Labels

Monday, February 15, 2016

පත්තකම්ම සූත්‍රයන් තුළින් හෙළිවන ජීවන දර්ශනය


පුද්ගල පැවැත්මේදී යහපත් ජීවන දර්ශනයක් තිබිය යුතුවේ. එසේ නොවන්නේ නම් එය තමාටත් අනෙකාටත් පරිසරයටත් මහත් අසහනයක් ගෙන දේ. දියුණුම සත්ව කොට්ඨාශය වන මිනිසාගේ දියුණුව මැනෙන්නේ ඔවුන්ගේ ක්‍රියාකාරම් තුළිනි. එය සත්ව ක්‍රියාවන් ඉක්මවූ ගුණසම්පන්නකම් පෙන්වාදෙන තත්ත්වයක පැවතිය යුතුය. ඒ සඳහා උපදෙස් ලබාදෙන ප්‍රධාන සුත්‍ර හතරක් ලෙස පත්තකම්ම සූත්‍ර හැඳින්විය හැකිය.
මෙම සූත්‍රයන් සියල්ලෙන්ම අවධාරණය කරනුයේ සියලු සත්ව ප්‍රජාවටම මෙන්ම සමස්ත පරිසරයටම ආශිර්වාදයක් වන ජීවන ප්‍රතිපදාවක් සැකසෙන්නේ කෙසේද යන්නයි. එය භෞතිකයට පමණක් සීමා නොවී ආධ්‍යාත්මයද පෝෂණය කරයි. පළමු පත්තකම්ම සූත්‍රය මගින් තමාට සුවපත් ජීවිතයක් අවශ්‍ය සේම අනෙකාටද එසේ අවශ්‍ය බව දක්වයි. යහපත් පරිභෝජන රටාවක් සකසා ගන්නේ කෙසේද? යන්න මෙහිදී මෙසේ දක්වයි.

1.තමා සුවපත් වෙයි. තමා පිණවයි. තමා මැනවින් සැප විඳියි.

2.මව්පියන් සුවපත් කරයි. පිණවයි. සැපපහසුව සලසා දෙයි

3.බිරිඳ දරුවන් හා සේවකයන් සුවපත් කරයි. පිණවයි. සැපපහසුව සලසා දෙයි.

4. හිතමිතුරන් සුවපත් කරයි. පිණවයි. මැනවින් සැප පහසුව සලසා දෙයි.

සෑම ආකාරයකින්ම යහපත් ලෙස තමන් ක්‍රියාකාරකම් සිදුකිරීම නිසා අසහනයට පත් නොවී සුවපත්ව කටයුතු කිරීමක් . එනිසාම ඔහු පී‍්‍රතියට පත්වෙයි. එසේ වනුයේ “සම්මා” ගුණයෙහිම පිහිටා සහනය ප්‍රාර්ථනා කිරීම නිසාය. තමන් නිසිපරිදි ජීවිතය විඳින්නේ නම් බුදුදහම එයට එකඟය. විඳවීම වෙනුවට විඳීම මැනවින් ඇතිකරගැනීම ඉතා අසීරුය. එයට හේතුව වන්නේ ක්‍රියාකාරකම් මනාව පාලනය කර ගනිමින් කටයුතු නොවීම නිසාය. එවිට කෙටිකාලීන සුවයක් ලැබුවද සදාකාලික දුකක් අසහනයක් ඇතිවේ. මැනවින් ජීවත්වීම යනු කායික හෝ මානසික අසහනයන්ගෙන් තොරව කටයුතු කිරීමේ හැකියාවයි. එහිදී සියල්ල සකසුරුවම් කරගැනීම අත්‍යවශ්‍යය. එවිට සුවපත්ව මැනවින් සැපවිඳිය හැකිය.

යහපත් ජීවිතය යනු තමා පමණක් කා බී සතුටින් දිවිගෙවීම නොවේ. මව්පියන්ට අවශ්‍ය සැප පහසුව ලබාදෙමින් එයද දකිමින් සොම්නසට පත්වීමයි. ඔවුන්ගේ ද අවශ්‍යතා සොයා බැලීමයි. සම්පත් සියල්ල තමා වෙනුවෙන් යැයි නොසිතා දෙමාපියන් උදෙසාද යම් ප්‍රමාණයක් වෙන්කර එය හොඳ සිතින් ඔවුන් උදෙසා ලබාදිය යුතුවේ. එසේම බිරිඳ වෙනුවෙන් කළ යුතු කැපකිරීම සේම දරුවන් උදෙසා සැම අතින්ම යුතුකම් කිරීම අවශ්‍යය. එසේ නොවන්නේ නම් යම්විටකදී, පසුතැවීමට අසහනයට පත්වේ. එය යහපත් සුවපත් දිවියට බාධාවකි. තමා යටතේ සිටින කම්කරුවන් දාසයන් වහල්ලන් කොට නොසැලකිය යුතුය. ඔවුන්ගේද ආත්මාභිමානය පිළිබඳ සැලකිලිමත්වීම අවශ්‍යය. තමාට වැඩකටයුතු පහසුවෙන් කරගෙනයාමට හැකියාව ලැබී ඇත්තේ ඔවුන් නිසාවෙනි. ඔවුන්ද ලේ ඇට, මස්, නහර සහිත වූවෝය. තමාට යම් අවශ්‍යතාවයක් වේ නම් අනිකාටද එසේමය. යන්න මනාව තේරුම් ගත යුතුවේ.

යහපත් ජීවිතයක් ඇත්තෙක් වන්නේ එවිටයි. සැබෑ සුවය සහනය ඇත්තේ එතනය. හිතමිතුරන් සම්බන්ධයෙන් ද කටයුතු කළ යුත්තේ ඒ අයුරිනි. .තමාගේ අවශ්‍යතා ඉටුකරගැනීම අනෙකා සම්බන්ධ කරගැනීමෙන් ඔබ්බට සිතිය යුතුය. මේ හිතවත්කම මානවයා උදෙසා පමණක් නොව ගහකොළ සතා සිව්පාවා පවා තිබිය යුතුය. නියම සුවය ඇත්තේ එතනයි.


දෙවන පත්තකම්ම සූත්‍රයේදි පැහැදිළි වන්නේ ආපදාවන් අවස්ථාවන් එළඹෙන බවයි. එනිසා ඒ පිළිබඳ සැලකිලිමත් වෙමින් අරපිරිමැස්මෙන් කටයුතු සම්පාදනය කරගත යුතු බවයි. විශේෂයෙන් ගින්න,ජලය, ස්වභාවික ආපදා, රාජසන්තක වීම්, සොරුන් විසින් පැහැර/ගැනීම්, මිනිසා විසින්ම ඇතිකරන ඇතැම් ව්‍යසනයක් නිසා හානි පැමිණේ. එහිදී පෙර වෙන්කර තිබූ සම්පත් භාවිතයට ගනිමින් සැපවත් වීමට හැකියාව ඇත. එසේ නොමැති වූ විට මහත් අලාභයන්ට පත්වී දුක් ගැහැටයන්ට ලක්වේ. සෑම විටම අවදානමක් ඇතිවිය හැකිය. එහෙයින් ලබන සම්පත් ඵලදායිව යෙදවීම අත්‍යවශ්‍යය. එය මසුරුකම නොවේ. සැමදාම එක හා සමාන ලැබීම් නැති බව තේරුම් ගත යුතුවේ. ස්වභාවික වටිනාකම් සහිත දේ වුවද යම් දිනක නැතිවී යයි. එහෙයින් විකල්ප පිළිබඳ අවධානය යොමුකිරීම වැදගත්ය. එසේ නොවන්නේ නම් මහත් දුකකට පත්වේ. තෙවන පත්තකම්ම සූත්‍රය තුළ අවධානය යොමුකරන්නේ කළ යුතු අනිවාර්ය ක්‍රියා කිහිපයක් සම්බන්ධවයි. එසේ නොවන්නේ මේ පුද්ගල වටිනාකම පිළිබඳ ප්‍රශ්න මතුවේ.






කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ දුරුතු අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ පෙබරවාරි 01 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment