Labels

Wednesday, February 24, 2016

නිවන් මඟට පසුබිම



සිත එකඟ කර ගැනීම සමාධියයි. සැනින් අරමුණු ගනිමින් අරමුණින් අරමුණට මාරුවන සිත මොහොතකට නමුදු එක අරමුණක පිහිටුවා ගත හැකි නම් සිතෙහි ශක්තිය මතු කරගත හැකි ය. සිත ස්වභාවයෙන්ම ශක්තිමත්ය. බලවත්ය.
ඒ ශක්තිය මතු කරගත්විට විශ්මිත දේ කළහැකියි. සෘද්ධි පෙළහර පෑම වැනි සාමාන්‍ය ජනයා මවිත කරවන දේ සිදු කර ඇත්තේ මේ ශක්තිය තාවකාලිකව මතුකරගැනීමෙනි. විද්‍යා ශාස්ත්‍ර විෂයෙහි විස්කම් පෑ අයද කර ඇත්තේ එක් අතකට සිතේ නිසඟ ශක්තිය මතුකර ගැනීමකි. නිවන වැනි උසස් සැපයක් ලැබීමද කළ හැක්කේ සිත කාම, රූප අරූප භවවල නො පිහිටන සේ ශක්තිය මතු කර ගැනීමෙනි.
උපන් ඇසිල්ලේ බිලිඳෙකුට ලැබෙන සිත පැහැසර බබළන සිතකැයි නොසිතිය යුතුයි. බිලිඳා මෙලොවට ආගන්තුකය. පරිසරය ගැන ඒ හැටි දැනීමක් හැඳිනීමක්ද නැත. එහෙයින් වැඩුණු අයෙකුට මෙන් රාග, ක්‍රෝධ, සිතිවිලි පහළ නොවේ. එහෙත් ඒ සිත එවන් කිළිටි සිතිවිලි උපදීමට සුදුසු තෝතැන්නකි. තෙත පොහොර සහිත පොළොව බීජයක් පැළවීමට සුදුසු ය.
බීජයක් වැටුණු විට දිනකින් දෙකකින් පැළයක් හටගනියි. එපරිද්දෙන් ඉපදුන ඇසිල්ලේ බිලිඳු සිතෙහිද කිළිටි සිතිවිලි පහළවීමට සුදුසු පසුබිම පවතියි. කෙසේ හෝ අපට ඇත්තේ කිළිටි වී ගිය සිතකි. එහි පැහැසර බවෙක් නැති පිරිසුදුබවට පැහැසර බවට බලවත් ශක්තිමත් බවට සිය පත්වීම යනු සිතේ මූලික ස්වරූපයට පත්වීමයි. සිතේ ඇති මේ ශක්තිය නැති වී තිබෙන්නේ බාහිරව එකතු වන කාමය, කෝපය, ඊර්ෂ්‍යාව වැනි අපවිත්‍ර සිතිවිලි වලිනි.
ධර්මයෙහි කෙලෙස් නමින් හැඳින්වන කිළිටි දැලි කුණුවලින් සිත වැසී තිබුණ පමණට සිතෙහි ශක්තිය බලය හීන වේ. සමාජයේ ඉතා පහත් මට්ටමක හිඳිමින් දරුණු කෲර අපරාධ කරන්නෙකුගේ සිත කිලිටි සිතිවිලිවලින් දැඩිව වැසී තිබිය හැක. එවන් අපරාධ නො කරතත් ගුණ දහමක පිළිවෙතක නොයෙදෙන කෙනෙකුගේ සිතද අඳුරින් දුහුවිල්ලෙන් වැසි තිබීමට පිළිවන. බඩු මුට්ටු තැන්පත් කළ ඇතැම් ගබඩා කාමර නිතර දෙවේලේ පරිහරණය නො කළත් දූවිල්ලෙන් වැසී තිබෙන බව අපි දනිමු. එපරිද්දෙන් පව් නො කරන අපට පින් කුමකටදැයි අසන අයගේ සිත් සතන් ද වසා ඇති ගබඩාකාමර මෙන් පව් නොකළත් කෙලෙස් දුහුවිලිවලින් වැසී පැවැතීමට ඉඩඇත.
එහෙයින් අප පළමුව සිතේ ඇති ශක්තිය බලය නිසි පරිදි වටහා ගත යුතු ය. එය මතුකර ගැනීමට උනන්දුවිය යුතු ය. ඒ සඳහා නිවැරැදි මග කිම්දැයි දතයුතුයි.

කෙනෙකු නපුරු කෲර පාප ක්‍රියාවක නිරත වන්නේ සිතෙහි පහළ වූ කිළිටි සිතිවිල්ලක බලපෑමෙනි. අනුනට හිංසා පිණිස වන වදන් පිට කරන්නේ ද එවැනි වුම පාපි සිතිවිලි නිසා ය. එහෙයින් අප කරන පාපි ක්‍රියාවත් නපුරු වචනත් නිකරුණේ බැහැර වී යන්නට ඉඩදීම නොකළ යුත්තකි. තවත් අතකින් එය අලාභයකි. අයහපත් ක්‍රියාව හෝ නපුරු වචන ගැන ඔබ විමසිය යුතු යි. තම සිත තුළ වැරැදි සිතිවිල්ල ඇතිවීමට හේතු සාධක විමසනවිට ඔබ සිදු කරන්නේ උතුම් සම්බුදු ධර්මය ක්‍රියාවට නැංවීමකි. මේ ස්වභාවය ධර්මයෙහි මෙසේ සඳහන් වෙයි.
ඔහු තම සිත තුළ උපන් ගැටෙන සුළු ස්වභාවය දනියි. ඒ සිත උපදින අන්දමද දනියි. එය නැතිවන අන්දමද දනියි යළි ඒ ගැටෙන සුළු සිත ඇති වේ නම් ඒ බවද දනියි. මෙසේ සිහිකිරීම ආවේග පහළ වූ කෙනෙහිම කළ නොහැක. එහෙත් ආවේග නිසා වූ ප්‍රතික්‍රියා අවසන් වූ පසු සිතෙහි වූ ස්වභාවය ගැන සිතිය හැක. සමහරවිට මෙසේ දැකීමට පුහුණු වීමෙන් යළිත් එවැනි ගැටෙන සුළු අවස්ථාවකට මුහුණ දීමේ දී සන්සුන් මනසින් කටයුතු කිරීමේ හැකියාව ලැබීමට පිළිවන.
බෞද්ධ පිළිවෙත් නිවැරැදිව තේරුම් නොගෙන කටයුතු කිරීමෙන් බොහෝ දෙනාට තම පිළිවෙත් මඟෙහි ඉදිරියට යා නොහැකිව එකම තැන රැඳීමට සිදුවන බව පෙනෙයි. ඔවුහු සතර පෝයට සිල් පේ වෙති. වන්දනා ගමන් යති. දානමාන පින්කම් විසිතුරු පූජා පින්කම් ලයිස්තුවෙ මුලටම ලියා ගනිති. එහෙත් වන්දනා ගමන ගොස් එන අතර වාරයෙ තමන් සමඟ ගිය සැදැහැතියෙකුගෙන් සිදු වූ අඩුපාඩුවට දැඩි සේ කිපී තම සිත අඳුරු කිළිටි කෙලෙස්වලින් වසා ගන්නවා විය හැක. විසිතුරු පින්කම්වලින් අපට මොහොතකට සිත සංවර කරගත හැක. බියකරු සසර ගමනේදී අපට සැනසීමෙන් සිත සකස් කරගත හැකි ක්ෂේම භූමි ලැබීමට දානාදී පින්කම් අවශ්‍ය වේ. එහෙත් ඒවා හිත් හැදීමේ වැඩ පිළිවෙළට උපකාර දේ මිස පිළිවෙත වඩා වැඩිමනත් දේ නොවෙයි.

දහම ගැන නිසි අවබෝධයෙන් තොර වූ අයෙකු නිතරම බලන්නේ ක්‍රියාවන්ගේ මතුපිට පමණයි. යමෙකු රළු පරළු වදනින් දොස් කියනවිට පෙරලා අසන්නාද එසේ කරන්නේ මේ මතු පිට පමණක් බැලීමට පුරුදුව සිටින හෙයිනි. හේතු ඇතිව හෝ හේතු නැතිව යමෙකු දොස් නගන විට තැන්පත් සංයමයකින් ප්‍රතික්‍රියා දක්වන්නෝ නැතැයි කිවයුතු තරමට දුලභයහ. රළු වදනට රළුවදනින්ම පිළිතුරු දෙන්ටත් කෲර නපුරු ක්‍රියාවට එබඳුම නපුරු පිළිවෙතට උත්තර දෙන්නටත් යෑමෙන් සිදුවනුයෙ සිතෙත් බැහැර කළයුතු අවගුණයකට සිතෙහි පැල පදියම් වීමට ඉඩකඩ සැලසීමයි. ආරම්භයෙදි සුළුවෙන් ඇතිවන මේ අසාධු සිතිවිල්ල දෙතුන් වරක් සිත තුළ ඇති වීමෙන් එය සිතින් පලවා හැරිය නොහැකි තරමට මුල්බැස ගනු ඇත.

එක අතකින් අපේ ජීවිතවල මේ ජීවිතයෙදිම දසක දෙක තුනක් පුරාවට මේ අයහපත් ධර්මතාවයන් අප විසින්ම සිත් තුළ රෝපණය කර ගනිමු. අනෙක් අතට සසර අනන්ත උප්පත්තිවලදී එක්රැස් කරගත් අගුණ දුර්වලකම්වලින් ශේෂ වූ ශක්තීන් ආත්මයෙන් ආත්මයට ගෙන යන බවද අප අමතක නොකළයුතුයි. එහෙයින් දිය බඳුනක පත්ලේ තැන්පත්වන රොන්මඩ කැළඹීමක් සිදුවූ විගස ඉස්මතු වන්නාසේ අපගේ සිත්වලත් රැඳී ඇති කිලිටි සිතිවිලිවලින් ඉතිරි වූ අපවිත්‍ර දැලි කුණු හා සමාන පව් කිරීමට උපකාර වන චිත්තාවේගයන් අප හැකිතාක් දුරට සමනය කිරීමට වග බලා ගත යුතුයි. තම දුබලතා නොදැක යළි යළිත් එයම සිදු කිරීම අපේ උතුම් පරමාර්ථ ඉටු කර ගැනීමට බාධාවකි. යෙ තං උපනයහන්ති වෙරං තෙසං නසම්මති’ යමෙක් තුමු සිතේ පහළ වූ ගැටෙන නොරිසි ස්වභාවය දිගින් දිගට වර්ධනය කරමින් පවත්වාගෙන යයිද කිසිදින ඔහු සංසිඳිමකට නිවීමකට නොපැමිණෙයි.

මැදුම් පිළිවෙතෙහි ඉදිරිගමනට අරි අටඟි මගෙහි හැම අංගයක්ම උපකාරි වන බව සැබෑවකි. එහෙත් වඩාත්ම උපකාරිවන ධර්මතාවයක් ලෙස සම්මා වායාමය දැක්විය හැක. මන්ද සිත පසු බසින හැමවිටම ඔසොවා තබන්නෙ සම්මා වායාමය මෙන්ම විරිය සම්බොජ්ඣංගය යන ධර්මතා දෙක මඟින් වන හෙයිනි.
ඉහත සඳහන් කළ පරිදි මතුපිට පමණක් බලන්න පුරුදු වූ තැනැත්තාට කිසිවිටෙකත් තම සිත තුළ සැඟව පවත්නා අප්‍රකට අකුසල් නොපෙනෙනු ඇත. එවිට ඔහු තමා තුළ ඇති උපන් අකුසල් දුරු කිරීමට අසමත් වෙයි. එසේම බැහැරින් අලුතින් එකතුවන අකුසල්වලට ඉඩකඩද ලබා දෙයි. අලුතින් කුසල් එක් රැස් නොවන්නාසේම දැනට ඇති කුසල් දහම්වල දුබලවීමක්ද ඇතිවිය හැක.

එහෙයින් නිවන් පතා යන පිළිවෙත් ගමනේ දී සැදැහැතියා අනිවාර්යෙන්ම තම සිත දෙස බැලීමට පුරුදුවිය යුතු යි. එසේ බලනවිට ඔහුට තම සිත තනිවූ පරිද්දෙන් දැකීමට පුහුණුව ලැබෙනු ඇත. එය කළ හැක්කේ බුද්ධ වචනයෙ සඳහන් උතුම් සතිය ප්‍රගුණ කිරීමෙනි.




පයාගල නන්ද හිමි









ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ නවම් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ පෙබරවාරි 15 වන සඳුදා   දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment