Labels

Saturday, February 6, 2016

දන්දීමයි අතහැරීමයි


මිනිසුන් අතහැරීමට පුරුදු විය යුතුයි. අතහැරීමට පුරුදු විය යුත ªවන්නේ, අතහැරිය යුතුම නිසයි. අතහැරීම අනිවාර්යයම වූ කාරණාවක් නිසා අතහැරීම තුළ මිනිසකුට යම් තෘප්තියක් ලැබිය හැකි නම්, ඔහු උත්තරීතර ගැඹුර හා ශක්තිමත් මනසක් තිබෙන පුද්ගලයකු විය යුතුයි.


සෑම ස්ථානයකදීම දක්නට ලැබෙන බෞද්ධ සිද්ධාන්තයක් ලෙස "දීම" දැකගත හැකියි. මෙම "දීම" පාරමිතා තුළත්, කුසල ධර්ම තුළත්, ලැයිස්තුගත වී තිබෙන්නේ පළමු කාරණාව ලෙසයි. බුදුපියාණන් වහන්සේ ඉතාමත් ඉහළින් අගය කළ දීම යන්න, වෙනත් සමයන්හි පවා ඒ ආකාරයෙන් පවතිනු ලැබුවත්, අප තේරුම් ගත් අර්ථයකින් වගේ නොවන වෙනත් අර්ථයකින් දක්නට ලැබේ. දීම සමඟ තිබෙන අතහැරීම එයට වඩා වෙනස් බව අප විසින් අවබෝධ කරගත යුතුයි.

දානං සීලං පරිච්චාගං
අජ්ජවං මජ්ජවං තපං
අක්ඛෝධෝ අවිහිංසාච
ඛන්තීච අවිරෝධතා

යනුවෙන් දසරාජ ධර්ම තුළ සඳහන් වේ. එහි පළමු කාරණාව දානය වන අතර පරිච්චාග අංක තුනට සඳහන් වේ. දානයයි පරිත්‍යාගයයි එකම ලැයිස්තුවක පළමුවන සහ තුන්වන කරුණ ලෙස සඳහන් වන අතර "දානය" යනු පරිත්‍යාගය නොවේ. "පරිත්‍යාගය" යනු දානය නොවේ, යන්න වටහා ගත හැකියි.

දන් දීම


වෙනත් ආගමි තුළ දන් දීම කියාදී තිබෙන ආකාරයයි, අපගේ බුද්ධාගම තුළ බුදුපියාණන් වහන්සේ පරිත්‍යාගය සඳහන් කරන ආකාරයයි අතර ආචාර විද්‍යාත්මක සහ දාර්ශනික වෙනස්කම් දක්නට ලැබේ. ඒ ආචාර විද්‍යාත්මක සහ දාර්ශනික වෙනස ආගම්වල මූල පරමාර්ථයන් සමඟ සන්සන්දනය කර බැලීමේදී ඉතාම වැදගත් වේ. ඉස්ලාම් ආගමේ සහ කිතුනු ආගමේ දන්දිය යුතු වන්නේ, දුප්පතුන් උදෙසා බව පෙනෙන්නට තිබෙන කාරණාවක් වේ. දුප්පතුන්ට දන් දීම යහපත් බලාපොරොත්තුවක් වන අතර එය දුප්පත්කම නැතිකිරීම යන අදහසින් දීමනාව අගය කරනු ලබයි. කිසියම් සමාජමය සාරධර්මයක් ලෙසට, ආර්ථීක උපකාරයක් වශයෙන් මෙම දන්දීම නිර්දේශ කරයි. සතියකට එක දවසක් හෝ වර්ෂයකට මාසයක් උපවාස කර හෝ ඉතිරිවන මුදල නැතිබැරි පිරිිසට ලබාදීම ආර්ථීක දැක්මක් මත පදනම්ව මෙම ඇත්තන් මෙම වටිනා කාරණාව පරිහරණය කරනු ලබයි.

ලෝකස්වාමී බුදුපියාණන් වහන්සේගේ දහම සංවිධිත සංයුතියක් සහිතව ආයතනයක් වශයෙන් ස්ථාපනය වූවාට පසුව වර්තමානය වන විට විවිධාකාරයේ දානයන් දක්නට ලැබෙනවා වගේම ව්‍යාප්තව පවතී. සාංඝික දානය , වගේම කිරි අම්මාවරුන්ගේ දානය වැනි ගිහියන් ආශ්‍රිතව ද දැකිය හැකි වේ. මෙම දානයන් හැම එකක්ම අනෙකා වෙනුවෙන් කරනු ලබන අතහැරීමක් නොකරන අනෙකා වෙනුවෙන් කරනු ලබන සද්කාර්යයක් හෙවත් අනුග්‍රාහක දායකත්වයක් වගේ දෙයක් දානයක් තුළින් බලාපොරොත්තු වේ. "අනේ පව්" යන හැගීමෙන් කාට හෝ යමක් සද්භාවයෙන් දෙනවා නම්, මේ තැනාත්තාට පොඩි හෝ උදව්වක් කළ යුතුයි, යන අර්ථයකින් බොහොම සද්භාවයකින් යමක් දෙනවා නම්. අගය කළ යුතුය. ඒ වගේම "අතහැරීම" දානයට වඩා බොහෝ සෙයින් වෙනස් ස්වභාවයකි. අතහැරීම දානයට වඩා වෙනස් වන්නේ කෙසේද? දානයක් දීමෙන් අප යමක් ගනු ලබනවා නම්, හෝ යමක් ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා නම්, හෝ එහි තරමක ගණුදෙනුවක ස්වභාවයක් පවතී. පින් දීමත්, පින් ගැනීමත්, දන් දී පරලෝ සැපත් ඥාතීන්ට වෙනත් ස්ථානයක් ලබාදීමට පින් ලබාදීමේ බලාපොරොත්තුවෙන් දානය පාවිච්ච් කිරීමත් අතහැරීම නොවේ. දන් පූජාකර ඥාතීන්ට පින් දීම අයපත් ක්‍රියාවක් හෝ නොකළ යුත්තක් ලෙස මින් ප්‍රකාශ නොවෙන අතර එය වෙනත් කාරණාවක් වේ.

අතහැරීම


අත හරිනවාය යනු, දන් දෙනවාට වඩා ගැඹුරු කාරණවක් බව අවබෝධ කරගත යුතුයි. අපගේ ජීවිතය තුළ අපට සෑම දෙයක්ම අතහැරීමට සිදුවේ. සාමාන්‍යයෙන් මිනිසෙකුට අවුරුදු සියයක් ජීවත් විය නොහැකියි. අවුරුදු සියයක් කියන කාලය කවදා හෝ අතහැර යන දවසට, අතහැර ඉවර වන දවසට සාමාන්‍යයෙන් අවුරුදු සියයට පෙර අතහැර ඉවර වෙන දවසක් එයි. අප සතුව පවතින සියලු දේ එවැනි ආකාරයට දමා යාමට සිදුවේ. මෙය පාපයක් හෝ, වරදක් හෝ දඬුවමක් නොවන බවත්, එය එහි ස්වභාවය බව තේරුම් ගත යුතුයි. අප සතුව බැංකු පොතක් තිබෙනවා වගේම එහි ශේෂයක්ද, හර, බැර යනුවෙන් ද සදහන් වෙයි. මුදල් බැරකරන කොටස බැර ශේෂය වන අතර, මුදල් ආපසු ලබාගැනීම හර කොටස, වශයෙන් ද ඉතිරි කොටස ශේෂය වශයෙන්ද හැදින්වේ. ඒවගේම බැංකු පොත නොවන තවත් පොතක් ලෙස ජීවිත පොත අප සාදාගත යුතුයි. ජීවිත පොතක ආයුෂ ශේෂය පවතියි. වයසින් අවුරුදු අසූව දක්වා ජීවත් වීමට අපට අවස්ථාව ලැෙබි. යැයි කියා අප සිතුව හොත් අසූව දක්වා ගණනය කර ශේෂය බලාගත හැකියි, වයසින් අවුරුදු පනහක් වන පුද්ගලයකුට ශේෂය වන්නේ අවුරුදු තිහකි. වයසින් අවුරුදු හැටක් වන පුද්ගලයකුගේ ශේෂය අවුරුදු විස්සකි.

බැංකු පොතයි ජීවිත පොතයි


අවුරුදු හැත්තෑවක තැනැත්තකුගේ ශේෂය අවුරුදු දහයයි. සාමාන්‍ය මිනිස් ජීවිතයක් අවුරුදු අසූවක් පමණ වන විට, සාමාන්‍යයෙන් මිය යන අතර එසේ නොවන විශේෂ අවස්ථාවන් බහුල ලෙස ද පැවතිය හැකියි. ඒ වුවත් මේ කාලය තුළ ආහාර රටාවට අනුව අවුරුදු අසූවක් ජීවත් වන බව අනුමාන කළ හැකියි. මුදල් නොගත හොත් බැංකු පොතෙහි ශේෂය අද බලා හෙට බැලුවත් දශම ස්ථානයකින් හෝ පොළිය වැඩි වී තිබෙන බව දක්නට ලැබෙයි. එහෙත් ජීවිත පොතෙහි ආයුෂ ශේෂය අද බලා හෙට බලන විට පැය වලින් විසිහතරක් නිරායාසයෙන් අඩුවී යයි. අවුරුද්ද අන්තිමේදී බැංකු පොතෙහි ශේෂය ලිඛිත වැඩි වීමක් දකින්නට හැකි වුවද, ජීවිත පොතෙහි ආයුෂ ශේෂයට කිසිඳු ආකාරයක වැඩිවීමක් දක්නට ලැබෙන්නේ නැත. එනිසාම ජීවිත පොත අධ්‍යයනය කිරීම කළ යුතු හොඳම කාරණාවෙවි. බැංකු පොතෙහි අන්තිම මුදල දක්වාම ලබාගත හැකි වුවද. ජීවිත පොතෙහි ආයුෂ ශේෂයෙහි අන්තිම දිනය දක්වා පාවිච්ච් කිරීමේ හැකියාවක් නැත. ජීවිත පොතෙහි ආයුෂ ශේෂය යනු, අතහරින දවස නොවේ. බැංකු පොතෙහි මුදල් ශේෂය යනු අන්තිම දශමය දක්වා හිමිකරුවේ. ජීවිත පොතෙහි ආයුෂ ශේෂය අන්තිම දවස නොව ඉන් පෙර දිනයක හෙවත් අවිනිශ්චිත දිනයක අනිවාර්යයෙන්ම මේ සියල්ල අතහැරිය යුතු වේ. අප සියලුම දේ අතහරිමින් යන බව අවබෝධ කරගත යුතුයි. අප අපගේ වයස දවස ගණනේ අතහැර දමනු ලැබේ. අවුරුදු දහය වයස අතහැරියා වගේම, අප තුළ අතීතයට එකතු වන යමක් තිබෙනවා නම්, එම සියල්ල අප විසින් අතීතයට එකතුකලාය යනුවෙන් අදහස් වනුයේ අතහැරියාය කියන කාරණාව බව වටහා ගත යුතුයි. එසේ සිතන විට මිනිසුන් අතහැරීමට පුරුදු විය යුතුයි. එය නිරායාසයෙන්ම , නිරන්තරයෙන්ම, අතහැරීම සිදුවන බැවිනි.

අතහැරීමට කැමතිද?


ජීවිතය පටන් ගත් දා සිටම, මිනිසුන් ඉතාම කැමැත්තෙන් අතහැරීමට වඩා එකතු කිරීම කරනු ලබයි. මිනිස්සු අධ්‍යාපනය, සහතිකපත්‍ර , මුදල්, ඉඩකඩම්, ගේ දොර ආදිය එකතු කරනු ලබයි. එසේ එකතු කර අන්තිමටම ඒ සියල්ල දමා යයි. මී මැස්සකු ජීවිත කාලය තුළම මී වදයකට පැණි එකතු කර ඒ පැණි අතහැර වෙනත් මී වදයක් සොයා ගෙන යයි. මිනිස්සුු එකතැනකට එකතුකරල, එකතුකරල, සියලු දේ දමා යයි. අනිවාර්යෙන්ම යාමට නියමිත ගමනක අනිවාර්යතාවය දැන දැන මිනිසුන් අතහැර යාමට සූදානම් නොවේ. ගැටළුව පවතිනු ලබන්නේ එතුළයි. බුදුපියාණන් වහන්සේ සඳහන් කරනු ලබන්නේ එකතු කිරිමට වඩා අතහැරයාම වැදගත් වන බවයි. අතහරින්නට සිද්ධ වන එක පුරුදු පුහුණුකර තිබීම, පුරුදු පුහුණු නොකර සිටිනවාට වඩා වැදගත් බව අවබෝධ කරගත යුතුයි. එසේ විය යුත්තේ අතහැරීම අනිවාර්යය සාධකයක් වන නිසයි. එය කවදා කොතැනදීද, කෙසේ විය යුතුද? යන්න පිළිබඳව වෙනස්කම් තිබිය හැකි වුවද, අතහැරීමට වෙනවාය කියන කාරණාව පිළිබඳව සැකයක් නැත. එනිසා තමාගේ දයාබර ආදරණීයයන් , දයාබරයන්, තමාගේ ආශ්‍රිතයන් පවුලේ උදවිය අතහැරයාමට යා යුතුයි. සබ්බං පහාය ගමනීයං යනුවෙන් බුදුපියාණන් වහන්සේ වදාරා ඇත්තේද එයයි. අතහැරීම කෙසේ පුරුදු පුහුණු කළ යුතුද? එය සැම දෙයක් පිළිබඳව සිතන විට කළ හැකි වූවක්. අපගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සියලු දේ අතහැරීමට සිදුවී තිබේ නම්, එය අකැමැත්තෙන් කරනවාට වඩා කැමැත්තෙන් කරන එක යහපත් වෙයි. තමන් පාවිච්ච්කරන සියලු දෙයක්ම ආදරයෙන් පරිහරණය කළ යුතුවා සේම, තමා සමීපව සිටින්නාවූ සෑම දෙනෙක්ම බොහොම ලෙන්ගතු සිතින් ආශ්‍රය , නිශ්‍රය කළ යුතුයි. තමන් සමීපව සිටින්නාවූ සෑම දෙනකුටම උපරිම ආදරයෙන් සිටිය යුතුවා සේම එම සියලු දෙයම අතහැර යාමට සිදුවන බව ද තේරුම් ගත යුතුයි.

දන් දීම සහ අතහැරීම තුළ වෙනස


දන් දීම සහ අතහැරීම තුළ වෙනසක් පවතීයි. පින්දීම තුළ බලාපොරොත්තුවක් තියෙනවා. දන් පූජාකර පිනක් හෝ බලාපොරොත්තු වෙයි. අතහැරීම තුළ බලාපොරොත්තුවක් නැත. බුදුපියාණන් වහන්සේ දේශනා කරන නිවනට අප වඩාත් සමීප වන්නේ දානයට වඩා අතහැරීම තුළයි. දානය සහ පරිත්‍යාගය අතර වෙනස එයයි. එනිසා බෞද්ධයන් වන අප කළ යුත්තේ ස්වේච්ජාවෙන් අතහැරීමට සිත පුරුදු පුහුණු කර තැබීම යන කාරණාවයි. සමහර කෙනෙකුට ජීවිතය පවා ාඅතහැර යැමට සිත් නොදෙයි. ලක්ෂ හයසියයක් වියදම් කරමින් මරණය සති දෙකකට කල්දමා ගනු ලැබූ රෝගීන් පිළිබඳව අප අසා තිබේ. රෝගියකුට වියදම් කිරීම පිළිබඳව නින්දා අපහාස කිරීමක් මේ තුළ සිදු නොවේ. සති දෙක තුනකින් අතහැරයාමට තිබෙන ජීවිතය ලක්ෂ හයසියයක් වියදම් කර අතනොහැර සිටීමට තරම්, තිබෙන්නාවූ දැවැන්ත බැඳීම නිෂ්පල කාරණාවක් බව අප තේරුම් ගත යුතු කරුණක් වේ. එය පලදායක ව්‍යායාමයක් නමි, ඒ මුදල හෝ එම ව්‍යායාමය හෝ අගය කළ යුතු සේම, නිෂ්පල වූ ව්‍යායාමයක් අගය කළ යුතු නොවේ. සිනහමුසු මුහුණින් අප සියල්ල අතහැර දමා යා යුතුයි. අප විශ්‍රාම ගන්නා දවසට අපගේ උසස්වීම අතහැර අපගේ රැකියාව අතහැර දමා යා යුතුයි. මට මේ රැකියාව නැති වූයේ යැයි අයෙකුට සිතුන හොත් එය පලදායක කාරණාවක් නොවේ. විශ්‍රාම යන දවසට ස්වේච්ජාවෙන් අතහැර දමා යාමට සිත පුරුදු පුහුණු කර තිබිය යුතුයි. ඒ වගේම මිය යන දවසටත් අතහැර දමා යාමට සිත පුරුදු කර තිබිය යුතුයි. ඇතැම් අය අතහැර දමා යාමට බැරි වූ විට, හොල්මනක් වෙලා හෝ ගෙයි ගෙම්බන් වී උපදින බව බණ කතාවල සඳහන්ව ඇත.

හොල්මනක් නොවී අතහැර යාම



ගෙම්බා නොවී අතහැර දමා යාම ඊට වඩා හොඳ මදිද? හොල්මන් වෙලා බෝතල්වල හිරවෙලා ඉන්නවාට වඩා සවේච්ජාවෙන් අතහැර දමා යාම හොඳ නැද්ද? අතහැරීමට පුරුදු වූ විට මිනිසුන් තුළ පැහැදිළිව නිදහස් මනසක් ගොඩනැගෙයි. මිනිසකුට තමන් හදාපු නිවස අතහැර දමා යාමට හැකි නම්, ඔහු දියුණු මිනිසෙකි. තමාගේ ආදරණීය දරු මල්ලන් අතහැර දමා යා හැකි වන්නේ දියුණු මනසක් තිබෙන පුද්ගලයකුට පමණයි. අතහැරීම යනු මානසික ශක්තියේ ප්‍රතිශක්තිකභාවයයි. බෝසතාණන් වහන්සේ බුදුපියාණන් වහන්සේ වීමම යනු අතහැරීමේ ප්‍රතිපලයකි. එනිසා අතහැරීම පෞද්ගලික ජීවිතයක් තුළ වගේම පොදු මහත් සමාජයක වටිනාම කාරණාවක් වේ. මිනිසුන් අතහැරීමට පුරුදු විය යුතුයි. අතහැරීමට පුරුදු විය යුත ªවන්නේ, අතහැරිය යුතුම නිසයි. අතහැරීම අනිවාර්යයම වූ කාරණාවක් නිසා අතහැරීම තුළ මිනිසකුට යම් තෘප්තියක් ලැබිය හැකි නම්, ඔහු උත්තරීතර ගැඹුර හා ශක්තිමත් මනසක් තිබෙන පුද්ගලයකු විය යුතුයි. අතහැරීමට බැරි දැවැන්ත දැඩි උපාදානයකින් යුතුව අල්ලාගෙන සිටින තැනැත්තා මානසිකව දුර්වල වූවෙකි. එනිසා දන්දීම යනු යමක් ලැබීම හෝ ඊළඟ ආත්මභාවයන් සඳහා යහපත් ජීවිතයක් ලබාගැනීම සඳහා කරනු ලබනවා නමි, එය තරමක ආයොජනයක් වේ. අතහැරීම යනු එසේ නොවන නිස්සරණාධ්‍යාෂයෙන් ඉටුකරන දියුණු මනසක ප්‍රතිිපලයකි.



කැලණිය විශ්ව විද්‍ර්‍යාලයේ
සංස්කෘත අධ්‍යයන අංශයේ 
මහාචාර්ය 
ඉඳුරාගාරේ ධම්මරතන හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජනවාරි 23 වන සෙනසුරාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment