Labels

Saturday, September 10, 2016

දියුණුව සළසා ගන්නේකෙසේද?

බුදුරජාණන්වහන්සේ දේශනා කළ නිර්වාණගාමී මාවතට එළඹීමට ප්‍රථම අප කළ යුතු ඉතා වැදගත් වූ කාරණාවක් නම් අපේ දෙලොව දියුණුව ඇති කර ගැනීමයි. බොහෝවිට ධර්මය පිළිබඳ මනා වැටහීමක් නොමැති ඇතැම් පිරිස් පෙන්වා දෙන්නේ සම්බුදු හිමියන් දේශනා කළ ධර්මස්ඛන්ධය අදාළ වන්නේ පරලොව සැප පිණිස හේතු වන්නේය යන කාරණාවයි. නමුදු ඔවුන් නිසි අවබෝධයකින් තොරව පදනම් විරහිත එවන් ප්‍රකාශයන් සිදු කරන බව පෙනේ. මහාමංගල සූත්‍රය කරණීයමෙත්ත සූත්‍රය,වේළුද්වාර සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය වැනි සූත්‍ර දේශනා මගින් ඉහත සාවද්‍ය ප්‍රකාශයන් ඛණ්ඩණය වනු නියතය.

උන්වහන්සේ නිරන්තරවම දේශනා කළේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් කෙරෙහි එකසේ කටයුතු කළ යුතු බවයි. එහි දී මෙලොව ජීවිතයේ සැපයන් උදාකරගත හැකිවන්නේ කෙලෙස ද? යන්න මුලින්ම අපි විමසා බලමු. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙන් කරුණු පෙන්වා දී ඇත. එහිදී මෙලොව වැඩසළසන කරුණු හතරක් දේශනා කර ඇත. එනම් උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා සහ සමජීවිකතා යන අංගයන්ය.

දියුණුවට හේතුවන ප්‍රධාන සාධකය


මෙලොව ජීවිතය කෙරෙහිත් විශේෂයෙන්ම තමා පිළිබඳ සිතන තැනැත්තා තුළ නිසැකයෙන්ම තිබිය යුතු ගුණාංගයක් වන්නේ උත්සාහයයි. එයට හේතුව නම් තමන්ගේ සියලු කාරණා සඵල කරගැනීම පිණිස බෙහෙවින්ම ඉවහල් වන ප්‍රධාන සාධකය එය වන බැවිනි.අධ්‍යාපනය ලද යුතු කල එය සාර්ථකව කිරීමටත් තරුණ වයසට පත්වූ කල්හි ආර්ථිකය සාරවත් කරගැනීමට යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට කුසල් දහම් රැස් කිරීමට ආදි වූ අප සාමාන්‍යයයෙන් කරන්නාවූ සෑම ක්‍රියාවක්ම අදිටන් කළ පරිදි ඉටුවන්නේ උත්සාහය නිසාවෙනි. අපේ ජීවිතය වාසනාවන්ත කරගැනීමට විශේෂයෙන් ම අපට බලපාන්නේ ආර්ථිකයයි. එනම් මුදල් අප සතුව තිබිය යුතු බවයි. උට්ඨාන සම්පදාවෙන් මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන බව පෙනේ.

අලසකම එපා


ගොවිතැන්බත් කරමින් හෝ වෙළෙඳාමෙන් හෝ ගව පාලනයෙන් හෝ රාජ්‍ය සේවයේ යෙදීමෙන් හෝ නැත්නම් වෙනත් කර්මාන්තයක යෙදෙන්නේ නම් හෝ සෑම කටයුත්තක් පිළිබඳවම දක්ෂතාවක් තිබිය යුතුය. විමර්ශනශීලිව කටයුතු කළ යුතු අතර අනලස් විය යුතු බව පෙන්වා දේ. තමන්ට හොඳින් ජීවත් වීමට තරම් ධනයක් ඇතැයි’ සන්තුෂ්ටිය ඇති වන්නේ එවිටය. එහිදී බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ ධනය ඉපැයීමේදී කෙදිනකවත් අනුන්ට හිරිහැර වන පරිදි හෝ සමාජය පරිහානියට පත් වන විදියේ ක්‍රම මගින් ධනය ඉපැයීමෙන් වළකින ලෙසයි.
සත්ව,ආයුධ, විෂ, වහල්, මත්පැන් ආදි වෙළෙඳාම්වලින් වළකින ලෙස උන්වහන්සේ දේශනා කර ඇත්තේ එයින් මහත් විපතක් තමන්ටත් සමාජයටත් සිදුවන නිසාවෙනි. ඉහත වෙළෙඳාම් නිසා සැමටම පීඩාවිඳීමට සිදුවනු නියතය. එබැවින් ඒවා මිච්ඡා ආජීවයට අයත් කර දක්වන ලද්දේ.උත්සාහය ඇතිකිරීමේ දි අප සිතට නිතැතින්ම ඇතුළු වන සතුරෙක් වන්නේ අලසකමයි. බුදුන් වහන්සේ දේශනා කළේ අලසකමින් සිටීම තුළින් තම ධනය බලා සිටියදීම පරිහානියට විනාශයට යන බවයි.
සමහර පිරිස් සාර්ථකත්වය සඳහා වෙහෙසීමෙන් තොරව තම ජීවිතය දෛවයට,අතීතයේ කළ කර්මයන්ට නතු කරයි. එය ඔහුගේ පරිහානිය පිණිසම හේතුවනු නිසැකය.උනන්දුව තම ජීවිතයේ දී පුදුම තරම් දියුණු කළ යුතුය. නොඑසේ නම් මේ ලබාගත් ජීවිතය හිස් එකක්ම වන්නේය.
බුදුන් දවස විසූවන් පමණක් නොව මෑත යුගයේ බිහි වූ බොහෝ දෙනෙක් උත්සාහය නිසා තම ජීවිතය මෙන්ම ලෝකය දියුණු කළහ. අයිසෙක් නිව්ටන්, මැක්සිම් ගෝර්කි, ඒබ්‍රාහම් ලින්කන් ආදීන් ඊට හොඳම නිදසුන්ය. ඒනිසා අපත් දැන් සිටම උත්සාහයෙන් ක්‍රියා කරන්නට අදිටන් කළ යුතුය.

ආරක්ඛ සම්පදා


මෙලොව දියුණුවේ දෙවැනි අංගය වන්නේ ආරක්ඛ සම්පදාවයි. එනම් මෙහිදී පෙන්වා දෙන්නේ තමන් සොයා සපයා ගන්නට යෙදුණ භෞතික මෙන්ම අභෞතික වස්තුව ආරක්ෂා කරගත යුතුයි යන කරුණයි. එහිදී අප දුක් මහන්සියෙන් බාහු බලය යොදවා ධාර්මිකත්වයෙන් උපයා ගන්නට යෙදුණු ධනය හැකි හොඳම විදියෙන් සුරක්ෂණය කළ යුතුය. සොරුන්ගෙන්, ස්වාභාවික ව්‍යසනයන්ගෙන්,අධර්මිෂ්ට පාලකයින්ගෙන් මෙන්ම කුමන හෝ අයුරකින් විනාශ වීමට ඉඩ නොදී මනා සිහියෙන් යුතුව ආරක්ෂා කළ යුතු වන්නේය. කෙසේ නමුදු අප ධනය ආරක්ෂා කරගත යුතු සේම සුදුසු පරිදි යෙදවීමටද මහන්සිගත යුතුය. ධනය ලෝභකමින් ආශාවෙන් තබාගෙන සිටියාට ඇති ඵලයක් නැත. මෙහිදී බුදුන් වහන්සේ පත්තකම්ම සූත්‍රය ඇසුරින් පෙන්වා දෙන්නේ තමන් විසින් ඉටුකළ යුතු දේ එලෙසම ඉටු කිරීමට මහන්සිගත යුතු බවයි. තමනුත් තමන්ගේ අඹුදරුවනුත් දෙමාපියනුත් තමා යටතේ සිටින සේවකයින් පෝෂණය කිරීම මුලින්ම කළ යුතුය. ඉන් පසු හිතමිතුරන්ට සංග්‍රහ කිරීම්ද නිසි පමණට කළ යුතුය. විපතකදී ධනය අවශ්‍යම දෙයක්වන නිසා උපයා ගන්නා මුදලින් කොටසක් ආරක්ෂිතව ව්‍යසන සමයේ පරිභෝජනය කිරීමට තබා ගත යුතුය.කුසල පක්ෂයේ දියුණුව සඳහා දන් දීම් පරිත්‍යාග කිරීම් ආදියද කළයුතුය යනුවෙන් මෙහිදී සඳහන් වේ. මේවා අප කළ යුතු යුතුකම් වන්නේය. මත්පැනට ඇබ්බැහි වීමත් අනිසි වේලාවන්හිදී සංචාරය කිරීමත් නාට්‍යය චිත්‍රපටය ආදිය කෙරෙහි ලෝලත්වයෙන් යුතු වීමත් සූදුවට යෑමත් පාපී මිතුරන් ආශ්‍රයත් අලස බවින් යුතු වීමත් නිසා ධනය විනාශ විය හැකිය. ඒ පිළිබඳව හොඳින් සිතා කටයුතු කළ යුතුය.තෙවැනිව පෙන්වා දෙන්නේ කල්‍යාණ මිත්‍රතාවයි. හැකි අයුරින් හොඳ මිතුරන් ආශ්‍රය කළ යුතු බවයි. සම්බුදු හිමියන් අපට දේශනා කළේ. එනම් ජීවිතය විනාශ වීමේ ප්‍රධානතම හේතුව ලෙස මිතුරන් ලෙස පෙනී සිටින මිත්‍ර ප්‍රතිරූපකයන් හෙවත් පාපි මිතුරන් නිසා සිදුවන බැවිනි. විටෙක බුදුන් වහන්සේ ආනන්ද හිමියන් අමතා දේශනා කළේ මේ ශාසනය රැඳී පවතින්නේ කල්‍යාණ මිත්‍රයන් නිසාවෙන් බවයි.මෙලොව පරලොව දියුණුවත් ලෝකෝත්තර විමුක්තිය සළසා ගැනීමටත් පහසුව උදාවන්නේ කල්‍යාණ මිතුරන් නිසාවෙන් බවයි.උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නට යෙදුණේ වචීපරම (වචනයෙන් පමණක් උදව්කරන්නා) අඤ්ඤදත්ථුහර (තමන්ගේ යමක් කඩාවඩා ගැනීමේ අදහසින් ඇසුරු කරන) අනුප්පියභාණි (තමා සිටින විට හොඳත් නොමැති විට නොගුණත් ප්‍රකාශ කරන) අපාය සහය (තමාගේ පරිහානිය පිණිසම උපදෙස් දෙන) යන මිත්‍ර ප්‍රතිරූපකයින් ආශ්‍රයෙන් තොර වීම නිසැකයෙන්ම කළ යුතු බවයි සම්බුදු හිමියන්ගේ අනුශාසනය වන්නේ.

කලණ මිතුරු ඇසුර


ඇසුරු කළ යුතු පිරිස් ලෙස බුදුන් වහන්සේ දේශනා කළේ උපකාරක (අවශ්‍ය වේලාවෙහි දී උපකාර කිරීම) සමාන සුඛදුක්ඛ (දුකේදී සැපේදී ළඟ සිටින)අත්ථක්ඛායි (අර්ථවත්ම දේ ප්‍රකාශ කරන) අනුකම්පක (කරදරයන්හි දී අනුකම්පාවෙන් යුතුව ක්‍රියා කරන) කල්‍යාණ මිත්‍රයින්ය. එසේ ආශ්‍රය කළ හැකි පිරිස් නැත්නම් හුදෙකලාව දිවි ගෙවීම සැපයට හේතුවන බව දේශනා කළ සේක. පාපි මිතුරන්ගෙන් ඈත්ව කල්‍යාණ මිත්‍රයින් සොයා යෑම සම්බුදු හිමියන් පෙන්වා දෙන්නේ භය සහිත මාර්ගයන් හැරදා යන්නාක් තැනැත්තා මෙන් යනුවෙනි. සිව් වැනිව දක්වා ඇත්තේ අතිශයින්ම අපට වැදගත් කාරණයකි. එනම් තමන් උපයා ගත් ධනය කෙසේද? පරිභෝජනය කළ යුත්තේ (සමජීවිකතා) යන කාරණාවයි. එහි දී ධනය නිකරුණේ විනාශ වන ක්‍රම කිහිපයක් දේශනා කර ඇත. ස්ත්‍රීන්ට ලොල්වීමත් සුරාවට ඇබ්බැහි වීමත් සූදුවට ලොල් වීමත් පාපමිත්‍ර සේවනයත් ඒ කාරණාවන්ය. බුදුන් කල සිටි මහ ධන සිටුපුත්‍රයා විනාශ වූයේ ධනය නිසි ලෙස පරිභෝජනය නොකළ නිසාවෙනි. ධනය පරිභෝජනයේදි ඉතා වටිනා ක්‍රම වේදයක් පෙන්වා දී ඇත්තේ සම්බුදු හිමියන්මය.ආහාරපාන සඳහා කොටසක්ද, කර්මාන්තය විෂයයෙහි කොටස් දෙකක්ද, අනෙක් කොටස් කරදර බාධක අවස්ථාවන් තුළදී ගැනීමටත් තබාගත යුතු බව උන්වහන්සේ එහි දී වදාළ සේක.තමාට ජීවත්වීම සඳහා අවශ්‍යතාවක් නොමැති වන ආහාරපාන හෝ ඇඳුම්පැළඳුම් හෝ යාන වාහන හෝ ගෘහභාණ්ඩ හෝ නොගත යුතු බවයි උන්වහන්සේ පෙන්වා දී අත්තේ. එම ක්‍රමවේදය අප නිසි ලෙස අනුගමනය කරන්නේ නම් අප බලා සිටියදීම දියුණු තත්ත්වයට පත්වේ. ණය ගැනීම් වලින් තොරව නිසි ලෙස අයවැය තුලනය කර ගැනීමට ඉහත සූත්‍රය අතිශය වැදගත්ය.අණන සූත්‍රයේ පෙන්වා දුන් පරිදි අනුන්ට ණයක් නොමැති බව නිසා ඇතිවන සතුට අතිශයින්ම හොඳ මානසිකත්වයක් සඳහා වැදගත් වේ.

ඉහතින් පෙන්වා දෙන්නට යෙදුණේ මෙලොව ජීවිතය සාර්ථකත්වයට වැදගත් වන ක්‍රමවේදයයි. පරලොව ජීවිතය සුගතිගාමිත්වයට උදෙසා ද ක්‍රියා කළ යුත්තේද මෙලොව දීමය. එහි දීද වැදගත් වන කරුණු හතරක් පෙන්වා දී ඇත. එනම් සද්ධා,සීල, චාග, පඤ්ඤා යන සම්පදාවන්ය. ශ්‍රද්ධාව යනුවෙන් පෙන්වා දී ඇත්තේ තෙරුවන් කෙරෙහි අචල වූත් ආකාරවති ශ්‍රද්ධාවෙන් යුක්ත වීමය. බුදුන් වහන්සේ නව අරහාදි ගුණ පිළිගැනීම සදහම් ගුණ විශ්වාස කිරීම හා සංඝරත්නය පිළිබඳ ගරු කිරීම ආදිය මෙයට අයත් ය. ඒ ශ්‍රද්ධාව කිසි ලෙසකින්වත් වෙනස් නොවන්නකි. තමන්ගේ දුක්ඛදෝමනස්සයන් නිසා කිසිදිනෙක තෙරුවන් කෙරෙහි සැකයක් විචිකිච්ඡාවක් ඇති කර නොගනී. තෙරුවන් කෙරෙහි අමූලිකා ශ්‍රද්ධාවෙන් යුතුව තෙරුවන් ගුණ සජ්ඣායනා කිරීම නොව ඒ ගුණයන් පිළිබඳව නිසි වැටහීමෙන් යුතුව සරණ යෑමයි ශ්‍රද්ධාව උපදවා ගැනීමට වැදගත් වන්නේ.

මෙහි දෙවැනි අංගය වන්නේ සීල සම්පදාවයි. පඤ්චශීලය ආරක්ෂා කිරීම මෙන්ම සිතින්, කයින්, වචනයෙන් දුෂ්චරිත සිදු කිරීමෙන් වැළකීම මේ සම්පදාවට අයත් වන්නේය.

තෙවැනිව පෙන්වා දෙන්නේ චාග සම්පදාවයි. එනම් පරිත්‍යාගශීලිත්වයෙන් යුතුව දීමයි. මෙහිදී ක්‍රම දෙකකි. පූජා බුද්ධියෙන් දන් දීම යනු සිල්වතුන් වහන්සේලාට දෙන දීමනාවක්ය.අනුග්‍රහ බුද්ධියෙන් දන් දීම යනු දුප්පතුන්ට තිරිසන් සතත්වයන්ට හෝ පරිත්‍යාගයක් අවශ්‍ය පුද්ගලයින්ට දීමය. දන්දීම යනු පාරමිතාවක් ද වන්නේය. සිව්වැනි කරුණ නම් පඤ්ඤා සම්පදාවයි. එනම් ප්‍රඥාවෙන් සම්පූර්ණ වීමයි.මෙලොව ජීවිතය සාර්ථකත්වයටත් හොඳ– නරක මනාව අවබෝධ කර ගැනීමටත් අවිද්‍යාව දුරලා නිවන් සම්පත්තිය සාක්ෂාත් කරගැනීමටත් ප්‍රඥාව ඉවහල් වෙනු නියතය. සම්බුදු හිමියන් දේශනා කළ අයුරින් මේ ක්‍රමවේදය මනාව පිළිපදින්නා ටමෙලොව, පරලොව අභිවෘද්ධිය සළසාගෙන අන්තිමේදී සියලු කෙලෙසුන් ප්‍රහීණ කර නිවන් සම්පත්තිය සාක්ෂාත් කරගැනීමට හැකි වන්නේමය


බිබිල යල්කුඹුර ශී‍්‍ර විද්‍යානන්ද පිරිවෙනේ 
රාජකීය පණ්ඩිත 
පදියතලාවේ ඤාණවිමල හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ බිනර පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ සැප්තැම්බර් 09 වන සිකුරාදාදින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment