Labels

Saturday, September 10, 2016

කුසල් යනුමොනවාද?

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධාන සාසනං


පින්වත්නි,

සියලු පව් නොකරන්න. කුසලයෙහි යෙදෙන්න. තම සිත දමනය කරන්න. එය සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනයයි. පාපය නම් අපායාදී දුගතීන්හි දුක්විඳීමට සිදුවන ක්‍රියාය. සිත කය වචනයෙන් එබඳු පාප ක්‍රියාවන්ගෙන් වැළකිය යුතු ය. පාපයෙන් වැළකීම පමණක් නිවනට හේතු නොවේ. නිවනට හේතුවන්නේ කුසල් කිරීමයි. කුසලයෙහි යෙදීමයි. සමහරදෙනා පාපයෙන් වැළකී සිටින අතර කුසල් නොකරයි. මේ දෙකම සිදුවිය යුතු ය. බුදු සමය අක්‍රීයව අවබෝධ කළ හැක්කක් නොවේ. සක්‍රීයව කළ යුත්තකි. එබැවින් කුසල් කිරීමට නම් කුසලය යනු කුමක්දැයි පළමුව හඳුනා ගත යුතු ය.


කුසල ක්‍රියා බොහොමයක් ත්‍රිපිටකය තුළින් හඳුනාගත හැකිය. එබඳු ක්‍රියාවන් මොනවාදැයි කිහිපයක් පමණක් හඳුනා ගනිමු. අ.නි. පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ කුසල උපදවන පින් උපදවන කරුණු අටක් දක්වා ඇත. එනම් ආර්ය ශ්‍රාවකයා විසින් තථාගත බුදුරජාණන් වහන්සේ සරණ යෑම. මෙය කුසල උපදවන පින් උපදවන සැප ගෙනදෙන අග්‍ර රූපාදී සම්පත් හිමිවන සැප විපාක ඇති දිව්‍ය සම්පත් ලබන උපතට හේතුවන පළමු කරුණයි. මෙයින් පින් කුසල් උපදවයි. එමෙන්ම උතුම් ධම්ම රත්නය සරණ යෑම, උතුම් සංඝරත්නය සරණ යෑම, පළමු කාරණා තුනයි. එමෙන්ම මහා දාන පහක් දිය යුතු ය. එනම් ප්‍රාණ ඝාතයෙන් වැළකී අප්‍රමාණ සත්වයන්ට අභය අවෛරය නිදුක් බව දයාව දී ඊට හිමිකාරයෙක් වීම හා සත්ව ඝාතනයෙන් වැළකී මහණ බමුණන් සඳහා මහා දානය දීමයි. එපමණක්ද නොව සොරකමින් වැළකී, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකී බොරුකීමෙන් වැළකී මත්පැන් මත්ද්‍රව්‍යයෙන් වැළකී මහාදන් දිය යුතු ය. දානය කුසලයක් වන්නේ එවිටය. මෙම කරුණු අට කුසල උපදවන සැප විපාක ලබාදෙන ක්‍රියාවන් ලෙස දක්වා ඇත. මෙමගින් පෙන්වා දෙන්නේ පංච සීලය නොකඩා දන්දිය යුතු බවයි. පංචසීලය බිඳිමින් දෙන දානය උසස් ඵල සහිත කුසලයක් නොවන බව මෙමඟින් අවබෝධ කර ගත යුතු ය.

අ.නි.කුසල සූත්‍රයේ දැක්වෙන්නේ කුසල නම් ප්‍රාණඝාතයෙන් වැළකීම. සොරකම් කිරීමෙන් වැළකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම, බොරුකීමෙන් වැළකීම, කේළම් කීමෙන් වැළකීම, පරුෂ වචනයෙන් වැළකීම, අභිද්‍යාව හෙවත් අන්සතු වස්තුවෙහි ලෝබ නොකිරීම, ව්‍යාපාදය හෙවත් තරහවෙන් වැළකීම, හා සම්මා දිට්ඨිය ආදියයි. මෙම සූත්‍රයට අනුව කය වචනය සිත යන තුන්දොරින් කරන යහපත් ක්‍රියා කුසල වන අතර අයහපත් ක්‍රියා අකුසල නම් වේ. ඒ අනුව තිදොරම සංවර කිරීම කුසලයට අයත් වේ. එමෙන්ම ස.නි. පබ්බතුපම සූත්‍රයේදී කොසොල් රජතුමාට දේශනා කරන්නේ ජරාවෙන් හා මරණයෙන් පීඩාවට පත්වන සත්වයා විසින් පින් කුසල් කළ යුතු බවයි. එම පින් කුසල් නම් ධම්මචරියා සමචරියා හෙවත් දස කුසල්ය. දස කුසල් නම් ඉහතින් සඳහන් කළ කුසල් ය. තවද අ.නි.චුන්ද සූත්‍රයේ දැක්වෙන්නේ මිනිසාගේ පිරිසුදු බව ඇතිකරන්නේ දස කුසල බවයි. ආර්ය ධර්මයේ ආර්ය විනයේ පිරිසුදු වන ධර්මය නම් දස කුසල් ය. තවද ම.නි.වේරඤ්ජක සූත්‍රයේ දක්වන්නේ දස අකුසල විෂමචරියා කිරීමෙන් මරණින් පසු සැපයෙන් තොර වූ නපුරුගති ඇති විවසව වැටෙන අපාය, නිරායාදියෙහි උපත ලැබීමට සිදුවන බවත්, දස කුසල් කිරීමෙන් මනා ගති ස්වභාව ඇති දිව්‍යලෝකයේ උපත ලැබීමටත් හේතුවන බවයි. මේ අනුව දස කුසල් වැඩිය යුතු ය. වර්ධනය කළ යුතු ය. එය දෙලොව යහපතටම හේතුවන අතර නිවන සඳහා විශේෂයෙන් හේතු වේ.

ස.නි. අකුසලධම්ම සූත්‍රයේ දැක්වෙන ආකාරයට අකුසල නම් මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි යන අනාර්ය අෂ්ටාංගික මාර්ගයයි. කුසලනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තකි. සීල සමාධි ප්‍රඥා ලෙස මෙය වැඩිය යුතුය. අරි අටඟි මග දම්සක් පැවතුම් සූත්‍රයේ දැක්වෙන්නේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය ලෙසය. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙන් තණ්හාවගේ ඉතිරි නොමැතිව දුරුකිරීමක්, අතහැරීමක් ඉතිරි නොකොට අතහැරීමක්, මිදීමක්, ආලය නොකිරීමක් ඇද්ද එම මාර්ගාංග අට දුක් දුරු කරන ප්‍රතිපදාව වන්නේ ය. තථාගතයන් වහන්සේට පෙර නො ඇසූ ධර්මයෙහි අවබෝධය ලැබෙන්නේ දුක්ඛගාමිනී පටිපදා අරිය සච්චං භා වේතබ්බන්ති මේ දුක්ඛගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය වැඩිය යුතු ය. යනුවෙනි. එනිසා නිර්වානාවබෝධය සඳහා මග වර්ධනය කළ යුතු ය. වර්ධනය නොකරන්නක් ඉබේ වර්ධනය නොවේ. මෙම වැඩීම වර්ධනය කිරීම මනාව තේරුම් ගෙන ක්‍රියාකළ යුතුය. මෙයින්ද කුසලය යනු වැඩිය යුත්තක් බව පැහැදිලි වේ.

ස.නි. අපාර සූත්‍රයට අනුව පණ්ඩිතයා අකුසල් අතහැර කුසල් වඩන්නේ ය. කුසල් නම් කවරක් ද යත් සප්තබොජ්ඣංග ධර්මයෝය. සති සම්බොජ්ඣංගය, ධම්මච්චය, සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධිය සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, වීරිය සම්බොජ්ඣංගය, උපේක්ඛා සම්බොජ්ඣංගය යන බොජ්ඣංග ධර්මයෝය. බොජ්ඣංග නම් අවබෝධය පිණිස පවත්නා ධර්මයෝය. කුමක් අවබෝධය පිණිසද? උතුම් චතුරාර්ය සත්‍යය දැනුම පිණිස, අවබෝධය පිණිස නිවන පිණිස පවතින්නේ ය. මෙය වැඩිය යුත්තකි භාවිත කළ යුත්තකි. භාවිතා බහුලීකතා යනුවෙන් දැක්වෙන මෙම ධර්මයන් වැඩීමෙන් නිර්වානාවබෝධය කළහැකි බව දැක්වේ. තවද ස.නි. කුසල සූත්‍රයට අනුව පෙන්වා දෙන්නේ මහණෙනි, යම් දහමක් කුසලවෙයිද එය අප්‍රමාදී බව මූලික කොට ඇත්තේ ය. අප්‍රමාදයෙහි ඇතුළත් වූවෝ ය. අප්‍රමාදීබව එයට අග්‍රවේ. යනුවෙනි. ඒ අනුව අප්‍රමාදීව සප්ත බොජ්ඣංග වඩන්න. එය වැඩිය යුත්තේ විවේකයෙන් යුතුව විරාගයෙන් යුතුව තණ්හාව දුරුකිරීම පිණිස, නිවන කෙළවරකොටය. මෙය වැඩි යුත්තක් මෙන්ම නිවන් පිණිස හේතුවන්නකි.

ස.නි. කුසලරාසි සූත්‍රයට අනුව කුසල් රැසනම් මැනවින් කියන්නෙක් සතර සතිපට්ඨානය කියන්නේ ය. කුසල් රැස නම් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, හා ධම්මානු පස්සනාවයි. මෙම සතිපට්ඨාන වැඩීමෙන් ලැබෙන්නේ මොනවාද? කෙලෙස් තවන වීර්යය ඇතිව මනා දැනුමෙන් යුතුව සිහියෙන් යුතුව, ලෝකය කෙරෙහි දැඩි ලෝභය හා දොම්නස දුරුකොට වාසය කරන්නේ ය. මෙය කුසල් රැසකි මෙම කුසලය වැඩිය යුත්තකි. තව ද අකුසල රාසි නම් පංච නීවරණය ධර්මයෝ ය. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා යනුයි. ඒවා අකුසල්ය කුසල් යටපත් කළ හැක්කේ කුසලය වැඩීමෙනි. එනම් සතර සතිපට්ඨානයයි. එයින් ලබන ඵලය නම් නිර්වානාවබෝධයයි.
අ.නි. අකුසල සමාපත්ති සූත්‍රයට අනුව අකුසල නම් කුසලයෙහි සද්ධාව, හිරි, ඔතප්, වීරිය පඤ්ඤා නැතිබවයි. කුසලය නම් කුසල් කිරීමෙහි සද්ධාව ඇතිබව, කුසලයට ඇති ලජ්ජාව, කුසලයෙහි බිය ඇති බව, කුසලයෙහි වීර්ය ඇති බව. කුසලයෙහි ප්‍රඥා ඇති බවයි. මෙසේ ඇති කළ අකුසල් දුරුකළ හැකිය. කුසලය උපදවා ගත හැකි ය. මෙම කරුණු පහ වැදගත් වන්නේ නිවන් අවබෝධය සඳහා ය. එනිසා මෙය වැඩිය යුත්තකි.

ම.නි.සෙවිතාසේවිතබ්බ සූත්‍රයේ දැක්වෙන ආකාරයට සේවනය කළයුතු හා සේවනය නොකළ යුතු ධර්ම රාශියක් ඉගැන්වේ. යමක් සෙවීමෙන් කුසල වැඩේනම් එය සෙවිය යුතු ය. එබඳු සේවනය කළ යුතු දේනම් කයින් කරන ප්‍රාණඝාතනයෙන් වැළකීම. සොරකමින් වැළකීම, කාමයේ හැසිරීමෙන් වැළකීමයි. හා කායික කුසල් සිදුකිරීමයි. වචනයෙන් කුසල් වැඩෙන වචන කිව යුතු ය. බොරු නොකියා සත්‍යකීම කේළම් නොකියා සමගිය පිණිස කතා කිරීම. පරුෂ වචන නොකියා මිහිරි වචන කීම, සම්පප්‍රලාප නොකියා අර්ථවත් වචනකීම යනාදියයි. තවද සිතින් කුසල් වැඩෙන සිතිවිලි සිතිය යුතු ය. එනම් අනුන් අයත් දෙය තමාට අයත්වේවායි නොසිතීම, ව්‍යාපාදය බැහැරකොට මෛත්‍රී කිරීම, මිථ්‍යාදෘෂ්ටියෙන් තොරව සම්මා දිට්ඨිය ඇතිකර ගැනීමයි. තවද ඇසින් අකුසල් වැඩෙන රූප, ශබ්ද, ගන්ධ රස ස්පර්ෂ සිතිවිලි නොසෙවිය යුතු අතර කුසල් වැඩෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ සෙවිය යුතු ය. එමෙන්ම අකුසල වැඩෙන චීවර, පිණ්ඩපාත සේනාසන ගිලන්පස, ගම, නියම්ගම, නගරය, පුද්ගලයා සේවනය නොකළ යුතු ය. මෙම ධර්ම කරුණු විස්තර වශයෙන් දැන කුසලයෙහි යෙදෙන බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර යන ඕනෑම කෙනෙකුට දීර්ඝ කාලයක් හිත සුව සැප පිණිස පවතින්නේය. එමෙන්ම මෙම කුසල් කරන මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයේ දෙවි මිනිසුන් සහිත මහණ බමුණන් සහිත සත්ව ප්‍රජාවටම දීර්ඝ කාලයක් හිත සුව පිණිස පවතින්නේ ය.


ඉහත සඳහන්වන ආකාරයට කුසල යනුවෙන් සූත්‍ර ගණනාවකම දැක්වෙන්නේ තම තමන් තුළ ඇතිකරගනු ලබන දක්ෂතාවයන්ය. එය සිත කය වචනයෙන් සිදුකරන යහපත් ක්‍රියාය. තවද යමක් කිරීමෙන් නිවන් පිණිස හේතුවේනම් එය කුසල ගණයට ඇතුළත් වේ. මේ අනුව සත්තිස් බෝධිපාක්ෂික ධර්මවන සතර සතිපට්ඨානය. සතර සම්‍යක්ප්‍රධාන වීර්යය, සතර සෘද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල සප්ත බොජ්ඣංග ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීම කුසල් වේ. මෙම ධර්ම සම්මා වායාම සම්මා සති යන්නෙහි පිහිටා වැඩිය යුතු ය. බුද්ධ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ලෙස මෙම උතුම් කුසලයෙහි අප්‍රමාදීවීමට බුදුහු අනුශාසනා කළහ.


ශාස්ත්‍රපති 
ගයිරෑනගම විනීත හිමි








ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ බිනර පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ සැප්තැම්බර් 09 වන සිකුරාදාදින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment