Labels

Saturday, September 10, 2016

බුදු ඇසින් දුටුලෝකයේ ඇරඹුම

නිකිණි පුර පසළොස්වක පෝදා අප විමසන්නට වූ අග්ගඤ්ඤ සූත්‍ර දේශනා ලිපි පෙළෙහි නිකිණි මස අමාවක පෝදා එනම් අද දින ලෝකයේ උපත පිළිබඳවත්, රස තෘෂ්ණාවෙන් ලෝකයා පස් පව්, දස අකුසල්වලට යොමු වූ ආකාරය පිළිබඳවත් කරුණු පැහැදිලි කිරීමටයි බලාපොරොත්තු වන්නේ.
තථාගත බුදුරජාණන් වහන්සේ, වාසෙට්ඨ බ්‍රාහ්මණයාණන්හට මෙසේ සඳහන් කරනවා. වාසෙට්ඨයෙනි, දීර්ඝ කාලයක් ගත වෙන විට එනම් එක්තරා කාලයක දී මේ ලෝකය මුළුමනින් ම විනාශ ස්වභාවයට පත්වෙනවා. ඒ ආකාරයට ලෝකය නැසෙන විට ධ්‍යාන වඩන ලද සත්වයෝ පින් රැස් කළ සත්වයෝ “ආභස්සර” නම් බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. එම සත්වයෝ ආභස්සර බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ ධ්‍යාන චිත්ත බලයෙනි. ඒ අය කබලින්කාර ආහාර නම් වූ එනම් සාමාන්‍ය මනුෂ්‍යයන් ගන්නා වූ ආහාර ගන්නේ නැහැ.
ප්‍රීතියම ආහාර කොට ගන්නවා. ඒ අයගේ ම ශරීරයෙන් හටගත් ප්‍රභාස්වර බවෙන් ආලෝකයෙන් ඔවුන් බබලනවා. අහසින් ගමන් කරන අතර, සිත් කළු වස්ත්‍රාභරණ ආදිය හැඳ පැළැද සිටිනවා. එහි මේ ආකාරයට ධ්‍යාන චිත්ත බලයෙන් උපන් සත්වයෝ බොහෝ කාලයක් වාසය කරනවා.

ලෝකයේ ඇරඹුම


වාසෙට්ඨයෙනි, දීර්ඝ කාලයක් ගතවීමෙන් අනතුරුව මේ ලෝකය නැවත හට ගැනීමේ කාලය ආරම්භ වෙනවා. ඒ ලෝකය හටගන්නා කාලයෙහි සත්වයෝ “ආභස්සර” නම් වූ බ්‍රහ්ම ලෝකයෙන් චුතව එනම් ඒ බ්‍රහ්ම ලෝකයෙන් ඉවත්ව මේ මිනිස් ලෝකයට පැමිණෙනවා. එම සත්වයෝ මේ “මිනිස් ලෝකය” ට පැමිණ උපදින්නේත් ධ්‍යාන සිත් ඇතිව, ප්‍රීතියම ආහාර කොටගෙන ජීවත්වෙනවා. බ්‍රහ්ම ලෝකයේ දී ලෙසම සිය සිරුර බැබලීමට පටන් ගන්නවා. අහසින් ගමන් කරනවා. සිත්කළු වස්ත්‍රාභරණ පැළඳ සිටින අතර මේ මිනිස් ලෝකයේ මේ අය බොහෝ කාලයක් ජීවත්වෙනවා.

අප භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම පැහැදිලිකරන ලෝක උප්පත්ති කතාව අප සෑම කෙනෙකුගේ ම සිත ලෝකයේ ආරම්භය පිළිබඳව විමසිලිමත් බවට පත් කරන අදහසකුයි. දෙවියන් විසින් ලෝකය මැවුවා කියා හෝ මහා බ්‍රහ්මයා විසින් ලෝකය ආරම්භ කළා යැයි කියන අදහස් පෙළ අතරට බුදු දහමේ සඳහන් මේ අදහස ද ඉතා වැදගත් අදහසක් හැටියට සලකන්නට පුළුවනි. මැවීමකින් තොරව එහෙත් දෙවියන්ගෙන් ආරම්භවන, එසේ නැතිනම් බ්‍රහ්මයන්ගෙන් ආරම්භවන උප්පත්ති කතාවත් මනුෂ්‍ය ලෝකයේ ආරම්භය හැටියට මෙහි පෙන්වා දී තිබෙනවා.
තථාගත බුදුරජාණන් වහන්සේ නැවත සඳහන් කරනවා. වාසෙට්ඨයෙනි, එම කාලයේ මේ මුළු ලෝකයම එකම දිය කඳක් හැටියට තමයි පවතින්නේ, ගහකොළ, භූමියක් හෝ කඳු හෝ කියා කිසිවක් පෙනෙන්නට නැහැ. ඉර හඳ තාරකා කිසිවක් නැහැ. රාත්‍රියක් දවාලක් කියා විශේෂයකින් තොරව ඝන අන්ධකාරය පමණයි පවතින්නේ. අවුරුදු වශයෙන් මාස වශයෙන් ඍතු වශයෙන් සැලකීමක් නැහැ. ස්ත්‍රී - පුරුෂ වශයෙනුත් විශේෂයක් නැහැ. සියලුම සත්වයෝ සත්වයෝ ම කියන ව්‍යවහාරයෙන් පමණයි හැඳින්වෙන්නෙ.

හිරු සඳු ආරම්භය


වාසෙට්ඨයෙනි, කාලයක් ගතවන විට අර ජලකඳ ටිකෙන් ටික සංසිඳෙන්නට, නිවෙන්නට පටන් ගන්නවා. එනම් පොළොවටම කිඳා බසින්නට පටන් ගන්නවා. එවිට උණු කිරි මෙන් යොදයක් සකස් වෙනවා. එය රස පොළොව ලෙස හඳුන්වනවා. එම පොළොව වර්ණයෙන් බොහෝම අලංකාරයි. එලෙසම සුවඳින් සමන්නාගතයි. රසයෙන් ද යුක්තයි. එය උපමාකොට දැක්වූවොත් මනාකොට සකස්කරන ලද ගිතෙල් හෝ වෙඬරු වගෙයි. එම රස පොළවෙහි පැහැයත් එනම් වර්ණයත් ගිතෙල් හෝ වෙඬරුවල වර්ණයමයි. පිළවුන් නැති මී වදයක් ලෙසින් රස පොළවේ රසයත් ඒ ආකාරයෙන් ම පවතිනවා.
බුදුරජාණන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා. වාසෙට්ඨයෙනි, එක්තරා ලෝල ස්වභාවය ඇති සත්වයෙක් ඉන් අදහස් කළේ ආශාවෙන් යුක්ත සත්වයෙක් මෙය කුමක් විය යුතු දැයි රස පොළොවෙහි මඳක් ඇඟිල්ලෙන් ගෙන දිවේ ගා ගන්නවා. රස පොළොව ඇඟිල්ලෙන් මදක් අරගෙන දිවේ ගා ගන්නා ඔහුට එය ප්‍රිය වෙනවා. රස තෘෂ්ණාව දැනෙනවා. තෘෂ්ණාව ඒ සත්වයාගේ සිත බැඳ ගන්නවා. තෘෂ්ණාවේ ආරම්භය සකස් වන්නේ ඒ ආකාරයටයි.

තෘෂ්ණාවේ ආරම්භය


වාසෙට්ඨයෙනි, එම ක්‍රියාව බලාගෙන ඉන්න අන් සත්වයෝත්, අර රස තෘෂ්ණාවට හසු වූ සත්වයා ම අනුගමනය කරනවා. ඒ අයත් ඇඟිල්ලෙන් රස පොළොවෙහි රස ඕජා ගෙන දිවේ ගා ගන්නවා. එසේ දිවේ ගා ගන්නා ඔවුන්ටත් එය මහත් සේ ප්‍රිය වෙනවා. එනම් ආශාවක් ඇතිවෙනවා. ඒ රසය කෙරෙහි තෘෂ්ණාවට ඔවුන්ගේ සිත බැස ගන්නවා. එකල්හි එම සත්වයෝ රස පොළොව පිඬු කොට කඩාගෙන කෑමට ගන්න පටන් ගන්නවා. මෙලෙසින් රස පොළොව කෑලි කොට අතින් කඩාගෙන අනුභව කරන විට එම සත්වයන්ගේ මෙතෙක් ශරීරයේ තිබූ ප්‍රභාෂ්වර බව එනම් බබළන බව අතුරුදහන් වන්නට පටන් ගන්නවා.

සත්වයන්ගේ ශරීරයේ ප්‍රභාෂ්වරභාවය ශරීරයෙන් අතුරුදහන්වන විට සඳු සහ හිරු ප්‍රකට වන්නට පටන් ගන්නවා. සඳු හිරු ප්‍රකට වන්නට වූ පසු නැකැත් තරු පහළ වෙනවා. ඒ සමඟම රෑ – දහවල් ආරම්භ වෙනවා. හිරු සඳු හට ගත්තා නම්, රාත්‍රිය හා දහවල ස්වභාවයෙන් ම ආරම්භ වෙනවා. එයට හේතුව හිරු පායාගෙන එන විට දහවලත් හිරු බැසගෙන ගොස් සඳු පැන නගින විට රාත්‍රී කාලයත් සකස්වෙන නිසාය. රාත්‍රීය හා දහවල් සකස්වන විට දින හා මාස වශයෙන් ඍතු වශයෙන් මේ සත්වයෝ විසින් කාලය යොදා ගන්නවා.

වාසෙට්ඨයෙනි, මෙන්න මේ ආකාරයට මේ ලෝකය පහළවීම සිදුවන්නේ බුදු දහමේ ලෝක උප්පත්ති කතාවට අනුව මෙහි යම් වූ සම්බන්ධයක් පවතිනවා, යැයි සිතන්නට අවස්ථාවක් තිබෙනවා. දිව්‍ය ලෝක හා බ්‍රහ්ම ලෝක පිළිබඳව බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන අදහස අප සියලු දෙනාට ම පැහැදිලියි.
එසේ නම් යම් දවසක මනුෂ්‍යයන් විසින් ම සිත් දූෂිත කර ගැනීම නිසා, ඔවුනොවුන් නසා ගැනීමක් පමණක් නොව භෞතික වශයෙන් පවත්නා ලෝකය ද විනාශ කර ගැනීමට පෙළඹේවි. හිරුගේ රශ්මිය හිරු සත් දෙනෙකුගේ රශ්මිය බවට පත්ව මේ ගහ කොළ පටන් භෞතික වස්තූන් සියල්ල ම පිළිස්සී විනාශයට පත්වේවි. මහ වැසි ඇද වැටී කල්පයේ කෙළවර ඇද වැටෙන මහා වර්ෂාවක් මෙන් වැසි ඇදවැටී මුළු ලෝකය ම ජලයෙන් පිරී යනවා. සඳ හිරු නොපෙනී ගොස් මහා අන්ධකාරය මතුවෙනවා. බොහෝ කාලයක් ගතවීමෙන් ලෝකයේ සිදුවෙන උප්පත්ති කතාවයි. ආභස්සර දෙවියන්ගේ පැමිණීමෙන් සිදුවෙන බවයි ඉහත සඳහන් කරනු ලැබූවේ.
ලෝකය භෞතික වශයෙන් මහපොළොව සකස් වී හිරු සඳු පායා ආරම්භවීමත් සමඟම සත්වයාගේ පැවැත්ම සකස් වන්නේ, ඔවුන් විසින් ම ඇතිකර ගන්නා වූ තෘෂ්ණාව හා සමගිනුයි. එනම් රස තෘෂ්ණාව හා සමගිනුයි.

සිතේ මානයක් හටගැනීම


භාග්‍යවතුන් වහන්සේ නැවත මෙසේ සඳහන් කරනවා. වාසෙට්ඨයෙනි, මේ ලෝකය පහළ වූ විට සත්වයෝ රස පොළොව පරිභෝග කරන්න, වළඳන්න එයම ආහාර කොටගෙන ජීවත් වන විට සත්වයන්ගේ සිරුරේ රළු බව ඇතිවෙනවා. ආභස්සර බඹ ලොව සිට පැමිණෙන විට තිබූ සිරුරෙහි ප්‍රභාස්වර බ ව නැතිව ගියා. එවිට මේ සත්වයන් අතරින් ඇතැමෙක් පැහැපත් බවක් හා ඇතැමෙක් පැහැපත් නොවන බැවින් වර්ණ භේදයක් ඇතිවෙනවා. ඔවුන් අතුරින් යම් කෙනෙක් පැහැපත් සමක් ඇතිව සිටිනවා නම් ඔවුන් මෙසේ සිතන්නට පටන් ගත්තා අප මේ අයට වඩා පැහැපත් මේ අය අපට වඩා පැහැයෙන් අඩුයි. මේ ආකාරයට සිතමින් පැහැපත් අය විසින් පැහැපත් නැති අය කෙරෙහි පහත්කොට සලකන්නට පටන් ගත්තා. තමාගේ පැහැය හෙවත් වර්ණය පිළිබඳව මානයක් ඇතිවෙන්නට පටන් ගත්තා. රස තෘෂ්ණාවෙන් අනතුරුව ශරීරයේ පැහැය නැතිව ගියා. පැහැය නැතිව යන විට තරමක් හෝ පැහැය තිබෙන අය පැහැය නැති අය කෙරෙහි රළු අය කෙරෙහි පහත් කොට සිතන්නට පටන් ගැනීමත් සමඟ ඔවුන්ගේ සිතේ මානයක් ඇති වුණා. ඒ ඇති වූ මාන ස්වභාවයත් සමඟ එම හැසිරීම නිසාම පොළොවේ තිබූ රස බව අතුරුදහන් වෙන්නට පටන් ගත්තා.
මේ ආකාරයෙන් රස පොළොව අතුරුදහන් වූ කල්හි මේ පෘථිවියේ රසය, ස්වභාවය ගැන ඒ අය එක් රැස්ව සිතන්නටත්, කතා කරන්නටත් පටන් ගත්තා. වර්තමානයේ දී ද මනුෂ්‍යයන් තමන් කැමැති රසයක් ලැබූ විට ‘අහෝ මේ ඉතාම රසයැයි’ කියනවා වාගෙයි. අදත් එසේ කතා කරන්නේ ඒ පැරැණි ලෝකෝප්පත්ති වංශ කතාව අනුව මනුෂ්‍යයන් ගමන් කරන නිසා බවට ඉඟි කරන්නට පුළුවනි. එහෙත් එහි අරුත වර්තමානයේ රසයට ප්‍රිය යැයි කියන අය දන්නේ ද නැත.






බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ නිකිණි අමාවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ අගෝස්තු 31 වන බදාදා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment