Labels

Saturday, February 27, 2016

තිරිසන් අත්බවෙහි කටුකත්වය ( බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 21 )


"විශේෂයෙන් කරත්ත අදින ගවයා වැනි සතුන් මිනිසුන්ගේ සේවා දායකයින් බවට පත් වී විශාල වශයෙන් දුක්ඛයන්ට භාජනය වෙති. තම ස්වාමියා විසින් කරත්තයට පටවන සියලු බර නෑ, බෑ නොකියා ඔහු විසින් කියන තැනට ඇදිය යුතුය. මෙය සත්වයාට මහත් පීඩාවකි. "
පසුගිය නවම් පුර අටවක පෝදා ලිපියෙන් විස්තර කළේ සතර අපාය අතර එන තිරිසන් අපාය පිළිබඳවයි. එහි දී තිරිසන් අපාය පිළිබඳ එන දීර්ඝ විස්තරයක් සම්බුදු මුවින් භාෂිත මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් බාලපණ්ඩිත සූත්‍රය ඇසුරින් විමසා බැලුවෙමු. තිරිසන් යන වචනයෙහි තේරුම වනුයේ හරහට ගමන් කරන්නා යන්නයි. එබැවින් හරහට ගමන් කරන සියලු සත්වයන් මෙම තිරිසන් යන වර්ගීකරණයට අයත් වෙයි. එබැවින් අද ලිපියෙන් ද එයින් තිරිසන් සතුන්ගේ දුක්ඛිත ස්වභාවය හා ඔවුන්ගේ කටුකත්වය පිළිබඳ විමසා බලමු.

තිරිසන් සතුන් ජීවත් වනුයේ නිතැතින්ම බියෙනි. තමාගේ ජීවිතයට කොයි මොහොතේ අනතුරක් ඇති වේද? යන සැකය නිතැතින්ම ඔවුන් තුළ පවතී. තමාට වඩා ලොකු සතෙකුගේ කොයි මොහොතේ ගොදුරක් වේද යන සැකය ඔවුන් සතුව ඇත. අනෙකුත් අපායයන් මෙන් නොව තිරිසන් අපාය අපට දෘෂ්‍යමාන වෙයි. එබැවින් එහි ස්වභාවය දැනුම් තේරුම් ඇති කාට වුවද තේරුම්ගත හැක.
අප අවට සිටින තිරිසන් සතුන්ගේ ප්‍රමාණය ගණනින් කියා නිම කළ නොහැකිය. එක නිවසක ආසන්නයේ වුව එක කුහුඹූ ගුලක වුවද සිටින කුහුඹුවන්ගේ ප්‍රමාණය ගණන් කිරීමට අපහසුය.මේ සියලු දෙනා ජීවින්ය. සමහර තිරිසන් සතුන් තණ බුදිති. සහර සතුන් මස්මාංශ බුදිති. බාලපණ්ඩිත සුත්‍රයේ සඳහන් පරිදි සමහර සත්වයෝ අසූචියෙහිම ඉපිද, එහිම වැද, එයම අනුභව කොට එහිම මිය යයි. තවත් සමහර සත්වයෝ දියෙහි ඉපිද එහිම ලැග එහිම අනුභව කොට, එහිම මිය යයි. තවත් සමහර සත්වයෝ කුණු ජලයෙහි ආදි වූ අපිරිසුදු ස්ථායන්හි ඉපිද, එහිම ලැග, එහිම අනුභවකොට, එහිම මිය යයි. තවත් සමහර සත්වයෝ අඳුරෙහිම ඉපිද, අඳුරෙහිම ලැග, අඳුරෙහිම අනුභව කොට ,අඳුරෙහිම මිය යයි. මේ තිරිසන් ආත්මයන්හි ස්වභාවයයි.


ඇතැම් තිරිසන් සත්වයන් තිරිසන් අත්බවයක් ලැබ සිටය දීම පින් රැස්කරගත් අවස්ථාවන් අපගේ බෞද්ධ සාහිත්‍යයේ මෙන්ම ජාතක පොතෙහි ද එයි. ඒ සාමාන්‍ය සත්වයන් නොව පාරමී දම් පුරන උතුමන් ආදී ගුණ යහපත් අයයි. තමා කළ යම් යම් අකුශල කර්ම නිසා තිරිසන් අත්බව ලැබුවද එය උසස් අයුරින් පවත්වාගෙන යයි. මෙම ස්වභාවය සෑම තිරිසන් සත්වයෙකුටම පොදුවූවක් නොවන බව එම සාහිත්‍ය කතාවන්ගෙන්ම තේරුම්ගත හැක.
පාරමී දම් සපුරන සමයේ අපගේ බෝසතාණන් වහන්සේ ද ඇතැම් අවස්ථාවල තිරිසන් යෝනියෙහි උප්පත්තිය ලබා ඇති බව ජාතක කතාවන්ගෙන් පැහැදිලි වෙයි. බෞද්ධ ජාතක කතාවන්හි විස්තර වන්නේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවධියේ සම්පූර්ණ කළ පාරමිතා ධර්මයන් බව අපි කවුරුත් දනිමු. ඒ සෑම ජාතක කතාවකින්ම කියවෙන්නේ බෝධිසත්වයන් වහන්සේ විවිධ ආත්මයන්හි ඉපිද පාරමී ධර්මයන් සම්පූර්ණ කළ අයුරුය. සෑම ජාතක කතාවකම බෝධිසත්වයන් වහන්සේගේ චරිතයේ යහපත් පැතිකඩයන් නිරූපණය කර ඇත. ඉවසීම, කරුණාව, මෛත්‍රිය, සීලය ආදි ගුණ ධර්මයන් දියුණු කළ අයුරු මෙන්ම චරිතවත් බව නායකත්වය ආදි ලක්ෂණයන් බෝසත් චරිතය පුරාවට දැකිය හැකිය. ඊට හේතුව දීපංකර පාදමූලයේ දීම ධර්මාවබෝධයට අවස්ථාව තිබියදී උතුම් වූ සම්මා සම්බුද්ධත්වයම ප්‍රාර්ථනා කරමින් සසරෙහි ගමන් කරමින් සම්මා සම්බුද්ධත්වයට අවැසි ගුණධර්මයන් සපුරනු වස් සමතිංසත් පාරමී ධර්මයන් පූරණය කළ නිසාය. එබැවින් උන්වහන්සේට විවිධ ආත්මයන්හි උප්පත්තිය ලැබීමට සිදුවිය. ඒ සෑම භවයක දීම උන්වහන්සේ සෙසු අයට වඩා සීලයෙන්, ගුණයෙන්, නුවණින් හා තපසින් ඉදිරියෙන් සිටියේය. ඒ පෙර භවයන් හිදී උන්වහන්සේ පූරණය කළ ගුණ ධර්මයන්ගේ ශක්තිය නිසාමය. එය භවයෙන් භවයට වර්ධනය වූවා මිස අඩුවකට පත් නොවීය.

එහෙත් සැම තිරිසන්ගත සත්වයෙක්ම මේ ස්වභාවයෙන් නොසිටියි. අපගේ ඇසට පෙනෙන කුරා කුහුඹුවාගේ සිට අලියා –ඇතා දක්වා වූ සියලු සතුන් තිරිසන් යෝනියෙහි උප්පත්තිය ලැබූ අයයි. එබැවින් මේ සියලු සතුන් ජීවත්වීම සඳහා අපමණ වෙහෙසක් ගනියි. විශේෂයෙන් ආහාර සහ ආරක්ෂාව පිණිස ඔවුන්ගේ මුළු ජීවිතයම කැප කරති. එහෙත් ඔවුන්ගේ සියලු කටයුතු තමාට අවශ්‍ය පරිදි පවත්වාගෙන යෑමට නොහැක. ඊට හේතුව සියල්ල අනපේක්ෂිතව සිදුවන බැවිනි.
ඇතැම් විට මෙම සතුන් තමාට වඩා විශාල සතකුගේ පමණක් නොව මිනිසුන්ගේද ගොදුරු බවට පත් වෙති.අලි, ඇත්තු , හරක්, එළුවන්, ඌරන්, කුකුළන් වැනි සතුන් මිනිසුන්ගේ සේවා දායකයන් බවටද පත්වෙති. විශේෂයෙන් කරත්ත අදින ගවයා වැනි සතුන් මිනිසුන්ගේ සේවා දායකයින් බවට පත් වී විශාල වශයෙන් දුක්ඛයන්ට භාජනය වෙති. තම ස්වාමියා විසින් කරත්තයට පටවන සියලු බර නෑ, බෑ නොකියා ඔහු විසින් කියන තැනට ඇදිය යුතුය. මෙය සත්වයාට මහත් පීඩාවකි.

බුදුරජාණන් වහන්සේ අකුශල කර්මයන්ගේ විපාකයන් පල දෙන අයුරු පැවසීමට යොදාගෙන ඇත්තේ ද මේ කරත්තය අදින ගවයාගේ උපමාවයි. (තතො නං දුක්ඛමන්චේති– චක්කංච වහතෝ පදං) අකුශල කර්මයන්හි නියැළෙන අය එහි විපාක විඳිනුයේ කරත්ත අදින ගොනා මෙනි. ගවයාට බර ඇදීම අකැමැති වුවද එය මග හැරීමට නොහැක. එය කෙසේ හෝ කළ යුතුය. තමා කළ පාපයේ ද විපාක එලෙසය.අකැමැති වුවද එය මග හැර යා නොහැක. කෙසේ හෝ එය වින්ද යුතුය. මෙයින් පැහැදිලි වන්නේ තිරිසන් අත් බවෙහි තිබෙන දුක්ඛිත මෙන්ම කටුක ස්වභාවයයි.
මිනිසුන් මෙන්ම මේ තිරිසන් සතුන්ද තමාගේ ජීවිතයට ආශා කරති. ආදරය කරති. ඒබව බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට ඇත.

සබ්බේ තසන්ති දණ්ඩස්ස,
සබ්බේ හායන්ති මච්චුනො
අත්තානං උපමං කත්වා,
න හනෙය්‍ය න සාතයෙ
සබ්බේ තසන්ති දණ්ඩස්ස,
සබ්බේසං ජීවිතං පියං
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න සාතයෙ


සියලු සතුන් දඬුවමට බිය වෙති. සියලු සතුන් මරණයට බිය වෙති. එමෙන්ම සියලු සතුන් තමාගේ ජීවිතයට පි‍්‍රය කරති. එබැවින් තමා උපමාවට ගෙන අන් සත්වයන්ට හිංසා නොකළ යුතුය. නොමැරිය යුතුය. මෙය බුදුදහමේ ඉදිරිපත් කරන අත්තුපනායික ධර්ම සංකල්පයයි



මහනුවර අස්ගිරි මහා විහාර පිරිවෙනෙහි ආචාර්ය 
ශාස්ත්‍රපති 
රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ පෙබරවාරි 22 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment