ධර්මය දේශනා සංඛ්‍යාතය. එය බුදුරදුන්ගේ දේශනාවයි. රාග, ද්වේශ, මෝහාදීන් දුරු කරන්නට උපකාරි වන බැවින්ද, භික්ෂු , භික්ෂුණීන්ගේ ශික්ෂණය හා ආයති සංවරය පිණිස වන බැවින්ද, ප්‍රාතිමෝක්ෂාදියෙහි දක්වන ලද නියමයන් විනය නම් වෙයි. විනය ප්‍රඥප්ති සංඛ්‍යාතය.
එය බුදුරදුන්ගේ පැනවීම් පෙන්වා දෙයි. තමන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයත්, පනවන ලද විනයත් පරිනිර්වාණයෙන් පසු භික්ෂූන් විසින් ශාස්තෘවරයා ලෙස සැලකිය යුතු යැයි බුදුරදුන් විසින් පිරිනිවීමට ආසන්න සමයෙහි ඇනුදැන වදාළ බව පෙල දහම වාර්තා කරයි. ඒ අනුව ප්‍රථම සංගීතියේදී ම ධර්මයත්, විනයත් චිරස්ථායි ව පවිත්‍රව රැකගැනීම පිළිබඳව මහා කාශ්‍යපාදී මහ තෙරවරු වෙසෙසින් මැ කටයුතු සම්පාදනය කළහ.
ධර්මය උපන්නේ විනයට පෙර ය. එය ද පසුව උපන් විනය මෙන්ම විවිධ බුද්ධ දේශනා මගින් පරිනිර්වාණය තෙක්ම ප්‍රකාශ වූයේය. බුද්ධත්වයෙන් නොබෝ කලෙක පටන් ධර්මය ඉපිද වර්ධනය වූයේය. විනය උපන්නේ බුද්ධත්වයෙන් විසි වසරකට පසුව බව අටුවාව ද කියයි. ඒ භික්ෂු සංවරය හා ආචාර ශික්ෂණය ද උදෙසා ධර්මය ප්‍රමාණවත් නොවූ තැනයි. මුල් විසි වසර තුළ භික්ෂු සමාජය විමුක්ති මාර්ගයට යොමු කොට අදාළ ශික්ෂණය ඇති කිරීම සඳහා ධර්මය මැ ප්‍රමාණවත් වූයේය. පස්වග භික්ෂූන් ඇතුළු ප්‍රථම රහත් සැට නම සහිතව සරණාගමන පැවිද්ද අනුදක්නා තෙක් මැ පැවැති ඒහි භික්ෂු පැවිද්ද ලබා දීමේ දී බුදුරදුන් විසින් පවසන ලද්දේ, “එව,මහණ, ධර්මය මැනවින් දේශනා කොට ඇත. සියලු දුක් කෙළවර කරනු සඳහා බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්න” යනුවෙනි. ධර්මයට අනුව ම නිවන් මග යාම මුල් යුගයේ පැවිදිවූවන්ගෙන් අපේක්ෂා කරන ලද්දේය. “මහණෙනි,ධර්මය දායාද කොට වසව් ආමිසය දායාද කොට නොවසව්” යැයි බුදුරදුන් කළ අවවාදය ම ප්‍රමාණවත් වූයේය.”යම් ශ්‍රාවකයෙක් වනාහි ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිහිටා ද, සාමීචි පටිපන්නව ධර්මයට අනුවම හැසිරේ ද එහි ලා එම ශාස්තෘවරයාද පැසසුමට ලක්විය යුත්තේය. එහි ධර්මය ද පැසසිය යුතුය. ශ්‍රාවකයා ද පැසසිය යුතු” යැයි බුදුරදුහු අනුශාසනා කළහ. තවද “ධර්මයට ම සත්කාර කරමින්, ගරුකාර කරමින්, මානන පූජන කරමින් අපි සුවච ව වසමු. හික්මෙමු. සුවච බවට පැමිණෙන්නෙමු.” “(සුවයං ශික්ෂණය) ලද යුතු “ යැයි බුදුරජාණන් වහන්සේ වදාළහ.
සතර බ්‍රහ්ම විහරණ, සතර සතිපට්ඨාන, සත්තිස් බෝධිපාක්ෂික ධර්මාදී සූත්‍රායන්තයන්හි ඇතුළත් වූ ඉගැන්වීම් ධර්මය ලෙසම සැලකෙයි. සතර සංවර සීලය, චූල, මජ්ක්‍ධිම, මහා සීලාදිය එසේම සූත්‍ර ධර්මයන් මගින් උගන්වන ලද්දේය. භික්ෂූහු එම ඉගැන්වීම් අනුවම ජීවත්වූහ. එතුළින් ම උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික මෙන්ම බාහිර හැඩගැස්ම ද සිදු වූයේය. ධර්මයෙන් නොපිරිහී විමුක්ති ගවේෂණ අභිලාෂය ම පෙරදැරි කොට ගෙන බඹසර විසූ බැවින්ම මුල් විසි වසර තුළ විනය නීති පැනවීමක් අවශ්‍ය නොවීය. ධර්මය තුළින් ම විනයෙහි කාර්යය සාධනය වූ බැවිනි. බ්‍රහ්මචාරී දිවි පැවැත්මට ප්‍රතිපක්ෂ වැ ක්‍රියා කළ ඇතැම් භික්ෂූහු ධර්මගරුක භික්ෂූන්ගේ ගැරහීමට ද පාත්‍ර වූහ. භාග්‍යවතුන් වහන්සේ විසින් විරාගය පිණිස ධර්මය දේශනා කර තිබිය දී ඔබ රාගික ව සිතන්නේද? අත්හැරීමට උගන්වා තිබිය දී අල්ලා ගැන්මට ම සිතන්නේ දැයි ඔවුහු ප්‍රශ්න කළහ. ධර්මයට පිටුපා ධර්ම විරෝධී ව ක්‍රියාකළ භික්ෂූහු ධර්මානුධර්ම ප්‍රතිපන්න වූ භික්ෂූන්ගේ චෝදනාවට ලක් වූහ. ඔවුහු එබන්දන් අරබයා බුදුරදුනට පැමිණිලි කළෝය. විනය නීති පැනවීමට පෙර භික්ෂූන්ගේ ශික්ෂණය හා ආචාරශීලිත්වය පවත්වා ගැන්මට ධර්මය ප්‍රමාණවත් වූ බව පෙනේ. මුල් යුගයේ දී විනයෙහි අපේක්ෂාවන් ධර්මය තුලින් මැ ඉටු වූ බව මින් පැහැදිලි වෙයි.
විනය ප්‍රඥප්තීන් ඇති වීමට පූර්වතර අවදියෙහි ධර්මය තුළින් භික්ෂූන් වෙත ඉදිරිපත් කරන ලද අවවාද අනුශාසනා, පසු වැ උපන් එම ප්‍රඥප්තියට ඇතුළත් වූ බවට හෝ බලපෑ බවට ද කරුණු දැක්විය හැකිය. ඕවාද ප්‍රාතිමෝක්ෂය මීට එක් නිදසුනකි. එය ප්‍රාතිමෝක්ෂ යන අපර නාමය සහිත වුවද ඇතුළත්ව ඇත්තේ විනයෙහි නොව ධර්මයෙහිය. ප්‍රථම සංගීතියෙහි ලා ධර්මය යැයි දක්වන ලද සුත්‍ර පිටකයෙහිය. “ඉවසීම උතුම්ය. නිවන උතුම් අරමුණයි. පරඝාතනය විභෙඨනය ඇති තැන මහණකම ද නැත සියලු පව් නොකිරීමය. කුසල් වැඩීම ය. සිය සිත පිරිසුදු කිරීමය මේ බුද්ධානුසාසනයයි. අනුනට උපවාද නොකිරීම, අනුන් ගුණ දැකීම, ප්‍රාතිමෝක්ෂ සංවරය, පරිභෝජනයෙහි පමණ දැනීම, විවේකී සෙනසුන්හි ඇල්ම, සමවත් වැඩීම බුද්ධානුසාසනයයි’. ‘ප්‍රාතිමෝක්ෂ සංවර’ යන්නද සූත්‍රාන්තයන්හි නිතර හමුවෙයි. ‘ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සමන්විත වූයේ, ආචාර ගෝචර සම්පන්න වූයේ සුළු වුවද වරෙදහි බිය දක්නේ, නිවැරැදි කාය, වාග් සංවරයෙන් යුක්ත වූයේ, සම්මා ආජීව ඇත්තේ, සිල්වත් වූයේ, ඉන්ද්‍රීය සංවරයෙන් යුක්ත වුයේ, සිවුපසයෙහි (තුන් ආකාර) සතුටින් යුක්ත වූයේ, සිහි නුවණ ඇත්තේ, ශික්ෂාපද සමාදන් ව වෙසේ” යනාදි ප්‍රකාශය මීට නිදසුනකි. තවත් සූත්‍රාගත අනුශාසනයක භික්ෂු ශික්ෂණය සවිස්තරව දක්වා අත්තේ භික්ෂු ජීවිතයේ පරමාර්ථය වු සියලු දුක් නසා නිවන් පසක් කරලීමට ඔවුන් යොමු කරමිනි. එහිලා චක්ෂුරාදී ඉන්ද්‍රියයන්, අභිද්‍යා දෝමනස්සාදි පාපක අකුසල ධර්මයන් ආධ්‍යාත්මයෙහි වර්ධනය නොව සේ සංවර කර ගැන්මටද, පමණ දැන ප්‍රත්‍යවේක්ෂාවෙන් යුතුව ආහාර ගැන්මටද, නිදි වැරීමෙහි අනුයුක්ත ව තුන්යම සිත වැඩීමට ද , සියලු ඉරියව් හා ක්‍රියාකාරකම්හි සිහි නුවණින් යුක්ත වීමට ද, ජනශූන්‍ය සෙනසුන් ඇසුරු කිරීමටද අනුශාසනා කෙරේ. මෙවන් චර්යාවෙක නිරත වන භික්ෂූන්ට අමුතුවෙන් නීති පැනවීමක් අවශ්‍ය වන්නේ නැත. ආධ්‍යාත්ම හැඩගැස්ම ද ඊට සමගාමි වූ බාහිර සංවරයද උන්වහන්සේ වෙත ඇති බැවින් එයින් ම විනයවත් බව උපදින බැවිනි. ජ්‍යෙෂ්ඨ ශ්‍රාවකයන් විසින් මෙලෙසින්ම භික්ෂූන් වෙත කරන ලද අනුශාසනා සූත්‍ර ධර්මයන්හි දැකගත හැකිය. භික්ෂුවක තුළ දුර්වලභාවය ඇති කරන කරුණු එලෙස පැහැදිලි කළ මහ මුගලන් හිමියෝ ඒවායින් වැළකීම තුළින් සුවච බව ඇති වේ යැයි පෙන්වා දුන්හ. බුදුරජාණන් වහන්සේ පාලි නිකාය ග්‍රන්ථවල දීම සවැදෑරුම් වු විවාද මූලයක් ඇතැයි පෙන්වා දෙමින් චතුර්විධ අධිකරණයක්ද, සප්ත අධිකරණ සමථයන්ද පෙන්වා දුන්හ. පසුව විනයෙහි ඇතුළත් වු මේ චතුර්විධ අධිකරණය හා සප්ත අධිකරණ සමථයන් ද මුල් යුගයේ දී ධර්මය ඉක්මවා ක්‍රියා කළ භික්ෂූන් අරබයා භාවිත වු බව පෙනේ. එසේම ඉහත දී මෙහි සඳහන් කළ මුගලන් හිමියන් වදාළ දුර්වල බව හා සුවච බව ඇති කරන කරුණු සොළොස පිළිබඳ දේශනාවෙහි ද චෝදනා කරන්නෙකු (චෝදක) චෝදනා ලබන්නෙකු (චූදිත) ගැන සඳහන් වෙයි. මෙබඳු සූත්‍රාන්තයන් මුල් යුගයේ දී ප්‍රාතිමෝක්ෂය වු බව සිතිය හැකිය. සතර පරාජිකාවන් වුවද, විනයට ඇතුළත්ව ප්‍රඥප්ති ස්වරූපය ගැන්මට පෙර ධර්මයෙහි ඇතුළත්ව තිබිණ, මෛථූන සේවනයෙනි වැළකී බ්‍රහ්මචාරී විය යුතු බව නිකාය ග්‍රන්ථවල එන චූල සීලයෙහි අනුදක්නා ලද්දේය. වෙසෙසින්ම ඒ මෙවුන්දම් සේවනයෙන් වැළකීම පැවිද්දාගේ සුවිශේෂ පිළිවෙත යැයි තවත් විටෙක බුදුරදුහු වදාළහ. අදත්තාදානයෙන් වැළකීමද පැවිද්දා විසින් රැක්ක මනා පිළිවෙතකැයි සූත්‍ර වල ම පෙන්වා දෙන ලදී. එය නිරවද්‍ය වු පැවිදි පිළිවෙත යැයි සැලකිණ. සියලු ආකාරයේ පර පණ නැසීම්වලින් පැවිද්දා වැළකිය යුතු යැයි බුදුරජාණන් වහන්සේ නොයෙක් විට වදාළහ. එය භික්ෂු ශීලයෙහි ඇතුළත් කරන ලදී. නැති ගුණ පෙන්වීම කුහකත්වයයි. එය භික්ෂුවට අදාළ මිච්ඡා ආජීවයයි. කුහනා ලපනාදියෙන් වැළකීම සම්මා ආජීවයයි. සුත්ත නිපාතයේ තුවටක සූත්‍රය දක්වන කරුණු පසුව උපන් විනය ශික්ෂාපද සමඟ සසඳා බැලීමෙන් ද පැහැදිලි වන්නේ මුල් යුගයේ දී ධර්මය තුළම විනය ඇතුළත් වූ බවය.
මහාචාර්ය,
දේවාලේගම මේධානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ බිනර පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ සැප්තැම්බර් 16 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment