Labels

Sunday, February 21, 2016

ඊර්ෂ්‍යා කරන්නා විශාල හානියක් ඔහුට වන බව ඔහු නොදනී


අනෙකාගේ ජයග්‍රහණය, අනෙකාගේ සාර්ථකත්වය දරාගැනීම හෙවත් උහුළාගැනීම අපට තිබෙන නොහැකියාව ඊර්ෂ්‍යාව යන චෛතසිකය බව අප අවබෝධ කරගත යුතුයි. ද්වේෂය පඨිඝය තරහව යන ගැටෙන සුළු මානසික තත්වය ඊර්ෂ්‍යාව තුළ සැඟවී ඇත. සෝමනස්ස සහගත සිතක් තුළ ඊර්ෂ්‍යාව හට නොගන්නා අතර එය ද්වේෂ මුලික සිතක් තුළ ගොඩනැගෙයි. ඊර්ෂ්‍යාව විසින් අප තුළ අලුත් චෛතසික ධර්මයන් උපදවනු ලබයි. අනෙකාගේ සම්පත් අනෙකාගේ දියුණුව නොඉවසන්න පටන්ගැනීම තුළ අස්ථානයේ විචිකිච්ජාව නමැති චෛතසික තත්වයන් ඇති වේ.

යම් තැනැත්තකු ඉතා පහසුකම් සහිත ගේ දොර, ඉතාම සුඛෝපබෝගී පහසුකම් සහිත යාන වාහන පාවිච්ච් කරනවා දකින අපට ඔහුගේ සැපත උහුළාගැනීමට නොහැකි තත්වයකට පැමිණුන විට අප වාග් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගනී. අපට පිටතින් නොපෙනුනාට ඔයතරම් දියුණු වීමට නම්, මොනවා හරි ඇතුළතින් ඇති. නැත්නම් ඔය තිබෙන තත්වයෙන් උඩට යන්න බැහැ. යනුවෙන් විචිකිච්ජාවෙන් යුතුව ප්‍රකාශ කරනු ලබයි. නැත්නම් අපටත් ඔහොම ලැබෙන්න එපායැ.

කෝ අපට එහෙම ලැබිල නැහැනෙ. එම ජයග්‍රහණය අපගේ මනසට උහුළාගත නොහැකි වීම එයට හේතුවේ. එම සැකය අප තුළ ගොඩනැගෙන විට අප ඔහුට අස්ථානයේ චෝදනා කිරීමට පටන් ගනියි. ඒ තුළ ද්වේෂය ගැබිව පවති. ඔහු හෝ ඇය මට වඩා ඉහළ තත්වයකට පත්වු බව සිතම්න් ද්වේෂ කරයි. මෙවැනි අවස්ථාවන් තුළදී මිනිසුන් විසින් තමාගේ මනස තුළ විචිකිච්ජා සහගත තත්වයන් උදාකරගනු ලබයි.

ගෘහ ජීවිතය තුළ වුවද තමා අත්විඳින යම් කිසි දෙයක් අනෙකා විසින් උඳුරා ගනිවී යැයි සිතා තවකෙනකු එම සැපත අල්වා ගිනිවී යැයි ස්ත්‍රියකට හෝ පුරුෂයකුට ඊර්ෂ්‍යාවක් ඇති වුවහොත් එය ඇතුළත අනෙකුත් මනෝභාවයන් ක්‍රියාත්මක වෙනු ඇත.
තමාගේ සැපත ඉක්මවා වෙනකෙනකු එම සැපත අත්විඳිනවා දැකීමට සාමාන්‍ය පෘතග්ජන මනසක් සතුටු වන්නේ නැහැ. තමන් විඳපු දෙය වෙනකෙනකුට ලැබෙන විටත් තමාට විඳීමට හම්බ නොවන දෙයක් කවුරුන් හෝ අයෙකු විඳිනවාය යන මානසික තත්වයක් හටගනී. ඉතාම සම්පූර්ණ වූත් සාර්ථක වූත් පුද්ගලයකු මේ ලෝකය තුළ නොමැති වුවද, භෞතිකව යම් හෝ සම්පත් ප්‍රමාණයක් ඇති අය තුළ වුවද, අනෙකා පිළිබඳව ඊර්ෂ්‍යාවක් හටගනී.
එතරම් දේවල් නැති අය තුළ වුවද එය වෙනත් ආකාරයකින් හටගනී. අනෙකාට තිබෙන සිදහස අපට කොයින්ද? ඒ ගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැනෙ. ඉතාම ඉහළ තලයක පහසුකම් භුක්තිවිඳින අයවලුන් තුළ වුවද ඉතාම පහළ තලයක පහසුකම් භුක්ති විඳින අය පිළිබඳව අසහනයක් පැමිණිය හැකියි. ඇතැම් අවස්ථාවල තිරිසන් සතුන්ට පවා තමා උපමා කරගනු ලබයි. මම කුරුල්ලෙක් වෙලා ඉපදුනා නම් හොඳියි. යන බව ඇතැමෙකු ප්‍රකාශ කරන අවස්ථා නැතුවා නොවේ.

ඔහු සතකුට වඩා ඉහළ පහසුකම් තමා විසින් භුක්තිවින්දා වුවද, එහි වටිනාකමක් පිළිබඳ හැඟීමක් වත් ඔහුට නැත. කුරුල්ලන් තිරිසන් ආත්මයක ඉපදී කුසගින්නට පළතුරු ටිකක් වත් සොයාගැනීමට නොහැකිව දහඳුක් විඳිනවා විය හැකි වුවද, කුරුළු ජෝඩුවක් ඉතා සමීපව අත්තක වසා සිටින විට ඔවුන් අපට වැඩිය සතුටින් ඉන්නා බව සිතමින් මිනිස් ජෝඩු කුරුළු ජෝඩු ළඟ හීනමානයක් ඇති කර ගනු ලබයි. ඉතාම ඉහළ තලයක ජීවත් වුවද, තමාට වඩා ඉතාම පහළ මට්ටමක සිටින අයගේ පොඩි පොඩි දේ තමාගේ අසාර්ථකත්වය ලෙසත්, ඔවුන් තමාට වඩා සාර්ථක තත්වයට පත්වුවන් ලෙසත් පෙනෙන්න පටන්ගනී.

ඊර්ෂ්‍යාව යන මානසික මට්ටම තමා තුළ නිර්මාණය වන ප්‍රමාණයට ඔහු හෝ ඇය ඇතුළතින් විශාල වශයෙන් තැවෙන්න දැවෙන්න පිච්චෙන්න පටන් ගනී. අඟුරු වළකට අතදමා අඟුරු ප්‍රමාණයක් අතට රැගෙන අනෙකාට එම ගිනි අඟුරු ගසනවා වැනි ක්‍රියාවක් ඊර්ෂ්‍යාව තුළ පවතී. අත වැඩි ප්‍රමාණයක් පිළිස්සෙනුයේ අඟුරු වළට අත දමා අඟුරු ප්‍රමාණයක් අතට ගත්ත පුද්ගලයා තුළ වන ගැටීම විශාල හානියක් වන අතරම එම අඟුරු කැබලි විසිකිරීමේදී ශරීරයට පහර වැදීමෙන් අනෙකාට සිදුවන හානිය සාපේක්ෂව අඩු මට්ටමක පවතී. අඟුරු ලබාගන්නා පුද්ගලයාගේ සම්පූර්ණ අතම පිළිස්සෙනු ලබයි.

ඊර්ෂ්‍යාව මේ ලෝක වශයෙන් පුද්ගලයාට විශාල හානියක් කරනු ලබයි. ඔහුගේ පුද්ගලික ජීවිතයට අධ්‍යාත්මයට විශාලම හානිය ඊර්ෂ්‍යාව තුළින් අනිවාර්යෙන්ම සිදුවනු ඇත. ඊර්ෂ්‍යාවට ගොඳුරු වන පුද්ගලයාට හානියක් සිදුවන බවට ඊර්ෂ්‍යාව කරන පුද්ගලයා සිතුවා වුවද, ඊර්ෂ්‍යා කරන පුද්ගලයා විශාල හානියක් ඔහුට වන බව ඔහු නොදනී. ඊර්ෂ්‍යා කරන පුද්ගලයා ඉතාම අතෘප්තිකර ජීවිතයකට පිවිසීමත් සමඟම තමාට ලැබෙන කිසිවක් තුළින් ඔහු සතුටට පත්නොවනු ඇත.

තමාගේ පෙනුම, තමාගේ හැකියාව, තමාගේ ශක්තිය, තමන්ගේ බලය, තමන්ට තිබෙන දේ කිසිවක් පිළිබඳව ඔහුට ඔහු පිළිබඳව සතුටක් නැතිව යයි. අනෙකාගේ දියුණුව ජයග්‍රහණය දරාගැනීමට නොහැකි වීම තුළ ඊර්ෂ්‍යාව හටගනී. තමාට තමා සම්බන්ධව තෘප්තිමත් බවක් නොමැති මිනිසුන් තුළ ඔවුන්ගේ දියුණුව සදහා අවශ්‍ය වන කාර්යක්ෂමතාවය ගොඩනැඟෙන්නේ නැත. කාර්යක්ෂම භාවය ඇතිවීමටත් වගකීම්සහගත බව ඇති විමටත් තෘප්තිමත්භාවය ප්‍රධාන හේතුවක් වනු ඇත.
තමාට තමා පිළිබඳව සතුටක් නොමැතිව ජීවත්වන පුද්ගලයකු කවදාවත් වගකීම් සහගත වන්නේ නැත. අතෘප්තිමත් පුද්ගලයා තමාට තමා පිළිබඳව සතුටක් නොමැතිව ජීවත්වන පුද්ගලයා කිසිම දවසක වගකීම් සහගත වන්නේ නැත. ඔහු හෝ ඇය සැම විටම හිස්බවකින් පීඩා විඳිනු ලබයි. ඔහු හෝ ඇය සැමවිටම තමා පිළිබඳව කළකිරීමකින්, ද්වේෂයකින් පසුවෙනු ලබයි.
තමාට තමා සම්බන්ධව තිබෙන ද්වේෂය අනෙක් පිරිසට ප්‍රක්ෂේපණය කිරීම ඊර්ෂ්‍යාකිරීම වෙයි. එවැනි පුද්ගලයකු සිටින්නේ අසතුටෙන් නම් ඔහු තමා පිළිබදව සිටින්නේ ද්වේෂයෙන් නම්, ඔහුට කිසිදු ජයග්‍රහණයක් උදාකර ගැනීමට ලැබෙන්නේ නැත.
බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඊර්ෂ්‍යාවෙන් තරහවෙන් පෙළි පෙළී සිටිය දේවදත්ත කෙතරම් පහළට ඇද වැටුනාද?
ඉඳ ඉඳ එක වෙහෙර

විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර
අහෝ දෙවිදත් නොදිටි මොක්පුර

දේවදත්තට නිවන් දැකීමට නොහැකි විය. බුදුරජාණන් වහන්සේගේ සාර්ථකත්වය පිළිබඳව දේවදත්තට තිබූ ද්වේෂය මූලික වූ ඊර්ෂ්‍යාව ඔස්සේ ඔහු අසාර්ථක බව ඔහුට දැනින. ඔහු තුළ පැවති අතෘප්තිමත්භාවය එකම ශීලාදී ගුණයක් වඩා ගැනීමට නොහැකිව සමාධි ප්‍රඥාවඩා උතුම් ඵලයකට පත්වීමට ඔහුට නොහැකි විය. ඔහු අතෘප්තිමත්ව ජීවත් වූවෙකු වුණා.

ඔබ අනෙකා පිළිබඳව නිර්මාණය කරගනු ලබන ඊර්ෂ්‍යාව නම්, ඔබ ඔබ සම්බන්ධව ඇතිකර ගනු ලබන ද්වේෂයයි. ඔබ ඔබ සම්බන්ධව ද්වේෂ සහගත මනෝභාවයකින් ජීවත් වන විට ඔබගේ කාර්ක්ෂමභාවය අඩාල වේ. ඔබගේ වගකීම් සහගත බව අඩාල වෙනවා. ඔබගේ මනසෙහි තෘප්තිමත් බව නැතිව යනවා යනු ඔබගේ මානසික නිරෝගී භාවයට විශාල හානියක් වනු ඇත.
"සන්තුට්ඨ් පරමං ධනං" යන්න වර්තමානය වන විට සෞඛ්‍ය සංවිධානය ද පිළිගනු ලබයි. පුද්ගලයකු සතුටින් ජීවත් වීම මානසික සෞඛ්‍යයට ඉතාම අවශ්‍යයයි. සියලු ශාරීරික රෝගා බාධයන්ට මානසික අසතුට හේතු වෙයි. ඒ නිසාම පුද්ගලකුගේ මේ ලෝක ජීවිතයේ අසාර්ථක භාවයට හානිකර තත්වයක් උදාකරලීමට ඊර්ෂ්‍යාව යන මනෝභාවය අනිවාර්යෙන් බලපානු ලබයි.

අප තුළ ඊර්ෂ්‍යාව ඇති වුවාට පසුව අප කරනු ලබන දේවල් අපටම නොතේරෙයි. පූද්ගලයකුගේ සාර්ථකත්වය උහුළාගැනීමට නොහැකි වූ විට අභූත චෝදනා නගන තත්වයක් කරා ගමන් කරනු ලබයි. මෙම මනෝභාවය වටහාගනු ලැබුවහොත් අද වුවද එයින් මිදිය හැකිවේ.
රහත් වන තුරුම ද්වේෂ සහගත සිත පවතින නිසාම යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ජීවත් විය යුතු බවට බුදුපියාණන් වහන්සේ වදාරනු ලැබුවේද එනිසයි. අනාගාමී තත්වයට පත් වූ විට එම පඨීඝ සිත දුරුවී යනු ඇත. එවැනි තලයකට පැමිණෙන තුරුම ඊර්ෂ්‍යාවත් සමඟ ගැට ගැසී ද්වේෂය පසු පස ගමන් කරයි.

ඔබ ඉතාම අයහපත් හැසිරීම්වල ට පෙළඹිය හැකියි. ඔබ ඉතාම යහපත් මිනිසුන් විනාශකරන තත්වයකට පත්විය හැකියි. අවසානයේ තමන් විසින් තමා විනාශ වීම වැළැක්විය නොහැකියි. තමා කරනු ලබන සෑම ක්‍රියාවකටම තමා වගකීම්ගත යුතු වෙයි


2016 ක් වූ පෙබරවාරි 22 වනදා සඳුදා   බුදු සරණ පුවත්පත් වල පළ වූ ලිපිය


ඊර්ෂ්‍යා සහගත මනෝභාවයන්ගෙන් පීඩා විඳින තැනැත්තකු මෙලොවදීම අසාර්ථක වනු ඇත. භෞතික ජීවිත තුළ ඊර්ෂ්‍යා කරන පුද්ගලයන් සෑම විටම භෞතික ජයග්‍රහණයන් තුළදී ද පහළට වැටෙනු ඇත. ඊර්ෂ්‍යාව විසින් ඔහුට හෝ ඇයට ඒ පිළිබඳව නිවැරැදිව වටහාගැනීමට නිවැරැදිව දැකීමක් කරා යැමට ඉඩ තබන්නේ නැත.

සේරි වාණිජ ජාතකය තුළදී සේරි වෙළෙන්දාට බෝධිසත්ව වෙළෙන්දාගේ වාණිජමය හැකියාව උහුළාගත නොහැකි තත්වයක් උදාවිය. ඔහුගේ අසාර්ථක තත්වයක් ලෙස ඔහුට එය පෙනෙන්නට පටන් ගනී. ඊර්ෂ්‍යාව යන මනෝභාවය ඇති පුද්ගලයා තමාගේ අසාර්ථකත්වයට හේතු වනුයේ අනෙකාගේ තත්වයක් ලෙස දකියි. අපගේ අසතුට නිර්මාණය වීම සඳහා හේතුවක් ලෙස වෙනම පිරිසක් හේතු කරගනී.අනෙකාගේ පොහොසත්කම තමාගේ දුප්පත්කම හේතුවක් විය හැකි බවට දුප්පතකුට සිතිය හැකියි. මේ අය ටැක්ස් නොගෙවා නිකන් ඉන්න නිසා අපට විෙවිකයක් නොමැතිව වැඩ කිරීමට සිදුවෙලා තිබෙන්නේ.නිකන් සිටින අයටත් එක්ක ටැක්ස් ගෙවීමට සිදුවී තිබෙන බවට ඇතැමෙකුට සිතිය හැකියි. යනුවෙන් අපගේ අසහනයට වෙන පිරිසක් හේතුකර ගනී. ඊර්ෂ්‍යාව චෛතසිකය පැමිණුනාට පසුව 
සාමාන්‍යයෙන් මිනිසුන් තුළ හැසිරෙනුයේ එවැනි ආකාරයකයි. ඒ නිසා මෙවැනි මනෝභාවයන් තුළ යම් පුද්ගලයකු අඛණ්ඩව සිටිය හොත් ඔහු එයට හුරු පුරුදු කරගෙන ඊළඟ භවය කරා ගමන් කරනු ලබයි. ඊළඟ භවය තුළත් ඔහු යම්කිසි කුසලතාවයන් ඇතිකර ගන්නේ නැතිව ඉතාම දුර්වලයකු ආකාරයට නොසිතා තමන්ට ලැබුණ දෙයින් තමා තෘප්තිමත්ව තමා සාර්ථක නොවී කුසල් උපදවා නොගෙන ඊළඟ භවය කරා ගමන් කළ හොත් ඊළඟ භවය තුළ ඔහු අල්පේශාක්‍ය වීම අනිවාර්ය වේ. පුරුඳු පුහුණු කරන ලඳ යම් කිසි කුසල් ප්‍රමාණයක් සමඟ අප මේ භවය නිමාකළ හොත් පමණි. අපට ඊළග භවය තුළ සාර්ථකත්වතය කරා ගමන් කළ හැකි වන්නේ, 
සාර්ථක ස්ථානයකින් ආරම්භ කෙරුවකු මහේශාක්‍ය ලෙස හදුන්වනු ලබයි. අසාර්ථකත්වයේ සිටින පිරිස අල්පේශාක්‍ය ලෙස හදුන්වනු ලබයි. මේ ආත්මය තුළ ඇතිකර ගනු ලබන ඊර්ෂ්‍යාව නිසා අපේ සිත කරනු ලබන හැසීරීම් අප තුළ ඇතිවන අකාර්යක්ෂම කම වගකීම් විරහිත කම සිල්වත්භාවයත් නොමැතිකම එයට අදාල වන ප්‍රතිපත්ති නොරැකීම තුළ ඊළඟ ආත්මභවය ඉතාම දුක්ඛිත පරිසරයකට වැටීමට තිබෙන ඉඩකඩ වැඩිෙවියි. අප පුහුණුකරනු ලබන දෙය අනුව ඊළඟ භවය නිර්මාණය වනු ඇත. ඊර්ෂ්‍යාවෙන් ජීවත්වන අයෙකු යහපත් කුසල්, යහපත් හැකියාවන් මෙම භව ගමනේ නිර්මාණය කරගනු ලබන බවට විශ්වාස කළ නොහැකියි. සතුටින් ජීවත්වන මිනිසුන් ඉතාම නිර්මාණශීලි වුවන් වෙයි. තමන් පිළිබඳ තෘප්තිමත් පුද්ගලයා මේ භවය තුළ ඉතාම සාර්ථක වුවන් වෙයි. ඒ තමන්ට ලැබෙන ඕනෑම දෙයක් තෘප්තිමත්ව බාරගන්නා පුද්ගලයන් අඛණ්ඩව ඇතිකරගනු ලබන්නා වූ කුසලතා සමඟ ඊළඟ භවය කරා ගමන් කරනු ලැබුවහොත් ඔවුන්ගේ ඊළඟ භවය ආරම්භ කරන්නෙම මහේශාක්‍ය ආකාරයට අනෙකාට වඩා ඉදිරියෙන් ආරම්භය පටන් ගනී.

යමිකිසි පුදුගලයකු ඊර්ෂ්‍යාව යන මනෝභාවය ඇතිකර ගැනීමත් සමඟම ඔහු ඔහුගේ විනාශය උදාකර ගැනීමට පටන් ගනී. තමා තුළ ඇතිකර ගනු ලබන ඊර්ෂ්‍යාව නිසා තමාට පමණක් හානියක් නොවන අතර එම ඊර්ෂ්‍යා සහගත පුදුගලයන් විශාල වශයෙන් අනෙකා හානිකරනු ලැබූ අවස්ථාවන් බොහෝ පවතී.තමාගේ අසාර්ථකභාවය මත පදනම්ව ඔහු තුªළ ගොඩනැගෙන දීර්ඝ කාලීන වෛරය දැවැන්ත මිනිස් සංහාරවලට නායකත්වය සපයනු ලැබු අවස්ථා ඉතිහාසය තුළ නැතුවා නොවේ. අනෙකා සතුටින් සිටීම උහුලාගත නොහැකිවීම ඔවුන් තුළ පවතින මනෝභාවයයි. පරාර්ථකාමී ස්වභාවයක් පෙන්නුම් කරම්න්ම ඊ්ර්ෂ්‍යාව ඇතිවිය හැකියි. අනුන් පිළිබදව සිතන ස්වභාවයෙන්ම තමා තුළ ඇති ඊර්ෂ්‍යාව එළියට පැමිණුනද එය බැලූ බැල්මට පරාර්ථකාමී වේ. අනුන් පිළිපඳව සිතන ස්වභාවයක් පෙන්නුම් කළද එය ඇතුළත ඉතාම දැඩි ඊර්ෂ්‍යාව පැවතිය හැකිය.පරාර්ථකාමී ස්වභාවයෙන් ඊර්ෂ්‍යාව පැමිණෙන විට එය අනෙකාට වටහා ගැනීමද අපහසු විය හැකියි. ඔහුගේ හෝ ඇයගේ අසාර්ථකත්වය පිළිබඳව හෝ අඩුපාඩු පිළිබඳව ඔහු හෝ ඇය තුළ පවතින අසාර්ථකභාවය පිළිබඳව ප්‍රශ්නය අනෙකාගේ සාර්ථකත්වයට එරෙහිව එළියට පනියි. මම මේ සියල්ල කරනු ලැබුයේ සමස්තයේ යහපත වෙනුවෙන් බව පිටතට පෙන්වමින් සමහර විට මරණයට පත්වන තුරුම මෙම ලේබලය ගසාගෙන ක්‍රියාකාරී විය හැකියි. ඇතුළත වැඩකරනු ලබන්නේ හීනනමානයක් වුවද තමා තරම් පරාර්ථකාමියකු වෙන නොමැති බවට තමාද සිතීමට පෙළඹෙනු ඇත. ඔහුගේ අසාර්ථකත්වය පිළිබඳව ඔහු තුළ පවතින තරහව පරාර්ථකාමී ස්වභාවයෙන් එලියට පැමිණිමට ඉඩ ඇත.

මෙම මනෝභාවයෙන් ඔබ ඉතාම ප්‍රවේසමි විය යුතුයි. අප රැවටීමට අපව වංචා කිරීමට මෙම මනෝභාවයන්ට විශාල ශක්තියක් පවතී. මගේ අසාර්ථකත්වය නිසා මා තුළ ගොඩනැගෙන අසහනය මිස මගේ අඩුව සම්බන්ධව තිබෙන අසහනය බව වටහා ගත යුතුයි. එම තත්වය හඳුනාගත්තාය යනු ඔහු එම මනෝභාවයෙන් ඉවත් වීමට පටන් ගැනීම වේ. පරාර්ථකාමයේ වේශය වැනි වෙනත් රූපවලින් ඊර්ෂ්‍යාව කියන මනෝභාවය අප ජීවිතය තුළ වරින් වර එළියට පැමිණිමේ හැකියාව තියෙනවා. දේවදත්ත පංචවර නමින් ලස්සන කාරණා පහක් ඉල්ලමින් පෙන්නුම් කරනුයේ බොහොම යහපත් අයෙකුගේ යහපත් යෝජනා ආකාරයෙනි. එවැනි පොදු කාරණා තුළින් බුදුහිමියන්ට පහර දිය හැකි බවද, බුදු හිමියන් එවැනි අන්තවල ට අවසර නොදෙන බව දන්නා දේවදත්ත බුදුහිමියන්ට එරෙහිව යම් පිරිසක් පෙළ ගස්වාගැනීමට ඔහුට තිබෙන අවශ්‍යතාවය, බුදුහිමියන් සමීපයෙහි දේවදත්ත කුඩා කල සිටම දක්වනු ලැබූ අසාර්ථකත්වය, සංසාරයේ ගමන් තුළ හැම ආත්මයක් තුළදීම බුදුහිමියන් සමීපයෙහි අසාර්ථක වූ ප්‍රශ්නය ඔහු තුළ ක්‍රියාත්මක වේ. බුදුහිමියන් සම්බන්ධව පැවතුණ තරහව එළියට පැමිණෙනුයේ නිවන් මඟට විශාල උපකාරයක් වෙන හැසිරීමක් ලෙසයි. මෙම චෛතසිකය තේරුම් නොගත හොත් අපටම අප වසඟ වේ.

භාවනා කිරීම නමි, හොඳයි ඔහු හෝ ඇය ඇත්තටම භාවනා කරනවාද? ඕවාට කලබල වන්න එපා. ඔයවැනි අය කලිනුත් ඉඳල තියෙනවා. බුදුහිමියන් වදාළ දහමට අනුව ප්‍රත්‍යක්ෂ වූවාට පසු පිළිගැනීමට සූදානම් වන බව පෙන්නුම් කළාට අනෙකා ගේ යහපත් ජයග්‍රහණය නොරිස්සීම ඒ තුළ පවතී. බුදුහිමියන් දෙස බලාගෙන මද වේලවකට හෝ භාවනාකිරීමට නොහැකි වීමේ අසහනය අසාර්ථකත්වයයි. ඔබ අනෙකා සම්බන්ධව සොයමින් පර්යේෂණ කිරීමේ ස්වභාවයෙන්ම ඔබ තුළට ඊර්ෂ්‍යාව පැමිණිය හැකියි. එම පර්යේෂණයේ අවසාන සෙවීම යනු අනෙකාගේ ජයග්‍රහණයට තාවකාලිකව කළ හැකි දෑ කුමක්ද? යන්න සීතීමයි. මෙරමා පිළිබඳව සොයනවා නම්, අනෙකාගෙන් යම් කිසි ආදර්ශයක් ගත හැකි නම්, පමණක් සොයන්න. එසේ නොමැතිව අනෙකා පිළිබඳව සොයන්නට කිසිවිටෙකවත් පෙළඹෙන්න එපා. ඔබට ඒ තුළින් යහපතක් වන්නේ නැත. ඔහු ගුණවත්ද, සිල්වත්ද යන්න මට අදාළ වන කාරණාවක් නොවේ. අනෙකාගේ සාර්ථකත්වය සොයමින් සිටීමේ පලක් නැත. ඔබ අනෙකා පිළිබඳව සොයන්න ආරම්භ කරන්නේම ඔබ තුළ පවතින ඊර්ෂ්‍යාව නිසයි.
ඔබ තුළ ආගම් පිළිබඳව හීනමානයක් ඇතිකර නොගත යුතුයි. ඔබ ඒ තුළ පීඩාවක් ඇතිකර නොගත යුතුයි. තමන් උප්්පත්තිය ලැබූ කුලය හෝ ජනවර්ගය ඇතුළත තමන් පහත්ය යන මනෝභාවය පැමිණුනහොත් ඒ ආශ්‍රිතව සිටින අනෙක් පිරිස කෙරෙහි ඊර්ෂ්‍යා කිරීමට පෙළඹේ. බුදුපියාණන් වහන්සේ ගේ ධර්මය තුළ එවැනි කරුණු කාරණා සංසාරික වන බව පැහැදිළි කර වදාරා ඇත. ජාති ආගම් කුªල භේද කිසිවක් අප විසින් තෝරාගනු ලබන්නාවූ කාරණා නොවේ. කුලය කාගේ හෝ තෝරාගැනීමක් නොවේ. අප ඉපදෙන විටම කර්මය විසින් අප ඒ තත්වයට පත් කරයි. එය කර්මානුරූපව වන දේවල් බව බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. දෛවෝප-ගතව සිදුවූ දේ පිළිබඳව අප අතෘප්තිකර වීමට කාරණාවක් නොවන්නේ එය ඔබගේ තෝරා ගැනීමක් නොවන නිසයි. අප ඉපදෙන විටම ලැබෙන කාරණාවක් පිළිබඳව කලබල නොවිය යුතුයි. එය අපගේ තෝරාගැනීම නොවන නිසාම ඒ පිළිබඳව අප අසහනයට පත් නොවිය යුතුයි. එය පින් පව් බව වටහා ගත යුතුයි.

ඔහු පිළිබඳව අප තුළ පවතින ඊර්ෂ්‍යාව නිසාම යමෙකු පැරදවීමට සිතුවහොත් ඔහු කරනු ලබන ක්‍රියා මාර්ගය තුළ තව බොහෝ දේ විනාශ කර දැමිය හැකියි. මිනිස් ජීවිතය හා බැඳුණු කාරණා සම්පූර්ණයෙන්ම නැතිකර දැමීමට පෙළඹිය හැකියි. ඔබට වඩා ඉහළින් සිටින පිරිස් හා ඔබට වඩා පහළින් සිටින පිරිස් පිළිබඳව මගේ පැවැත්මට මෙම හැමෝම සම්බන්ධ වන බවයි.

ඊර්ෂ්‍යාවට ප්‍රතිපක්ෂව වැඩිය යුතු කුසල චෛතසිකය ලෙස මුදිතාව වැඩිය යුතු බවට බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. මුදිතාවේ ආරම්භය තමා පිළිබඳව තෘප්තිමත් වීමයි. තමා පිළිබඳව සතුටක් තිබෙනවා නම් පමණයි අනෙකාගේ ජයග්‍රහණයන් අනෙකා විඳින දේ පිළිබඳව සතුටට පත්විය හැකිවන්නේ. එනිසා තමා සම්බන්ධව මුදිතාව උපදවා ගත යුතුමයි. තමා තුළ මුදිතාව වැඩිය යුතුයි. මව පියා පළමුවෙන්ම තමාගේ දරුවන් පිළිබඳව මුදිතාව ඇතිකර ගත යුතුයි. තමාගේ දරුවන්ගේ සාර්ථකත්වය තමාගේ සාර්ථකත්වය ලෙස සිතිය යුතුයි. මවක් ලෙස තමා සතුටුවනවා නම්, පියකු ලෙස තමා සතුටු වනවා නමි, තමන්ගේ සතුට ඇතුළත අනෙකාගේ ජයග්‍රහණය උහුළාගත හැකියි. මුදිතාව නම්, අනෙකාගේ දියුණුව සම්බන්ධව නිරාමිසව සතුටු වීමයි. බලාපොරොත්තු තබාගෙන සතුටු නොවිය යුතුයි. මුදිතාව වර්ධනය කරගැනීමට නම් තමා පිළිබඳව සතුටු වීම ආරම්භ කළ යුතුයි.




හෝමාගම මුල්ලේගම
ශ්‍රී සීලාලංකාර මාවත 
ආර්ය නිකේතන නිර්මාතෘ ශාස්ත්‍රපති 
මාවරලේ භද්දිය හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ නවම් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ පෙබරවාරි 15 වන සඳුදා දින   හා  නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ පෙබරවාරි 22 වනදා සඳුදා   බුදු සරණ පුවත්පත් වල පළ වූ ලිපි දෙකකි

No comments:

Post a Comment