Labels

Friday, September 2, 2016

මෙන්න ලොව සුන්දරම වචන පෙළ

මනුෂ්‍යයෙකුට, දෙවියකුට, බ්‍රහ්මයකුට මෙලොවදී අසන්නට ලැබෙන ශ්‍රේෂ්ඨම, උතුම්ම අත්දැකීම කුමක්‌ද කියලා ඔබ දන්නවාද? මේ කියන්න යන වචන පෙළ විශ්වයේ ඔබට අසන්නට ලැබෙන සුන්දරම වචන පෙළයි. මේ වචන පෙළේ අර්ථය ඉක්‌මවා ගිය සුන්දරත්වයක්‌ මේ විශ්වයේ කොතැනකවත් නොමැත. මේ වචන පෙළේ සුන්දරත්වයක්‌ ඔබ දකින්න නම් ඔබ නිවන් මග වඩන කෙනෙක්‌ම වෙන්න ඕනේ.
ඔබ තුළ දැන් කුතුහලයක්‌ තිබෙනවා නේද ඒ සුන්දර වචන පෙළ කුමක්‌ද කියලා දැනගන්න. ඒ මෙයයි.

"ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී. ඔබට මේ සියල්ලම ලැබෙද්දී, මේ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසාය"

ඔබ මෙම වචන පෙළ නිතරනිතර සිහිකරන්න. එවිට ඔබට සිතේවී මේ මඟ ගමන් කරන්න. බලන්න ලෝකයේ සැබෑම යථාර්ථය තියෙන්නේ කොතැනද කියලා. සත්වයා යන්නේ මොන මුලාවක්‌ පසුපසද? සත්වයා සුන්දරයි කියලා දකින්නේ කුමක්‌ද? 

පුළුවන් තරම් රැස්‌කරන්න. ගොඩගසාගන්න. අවසානයේ සියල්ලම දමා මැරිලා යන්න. දමලා යන දේවල් මමය, මගේය කියලා රැස්‌කරන්න ගිහිල්ලා රැස්‌කරපු අකුසල් නිසා සතර අපායේ බින්න බහින්න.

දරුවන්ට, බිරිඳට රැස්‌කරලා අකුසල් පුරවාගෙන මැරිලා අපාගතවන්න මිනිසා හරිම දක්‍ෂයි.

බලන්න.... අත්හැරීමත්, රැස්‌කිරීමත් අහසයි පොළොවයි වගේ වෙනස්‌ සමීකරණ දෙකක්‌. එතරම් පරතරයක්‌ තිබියදීත් එහි වෙනස ඔබ දකින්නේ නැහැ. ඔබ තුළ තිබෙන අවිද්‍යාව, තන්හාව නිසා දරාගෙන සිටින බර කොපමණද යන්න ඔබට දැනෙන්නේ නැහැ. ඔබ මුළු විශ්වයේම බර දරාගෙනයි සිටින්නේ. විශ්වයේ බරෙන් ඔබ නිදහස්‌ වන්න. එවිට ඔබ ලොව නිදහස්‌ම පුද්ලගයා වෙනවා. "මම, මගේ , අපි, අපේ" කියලා කල්ප කෝටි ගණනක සිට වපුරපු, පුරවපු බර කද ඔබ දරාගෙනයි සිටින්නේ. ඔබ තුළ "මම මගේ" කියලා කෙනෙක්‌ නොමැති බවට ඔබ ප්‍රඥාවෙන් දකින මොහොතේ, මේ බර කද ඔබෙන් ගිලිහෙනවා. මේ බර ඔබෙන් ගිලිහීයාමේදී එය ඔබට හොඳින් දැනෙනවා. ඔබට දැනෙනවා, තේරෙනවා මහා වෙනසක්‌ ජීවිතය තුළ සිදුවූ බව. ඔබ නුවනින් බලනවා, මෙනෙහි කරනවා, ඔබ අවබෝධය ලබනවා, ඔබ තුළින් රාගය, ද්වේෂය, මෝහය නැතිවීගිය බව. ඒ කෙළෙස්‌ ධර්මයන් නැතිවීගොස්‌ තිබුණේ ඒවා තිබූ බවට සලකුණකුදු නොතබාමය. එයයි ආශ්චර්යය ධර්මයේ.

ඔබ සිතන්න අවුරුදු දහස්‌ ගණනක්‌ පැරණි ගසක්‌ තියෙනවා කියලා. ඔබ බුල්ඩෝසර කිහිපයක්‌ යොදලා ඒ ගස මුලින්ම උදුරනවා. ඔබ කොතරම් වෙහෙසගත්තත් ඔබට බෑ දශමයක ප්‍රමාණයේ හෝ මුල් කැබැල්ලක්‌ පොළොවේ නොසිටන ලෙස එම ගස ඉවත්කරන්න. මොන ආකාරයක්‌ යොදා ගස ඉවත් කළද පුංචි මුල් කැබැල්ලක්‌ හෝ පොළොවේ තිබෙනවා. නමුත් නිවන් මඟ අවසන් මෙහෙයුමේදී භික්‍ෂුව තුළින් රාගය, ද්වේෂය, මෝහය නිවීයන්නේ ඒවා කිසිකලෙකත් භික්‍ෂුව තුළ තිබූ බවට සලකුණකුදු නොතබාමය. ඉතිරි නොකරය.

එවිට ඔබට දැනෙනෙවා ඔබ මෙතෙක්‌ දරාගෙන සිටි බර ඔබට අයිති දෙයක්‌ නොව, ලෝකයට අයිති දෙයක්‌ බව. තමන්ට අයත් නැති බරක්‌ තමන්ගේ කරගනිමින්, කරගසාගෙන යන මෝහබරිත පෘතග්ජන තත්ත්වයෙන් මිදීමට හැකිවීම ගැන ඔබට සතුටක්‌ දැනෙන්නේ නැහැ. දැනෙන්නේ කළයුත්ත කරගත්තාය කියන හැඟීමයි. ඔබ මෙහිදී ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. මොකද ඔබ ජයග්‍රහණයක්‌ නොවේ ලැබුවේ. දිනුම් කණුවක්‌ නොවේ ඔබ පසු කළේ. තව කෙනෙක්‌ පරාජය කළා නොවේ. ඔබ පළවෙනියා වුනා නොවේ. මේ ලෝකයේ පවතින ස්‌වභාවය, යථාර්ථය හඳුනාගත්තා, අවබෝධකරගත්තා පමණක්‌මය. 

ලෝකයේ මෙම විජයග්‍රහණය, ජයග්‍රහණය නොසමරනු ලබන, ලොව ශ්‍රේෂ්ඨම, නිහතමානීකම දෝරේ ගලායන ජයග්‍රහණයයි. 

ඔබ මෙහිදී කිසිවක්‌ ලබා නැත. සියල්ල අතහැරුණා පමණමය. එය ජයග්‍රහණයක්‌ නොව නිදහස්‌වීමකි. එහෙත් ඔබ බර දරාගෙන සිටින ලෝකයා අතර, ඔවුන්ගේ සිව්පසය ලබමින්, යෑපෙමින් ලෝකයේ බරෙන් සැහැල්ලු වන නිදහස "නිදහසේ" අත්දකිනු ඇත. ඔබ ලබන ඒ උතුම් නිදහස ඔබට මිස වෙනත් බාහිර කෙනෙකුට නොදැනෙනු ඇත. මන්ද මනුෂ්‍යයා දරාගෙන සිටින බර නිසා, අනුන්ගේ සැහැල්ලුවද, නිදහසද ඔහු, ඔහුට බරක්‌ කරගන්නා බැවිනි. බර දරාගත් මිනිසුන් අනුන්ගේ සැහැල්ලුව, තමන්ට බරක්‌ කරගැනීම පෘතග්ජන සිරිතය. මේ ස්‌වභාවය නිසා සත්වයා නොදැනුවත්ව කරගන්නා අකුසල් ප්‍රමාණය අති විශාලය. 

ලෝකයේ බරෙන් ඔබ නිදහස්‌වන්න. නිදහසේ සැහැල්ලු බව ගැන ඔබ ලෝකයාට කියාදෙන්න. ලෝකයත්, සිතේ ස්‌වභාවයත් අනිත්‍ය පමණක්‌ම බව දකින්න. සිත අනිත්‍ය බව අවබෝධකර ගන්න. එවිට ආයාසයකින් තොරවම ලෝකයේ ස්‌වභාවය ඔබට අවබෝධවේවී. සිත අතහරුණවිට, ඔබට ලෝකයද අතහැරෙනු ඇත.


අතහැරිම" 13 කොටස

2011 දෙසැම්බර් 18 ඉරිදා දින  දිවයින පුවත්පතෙහි පල වු ලිපියකි

No comments:

Post a Comment