අප භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ මහා කරුණාවෙන් සකල ලෝකවාසී සත්ත්වයන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් ඒ සියලු සත්ත්වයන්ට සසර කතරින් එතෙරවීමට උපකාරි වන උතුම් දහමක් තමයි දේශනා කොට වදාළේ.
විශේෂයෙන්ම සත්ත්වයා දිගින් දිගටම මේ සසරේ උපත ලබන්නෙ මේ ආයතනවලට තිබෙන ඇලීමක් බැඳීමක් නිසා බව උන්වහන්සේ මැනවින් පැහැදිලි කර දුන්නා. මොනවද ඒ ආයතන ඒ තමයි ඇස, කන, නාසය, දිව, කය හා මනස මේවට සම්බන්ධ වන බාහිර ආයතනයන් තිබෙනවා. ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ හා අරමුණු සංයුක්ත නිකායේ සලායතන සංයුත්තයේ ඉතාමත් උතුම් සූත්‍ර රාශියක්ම තිබෙනවා. ඒ අතර තිබෙන වැදගත්ම සූත්‍ර දෙකක් තමයි සප්පාය පටිපදා සූත්‍රය හා සාරුප්ප පටිපදා සූත්‍රය. සියලුම කෙලෙස් නැසීමට ගැළපෙන ප්‍රතිපදාවක් තමයි මේ සූත්‍ර දෙකෙන්ම දේශනා කර තිබෙන්නෙ.
සැවැත් නුවරදී දේශනා වුනු මේ සූත්‍ර දෙකෙන්ම කියවෙන්නේ මමත්වයෙන් සිතාගත් සෑම දෙයක්ම මුලින්ම විනාශවීම පිණිස ගැළපෙන ප්‍රතිපදාව. එක ආයතනයක් පිළිබඳව හතර ආකාරයකින් කල්පනා කිරීම, සිතීම තුලින් අපට මමත්වය මුලින්ම විනාශකර ගැනීමට උපකාර වෙනවා. ඒ වගේම එක ආයතනයක් අංග පහකින් අපි විමසා බැලිය යුතු වෙනවා” සබ්බමඤ්ඤිත සමුග්ගාත සාරුප්ප පටිපදා, සබ්බමඤ්ඤිත සමුග්ගාත සප්පාය පටිපදා කියල කියන්නෙ මමත්වයෙන් සිතාගත් සෑම දෙයක්ම මුලින්ම විනාශ වීමට ගැළපෙන ප්‍රතිපදාව.
මෙහිදී භික්ෂුව ඇස මම කියල මමත්වයෙන් හිතන්නෙ නැහැ. ඇස තුළ මම ඉන්නවා කියල මමත්වයෙන් හිතන්නෙ නැහැ. ඇසෙන් බාහිරව මම ඉන්නව කියල මමත්වයෙන් හිතන්නෙ නැහැ. ඇස මගේ කියල මමත්වයෙන් හිතන්නෙ නැහැ.
ඒ වගේම ඇසට පෙනෙන රූප ගැනත් ඒ විදියට කල්පනා කරනව. රූප මම කියල මමත්වයෙන් හිතන්නෙ නැහැ.රූප තුළ මම ඉන්නව කියල මමත්වයෙන් හිතන්නෙ නැහැ. රූපයෙන් බාහිරව මම ඉන්නව කියල මමත්වයෙන් හිතන්නෙ නැහැ. රූප මගේ කියල මමත්වයෙන් හිතන්නෙ නැහැ.
ඒ වගේම ඇසේ සිත නැතිනම් ඇසේ විඤ්ඤාණය ගැනත් ඒ භික්ෂුව කල්පනා කරන ආකාරය මේ විදියයි.ඇසේ විඤ්ඤාණය මම කියල මමත්වයෙන් හිතන්නෙ නැහැ. ඇසේ විඤ්ඤාණය තුළ මම ඉන්නවා කියල මමත්වයෙන් හිතන්නෙ නැහැ. ඇසේ විඤ්ඤාණයෙන් බාහිරව මම ඉන්නවා කියල මමත්වයෙන් හිතන්නෙ නැහැ. ඇසේ විඤ්ඤාණය මගේ කියල මමත්වයෙන් හිතන්නෙ නැහැ.
ඊළඟට ඇසේ ස්පර්ශය ගැන තමයි විමසා බලන්නෙ.ඇසේ ස්පර්ශය කියන්නෙ ඇසයි, රූපයි, විඤ්ඤාණයයි එකතුවීම . එතකොට ඒ භික්ෂුව ඇසේ ස්පර්ශය මම කියල මමත්වයෙන් පිළිගන්නෙ නැහැ. ඇසේ ස්පර්ශය තුළ මම ඉන්නවා කියල මමත්වයෙන් සිතන්නේ නැහැ. ඇසේ ස්පර්ශයෙන් බාහිරව මම ඉන්නවා කියලා මමත්වයෙන් හිතන්නේ නැහැ. ඇසේ ස්පර්ශය මගේ කියල මමත්වයෙන් හිතන්නේ නැහැ. ඇසේ ස්පර්ශයෙන් උපදන යම් ආකාරයක සැපවේවා, දුක්වේවා දුක් සැප රහිත වේවා. යම් විඳීමක් තියෙනවා නම් ඒක මම කියල මමත්වයෙන් හිතන්නෙ නැහැ. ඒ වේදනාව තුළ මම ඉන්නවා කියල මමත්වයෙන් හිතන්නේ නැහැ. ඒ වේදනාවෙන් බාහිරව මම ඉන්නවා කියල මමත්වයෙන් හිතන්නේ නැහැ. ඒ වේදනාව මගේ කියල මමත්වයෙන් හිතන්නේ නැහැ.
ඉතින් මේ ආකාරයට ඇස,ඇසට පෙනෙන රූප, ඇසේ විඤ්ඤාණය ඇසේ ස්පර්ශය,ඇසේ විඳීම් පිළිබඳව මම කියල මමත්වයෙන් හිතන්නේ නැහැ. ඒවා තුළ මම ඉන්නව කියල මමත්වයෙන් හිතන්නේ නැහැ ඒවායින් බාහිරව මම ඉන්නව කියල මමත්වයෙන් හිතන්නෙ නැහැ.
එතකොට පින්වතුනි අනිකුත් ආයතන වන කන, නාසය, දිව, කය හා මනස පිළිබඳවත් ඒවාට සම්බන්ධ වන ශබ්ද, ගඳ සුවඳ, රස,පහස ,අරමුණු පිළිබඳවත් ඒ විදියට හතර ආකාරයෙන් කල්පනා කරනව. ඊළඟට කනේ විඤ්ඤාණය නාසයේ විඤ්ඤාණය , දිවේ විඤ්ඤාණය කයේ විඤ්ඤාණය හා මනසේ විඤ්ඤාණය පිළිබඳවත් ඒවගේම කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය මනසේ ස්පර්ශය පිළිබඳවත් ඇසේ විඳීම්, කනේ විඳීම්, නාසයේ විදීම් දිවේ විදීම් කයේ විදීම් පිළිබදවත් ඒ හතර ආකාරයෙන් කල්පනා කරනව.
ඔය ආකාරයෙන් සෑම ආයතනයක් ගැනත් ඒ ආයතන හා සම්බන්ධ දේ ගැනත් හතර ආකාරයෙන් සිතනවිට පුද්ගලයා තුළ තිබෙන මමත්වය නැතිකර ගැනීමට නැත්නම් මමත්වයෙන් සිතාගත් සෑම දෙයක්ම මුලින්ම විනාශ වීමට උපකාර වෙනව. එක ආයතනයක් පිළිබඳව විසි ආකාරයක් ගණනේ ආයතන හය පිළිබඳව එකසිය විසි ආකාරයකට අපට කල්පනා කරන්න පුළුවනි. අපත් මේ උතුම් දේශනා ඉගෙන ගෙන ඒ අනුව සිතීම මෙහෙයවා මමත්වය නැති කර ගැනීමට උත්සාහ කරමු. ඔබ සැමට තෙරුවන් බෙලෙන් ඒ භාග්‍යය උදාවේවා!
පොල්පිටිමූකලානේ
පඤ්ඤාසිරි හිමි
පඤ්ඤාසිරි හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජනවාරි 23 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment