ආශාව, ලෝභය වැඩෙන හැටියටයි කෙනෙක් සිතින් අල්ලාගන්නේ. නමුත් හෙමිහිට කල්පනා කර බලන විට, මෙතන කුමක්ද තියෙන්නේ? අර කෙසෙල් ගසේ පතුරෙන් පතුර ගලවා බැලූ විට අරටුවක් නැති බව තේරුණා වගේ. මෙතන තියෙන්නේ සිතිවිලි ගොඩක් විතරයි.
අන්න ඒ විදියට හිතනකොට කල්පනා කරන කොට තමයි, අර ධර්මය ගැඹුරින්ම අවබෝධ වෙන්නේ, චතුරාර්ය සත්‍යය කියලා ඒ බුදුපියාණන් වහන්සේ දේශනාකර තියෙනවා.
මුළු මහත් සංසාරික පැවැත්ම, රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, කියලා කියන මේ පංචස්කන්ධය අනිත්‍යයි,දුඞඛයි, අනාත්මයි, මේ හැම එකක්ම දුක් සහගතයි. මේක තමයි ලෝකයේ දුක පිළිබඳ සත්‍යය. මේ දුක ඇති වෙන්නේ ලෝකයාට මේ පිළිබඳව ඇති තණ්හාව නිසයි. අර දරුවාට අර මසුරන් මල්ල පිළිබඳ තණ්හාව නිසයි. මේ තරම් දුකක් ඇති වුණේ අර බණපදය අහන්න ගිහිල්ලා. අන්න එතකොට ඒ දුක පිළිබඳ අවබෝධය ඇති වුණා.
ඒ දුක යට තියෙන්නේ තණ්හාවයි. මේ තණ්හාව නැතිවුනු අවස්ථාව, සංසිඳුනු අවස්ථාව තමයි නිවන කියලා කියන්නේ.අර දරුවට මසුරන් මල්ල පිළිබඳ ආසාව අත්හැරිලා ඊළඟට ධර්මය වැටහෙන්න පටන් ගන්න කොට නිවන අවබෝධ වුණා. ඒකට උපකාර වන ටික තමයි ‘ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන මේ හරිදැක්ම, හරිදැක්ම අනුව ගිය හරි සිතුම් පැතුම්, හරි සිතුම්පැතුම් අනුව ගිය හරි ක්‍රියා මාර්ග, හරි ක්‍රියා මාර්ග අනුව ගිය හරි දිවි පැවැත්ම,හරි දිවි පැවැත්ම අනුව ගිය හරිවීර්ය කිරීම වෑයම් කිරීම,සිත පිරිසුදු කිරීමට දරණ වෑයම, ඒක තුළින් ඇතිවන හරි සිහි කිරීම, සතිය කියලා කියන එතුළින් ඇතිවන සම්‍යක් සමාධිය,හරි සිතේ එකඟ බව තැන්පත් බව. ඔන්න ඔය විදියට ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියලා කියන්නේ හතරවන සත්‍යය. මේ චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් තමයි, ලොකු හෝ වේවා, කුඩා හෝ වේවා, අවුුරුදු හතක දරුවෙක් හෝ වේවා, අවුරුදු හැට හැත්තෑවක කෙනෙක් හෝ වේවා, ඕනෑම කෙනෙක් මාර්ගඵල ලබන්නේ, ඔන්න ඔය විදියේ ගැඹුරු ධර්ම ගැඹුරින්ම වටහා ගැන්වීමෙන්, මේ වචනවලින් කියන එකක් නෙවෙයි මෙතන ඇතුළතින්ම වටහා ගන්න ධර්මයක්. ඒ අනුව කල්පනා කරලා බලනකොට මේ ධර්මයෙන් ජීවිතයට ගත හැකි ප්‍රයෝජන ගැන, ඒවා හරියට තේරුම් ගත්තා නම් යමෙකුට තමාගේ ජීවන ගැටලු තුළින්ම එදිනෙදා ජීවිතයේදීම ඒවා හැම එකක් භාවනා මනසිකාරයට නගලා තමාගේ නිවනට උපකාරවන ගුණධර්ම රාශියක් භාවනාමය කුසල ධර්ම රාශියක් චිත්ත සන්තානයට ඇතුළත් කරගන්ට පුළුවන් වෙනවා. එතකොට මේ කාල නමැති කුඩා දරුවා පිළිබඳ ධර්ම කථාවෙන් ආදර්ශය හැටියට ගන්න තියෙන්නේ මේකයි.
මේ ලෝකයේ කොතෙකුත් දේ කළු හැටියට පෙනුණට මොකද මේවා සුදු කරගන්න පුළුවන්. මේ ධර්මයෙ, අර වැරැදි අවබෝධය අතහැරලා, අයෝනිසෝ මනසිකාරය කියලා කියන වැරැදි මෙනෙහි කිරීම් අත හැරලා හරි අවබෝධය පැත්තට යෝනිසෝ මනසිකාරය කියලා කියන හරි මෙනෙහි කිරීම්වලට පුරුදු වෙනවා නම්,වැරැදි විදියට ලෝකය දිහා බලන ඒ ආකල්පය අතැහරලා. හරි ආකාරයට ලෝකය දිහා බලන්න පුරුදු වෙනව නම් ආන්න ඒ තැනැත්තාට පුළුවන් මේ ජීවිතයේ දී සමහර විට තම තමන්ගේ වැඩ කටයුතු මධ්‍යයේම, ඒවා තුළින්ම කමටහන් මතුකරගෙන ඒ මාර්ගඵල අවබෝධය ලබා ගන්න. බුද්ධ කාලයේත්, නොයෙකුත් ඔය කථාන්තරවල සඳහන් වෙනවා. ථෙර තෙරණියන්, සංඝයා වහන්සේලා සමහර අය පහනක් නිවෙනවා දැකලා නිදාගන්න ගිහිල්ලා පහනක දැල්ල අඩු කරලා නිවෙන්න හදන කොටම රහත් වුණා. තවත් සමහර කෙනෙක් ලැව් ගින්නක් දැකලා, සමහර කෙනෙක් වතුරේ පාවෙලා යන පෙණ පිඬක් දැකලා, ඔය නොයෙකුත් දේවල් දැකලා ඒවා තුළින් නිවන් අවබෝධය කළයි කියලා කියන්නේ, ඔන්න ඔය විදියට, මේ හැම එකක් තුළින්ම ලෝකය ගැන ගැඹුරු වැටහීමක් ඇති කර ගන්නවා. ලෝකයේ තියෙන එක නිදර්ශනයක් ආශ්‍රය කරගෙන, ඒ විදියටම තමයි අනිත් දේවල් කියලා නුවණින් හිතාගන්න පුළුවන් ශක්තිය ඇති වුණාම, අන්න ඒ තැනැත්තට පුළුවන් අර ලෝකෝත්තර මාර්ගඵල අවබෝධය ලබාගන්න. මේ කාලයේත්, බුද්ධ කාලයේ තිබුණ වගේම, නොයෙකුත් විදියේ දුක් ගැහැට, විපත්ති ආපදා, මේ ලෝකයේ, සමාජයේ ,අසන්නට ලැබෙනවා. ඒවා තුළින් පුළුවන් නිවන් මතුකර ගන්න.
මේ ජීවිතයේ ස්වභාවය මේකයි. මේ හැම දෙයක්ම අනිත්‍යයි. අනිත්‍ය වූ දේවල් ඔස්සේ මේ කරන උත්සාහ හැම එකක්ම දුක් සහගතයි. මේ විදියට නම් ලෝකයේ සත්‍යය තිබෙන්නේ, මෙතන ‘මමය, මගේය” කියලා ගන්න දෙයක් නැහැ.හරයක්,අරටුවක් නැහැ. මේ හැම එකක්ම මරණය අවස්ථාවේදි අත්හැරලා දාන්න සිද්ධ වෙනවා. මමය, මගේය කියලා ගත්තු ඒ සියලු වස්තු සම්භාර, නෑ හිතවතුන් හැම කෙනෙක්ම අතහැරලා යන්න වෙනවා. අන්තිමට අර කොඩියක් දානවා. ‘අනිච්චා වත සංඛාරා’ කියලා. ඥාතීන් එකතුවෙලා ඒවා දානකොට අර තැනැත්තා මිය ගිහිල්ලා ඉවරයි. ඒ ලෝකෝත්තර තත්ත්ව පිළිබඳව උත්සාහයක් කරන්න කාලයක් නැහැ. ඔක්කොම , මුළු මහත් ජීවිතයටම අර ඇඳීම් සමූහයක් , සූදානම් වීම් සමූහයක් කියලා අපි කිව්වා. හරියට අර ගමනක් යන්න සූදානම් වෙන සමහරු සමහර වෙලාවට හීනයක් එහෙම දකිනවා. හරියට ලොකු ගමනක් යන්න වන්දනා ගමනක් හරි විනෝද ගමනක් හරි යන්න සූදානම් වෙනවා වගේ, සූදානම් වෙන නමුත් මොකක්දෝ අඩුවක් තියෙනවා.ආයිත් දුවලා ගිහිල්ලා ඒත් සම්පූර්ණ කර ගන්නවා, ඇඳුම් පැළඳුම් පිළිබඳව. එහෙම කර කර ඉන්න අතරේ හදිසියේම ඔන්න ඇහැරෙනවා ගමන යන්නවත් ලැබෙන්නේ නැහැ. ඒ වගේ දෙයක් තමයි මුළු මහත් ජීවිතයේම කරන්නේ. කුඩා දරුවාගේ ඉඳලා මහල්ලා දක්වාම, මුළු මහත් ජීවිතයම, අර ඇඳීම්, සූදානම් වීම් සමූහයක්, නමුත් මේකේ ඇති දුක් ස්වභාවය තේරෙන්නේ නැහැ. හරියට අර කෙසෙල් කඳ කරගහගෙන ගිය පුද්ගලයා වගේ, එතන තියෙන පතුරු ගොඩ පේන්නේ නැහැ. ඒ පතුරු ගොඩ පේන්න තමයි අර භාවනා කරන්නේ. හිත තැන්පත් වෙන්න, තැන්පත් වෙන්න, පේනවා මෙතන තියෙන්නේ හිත තුළින් එන මෙන්න මේ වේදනා, සංඥා,චේතනා , ස්පර්ශ , මනසිකාර කියන මේ ධර්ම ටික විතරයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා කියන මේ ලෝකයේ බාහිර දේත් අපේ ශරීරත් මේ හැම එකක්ම සකස්වෙලා තියෙන ධාතු හතර පමණයි මෙතන තියෙන්නේ. මීට වඩා එහා දෙයක් නෑ. අනන්ත කාලයක් සංසාරෙ මේවා පස්සෙයි අප මේ දුවලා තියෙන්නේ. මෙතන තියෙන්නේ දිවිල්ලක් පමණයි. තණ්හාව පමණයි, පිපාසයක් පමණයි කියන අවබෝධය කෙනෙකුට ඇති වෙනවා.
අන්න ඒ අවබෝධය ගැඹුරින් ඇතිවුණ අවස්ථාවේදී තමයි අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා, දිව්‍යලෝක ගමනටත් වඩා, මුළු ලෝකයේ අධිපති කමටත් වඩා උතුම් වූ ඒ සෝවාන් තත්ත්වය ලබාගන්ට පුළුවන් වන්නේ. ඒ තත්ත්වය ලබාගත්තා නම් තවත් සැරයක් , නැවත උප්පත්තියක් ලබන්නේ. තමන් ආපු ආර්ය අෂ්ටාංගික මාර්ගය තවදුරටත් දියුණු කරගෙන, තව දුරටත් ගැඹුරට භාවනා කරගෙන ගියා නම්, ඒ තැනැත්තාට පුළුවන් වෙනවා සකදාගාමී කියලා කියන දෙවන මාර්ගය ඵලය ලබාගෙන නැවත එක් වරක් පමණක් මේ ලෝකෙට ඒම ඉතුරු කරලා අනිකුත් සංසාර දුකින් මිදෙන්න. ඊටත් එහාට භාවනාව ගැඹුරට දියුණු කරගෙන ගියොත්, ඒ තමන් කරකැවූ ධර්ම චක්‍රය නැවත වරක් කරකැවීමෙන් අනාගාමී තත්ත්වයට පැමිණිලා,නැවත මේ ලෝකෙට එන්නේ නැතිව බ්‍රහ්ම ලෝකෙදිම නිවන් දකින්ට පුළුවන් වෙනවා. ඊටත් එහාට තව උත්සාහ කරලා, ගැඹුරින් භාවනා කරලා, කෙනෙකුට පුළුවන් වෙනවා මේ කෙලෙස් සම්පූර්ණයෙන්ම නැතිකරලා, ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදි මුළු මහත් සංසාර දුඞඛයෙන් අත් මිදී උතුම් වූ අමා මහ නිවනින් සැනසීමට .
එතකොට මේ කාල නමැති සිටු පුත්‍රයාගේ කථාව ආශ්‍රයෙන් අපට මේ නිවන් මාර්ගයේ සිත පිහිටුවා ගැනීමට පුළුවන් වුණා. බුදුපියාණන් වහන්සේ දේශනා කළ එක බණපදයක පවා ඉතා ගැඹුරට ගියොත් එතන නිවන තිබෙනවා කියලා අපට බය නැතුව කියන්න පුළුවන් . බුදුපියාණන් වහන්සේගේ මේ ධර්ම සාගරයේ එක බිඳක් ගත්තොත්, ඒ හැම එකකම විමුක්ති රසය තිබෙන්නේ, නිවන් රසය තිබෙන්නේ. හරියට අර මහා සාගරයේ කොතනකින් දිය බිංදුවක් ගත්තත් ලුණු රස තිබෙන්නා වාගේ, මේ ධර්ම සාගරයේ යම් කිසි එක සුළු බණපදයක් ගත්තත් ඒ තුළින් අපට නිවන දක්වාම සිත යොමුකරන්ට පුළුවන්. සංසාරයේ භාවනා අරමුණු දියුණු කළ කෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේ පවා නිවන් දකින්නට පුළුවන් වෙනවා. බුදුපියාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා මාර්ගඵල අවබෝධය භාවනා ආසනයේදී පමණක් නොවෙයි, පස් තැනකදීම ලබාගන්න පුළුවන් බව, ඒකට කියනවා” විමුත්තායතන’ කියලා. විමුක්තිය කියලා කියන්නේ නිදහස, සංසාරයෙන් නිදහස.ආයතන කියලා කියන්නේ, යම් කිසි මධ්‍යස්ථානයක් වගේ ඒ නිදහස ලබන්නට පුළුවන් තැනක්. එහෙම තැන් පහක් දක්වලා තිබෙනවා. මොනවද ඒ තැන් පහ? කෙනකුට පුළුවන් දහම් අසන විට, දැන් මේ කාල නමැති දරුවා ඒ නිවන ප්‍රත්‍යක්ෂ කළේ දහම් අසන විටයි. දහම් අසන විට හොඳට ඒකට හිත යොමු කරගෙන,ගැඹුරින් මෙනෙහි කරන අවස්ථාව ආවාම අන්න අර ලෝකෝත්තර තත්ත්වය ලබා ගන්න පුළුවන්.තවත් කෙනෙකුට පුළුවන් දහම් දෙසන විට, ධර්ම දේශනා කරන කොටත්, ඒ ධර්මයේ හිත පවත්වන අවස්ථාවේදී තමන්ටම හරියට අර අමුත්තන් එන දවසේ ගෙදරවල්වල ආහාර සූදානම් කරන අමුත්තන්ට පමණක් නොවෙයි ගෙදර අයටත් ඒ ආහාර අනුභව කරන්න පුළුවන්. අන්න ඒ වගේ ධර්මය දේශනා කරන අවස්ථාවේ සමහර සංඝයා වහන්සේලා අවබෝධය ලබාගත්තු බව දක්වලා තියෙනවා. ඒවගේම ධර්මය මෙනෙහි කරන විට පැත්තකට වෙලා ධර්මයේ ගැඹුරු කාරණයක් මෙනෙහි කරන කොට හදිසියේම හරි අවබෝධයක් ගැඹුරු අවබෝධයක් ඇවිල්ලා අර විදියේ මාර්ග ඵල අවබෝධයකින් නිවන් ප්‍රත්‍යක්ෂ කරන්ට පුළුවන්.තවත් සමහරෙකුට ධර්මය සජ්ඣායනා කරන විට ධර්මය සජ්ඣායනා කරන කොට හොඳට සිත යොදාගෙන, එතකොටත්, අර සිත තැන්පත් වෙලා සමාධිමත්වෙලා, ගැඹුරින් ඒ පිළිබඳව අවබෝධයක් ඇවිල්ලා. සෝවාන් ආදි ඒ තත්ත්ව ලබාගන්නට පුළුවන්. රහත්වෙන්නටත් පුළුවන්. ඊළඟට අවසාන වශයෙන් දක්වලා තිබෙන්නේ යම් කිසි සමාධි නිමිත්තක් ඒක තමයි ලෝකයේ සාමාන්‍යයෙන් භාවනාව හැටියට සළකන්නේ. යම් කිසි සමාධි නිමිත්තක් මුල් කරගෙන ක්‍රමානුකූලව භාවනා වඩලත් පුළුවන්. ඔය විදියට එදිනෙදා ජීවිතයේදී බණඇසීම්, බණ දෙසීම්, දහම් මෙනෙහි කිරීම් ආදි කටයුතුවල යෙදෙනව නම් ඒ මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. අන්න ඒ අනුව අප එදිනෙදා ජීවිතයටත්, තම තමන්ගේ ජීවිතවලටත් මේ ධර්මයෙන් ගත හැකි ප්‍රයෝජන මේ කථාන්තරය ආශ්‍රයෙන් ගන්නට උත්සාහවත් වෙන්ට ඕන.
පැපිලියාන සුනේත්‍රා මහා දේවිපිරිවෙන් විද්‍යායතනයේ
විහාරාධිකාරී
දර්ශනපති
පුස්සැල්ලයායේ චන්දිම හිමි
විහාරාධිකාරී
දර්ශනපති
පුස්සැල්ලයායේ චන්දිම හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ බිනර පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ සැප්තැම්බර් 09 වන සිකුරාදාදින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment