Labels

Friday, September 16, 2016

විඤ්ඤාණය නිසා නාමරූපය පවතිනවා ( සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු -07 )

පටිච්ච සමුප්පාදයේ උගන්වන තුන්වන අංගය යන විඤ්ඤාණය ගැන මෙතැන් සිට කියා දෙනවා. මුලින් ම විඤ්ඤාණයේ සාමාන්‍ය ස්වභාවය අපි තේරුම් ගනිමු. ඒත් පටිච්ච සමුප්පාදයේ දී විස්තර කරන විඤ්ඤාණය ක්‍රියාවලිය ඊට වඩා වෙනස්. ඒක පටලවා ගන්න එපා, සාමාන්‍යයෙන් විඤ්ඤාණය කියන්නේ අපගේ සිතට. ඒත් සිතේ මනසේ, විඤ්ඤාණයේ සුළු වෙනස්කම් තියෙනවා. නමුත් සිත කියා ගත්තොත් මේක ලෙහෙසියි. කන්න ඕනෑ, නිදන්න ඕනෑ, වැඩපල කරන්න ඕනෑ, ධනය රැස්කරන්න ඕනෑ, ආදී වශයෙන් සිතන්නේ විඤ්ඤාණයයි.
අප ළඟ තිබෙන ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ගන්නා වූ වේදනා, සංඥා, සංඛාර ආදි වූ අරමුණුවල පටලවන්නේ මේ සිතයි. අප මුලාවට පත් කරලා සසර ඇවිද්දවන්නේ මේ සිතයි. මොහොතින් මොහොත වෙනස් වෙමින් යන දේවල් එහෙම වෙන්නේ නැහැ කියා සිතන්නේත් මේ සිතයි.
ඒකයි මේකට මායුපමාඤච විඤ්ඤාණං කියා කියන්නේ, ඇත්තටම මේක මායාවක්, සත්‍යදේ අසත්‍ය ලෙසත්” අසත්‍ය දේ සත්‍ය ලෙසත් සිත අරමුණු කරගන්නවා. මේක විස්තර කරන කොට මෙහි තිබෙන මායාකාරී ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වේවි. ඒ වගේ ම විඤ්ඤාණය සහ නාම රූප අනෝන්‍යය ප්‍රත්‍යය වන නිසා නාමරූප පිළිබඳවත් කිසියම් පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.

සාමාන්‍යයෙන් කතා කරන විඤ්ඤාණයට වඩා පටිච්ච සමුප්පාදය ඉගැන්වෙන විඤ්ඤාණ ක්‍රියාවලිය වෙනස්ය. මේ විඤ්ඤාණයට හේතු ප්‍රත්‍ය හැටියට දක්වලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ - නාමරූපයයි. නාමරූපය යන්න මේ කාරණය පිළිබඳව බොහෝ දෙනා තුළ වැරදි අදහසක් තියෙනවා. දැන් මේ සියල්ලම නැතත් ඇතැම් පින්වතුන් දන්නවා ඇති පටිච්චසමුප්පාද ධර්මයේ අංග දොළහක් තිබෙන බව. අවිජ්ජාවෙන් පටන් ගෙන දුක දක්වා අංග දොළහක් තිබෙනවා. මේ අංග අතර විඤ්ඤාණයත් නාමරූපයත් අතර අන්‍යෝන්‍ය ප්‍රත්‍යය සම්බන්ධතාවක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ ‘විඤ්ඤාණ පච්චයා නාමරූපං’ විඤ්ඤාණය නිසා නාමරූපය පවතිනවා. නාමරූපය නිසා විඤ්ඤාණය පවතිනවා කියලා. පටිච්ච සමුප්පාද විග්‍රහයේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යය වශයෙන් තිබෙනවා එතන පැහැදිලිවම. නමුත් ඇතැම් කෙනෙක් පංච උපාදානස්කන්ධය විග්‍රහ කිරීමේ දී ඒක පටලවා ගන්නවා මේ නාම රූපයත් එක්ක. දැන් උගතුන් කියනවා නාම රූපය තේරුම් කරන්න ගිහිල්ලා නාමරූපයේ රූපය කියලා කියන්නේ රූප උපාදානස්කන්ධයයි. නාම කියලා කියන්නේ අර අනිත් වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ හතරම ගන්නවා නාමය හැටියට. නමුත් ඒක අවුල්කර ගැනිල්ලක්. පංච උපාදාන ස්කන්ධ විග්‍රහයත්, පටිච්චසමුප්පාද විග්‍රහයත් පටලවා ගැනීමෙනිනුයි. ඒ විධියට කෙනෙක් කල්පනා කරන්නේ.

මොකද, බුද්ධ දේශනාවේ පැහැදිලිවම තිබෙනවා විඤ්ඤාණයට ප්‍රත්‍යයවන්නේ නාමරූපය. අන්න එතන තමා ගැඹුරුම එක. ඒ නාමරූපය පටිච්චසමුප්පාද ධර්මයට අනුව - නාමරූපය තුළින් තමයි ඊළඟට සළායතනය හැටියට බෙදිලා යන්නේ. සළායතන කියා ධර්මයේ දක්වලා තිබෙන්නේ - කොටින්ම විඤ්ඤාණ හයක් හැටියට. නිකම් විඤ්ඤාණයක් නැහැ. චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියලා විඤ්ඤාණ හයක් තිබෙනවා. ඇස, කන, නාසය, දිව, කය, මන කියන අප ඉන්ද්‍රිය කියලා ගන්න ඒවා. ඒවායේ විඤ්ඤාණය තැන්පත් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ දක්වන්නේ පටිච්චසමුප්පාද ධර්මයට අනුව විඤ්ඤාණයත් හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇතිවන එකක්. ‘අඤ්ඤත්‍ර පච්චයා නත්ථි විඤ්ඤාණස්ස සම්භවො’ ප්‍රත්‍යයන්ගෙන් තොරව විඤ්ඤාණයක් හටගන්නේ නැහැ කියනවා. එතන තමා ගැඹුරුම දේ. එතකොට ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ‘ද්වයං භික්ඛවේ පටිච්ච විඤ්ඤාණං සමේහාති’ දෙකක් නිසයි විඤ්ඤාණය ඇති වන්නේ. මොකද්ද දෙක, ඇසයි රූපයයි. ඇසයි රූපයයි නිසා චක්ඛු විඤ්ඤාණය ඇතිවෙනවා. කනයි ,ශබ්දයයි නිසා සෝත විඤ්ඤාණය ඇතිවෙනවා. දැන් මේ වචනයකට කන් දෙන්නේ ඒ අවස්ථාවේ ශබ්දය ඇහෙන්නේ නැත්නම් සෝත විඤ්ඤාණයක් නැහැ ඒ අවස්ථාවේ. නමුත් අප සිතනවා කන තිබෙන නිසා සෝත විඤ්ඤාණයක් තිබෙනවා කියලා. ඒක වැරදි අදහසක්. ගිනි පෙට්ටියේ ගින්දර තියෙනවා කියලා සිතීම වගේ. ගිනිකූර ගැහුවට පස්සෙ නේ ගින්දර එන්නේ. මේක සවිඤ්ඤාණක කය බව ඇත්ත. විඤ්ඤාණය සහිත කය. නමුත් විඤ්ඤාණය මතුවන්නේ හය ආකාරයකට ඒකට ප්‍රත්‍යය එකතු වුනාමයි. අන්න එහෙම සිතාගන්න. එතකොට ඇසත් රූපයත් නිසයි. එතනයි බොහෝ දෙනාට වරදින්නේ. ඇසත්, රූ පයත් නිසයි චක්ඛු විඤ්ඤාණය. කනත් ශබ්දයත් නිසයි සෝත විඤ්ඤාණය. ඒ විදියට අන්තිමට ම එන්නේ මනසත් මනසට අරමුණු වන ‘ධම්ම’ කියන ‘දෙයත්’ මනසට අරමුණු වුණ කාරණයත්, ඒ දෙක එකතු වුණ තැනයි මනෝ විඤ්ඤාණය පවා ඇති වන්නේ, ඔන්න ඔය විදිහේ මහා ගැඹුරු කාරණයක්.

විඤ්ඤාණය නිසා නාමරූපය පවතිනවා. නාමරූපය නිසා විඤ්ඤාණය පවතිනවා. දැන් විදර්ශනා භාවනා යෝගියා ඒ ඒ සිතට එන අරමුණු හැම එකක් ම නාම රූප හැටියටයි සළකන්නේ. ඇසට එන රූපය හෝ වේවා කනට එන ශබ්දය හෝ වේවා එතන තියෙන්නේ නාමරූප කියලා. මොකක් ද මේ ‘නාමරූප’ ඔන්න එතකොට තේරුම් ගන්න බලනවා. නාමය කියන්නේ අප කවුරුත් පාවිච්චි කරනවා නම කියලා. නමුත් මෙතන මේ සම්මුති නාමයක් නොවේ. මෙතන කියන්නේ ‘කුමක්ද මහණෙනි නාමය? වේදනා, සඤ්ඤා, චේතනා, ඵස්ස, මනසිකාර මේවා නාම ධර්ම. එතකොට රූප හැටියට දක්වන්නේ අර කලින් කිව්වා නේ මහා භූත හතර දෙනා එකට අල්ලාගෙන උපාදානය කරගෙන ඇති කර ගන්නා රූප සංඥාවයි මේ රූප කියලා කියන්නේ. එතකොට නාම රූපය කියල කියන්නේ එතනම තියෙනවා අර කෘත්‍රිම ස්වභාවයක්. රැවටිලි ස්වභාවයක්. විඤ්ඤාණයට එන අරමුණේ රැවටිලි ස්වභාවය එතන නාමරූප කියන වචනයෙන් පෙන්නුම් කරන්නේ. නාමය තනිව සිට ගන්නේ නැහැ. නාමය උපකාර කරගෙන රූපය පවතිනව. රූපය උපකාර කරගෙන නාමය පවතිනව. මෙතනත් කියනව හේතු ප්‍රත්‍ය සම්බන්ධයක්. යමක් අප හඳුනා ගන්නේ වේදනාව සංඥාව ඒ පිළිබඳව ඇතිවන චේතනාව ඊළඟට ඒකට මනසිකාරය යොමු කරන තැනක් තියනවා ස්පර්ශය. ඒ කාරනා ආශ්‍රයෙන් තමා අප රූප ධර්ම පවා හඳුනාගන්නේ. ඒවායේ ඝන බව ඒවායේ තද බව, බුරුල් බව, උෂ්ණ බව, සීතල බව ආදි වශයෙන් අප අඳුනා ගන්නේ ඔන්න ඔය කියාපු වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර කියන නාම ධර්ම ආශ්‍රයෙන්. ඊළඟට ඒ අඳුනා ගැනීම තුළින් අප මේක ‘රූපයක්’ කියලා ගන්නවා. හරියට අන්ධයෙක් ගිහිල්ලා මොකක් හරි හැපුනාම ඒ හැපුන දෙය දෙයක් කියල ගන්නවා වගෙයි. සාමාන්‍ය ලෝකයා අර සක්කාය දිට්ඨිය තුළින් මේක දෙයක් හැටියට ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා මෙතන තියෙන්නේ මේ ඡායාවක් පමණයි. අප අර කොතෙකුත් උපමා පෙන්නුවා.


බුදුරජාණන් වහන්සේත්, පුණ්ණ මන්තානි පුත්ත ස්වාමීන් වහන්සේත්, ආනන්ද ස්වාමීන් වහන්සේත් ප්‍රකාශ කරලා තියෙනවා අර කන්නාඩියක් අල්ලාගෙන බලන කොටයි මේ මමය කියල කියන්න පුළුවන් වන්නේ. ඒ වගේ රූපය අල්ලාගෙනයි ‘අස්මි’ ‘වෙමි’ කියන අදහස ඇතිකරගන්නේ. ඒවගේ ම වේදනා. යම්කිසි දෙයක් අල්ලා ගැනීමෙනුයි. ඒකටයි උපාදාන කියලා කියන්නෙත් ඒකයි. ඒ අල්ලා ගැනීම තුළ තියෙනවා දෙකක් පිළිබඳ හැඟීම. එතකොට ඒක සිතට වැටහෙන්නේ අර අල්ලාගැනීම තුළින්. අත්හැරිය අවස්ථාවේ දී ඒක නැහැ. නමුත් අත්හරින්න කැමති නැහැ. එතකොට ඒ අල්ලා ගැනීම තුළින් ‘වෙමි’ කියන අදහසක් එනවා. ඕකයි ලෝකයාට තියන ලොකුම ප්‍රශ්නය. අර ඒ දණ්ඩ උඩ සුනඛයාගේ උපමාව සමහර අවස්ථාවල දක්වන්නේ ඒකයි. සුනඛයෙක් ඒ දණ්ඩ උඩින් යනකොට උගේ ම රූප යට රැවටෙනවා. තවත් සුනඛයෙක් කියලා ගොරවනවා එහෙම නැත්නම් වල්ගය වනනවා. එහෙම නැත්නම් විටින් විට සැරෙන් සැරේ බලනවා. මේ වතුරේ තියෙන පිළිබිඹු කරන ස්වභාවය නොදන්නා නිසා. ඒ වගේ ම තමා විඤ්ඤාණයෙත් තියෙනවා පිළිබිඹු කරන ස්වභාවයක්. ප්‍රත්‍යවේක්ෂා නමින් හඳුන්වන්නේ. අන්න ඒ තත්ත්වය ගැන නොදන්නා නිසා තමා ලෝකයා තමන්ට පෙනෙන දේවල් ඒ ඒ හැටියට ම තියෙනවා කියලා සිතන්නේ. නමුත් විදර්ශකයාට ක්‍රම ක්‍රමයෙන් පෙනෙනවා අන්න අර ඒවා තුළ තියෙන්නේ නාමධර්ම සමූහයකුත් රූප ධර්ම සමූහයකුත් පමණයි කියලා.




පැපිලියාන සුනේත්‍රා මහා දේවි
පිරිවෙන් විද්‍යායතනයේ විහාරාධිකාරී
දර්ශනපති
පුස්සැල්ලයායේ චන්දිම හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ බිනර පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ සැප්තැම්බර් 16 වන සිකුරාදා දින   බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment