Labels

Monday, February 15, 2016

කල්ප ගණනක් දුක් විඳින පිඹුරු ප්‍රේතයා ‘බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 18


දුරුතු පුර පසළොස්වක පොහෝ දින අපගේ අවධානය යොමු වූයේ කෙතරම් ධනය තිබුණත් දන් දීමට සිතක් නොවූ ධනපාල සිටුවරයා මරණනින් මතු කතරක එනමින්ම ප්‍රේතයෙක් ව උපන් ධනපාල පේතවත්ථුව හා ආත්ම පහකට පෙර සැරියුත් මහරහතන් වහන්සේගේ මව් වූ කාන්තාවක් ආහාර සඳහා ගෙදරට පැමිණි දුගී මගී යාචකාදීන් බැන එළවාගත් පවින් පේ‍්‍රතියක්ව උපන් තොරතුරු කියවෙන සාරිපුත්තථෙර මාතු පේතවත්ථුව විමසා බැලීමටයි.

අද අපගේ අවධානය යොමුවන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට හිරිහැර කොට මරණයට පත් කිරීමෙන් අජගර නම් ප්‍රේතයෙක්ව ඉපදී අනන්ත වූ දුක් විඳින ප්‍රේතයෙක් පිළිබඳ කරුණු දැක්වෙන ‘සට්ඨිකූට පේතවත්ථුව‘ විමසා බැලීමටයි.
එක් දිනක් මුගලන් මහරහතන් වහන්සේ හා ලක්ඛණ මහරහතන් වහන්සේ ගිජුකුළු පව්වෙන් බසිනා කල මුගලන් මහරහතන් වහන්සේ යම් කාරණයක් නිසා සිනහ පහළ කොට බුදුරජාණන් වහන්සේ සමීපයට වැඩි කල ලක්ඛණ තෙරුන් වහන්සේ විසින් සිනහ පහළ කිරීමට හේතු විමසූ විට තමන් වහන්සේ ගිජුකුළු පව්ව පා මුල දී දුටු දර්ශනය මෙසේ විස්තර කළහ.
ලක්ඛණ ආයුෂ්මතුනි, ගිජුකුළු පව්ව පා මුල දී මා විසින් අරුම පුදුම ප්‍රේතයෙක් දක්නා ලදිමි. ඔහුගේ උස තුන් ගව්වක් පමණ වේ. ගිනිගෙන දිලිසෙන විශාල ප්‍රමාණයේ ගල් ගිනිබෝල සැට දහසක් පමණ හිස මත පතිත වෙයි. එයින් ඔහුගේ හිස සුණු විසුණු වී යන අතර නැවතත් කර්ම බලයෙන් හිස හට ගනියි. මෙසේ නිතරම හිස පැලී කුඩු වී ගොස් නැවතත් එක් වීමෙන් අතිශය කටක වූ දුක් වේදනාවකට ඔහු පත් වෙයි. මෙවැනි සංසාර දෝෂයක් තමන් වහන්සේට කිසි කලෙකත් නැති බැවින් තමන් වහන්සේ සිනහ පහළ කළ බව පැවසූහ.
මේ සිද්ධිය මුල් කොට ගනිමින් මේ ප්‍රේතයා මෙපමණ මහත් වූ දුකක් විඳීමට හේතුව බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. පෙර බරණැස් නුවර අතකුරු ගැසීමෙහි දක්ෂ (අතින් ගල්කැට විදීමෙහි දක්ෂ) එහෙත් ඇවිදීමට නොහැකි පිළෙක් විය. දිනක් ඔහු කුඩා ළමයින් පිරිසක් විසින් මෙහෙයවනු ලදුව වාසල් දොර සමීපයෙහි නුග ගස යට දී අතකුරු ගසා නුගපත් වල විවිධ රූ සටහන් මවා ළමා පිරිස සතුටට පත් කළේ ය. ඒ ස්ථානයට හදිසියේ ම රජතුමාගේ පැමිණීමත් සමඟ ඒ පිළා නුගගස සමීපයෙහි සඟවා ළමා පිරිස පළා ගියහ. ගස යටට ගිය රජු උඩ බැලූ කළ නුගපත් වල වූ අපූරු රූ සටහන් දැක ඒවා කවුරුන් විසින් කරන ලද්දක් දැයි සොයනුයේ පිළා විසින් කරන ලද බව දැන සතුටුව ඔහු රැගෙන රජ වාසලට ගොස් තමාට මහත් කරදරයක්ව පවතින පුරෝහිතයාට පාඩමක් උගැන්වීමට සිතීය.
පුරෝහිතියාගෙන් රජුට වන කරදරය නම්, රාජ සභාවට ගිය තැන් පටන් කෙළවරක් නැති දේශනාවන් ඇසීමට සිදුවීමය. මෙය රජුට මහත් කරදරයක් විය. එබැවින් රජු පුරෝහිතයා සමඟ කතාවෙහි යෙදී සිටින විට ඔහු කට අරින අරින වාරයක් පාසා එක එළුබෙටිය බැගින් එවීමට පිළා සමඟ කතිකා කොට ඔහුට එළුබෙටි නැළියක් දී රාජ සභාවට නොදුරු පරිසරයේ ඔහුට අවශ්‍ය පසුබිම සකසා දෙන ලදී. පසුදින රාජ සභාවට රජු පැමිණි කළ සිරිත් පරිදි පුරෝහිතයා කෙළවරක් නැති තම දේශනාව ආරම්භ කළේ ය. කට අරින වාරයක් පාසා පිළා ද එක එක එළුබෙටිය බැගින් පුරෝහිතයාගේ කටට එවන්නට විය. කටට ආ එළුබෙටිය අහක දැමීමට අවස්ථාවක් නොවූ හෙයින් කිසිවෙකුට නොදැනෙන පරිදි පුරෝහිතයා විසින් එළුබෙටි නැළියම ගිල දමන ලදී. එළුබෙටි නැළිය අවසන් වූ බව පිළා විසින් කරන ලද සංඥාවෙන් දැනගත් රජු විසින් පුරෝහිතයාට මෙසේ දන්වන ලදී. පුරෝහිතය, ඔබගේ කතාව අසා සිටීමෙන් නැගිට ගැනීමට නොහැකිව මාගේ පාද රිදෙයි. එහෙත් එළුබෙටි නැළියක් ගිල දැමූ ඔබගේ කතාවෙහි අඩුවක් නොවීම පුදුමයකැයි පැවසීය. මෙයින් ලජ්ජාවට පත් පුරෝහිතයා වහා රාජ සභාවෙන් පළාගිය අතර ඉන් පසු රජුට ඔහුගෙන් පෙර පරිදි කරදර නොවීය.
පිළාගේ දක්ෂතාවන් ගැන සතුටට පත් රජු ඔහුට ගම්වර සතරක් ද වස්තුව ද දී සතුටු කළේ ය. පිළා රජුගේ ගෞරවයට පත් වූයේ ඔහු උගත් අතකුරු ගැසීමේ ශිල්පයෙන් බව දැනගත් එක් පුරුෂයෙක් එම ශිල්පය ඉගෙනීමට ඔහු වෙත පැමිණියේ ය. පිළා විසින් ඔහුට ඉගැන්වීම ප්‍රතික්ෂේප කළත් ඔහු, පිළාට කීකරුව බොහෝ කාලයක් සිට කෙසේ හෝ ශිල්පය ඉගැන්මට පිළා කැමති කරවා ගත්තේ ය. පිළා විසින් තමා දත් අතකුරු ශිල්පයේ සියල්ල ඔහුට ඉගැන්විය. අවසානයේ දී පිළා විසින් තම අතවැසියා උගත් ශිල්පය පරීක්ෂා කරන්නේ කෙසේ දැයි විමසීය. එවිට ඔහු පවසනුයේ පාරේ දී හමුවන හරකෙක් හට හෝ මිනිසෙක් හට හෝ විදීමෙන් පරීක්ෂා කිරීමට කැමති බවය. එවිට පිළා පවසනුයේ හරකෙක් මැරුව හොත් සීයක් දඩ වන්නේ ය. මිනිසෙක් මැරුවහොත් දහසක් දඩ වන්නේ ය. එබැවින් දුප්පත් වූ තොප විසින් එම දඩ ගෙවීමට නොහැකිව හිරේ ළඟින්නේ ය. එබැවින් යමෙක් මළ කල දඩ ගෙවීමක් නොවන්නේ ද එබඳු කෙනෙක් පරීක්ෂා කරවයි කීය.
සිය ගුරුවරයාගේ කීමට අවනත වූ ඔහු ද තමා උගත් ශිල්පය අත්හදා බැලීමට කෙනෙකු සොයමින් යන්නේ පිණ්ඩපාතයේ වඩින සුනෙත්ත නම් පසේ බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේට මවක් හෝ පියෙක් හෝ වෙනයම් ඥාතියෙක් හෝ නැත. මොහුගේ මරණයෙන් දඩ ගැසීමක් ද වන්නේ නැතැයි සිතා උන්වහන්සේගේ කණට ඉලක්කය ගෙන මේ අඥාන පුද්ගලයා අතකුරු ගැසීය. උන්වහන්සේගේ දකුණු කන් බිලයෙන් ඇතුල් වූ එම ගල් කැටය වම් කන් බීලයෙන් පිටත් වී මහත් වූ මාරාන්තික දුකක් දෙන්නට විය. පිණ්ඩපාතයේ වැඩීමට නොහැකි වූ පසේ බුදුරජාණන් වහන්සේ සෘද්ධියෙන් තමන් වහන්සේගේ සෙනසුනට වැඩම කොට එහි දී පිරිනිවන් පෑහ.
පසේ බුදුරජාණන් වහන්සේ එදින පිණ්ඩපාතයේ නොවැඩි නියාව දැන සැදැහැති දායක පිරිස උන්වහන්සේගේ සෙනසුන වෙත පැමිණියහ. පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා ඇති බව දැන ඒ සැදැහැති පිරිස දුක් ශෝකය දරා ගත නොහැකිව හඬා වැළෙපෙන්නට වූහ. පසේ බුදුරජාණන් වහන්සේට අතකුරු ගැසූ අර අඥාන පුද්ගලයා ද තමාගේ ඉලක්කයට කුමක් වේ දැයි විමසනු පිණිස සියල්ලට පසුව පසේ බුදුරජාණන් වහන්සේගේ සෙනසුන වෙත ගියේ ය. පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා ඇති නියාව දැන ඒ තමා විසින් ගැසූ අතකුරෙන්ම සිදු වූ බව නිසැකවම දැන තමාගේ දක්ෂතාව පිරිසට ඒත්තු ගන්වනු පිණිස පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑයේ තමා ගැසූ අතකුරෙන් බව උජාරුවෙන් පැවසීය. මේ අඥාන පුද්ගලයාගේ නොමනා ක්‍රියාවෙන් කෝපයට පත් එහි රැස් වූ පිරිස ඔහු අල්වා තළා පෙළා මරණයට පත් කළහ.

තමා උගත් ශිල්පය වැරදි ලෙස භාවිත කළ, ඒ අඥාන පුද්ගලයා මරණයෙන් පසු කල්ප ගණනක් අවීචි මහා නරකයෙහි ඉපිද අනන්ත වූ දුක් විඳ ඒ කර්ම විපාකය ක්ෂය නොවුයේ මෙසේ පිඹුරු ප්‍රේතයෙක් ව ඉපිද අනන්ත වූ දුක් විඳිමින් තවත් කල්ප ගණනාවක් ඉපිදෙමින් මැරෙමින් සංසාරයේ සැරිසරන්නට සිදුවනු ඇත.




ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ දුරුතු අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ පෙබරවාරි 01 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment