේනාසනයේ
කම්මට්ඨානාචාර්ය,
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජනවාරි 23 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment