Labels

Friday, September 16, 2016

සිදුකළොත් ආනන්තරිය පාපය ගෙන දේ කල්පයක් විපාකය

මේ ජීවිතය මියගිය පසු ඒකාන්තයෙන් ම විපාක දෙන අකුසල කර්ම ආනන්තරීය කර්ම වශයෙන් හැඳින්වේ. ආනන්තරීය යන නම මෙහිදී යොදා ඇත්තේ කර්මයේ ස්වභාවය සලකාගෙන නොව කර්ම විපාකයේ ස්වභාවය සලකා ගෙනය. ආනන්තරීය කර්මයේ විශේෂය වන්නේ එයට ම ආවේණික වූ කර්ම විපාකයක් ඒකාන්ත වශයෙන් ම ලැබීමයි. එය ධර්ම නියාමතාවයකි.
ඒ අනුව යමෙක් මේ භවයෙහි දී ආනන්තරීය කර්මයක් සිදුකළේ නම් ඒ තැනැත්තාගේ ඊළඟ භවය ඒකාන්තයෙන් ම දුගතියකි. එම කර්ම විපාකය ඒකාන්තයෙන් ම ඊළඟ භවයේ දී විපාක දේ. කර්මය සිදුකළ භවයේදී මාර්ග ඵලාවබෝධයට පත්විය නොහැකිය.
එසේ ම මාර්ග අවබෝධයට පත් කිසිවෙකුත් කිසිදා ආනන්තරීය පාපකර්ම සිදු කරන්නේ ද
නැත. 
ආනන්තරීය පාප කර්ම පහකි. 

1). තම මව මැරිම,

2). තම පියා මැරීම, 

3). රහත් උතුමෙකු මැරීම, 

4). බුදුරජුන්ගේ ශරීරයේ ලේ වෛරී සිතින් සෙළවීම, 

5) . සංඝ භේදය සිදුකිරීම

කර්ම විපාක වශයෙන් බලන කල ආනන්තරීය පාප කර්ම නියත මිථ්‍යාදෘෂ්ටික වූවෙක් තම මරණයට පෙර ඒ දෘෂ්ඨිය අත හැරියේ නම්, ඔහුට මාර්ගඵලාවබෝධයට එම අතීත මිථ්‍යාදෘෂ්ටික භාවය බාධාවක් වන්නේ නැත. එහෙත් ආනන්තරීය පාප කර්මය කළවුන් හට කවර ක්‍රමයකින්වත් එම කර්මය සිදු කළ ආත්ම භවයෙහිදී මාර්ගඵලාවබෝධය සිදු කිරීමට හැකියාව ලැබෙන්නේ නැත. එසේ ම මරණින් මතු අපායගාමි වීමෙන් වැළැකිය හැක්කේ ද නැත. නියත මිථ්‍යාදෘෂ්ටිකයා මරණයට පළමු සිය මිථ්‍යාදෘෂ්ටිය අත්හළහොත්, ඉන්පසු කුසලයෙහි යෙදුණොත් මඟඵල අවබෝධ කර ගත හැකි සේම මරණින් පසු සුගතියෙහි ද ඉපදීමට අවස්ථාව ඇත. නමුත් ආනන්තරීය පාප කර්ම සිදුකළ තැනැත්තා මියගිය මොහොතේම ඒකාන්තයෙන් ම එම කර්ම විපාකවලට මුහුණ දිය යුතු වේ. එයට අදාළ කර්ම විපාකය නම් මරණින් මතු අවිචී මහා නරකයෙහි ඉපිද දුක් විඳීන්නට සිදුවීමයි. ආනන්තරීය පාප කර්මයේ විපාක අතිශයින්ම ප්‍රබලය.

යමෙක් ආනන්තරීය පාප කර්මවල විපාක වළකන අදහසින් මේ විශ්වයේ පවතින සෑම සක්වලක ම මහා සෑයවන් ස්වර්ණ ස්තූප කරවූවත්, සක්වල පුරා වැඩ සිටින මහා සංඝරත්නය එක්තැන් කොට මහා දානයක් පිදුවත්, එසේ ම බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොනක් අල්වාගෙන මැරෙන තුරාවට මෙය නම් අත් නො හරිමියි කියා බුදුරජාණන් වහන්සේ පිටුපසින් ගමන් කළත්, මරණින් මතු නිරයේ ඉපදීම ඒකාන්ත බව අටුවාවෙහි සඳහන්.

ආනන්තරිය පාප කර්මය සිදුවන - සිදු නොවන ආකාරය


ආනන්තරීය පාප කර්ම සිදුකළ හැක්කේ මනුෂ්‍ය ලෝකයෙහි සිටිනා මිනිසුන්ට ය. අයෙක් තම මිනිස් මව, පියා හෝ රහතන් වහන්සේ නමක් ඝාතනය කළේ ද, ඒ තැනැත්තාට ආනන්තරීය පාප කර්මය සිදු වේ. මෙහිදී අපගේ අවධානයට ගතයුතු දෙයක් ඇත. මාතෘ ඝාතක, පිතෘ ඝාතක, හෝ අරහන්ත ඝාතකයි. ආනන්තරීය පාප කර්මයේදී මරණයට පත්වෙන තැනැත්තා ගැන දැනුවත්වීමක් අවශ්‍ය වන්නේ නැත. මරණ චේතනාව තිබේනම්, මරන්නේ කිසියම් හෝ ප්‍රාණියෙකු බව දනීනම්, ඒ දැනුවත්කමින් යුතුව ඝාතනය සිදුකරයි නම්, එහිදී ආනන්තරීය පාප කර්මය සිදුවේ. ඇතැම් කර්ම විපාක සත්ත්වයාගේ ගුණ මහාත්වය අනුවත්, ඇතැම් කර්ම විපාක චේතනා මහාත්වය අනුවත් තීරණය වේ. මෙහිදී මරණ චේතනාව සුළු වශයෙන් හෝ තිබිය යුතු අතර, මවට, පියාට මහරහතන් වහන්සේට ආවේණික වු ගුණ තිබෙන නිසා ඒ ගුණය අනුව කර්ම විපාකය තිරණය වේ. කර්මයකින් විපාක සැකැසෙන්නට කර්මයට ගොදුරු වන තැනැත්තාගේ ස්වභාවය අත්‍යාවශ්‍ය නොවේ. උදාහරණයක් ලෙස නිරෝධ සමාපත්තියෙන් නැඟිසිටි මහරහතන් වහන්සේම පූජා කරන දානය දිට්ඨධම්මවේදනීය කර්මයක් ලෙසින් ඒ භවයේදීම සුව විපාක උදාරක දෙයි. එය ආවේණික විපාකයකි. ධර්මතාවයකි. දානය පිරිනමන පුද්ගලයා තමන් දානය පුදන්නේ රහතන් වහන්සේ නමකට ය යන දැනුවත්කම ඇතත්, නැතත් ඒ දානයට අනුරූපී කර්ම විපාකය සැකැසේ. එලෙසින් තමන් වෙතින් මිය යන්නේ තම මවද, පියාද, මහරහතන් වහන්සේ නමක්ද යන්න දැන සිටියත්, නොසිටියත්, ඒ පණ ඇති සත්ත්වයෙක් බව දන්නේ නම්, සත්ත්ව ඝාතන චේතනාව පවතින්නේ නම්, එහිදී ආනන්තරීය පාප කර්මය සිදුවේ. ධර්මතාව එයයි. තවද තිරිසන් ලෝකය, පේ‍්‍රත ලෝකය හා අනෙක් සුගතීන්හි ඉපිද සිටින සත්ත්වයන්ට ආනන්තරීය පාප කර්ම සිදුකළ නොහැකියි. තිරිසන් සතෙක් තම මව හෝ පියා මරණයට පත් කළාට ආනන්තරීය පාප කර්මයක් සිදු නොවේ. මහාසාවද්‍ය පාප කර්මයක් පමණක් සිදුවේ. තමන්ගේ මව හෝ පියා බව නොදැන සිදුකරනු ලබන මනුෂ්‍ය ඝාතනයෙන් ද ආනන්තරීය පාප කර්මය සිදුනොවේ.

කරුණාව වේශයෙන් - ඝාතන චේතනාව


ඇතැම් අය අනුන් කෙරෙහි කරුණා සිත් උපදවා ගෙන ඔවුන් දුකින් මුදවාලීමේ අදහසින් පරපණ නසන්නට පෙළඹෙති. විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වී වසර ගණනාවක් ඇඳ මත හොවිමින් සිටින අය දෙස බලා “අනේ මේ තැනැත්තා මේ දුකින් මිදෙනවානම් හොඳය” යැයි සිතා එම තැනැත්තාගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ජීවිතය තොර කිරීමට පෙළඹෙති. එයද ප්‍රාණ ඝාතයකි. එසේ ජීවිතය අහිමි වන්නේ කිසියම් මවකට නම් පියෙකුට නම්, ඔවුන්ගේ ජීවිතය අහිමි කිරීමට මුල් වූ දරුවන්ට එහිදී ආනන්තරීය පාප කර්මය සිදුවේ. කෙතරම් දුක් වින්ඳත් මේ ලොව සිටින සියලු සත්ත්වයෝ ජීවත්වීමට කැමැතිය. මරණයට අකැමැති ය. කරුණාවේ වේශයෙන් ක්‍රියාත්මක වෙන ද්වේශය නිසාද මරණය නම් අකුසලය සිදුකළ හැකිය. දුක් විඳින සත්ත්වයන් දුකින් මුදවාලීම කරුණාව වුවත්, ඒ සඳහා ගනු ලබන ක්‍රියා මාර්ගයෙන් කෙනෙකුගේ ජීවිතය විනාශ වේ නම්, එය පාප කර්මයකි. මෙවන් අවස්ථාවලදී බොහෝ විට සිදුවන්නේ ලෙඩ දුක්වලට ගොදුරු වී සිටින පුද්ගලයා දෙස බලා සිටීමට ඇති අකැමැත්ත, අපහසුව නිසා ඔහු හෝ ඇය මරණයට පත්කිරීමයි.

විවිධ රෝගාබාධවලට ගොදුරු වී මාස ගණන් රෝහල් ගත ව සිහි විසඥව සිටින, යන්ත්‍රෝපකරණ ආධාරයෙන් පණ නළ රැඳී තිබෙන, මැරුණා යැයි සහතික නොකළ, ඇතැම් මාපියන් එම යන්ත්‍රයෙන් ඉවත් කිරීමෙන් මරණයට පත්වේ. තදබල ද්වේශ චේතනාවක් නැතිවුවද, ඒ ක්‍රියාව නිසා තම මව හෝ පියා මරණයට පත්වෙන බව දැනීමක් එම දරුවන්ට ඇත. එය දැනුවත් ම එම ක්‍රියාව සිදු කිරීමන් එම දරුවන් ආනන්තරීය පාප කර්මයට හසුවේ. තම දරුවන් එම කර්මයෙන් මුදවාලීමට නම්, දෙමාපියන් කල් ඇතිව ම තමන් එවන් තදබල රෝගී අවස්ථාවකට පත්වුවහොත් එවන් යන්ත්‍රවලට නොදමන ලෙස දන්වා තැබිය යුතුය. එසේ නොමැති මාපියන්ගේ ජීවිත ගැන වෛද්‍යවරුන්ට තීරණය කරන්නට ඉඩ දී සිටීමෙන් දරුවන්ට එම කර්මයෙන් වැළැකිය හැකිය.

ලෝහිතුප්පාදක පාප කර්මය


බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ සෙළවීම “ලෝහිතූප්පාදක” නම් ආනන්තරීය පාප කර්මය ලෙස දක්වා ඇත. බුදුරජාණන් වහන්සේගේ ශරීරය කිසිවෙකුට හෝ කැඩිය, බිඳිය නොහැකිය. අභේද්‍ය එකකි. තද පහරක් ගැසුවද බුදු සිරුර තුවාල නොවේ. ලේ කැටි ගැසීමක් පමණක් සිදුවේ. දේවදත්ත හිමියන් උන්වහන්සේට ගිජ්ඣකූට පර්වතයේදී පෙරළෙන ලෙස ගලින් ගැලවී ගිය ගල් පතුර වැදීමෙන් ද සිදුවූයේ බුදු සිරි පා තුළ ලේ කැටි ගැසීමක් පමණි. ඒ බුද්ධානුභාවය යි. අටුවා ඉගැන්වීමට අනුව යමෙක් චෛත්‍ය බිඳී නම්, බෝධින් වහන්සේ කපා දමයි නම්, බුද්ධ මන්දිර ධාතු මන්දිර, බුදුපිළිම විනාශ කරයි නම්, ඔහුද ආනන්තරීය පාප කර්මයකට හා සමාන මහාසාවද්‍ය පාප කර්මයක් සිදු කර ගන්නෙක් වෙයි.

සංඝභේද පාප කර්මය


සංඝ භේද කර්මය ආනන්තරීය පාප කර්මවලින් වඩාත් බලවත් කර්මයක් ලෙසින් දක්වා ඇත. එය කල්පස්ථායී අකුසල කර්මයක් ලෙස දක්වා තිබේ. සංඝ භේද පාප කර්මය ගිහියන්ට අදාළ නොවේ. උපසම්පදා භික්ෂුූන්ට පමණි. එය සාමාන්‍ය භික්ෂූන් වහන්සේ දෙනමක් අතර ඇති වන අමනාපයක් නොව වෙන් ව විනය කර්ම සිදු කරන්නට යාම තරම් ප්‍රබල භේදක් විය යුතුය. උපසම්පදා ස්වාමින් වහන්සේ අවම වශයෙන් නව දෙනෙක් සිටින තැනක ඇති කරනු ලබන භේදය මෙහිදී සංඝ භේදයක් ලෙස දක්වා ඇත.


ආනන්තරීය පාප කර්ම පහෙන් සංඝ භේදය වාග් කර්මයකි. අනෙක් කර්ම හතරම කාය කර්මයෝ ය. නමුත් වාග් කර්මය අණකිරීම් හා ප්‍රයෝග යෙදීම වශයෙන් භාවිත වේ. ආනන්තරීය පාප කර්මයක් බවට පත් වන්නේ කාය කර්මය සිදු වූ පසුවයි. කයින් සිදු කරනු ලබන ආනන්තරීය පාප කර්ම කල්පස්ථායී කර්මයෝ නොවෙති





ශාස්ත්‍රපති
රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ බිනර පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ සැප්තැම්බර් 16 වන සිකුරාදා දින   බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment