Labels

Saturday, February 13, 2016

සසර ගමන තරණය කළ විශුද්ධි දෙවියන් කවුරුන් ද?


අදත් බුද්ධ අවවාදයක් ඔබට සමීප කරන්නයි මේ සූදානම් වෙන්නේ. මේ ලෝකය ඇති තතු ඒ පරිද්දෙන් අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ අසිරිමත් අවබෝධයක් සඳහා යන්නට හැකි වටිනා දේශනාවක් අපට වදාළා.
දන්තෝ සෝ භගවා දමතාය ධම්මං දේසේති

අසිරිමත් දාන්තභාවයකින් සැනහණු බුදුරජාණන් වහන්සේ අපටත් ඒ අසිරිමත් දාන්තභාවය ලැබීමට අවශ්‍ය කරන ධර්මයක්මයි වදාළේ.
සන්තෝ සෝ භගවා සමථාය ධම්මං දේසේති
මේ විශ්වගේ අසිරිමත් ශාන්තිය ළඟා කරගත් බුදුරජාණන් වහන්සේ අපටත් ඒ අසිරිමත් ඒ ශාන්තිය ලබන්නට අසිරිමත් ධර්මයක් වදාළා.

තිණ්ණෝ සෝ භගවා තරණාය ධම්මං දේසේති

ඒ බුදුරජාණන් වහන්සේ ඝෝර, මරු, භයානක සසර මැනවින් තරණය කර ඒ භයානක සසරෙන් මිදෙන්නට සසර තරණය කරන්නට කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිජ්ජා ඕඝ කියන සැඬපහර කඩා කපා සිඳගෙන යන්නට සසර තරණය කරන්නට හැකි අසිරිමත් ධර්මයක් අපට වදාළා.
ඒ නිසා බුද්ධ අවවාදවලට සිත යොමුකරන ඔබට අනවබෝධයෙන් අවබෝධයට යන්නට මඟ සැලසෙනවා. අදාන්තභාවයෙන් දාන්තභාවයට යන්නට මඟ විවර වෙනවා. අශාන්තභාවයෙන් ශාන්තභාවයට යන්නට මඟ විවර වෙනවා. භයානක සසරින් මිදී උත්තම ශාන්තියෙන් සැනසෙන්නට මඟ විවර වෙනවා.
ඔබ දෙවියන් ගැන කුමක්ද සිතන්නේ? ඇත්තෙන්ම දෙවියන් ඉන්නවාද? දෙවියන්ගේ බලය කවරාකාර ද? සමහර විට ඔබ දෙවියන් නොපිළිගන්නවා විය හැකියි. එසේම වුවහොත් තථාගතයන් වහන්සේ වදාළ සූත්‍ර දේශනාවලින් වැඩි ප්‍රමාණයක් අපට ඉවත් කරන්නට සිදුවෙනවා. ඒ ඇයි? බොහෝ දේශනා දෙවියන් අරභයා තථාගතයන් වහන්සේ වදාළා නිසා. තථාගතයන් වහන්සේ මේ දෙවියන් වර්ග තුනකින් හැඳින්වූවා.

1) සම්මුති දේව
2) උප්පත්ති දේව
3) විශුද්ධි දේව

සම්මුති දේව යනු– සම්මුතියට අප ප්‍රකාශ කරනවා, සම්මුතියන් පනවා ගන්නවා ඉතාම ගුණවන්ත පුද්ගලයෙක් සිටිනවානම් ඔහු සීල, සමාධි, ප්‍රඥාා වඩනවානම්, සද්පුරුෂ ගති ලක්ෂණ තිබෙනවානම්, මේ පුද්ගලයා හරියට දෙවියෙක් වගේ කියනවා. සද්පුරුෂභාවය මත ධර්මයේ භාවිතයේ මත මනුස්සයෝ දෙවියන් ලෙස සම්මුතියෙන් හැඳින්වෙනවා. අම්මට කියන්න පුළුවන් දේවතාවියක් කියා. තාත්තාට කියන්න පුළුවන් දෙවියෙක් කියා. හොඳ ගුණගරුක බිරිඳකට කියනවා ඇය නම් දේවතාවියක් වගේ කියා. හොඳ ස්වාමියෙක් ලැබුවිටත් කියනවා දෙවියෙක් වගේ කෙනෙක් ලැබුණා කියා. කවුද මේ හොඳ සද්පුරුෂයන් සද්පුරුෂ ආශ්‍රය පුදුමාකාර සිසිලසක් ජීවිතයට ලබා දෙනවා. සද්පුරුෂයන්ගේ ආශ්‍රය වඩාත්ම විඩාපත්ව සිටින කෙනෙකුට හමායන සුළඟින් සිසිලසක් ගෙන දෙනවා වගේ. මේ සසරේදී අපටත් ගුණවතුන්ගේ ආශ්‍රය ලැබුණොත් දෙවියෝ වගේ අපේ ජීවිතවලට සිසිලසක් ලැබෙනවා.

දෙවියන් වගේ මිනිසුන්ගේ ආශ්‍රය මත අපේ ජීවිත ආලෝකමත් වෙනවා. ඔබ කරදරයක වැටී සිටිද්දී කෙනෙක් කිසිම පිළිසරණක් නැතිව සිටිද්දී උදව් කළානම්, කරදරයෙන් මුදා ගත්තානම් ඔබ කියයි. ඔහුනම් දෙවියෙක් වගේ මට උදව් කළා කියා. සම්මුතියට අප ඒ වගේ සමහර පුද්ගලයන් ‘දේව‘ කියා හඳුන්වනවා. එහෙනම් ඒ සියලුම දෙනා සම්මුති දේව.
උප්පත්ති දේව යනු - ඔබ අසා තිබෙනවා මේ කාම භූමිය, රූප භූමිය, අරූපි භූමිය ලෝකෝත්තර භූමිය වශයෙන් භූමි හතරක් කාම භූමියේ කාම ලෝක එකොළහක් තිබෙනවා. ඒ තමා දිව්‍ය ලෝක හයයි, සතර අපාය හතරයි, මිනිස් ලෝකය යි. මේ එකළොස් කාම භූමියක් තිබෙනවා. දිව්‍ය ලෝකවල උපදින අය සිටයි උප්පත්ති දේව කියා හඳුන්වන්නේ ඒ පින් කළ අය. ඒ වගේම ඔබ මෙයත් මතක තබා ගන්න. දෙවියෙක් චුතවන විට දෙවියා බොහෝම සංවේගයට, කලකිරීමට පත්වෙනවා. සරසාගෙන සිටින මල් පරවෙනවා. ශරීරයට දහඩිය දමනවා. දේව වස්ත්‍ර අපිරිසුදු වෙනවා. දුර්ගන්ධය ශරීරයෙන් හමනවා. අනෙක් දෙවියන් දන්නවා මොහුගේ දිව්‍ය සැප අවසන් වෙලා මොහු චුත වීමට ආසන්නයි කියා. අනෙක් දෙවිවරු මේ දෙවියා සනසවනවා. ඔහුට කියනවා ඔබ චුතවෙලා සුගතියකට යන්න. සුගතියේ සිටින දෙවියන් කියනවා සුගතියකට යන්න කියා. එහෙමනම් මොකක්ද? ඔවුන් කියන සුගතිය. අප ජීවිත්වන මේ මනුස්ස ලෝකය යි. දෙවියන් මනුස්ස ලෝකය සුගති ලොවක් ලෙස හඳුන්වන බව එයින් පැහැදිලියි. එහෙනම් සීලය, සමාධිය, ප්‍රඥාව වඩන ඔබ දෙවියන්ට වඩාත් උසස් නොවේද? චාතුම්මහාරාජිකය, තාවතිිංසය, යාමය, තුසිතය, නිම්මානරතී, පරනිම්මිතවසවත්ති යන ලෝකවල උපදින අය උප්පත්ති දෙවියෝ යි.

විසුද්ධි දේව- කවුද? මේ විසුද්ධි දේව. ඒ උතුමෝත් ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. මහරහතන් වහන්සේ, පසේබුදුරජාණන් වහන්සේ , සහ සම්මාසම්බුදුරජාණන් වහන්සේ ඒ කොටස් තුනයි. මේ උතුමන් නිවී සැනසී සිටින්නේ. මේ සැනසීම පාරිශුද්ධිය, විසුද්ධිය මතයි. සිත ධර්මයට පුහුණු කරන පුද්ගලයාට සම්මුතිභාවය ඉක්මවා උප්පතිභාවයත් ඉක්මවා විසුද්ධිභාවයට පැමිණෙන්න පුළුවන්.

අප කා ළඟත් වටිනා බීජයක් තිබෙනවා. ඒ අරහත් බීජයයි. ඔබටත් ඒ බීජය තිබෙනවා. අපට තිබෙන්නේ එය පැළකර ගැනීමයි. බීජයක් පැළවෙන්න වතුර, පොහොර, සරුපස අවශ්‍යයි. එහෙනම් අරහත් බීජය පැළකර ගන්නට අපට වටිනාම දේ දම් අමා පැන් වූ බුදුබණ ශ්‍රවණය කිරීම. එහෙමනම් සම්මුතිදේව, උප්පත්ති දේව, විසුද්ධි දේව කියන මේ දේවතා කොට්ඨාස තුන ගැනයි ඔබට පැහැදිලි කළේ. මේ සසර ගමන අවසන් කරන්නනම් අපට විශුද්ධි දෙවියෙක් වීම අවශ්‍යම කරුණක්.

දිනක් තථාගතයන් වහන්සේ චාරිකාවේ වඩින අතරේ ගසක් අසල වැඩ විවේක ගත්තා. සාමණේරයන් වහන්සේ පස් නමකට වදාළා මහණෙනි, අර ඈත පෙනෙන සද්දන්ත සාර ගසේ තිබෙන වටිනාම දේ රැගෙන එන්න කියා. එකිනෙකා එතැනට යැව්වා. පළමු කෙනා විශාල ගසේ කොළ කඩාගෙන ආවේ වටිනා දේ සිතා. දෙවැන්න පොත්ත රැහැගෙනයි ආවේ. තුන්වැන්නා ගසේ සිවිය ගෙන ආවා. හතරවැනියා ගසේ එළය හූරගෙන ආවා. පස්වැන්නා අරටුවෙන් ටිකක් ගෙන ආවා. තථාගතයන් වහන්සේ වදාළා මහණෙනි, ඔබලා වගේ මේ සමාජයේ ඉන්න අය සම්බුද්ධ ශාසනය නමැති සාරභාර ගසේ වටිනාකම හඳුනන්නේ නැහැ. සම්බුද්ධ ශාසනය කියන ගසේ කොළ අතු කියන්නේ ලාභ සත්කාරයි. නිවන් මඟ යන එක එකක් ලාභ සත්කාර තව එකක්. මේ මාර්ග දෙකක්. යම්කිසි කෙනෙක් ලාභ ලබන්න නම් කීර්තියට, තානාන්තර පිටුපස යනවා නම් ඔහුට නිවන බොහෝ දුරයි. නිවනට යන පුද්ගලයා රාගය, ද්වේශය, මෝහය නැසීමටයි උත්සාහ කරන්නේ. එනිසා කෙනෙක් ලාභ සත්කාර සොයනවානම් සම්බුද්ධ ශාසනය නමැති ගසේ කොළ අතු අල්ලා ගත්තා වගේයි.

දෙවැන්නා ගනු ලැබුවේ ගසේ පොත්තයි. පොත්ත කියා උපමාවේ දැක්වෙන්නේ සම්බුදු සසුන නමැති ගසේ සීලය අල්ලා ගන්නවා. පන්සිල්, අටසිල්, දසසිල්, අධිසිල් සමාදන් වෙනවා. සීලය වටින්නේ වටිනාම දෙය වෙත ගමන් කරන්නයි, ශාසනයේ හරය සොයන්නයි. නමුත් සීලයෙන් මාන්නයට එනවානම් ඔහුටත් නිවන දුරයි.
තුන්වැන්නා ගෙන ආවේ සිවිය යි. සිවිය කියන්නේ ධ්‍යානයි. රූපාවචර ධ්‍යානය, අරූපාවචර ධ්‍යානය තුළ ජීවත් වෙනවා. එතැනින් ඉහළට යාමට උත්සාහයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පහළවන විට ඒ වගේ අය ඕනෑතරම් ජීවත් වුණා. නමුත් මේ තත්ත්වයත් සසර නිවීමට පුළුවන්කමක් නැහැ. ඔහුටත් මේ සසර දුරයි.

හතරවැනි කොටස ගසේ එළය ගත් අයයි. සම්බුදු සසුන නමැති ගසේ එළය කියන්නේ සෘර්දිය මත මාන්නයක් ඇතිකර ගැනීමයි. සෘර්දි ප්‍රතිහාරයත් තථාගතයන් වහන්සේ වර්ණනා කළේ නැහැ. සාරභාර ගසේ අරටුව ඒ නොවේ කියා වදාළා.
එසේනම් අරටුව කුමක්ද? ඒ තමයි අරහත් භාවය, පසේබුදු භාවය සම්මා සම්බුදු භාවය යි. ඔහු සම්මුති දෙවියෙක්, උප්පත්ති දෙවියෙක් නොවී විශුද්ධි දෙවියෙක් වී මේ දුක්ඛිත සසරේ භීතිය නැතිකරගෙන, සව්කෙලෙස් නසාගෙන නැවත නූපදෙන්නට, නැවත සසරට නො එන්නට උත්සාහ කිරීම. එතැන කර්මබීජ, ක්ලේශ බීජ, ස්මෘති බීජ නැහැ. සියලු බීජ සිඳී ගියා. නැවත උපදින්නට කිසිම බීජයක් නැහැ. එතැන තිබෙන්නේ උත්තම නිර්වාණය යි. මේ නිර්වාණය ලැබීමයි විශුද්ධි දෙවියෙක් ලෙස හඳුන්වන්නේ.
එනිසා අද අප කියා දුන් මේ දෙවියන් තිදෙනා හොඳින් හඳුනාගෙන සම්බුදු සසුන නැමැති මහා දැවැන්ත වෘක්ෂයේ අරටුව සොයා ගැනීමට උත්සහ කරන්න. නිවන තුළ සැනසෙන කෙනෙක් වීමට ඔබටත් ශක්තිය ලැබේවා.






දර්ශනපති, රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි








ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජනවාරි 23 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment