"අප වරදවා ගත් සංඥාව වරදවාගත් සිත, වරදවා ගත් දැක්ම මුළුමණින්ම ජීවිතයම අඳුරට ගෙනයනවා. ඒ නිසා ඔබ ඔබේ විපල්ලාස තුනම නිවැරැදි කර ගැනීමට උත්සාහ කරන්න. මේ පංචස්කන්ධයේ තිබෙන නිසරුබව සරු ලෙස ගන්න එපා. මේ විපල්ලාස නිවැරැදි කරගත් විට ඔබටත් සසර ගමන කෙටි කරගෙන ඒ අමා මහා නිවන සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ධෛර්ය ලැබෙන බව ඒකාන්තයි."
බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා දුක් විඳින සත්ත්වයන්ට බියකරු සසරින් එතෙරවෙන මාර්ගය වදාළා. අප ඒ බුද්ධ අවවාද අපේ ජීවිතයට, අපේ සිතට සමීප කර ගැනීම මේ ජීවිතය නිවැරැදි කර ගන්නටත්, සසර බියකරු ස්වභාවය මැනවින් හඳුනා ගන්නටත් හැකි වෙනවා.
ඔබට අද කියා දෙන්නේ අපේ ජීවිතයට නිසි නියම අර්ථ සොයා ගැනීමට හේතුවන ඒ වගේම මේ භයානක සසරේ ස්වභාවය නිවැරැදිව දකින්නට හේතුවන කරුණු කිහිපයක් පිළිබඳයි.
ඔබ අසා තිබෙනවාද? “විපල්ලාස” කියන දේ. විපල්ලාස කියන්නේ කුමක්ද? වැරැදි ලෙස විපර්යාසාකාරයෙන් හඳුනා ගැනීම මේ විපල්ලාස නිසා සිදුවෙනවා. හරි දෙයක් හරියාකාරයෙන් දැකීම අපේ ජීවිත ශාන්තියට හේතුවෙනවා. පවතින දෙයකින් ඇතිතතු යථාභූථකාරයෙන් තත්ත්වාකාරයෙන් නිසි නියම ආකාරයෙන් හඳුනා ගැනීමට ලැබුණොත් අපේ ගමන ඉතාමත්ම පැහැදිලියි. විපල්ලාස අපේ බණ පොතේ කොටස් තුනකින් පෙන්වා තිබෙනවා.
1. සංඥා විපල්ලාස
2. චිත්ත විපල්ලාස
3. දිට්ඨි විපල්ලාස
සංඥා විපල්ලාස කියන්නේ අප ගන්නා සංඥාව වැරැදි ලෙස පටලවාගෙන ගැනීමයි.
සිතේ ඇතිවන සිතිවිලි වැරැදි ලෙස ගැනීම, වැරැදි ලෙස ග්‍රහණය කර ගැනීම චිත්ත විපල්ලාසය යි.
ඒ වගේම දිට්ඨි විපල්ලාස යනු දැක්මයි. එහි ප්‍රධාන කොටස් දෙකයි. 1. සම්මාදිට්ඨිය සහ 2. මිත්‍යාදෘෂ්ඨිය.
සම්මාදිට්ඨිය අපේ සසර ගමන නවතාලීමටත් මේ සසරේ ස්වභාවය දැක ජීවිතය පිළිබඳව ක්‍රමානුකූලව පැහැදිලි අවබෝධය කරා ගෙන යාමටත් හේතුවෙනවා.
මිථ්‍යාදෘෂ්ඨිය එහි අනෙක් පැත්තයි. යම් දෙයක් වැරැදි ලෙස දැකීමයි. එය සසරේ අඳුරට අපට කැඳවාගෙන යනවා. සසරේ අගාධයට අපව රැගෙන යනවා. එදිනෙදා ජීවිතය වුවත් පටලවා ආකූල කර, සිත පහළට ඇද දමනවා. කණගාටුව, පශ්චත්තාපය, අලසභාවය අපේ ජීවිතවලට මේ මිත්‍යාදෘෂ්ඨිය විසින් ළං කරනවා. එහෙමනම් මේ දිට්ඨි විපල්ලාස කියන්නේ වැරැදි දේ හරි ලෙස දැකීමයි. එය අපේ ජීවිතයේ අභාග්‍යය මතු කරනවා.
සංඥාව විපල්ලාසයක් වන්නේ කෙසේද? ඔබ දන්නවා ඇස නිසා රූප සංඥාව හට ගන්නවා. කණ නිසා ශබ්ද සංඥාවත්, නාසය නිසා ගන්ධ සංඥාවත්, දිව නිසා රස සංඥාවත්, කය නිසා පහස සංඥාවත් හට ගන්නවා. සංඥා හට ගත්තාට ඒවා වැරැදි ලෙස ගැනීම, පටලවාගෙන ග්‍රහණය කර ගැනීම වැරැදි ලෙස උපාදානය කිරීම මේ “සංඥා විපල්ලාස” ලෙස තථාගතයන් වහන්සේ වදාළා. සංඥාව නිවැරැදි කර නො ගත්තොත් අපේ ජීවිත වරදිනවා. මේ අවබෝධය වරදිනවා. ගමන වරදිනවා. සසර අඳුරු වෙනවා. එනිසා සතිමත්ව මේ සංඥාව නිවැරැදි කර ගැනීම යහපත් ගමනකට ආලෝකමත් ගමනකට හේතුවෙනවා.
ඔබ හිතන්න ඔබ රාත්‍රියක පාරක ගමන් කරනවිට ඔබට පෙනෙන්නට පුළුවන් යම්කිසි ලණු කැබැල්ලක් පාරේ වැටී තිබෙනවා. මේ ලණු කැබැල්ල ඈතට විසකුරු සර්පයෙක් ලෙස පෙනෙන්නට පුළුවන්. මේ විසකුරු සර්පයෙක් කියා වැරැදි ලෙස සංඥාවක් ගන්නවා. එවිට ඇත්ත වසංවෙනවා.
අසාරේ සාර මතිනෝ - සාරේචා සාර දස්සිනෝ
තේ සාරං නාධි ගච්ඡන්ති – මිත්‍යා සංකප්ප ගෝචරා
තේ සාරං නාධි ගච්ඡන්ති – මිත්‍යා සංකප්ප ගෝචරා
බොහෝ විට අපේ සමාජයේ ජීවත්වන මේ සසරට වැටුණු සත්ත්වයෝ මේ සංඥාව වැරැදි ලෙස ගත් නිසා සසර දිගුකර ගත්තා. සාර දේ අසාර ලෙස දකිනවා. අසාර දේ වූ දෙය සාර දෙස වැරැදි සංඥා ලෙස අල්ලා ගන්නවා. ඒ නිසා සංඥා විපල්ලාසයෙන් මේ ජීවිතය වරදවාගත් අය දැනුම පටලවා ගත් අයට උත්තමභාවයට යාමට අපහසුයි. ඔවුන් මේ ධර්මයේ අරුත මතුකර ගන්නේ නැහැ. ධර්මයෙන් සුවපත් වෙන්නට අවකාශ ලැබෙන්නේ නැහැ. වැරැදි සංකල්ප, වැරැදි සංඥා. නිවැරැදි ලෙස සිතා සංඥා වරදවා ගැනීම තුළින් අප යා යුතු සුවපත් මාර්ගය වැසෙනවා.
සාරංච සාරතෝ කුත්වා - අසාරංච අසාරතෝ
තේ සාරං අදී ගච්චංති සම්මා සංකප්ප ගෝචරා
තේ සාරං අදී ගච්චංති සම්මා සංකප්ප ගෝචරා
සාර දේ සාර ලෙස දැකීම, අසාර දේ අසාර ලෙසම දැකීම නිසා ඒ අයට පුළුවන් බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා, වැඩි උත්තම මාවතේ නිවන මාවතේ ගමන් කරන්න. එවිට සිත එකඟ වෙනවා. සමාධිමත් වෙනවා. රූපාවචර අරූපාවචර ධ්‍යානවලට ගමන් කරනවා. එසේනම් නිවැරැදි සංඥාවකින් අපට මේ සසර ගමන කෙටි කරගන්නට පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරනවා සංඥාවන් පටලවා ගන්නේ නැතිව සංඥාව නිවැරැදි කර ගෙන නිවැරැදි අවබෝධය කරා යන පුද්ගලයෙකු වෙන්න කියා.
චිත්ත විපල්ලාස කුමක්ද? ඔබ දන්නවා අපට විවිධ සිත් උපදිනවා. චක්ඛු විඤ්ඤාණ, රූප විඤ්ඤාණ, විවිධ ආකාරයෙන් මේ අරමුණු ඉන්ද්‍රියන් ගැටීමෙන් සිත් ඇතිවෙනවා. මේ ආකාරයට සෝත, ඝාණ, ජිව්හා, කාය විඤ්ඤාණ පහළ වෙනවා. විවිධ සිත් පහළවූවාට වැරැදි සිත් ඒ අතර ඉපදෙනවා. සමහර විට ඔබට සිතෙයි තමන් තරුණ කාලයට පත් වූ පසු වයසට ගිය අම්මා, තාත්තා කරදරයක් ලෙස. ලස්සන මේ නිවසට වයසක අම්මා ගැලපෙන්නේ නැහැ කියා පිටුපස්සේ තිබෙන පොඩි කාමරයට අම්මා තල්ලු කරන්න සිත් පහළවෙනවා. වැරැදි සිත ඒකයි. මේ සිත නපුරුයි. විටෙක භයානකයි. ඒ වගේම වැඩිහිටියන්ට ගුණවතුන්ට සැලකීම බුදුරජාණන් වහන්සේ ප්‍රශසංසා කර වදාළා.
දිට්ඨි විපල්ලාස යනු කුමක්ද? දිට්ඨි කියන්නේ දැකීමයි. මිත්‍යා දෘෂ්ඨියට දස වස්තුක මිත්‍යාදෘෂ්ඨිය කියා කියනවා. දුන් දේ විපාකය නැහැ, පුදපූජා වැඩක් නැහැ, මේ ලෝකයේ හොඳ නරක කියා දෙයක් නැහැ, ඒ වගේම මේ ලෝකයේ මෙලොව පරලොව කියා දෙයක් නැහැ, අම්ම තාත්තා කියා විශේෂ වටිනා කෙනෙක් නැහැ, ඕපපාතික උපදින සත්ත්වයන් නැහැ, මාර්ගඵලයට පත් වූ උතුමන් මේ ලෝකයේ නැහැ කියා වැරැදි දෘෂ්ඨියකට එළඹෙනවා. ඒ දෘෂ්ඨිය නිසාම ඔහු මරණින් මතු නිරයේ ඉපදෙනවා. දෘෂ්ඨිය මංමුලා වෙන නිසා ජීවිතය අඳුරට වැටෙනවා. එහෙමනම් සංඥා, චිත්ත, දිට්ඨි විපල්ලාස නිසා අපේ ජීවිතය අඳුරට යන ආකාරය ඔබට දැන් පැහැදිලි ඇති.
එනිසා අප වරදවා ගත් සංඥාව වරදවාගත් සිත, වරදවා ගත් දැක්ම මුළුමණින්ම ජීවිතයම අඳුරට ගෙනයනවා. ඒ නිසා ඔබ ඔබේ විපල්ලාස තුනම නිවැරැදි කර ගැනීමට උත්සාහ කරන්න. මේ පංචස්කන්ධයේ තිබෙන නිසරුබව සරු ලෙස ගන්න එපා. මේ විපල්ලාස නිවැරැදි කරගත් විට ඔබටත් සසර ගමන කෙටි කරගෙන ඒ අමා මහා නිවන සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ධෛර්ය ලැබෙන බව ඒකාන්තයි.
දර්ශනපති,
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ දුරුතු අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ පෙබරවාරි 08 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment