Labels

Saturday, September 10, 2016

ගෘහ ආර්ථිකය කෙරෙහි බිරිඳකගේ වගකීම

මවගේ හා බිරිඳගේ හැදියාව ශක්තිමත් ගෘහ ආර්ථිකයකට පදනම වේ.
ගෘහ ආර්ථිකය කළමණාකරණය කිරීමේදී අරපිරිමැස්ම අතිශය වැදගත් අංගයකි. ධනය වියදම් කිරීම හා වැය කිරීමේ දී අන්තයකට නොගොස් මැදුම් පිළිවෙතක පිහිටා කටයුතු කිරීම අවශ්‍ය වේ. අරපිරිමැස්ම යනු ලෝභකම නොවන බව පැහැදිලිව තේරුම්ගත යුතු වේ. මවක හා බිරිඳකගේ අරපිරිමැස්ම ගෘහ ආර්ථිකය ස්ථාවරව පවත්වාගැනීමට හේතුවේ

බෞද්ධ ආර්ථික දර්ශනය යටතේ ගෘහ ආර්ථිකය කෙරෙහි ද විශේෂ අවධානයක් යොමුකර තිබේ. ගෘහ ආර්ථිකයේ ප්‍රධානත්වය හිමිවන්නේ නිවසේ ජීවත්වන මවට හෝ බිරිඳටය. බුදුසමයට අනුව කාන්තාව නිවසට කොටුකර තැබීමක් මෙයින් අදහස් නොවේ.
ඇය නිසි තැන පිහිටුවමින් ගෘහ ආර්ථිකයේ කළමණාකාරීත්වය ආරක්ෂාව ඇයට පවරා තිබේ. ගෘහ ආර්ථිකය තුළ ඇයගේ භූමිකාව මැනවින් නිරූපණය වන්නේ සිඟාලෝවාද සූත්‍රයේ එන ‘ස්වාමියා විසින් රැස් කරනු ලබන ධනය ආරක්ෂා කරයි. (සම්භතං අනුරක්ඛති)’ යන බුද්ධ දේශනාවෙහිය. ධන නිෂ්පාදනයේදී පුරුෂයාට මුල්තැන ලබාදීම භාරතීය සමාජයේ පිළිගත් ක්‍රමයත් වන අතර බුදුරදුන් ද එය අනුගමනය කළ සේක

 එහෙත් උන්වහන්සේ එසේ රැස්කර නිවසට ගෙන එනු ලබන ධනය කළමණාකරණය කිරීමේ වගකීම බිරිඳට පවරා තිබේ. මේ අනුව ගෘහ ආර්ථිකය කළමණාකරණයේදී කාන්තාවට වැදගත් තැනක් ලබා දී තිබේ. එසේම විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි උග්ගහ සිටුවරයාගේ දියණිවරුන් අමතා කළ අනුශාසනාවෙහි ගෘහ ආර්ථික කළමනාකරණයෙහි බිරිඳගේ භූමිකාව මැනවින් ඇතුළත් වේ. උග්ගහ සූත්‍රයෙහි බිරිඳකගේ යුතුකම් හා වගකීම් පහක් දැක්වෙන අතර එයින් තුන්වන හා පස්වන වගකීම් ගෘහ ආර්ථිකය හා සෘජුවම සම්බන්ධ වේ.

ඒ අනුව ස්වාමියාට අයත් යම් ගෘහ කර්මාන්තයක් වේ නම් එයට අදාළ කාර්යන්හි දක්ෂව අනලස්ව උපක්‍රමශීලී නුවණින් යුක්තව කටයුතු කරන්නටත් අනුන් ලවා කරවන්නටත් දක්ෂවීම බිරිඳකගේ එක් වගකීමකි. අනෙක් වගකීම වන්නේ ස්වාමියා විසින් උපයන යම් ධනයක් වෙතොත් එය ආරක්ෂා කිරීමත්, ස්වාමියාගේ එම ධනය උපයෝගීකරගනිමින් පුරුෂ ධූර්ත වීම, ධනය සොරකම් කිරීම, සුරාපානයට යොමුවීම හා විනාශ කිරීම ආදියෙන් වැළකීමත්ය. අංගුත්තර නිකායේ උග්ගහ සූත්‍රයේ දැක්වෙන උපදෙස් ගෘහ ආර්ථිකය හා සම්බන්ධ ගැටලු නිරාකරණය කරගැනීමට බෙහෙවින් අදාළ කරගත හැකිවේ. ඇතැම් කාන්තාවන් තම ස්වාමියාගේ ධනය පමණක් නොව තමාගේ ධනයද අවිධිමත් ලෙස පරිහරණය කරනු ලබන අවස්ථා දක්නට ලැබේ. ඇතැම් විටෙක ස්වාමියාගේ ධනය සොරකම් කරමින් සදාචාර විරෝධි ක්‍රියාවලට යොදවන අයුරු විවිධ සිදුවීම් මඟින් අනාවරණය කරගත හැකිවේ. මෙවැනි ක්‍රියාවලින් සිදුවන්නේ පවුල් ජීවිතයත් උපයාගත් ධනයත් යන දෙකම විනාශ වීමයි. පස්වන වගකීම යටතේ එය කොතරම් පුළුල් ආකාරයකින් ඉදිරිපත් කර තිබේද? යන්න පැහැදිලි වේ. මේ අනුව ගෘහ කර්මාන්තවලදී මෙන්ම ගෘහ ආර්ථිකය කළමනාකරණය කිරීමේදී ද කාන්තාවට ප්‍රධාන තැනක් ලබාදී තිබේ. අනාගත ලෝකයේ සිදුවන සමාජ පරිවර්තනය කවරක්දැයි පැහැදිලි කළ මහාසුපින ජාතකයේ එන සොළොස්මහා සිහිනයේ ඇතුළත් එක් සිහිනයක දැක්වෙන පරිදි කිසියම් පුරුෂයෙක් ලණුවක් අඹර අඹරා පාමුල තබන අතර ඔහු හිඳගෙන සිටින පුටුව යට සිටින බඩසියන් පෙළෙන සිවල් දේනුවක් එම පුරුෂයාට නොදැනෙන පරිද්දෙන් එම ලණු කා දමන්නීය. මෙම සිහිනයේ අරුත පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනාගත කාලයේ ස්ත්‍රීහු පුරුෂයන් කෙරෙහි ලොල් වී, අලංකාරයෙහි ලොල් වී, වීථිසංචාරයෙහි ලොල් වී, ආමිෂයෙහි ලොල් වී, දුශ්ශීලව වෙසෙන බවත් ය. මෙසේ කෙලිලොල් ජීවිතයකට හුරු වූ කාන්තාවන් තම පුරුෂයා විසින් මහන්සියෙන් උපයන ධනය මෙකී දුරාචාර ක්‍රියාවලට වැයකරන බවත් දේශනා කළ සේක. කොසොල් රජු දුටු සිහින දහසය සැබෑ වෙමින් පවතින බව වර්තමාන පවුල් අර්බුද විශ්ලේෂණය කිරීමෙන් පැහැදිලි කරගත හැකිවේ. විවිධ වර්ගයේ විලාසිතාවන්ට හා රූපලාවන්‍ය ක්‍රම වෙනුවෙන් මුදල් වැයකරමින් විනෝදකාමී ලෙස කාලය ගෙවන කාන්තාවන් බහුලව දක්නට ලැබේ. එසේ සදාචාරයෙන් පිරිහුණු කාන්තාවකට යම් ආයතනයක වගකීම පැවරීම එම ආයතනයේ පරිහානියට හේතුවන බව පරාභව සූත්‍රයේ දැක්වේ. බුදුරදුන්ගේ මෙම ඉගැන්වීම්වලින් පැහැදිලි වන්නේ ගෘහ ආර්ථිකයේ දියුණුව කෙරෙහි කාන්තාවගේ සදාචාරාත්මක හැදියාව බලපාන බවයි. මවගේ හා බිරිඳගේ හැදියාව ශක්තිමත් ගෘහ ආර්ථිකයකට පදනම වේ.

ගෘහ ආර්ථිකය කළමණාකරණය කිරීමේදී අරපිරිමැස්ම අතිශය වැදගත් අංගයකි. ධනය වියදම් කිරීම හා වැය කිරීමේ දී අන්තයකට නොගොස් මැදුම් පිළිවෙතක පිහිටා කටයුතු කිරීම අවශ්‍ය වේ. අරපිරිමැස්ම යනු ලෝභකම නොවන බව පැහැදිලිව තේරුම්ගත යුතු වේ. මවක හා බිරිඳකගේ අරපිරිමැස්ම ගෘහ ආර්ථිකය ස්ථාවරව පවත්වාගැනීමට හේතුවේ. බෞද්ධ පිළිවෙත් අනුව ජීවත්වන කාන්තාවක් තුළ මෙම ගුණය ඉතා උසස් අන්දමින් පිහිටා තිබිය යුතු බව බුදුන් දවස රජගහ නුවර වාසය කළ සිටු බිරිඳකගේ කතා පුවතින් පැහැදිලි වේ. ජීවක වෛද්‍යවරයා විසින් ප්‍රතිකාර කිරීමේ දී ඇය තම මුවින් ගිලිහී ගිය ගිතෙල් පිඬක් සේවිකාවක ලවා තැන්පත් කිරීමට කටයුතු කළා ය. එහිදී තමා ලෝභී කාන්තාවකැයි සිතූ වෛද්‍යවරයාගේ අදහස නිවැරැදි කරමින් කියා සිටියේ ගිහියන් වන අප අරපිරිමැස්ම ගැන හොඳින් දන්නා බවත්ය. (අගාරිකා නාම උපජානාමේතස්ස සඤ්ඤමස්ස) අරපිරිමැස්මෙන් කටයුතු කළ මෙම ධනවත් කාන්තාව වෛද්‍යවරයාගේ සේවයට අදාළ ගෙවිම් කිරීමට පසුබට නොවී නියමිත මුදල ලබාදුන්නා ය. සත්වසක් පීඩා විඳි රෝගයෙන් සිටු බිරිඳ නිදහස් කිරීමේ සතුට වෙනුවෙන් ඇයගේ පවුලේ සෙසු සාමාජිකයන්ගෙන්ද ජීවක වෛද්‍යවරයා නොමඳව තෑගි භෝග ලද බව සඳහන් වේ. කොතෙකුත් ධනය තිබුණත් ඒ සියල්ල අරපිරිමැස්මෙන් සකසුරුවම් සහිතව පරිහරණය කළ යුතු බව මෙම කතා පුවතෙන් ලැබෙන ආදර්ශයයි. ආදායමට සරිලන වියදම් කිරීමකින් තොරව සිතුමනාපේ ධනය වැය කරන කාන්තාවන්ට මෙය කදිම ආදර්ශයකි.
සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි ධනය කොටස් හතරකට බෙදා එයින් එක් කොටසක් පරිභෝජනය සඳහාත් කොටස් දෙකක් ආයෝජනය කිරීම සඳහාත් සිව්වන කොටස තැන්පත්කර තබාගැනීමටත් හුරු වීම ගෘහ ආර්ථිකය ශක්තිමත් වීමට හේතුවේ. කොතෙක් ධනය ලැබුණත් එය නිසි පරිදි කළමනාකරණය කරගැනීමට නොදන්නේ නම් ආර්ථික දියුණුවක් අපේක්ෂා කළ නොහැකිය. තම ආදායමට සරිලන ජීවන ක්‍රමයකට හුරු නොවී ඇතැයි ධනවත් පුද්ගලයන් ගත කරන ආකාරයේ අධිසුඛෝපභෝගී ජීවිතයකට හුරු වීම පිරිහීමේ ලක්ෂණයකි. නිවසකට අවශ්‍ය උපකරණ හා වෙනත් අවශ්‍යතා පිළිබඳ නිසි වැටහීමක් මවකට හා බිරිඳකට තිබිය යුතු වේ. නුවණින් තොරව අන් අය අනුකරණය කරමින් තරගකාරී ලෙස භාණ්ඩ එක් රැස් කිරීම අනුවණ ලක්ෂණයකි. සරල ජීවන පිළිවෙත ආර්ථිකය ශක්තිමත් කරගැනීමට පමණක් නොව කායික හා මානසික වශයෙන් නිරෝගී ජීවිතයක් ගොඩනඟා ගැනීමට ද හේතු වේ.
නිතර නිතර යම් යම් දෑ අසල්වැසියන්ගෙන් හා ඤාතීන්ගෙන් ණයට ලබාගැනීම යහපත් මවකගේ හා බිරිඳකගේ ලක්ෂණයක් නොවේ. ලොව කිසිවෙක් තමන්ගෙන් යමක් ඉල්ලනවාට කැමති නොවෙති. මිනිසුන් පමණක් නොව තිරිසන් සතුන් පවා එයට අකැමැති බව බුදුරදුන් විසින් හිමවත් වැසි එක්තරා භික්ෂූන්වහන්සේ නමක් අමතා කරනු ලැබූ පැහැදිලි කිරීමක් විනය පිටකයේ දැක්වේ. (තිරච්ඡාන ගතානං පාණානං අමනාපං භවිස්සති යාචනා අමනාපා විඤ්ඤත්ති) පැවිදි සමාජයට ඉදිරිපත් කළ උපදෙස් ගිහි සමාජයටද එකසේ වැදගත් වේ. ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට භෞතික භාණ්ඩ රැසක් අවශ්‍ය වේ. එම අවශ්‍යතාව මැනවින් වටහාගෙන තම ප්‍රයෝජනයට අවශ්‍ය දෑ කල් ඇතිව සූදානම්ව තබාගැනීම ගෘහ ආර්ථීක කළමනාකරණයේ දී මවකගේ මෙන්ම බිරිඳකගේ දක්ෂතාවකි. ගෘහ ආර්ථීකය නිසි ලෙස කළමනාකරණය කරගැනීමට හැකියාව ඇති බුද්ධිමත් කාන්තාවට තම පවුල ආර්ථික වශයෙන් ශක්තිමත් කළ හැකි බව බෞද්ධ ඉගැන්වීම්වලින් පැහැදිලි වේ.




කොළඹ විශ්වවිද්‍යාලයේ 
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
රාජකීය පණ්ඩිත 
උඩුහාවර ආනන්ද හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ නිකිණි අමාවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ අගෝස්තු 31 වන බදාදා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment