Labels

Saturday, September 10, 2016

වස්සාන සමයයි ගිහි පැවිදි සම්බන්ධතාවයයි

“අයං වසසාන කාලො” මේ වස් කාලයයි. යන පාඨය බොහෝ විහාරස්ථානවලදී මෙකල ඔබ දකින්නට ඇත. ඒ වස් සමය දැන් එළඹී ඇත. උපසම්පදා භික්ෂූන් වහන්සේ වැඩ සිටින සෑම විහාරස්ථානයක වස් විසීම සිදුකරනු ලබයි. බුදු සසුනේ ආරම්භක අවස්ථාවේ දීම වස් විසීම සිදු නොවුනත්, ඒ ආසන්නයේදීම වස්විසීම සිදුකරන්නට ඇතැයි සිතිය හැක.
බුදුරදුන්ගේ අවවාදය පරිදි ගම් නියම්ගම් සැරිසරමින් සදහම් චාරිකාවේ යෙදුන භික්ෂූන් වහන්සේලාට අව්ව, වැස්ස ගැන සිතන්නට අවස්ථාවක් නො ඇති විය.
ඒ නිසා වැසි නොමැති කාලවල මෙන්ම වැසි ඇති කාලවලදී ද චාරිකා කිරීම සිරිත විය. බුද්ධකාලයේ විසූ අන්‍ය තිර්ථකයෝ බුදුරදුන් හා මහ සඟරුවන වැසි කාලවලදී ද සිදුකරන මේ සදහම් චාරිකා පිළිබඳව නොසතුට පළ කළහ. වැසි කාලවල මහ පොළොවෙන් පැන නගින වල් පැළෑටි, කෘමි සතුන් මඩිමින් යන මේ චාරිකා මොනවාද, පක්ෂීන් පවා වැසී සමයට පෙර කෑම සපයාගෙන තම කූඩුවලට වී කල් ගත කරති. අවිහිංසාවාදය පිළිබඳ දහම් දෙසන බුදුරජුන් හා උන්වහන්සේගේ ශ්‍රාවකයෝ එසේ නොකොට චාරිකාවල යාමෙන් සිදු කරන්නේ බලවත් වරදකි. යන ප්‍රචාරය සෑම තැනම පැතිරෙන්නට විය. ඒ ප්‍රකාශ සැලකිල්ලට ගත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ ඒකරාශිකොට මෙබඳු නීතියක් පනවන ලදී. එනම් ‘වස්සානෙ වස්සං උපගන්තුං’ වැසි කාලයේ වස් විසිය යුතුය යන්නයි. එම බුද්ධාව වාදය පිළිගත් මහ සඟරුවන එදා සිට වස් විසීම ආරම්භ කරන ලදී. වැසි සමය තුළ චාරිකාවල වැඩම වීම නතර කර සුදුසු එක් ස්ථානයක වස් විසීමට අදිටන් කර ගන්නා ලදී. මීළඟට ගැටලුව වූයේ වස් වසන්නේ කුමන ස්ථානවල ද යන්නයි. ඊටද පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ වස් විසීමට සුදුසු ස්ථාන කීපයක් පෙන්වා දෙනු ලැබීය.
එනම්

1. ආවරණ සහිත විහාරස්ථානවල

2. ගරුඬ පක්ෂියෙකු වූයේ පියාපත් මෙන් ආවරණය වූ ගෙවල්

3. දිග අතට සාදා ඇති ප්‍රාසාද

4. සඳළු තල ඇති ගෙවල්

5.ගල්ගුහා

යනාදියයි. වස් විසීම උපසම්පන්න භික්ෂූන් වහන්සේට අනිවාර්ය වන අතර වස් නොවීසීම ඇවැත් සිදුවීමට හේතුවන බවද මහා වග්ග පාලියේ දක්වා තිබේ.
වස් විසීම ආකාර දෙකකට සිදුකළ හැකිය. එනම් පෙර වස් සමාදන්වීම, පසු වස් සමාදන්වීම යනුවෙනි.

පෙරවස් සමාදන්වීම ඇසළ පුර පසළොස්වක දින පොහොය කර්ම කිරීමෙන් අනතුරුව සිදුකරනු ලබන අතර පසුවස් විසීම සිදුවන්නේ නිකිණි පුර පසළොස්වක පොහොය කර්ම කිරීමෙන් අනතුරුවයි. යම් භික්ෂූන් වහන්සේ නමකට කිසියම් අපහසු තාවයක් සිදු වී පෙර වස් සමාදන්වීමට නොහැකි වූයේ නම් පසුවස් සමාදන්වීමට ඉඩ ලබාදීමක් මෙහිදී සිදුවී ඇත. නමුත් පසු වස් සමාදන් වන භික්ෂූන්ට කඨින සිවුරු භාර ගැනීමට ඉඩ ප්‍රස්ථාවක් නැත.
වස් විසීම භික්ෂු ජීවිතයට මෙන්ම ගිහි ජීවිතයටද ඉතා වටිනා චාරිත්‍ර ධර්මයකි. ඇතැම් ගිහි අය භික්ෂූන් වහන්සේ වස් විසූ ස්ථානවලට ම වී ඒ තෙමස ගත කරති. වස් කාල පරිච්ඡේදය ගිහි පැවිදි දෙපක්ෂයටම වැදගත් වන්නේ ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කර ගැනීමට හැකියාව ලැබෙන කාල පරිච්ඡේදයක් වන නිසාය.

ගිහි පක්ෂයේ ආරාධනාවක් ඇතත් නැතත් භික්ෂූන් වහන්සේ වස් විසීම සිදු කරති. එහෙත් සැදැහැවත් ගිහියා මේ පිළිබඳව අවධානයෙන් සිට භික්ෂූන් වහන්සේලාට වස් විසීම සඳහා ආරාධනා කරනු ලබයි. තම ආධ්‍යාත්මික ජීවිතය සකස් කර ගැනීමට අවස්ථාවක් සැලසීම හා භික්ෂූන් වහන්සේට සිවුපසයෙන් උපස්ථාන කර පින් සිදුකර ගැනීමට අවස්ථාවක් සැලසීම ඊට හේතුවයි.

වස් විසූ භික්ෂූන් වහන්සේ එම කාල පරිච්ඡේදය තුළ එම ස්ථානයේම වැඩ විසීම සිරිතක් වුවත් දායක දායිකාවන්ගේ හෝ තම ඤාතී මිත්‍රාදීන්ගේ හෝ පුද්ගලික අවශ්‍යතාවයක් නිසා හෝ දිනයක්, දෙකක් ඉන් බැහැරට යාමට සිදුවන අවස්ථාද නැත්තේ නොවේ. ඒ සඳහා ද විනයෙන් ඉඩක් සලසා දීමට බුදුරජාණන් වහන්සේ පසුබට නොවුන සේක. මේ සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් දෙකක ඉන් එකක් නම් ‘සති කරණයයි’ අනෙක ‘සත්තාහ කරණයි’ සති කරණයෙන් අදහස් කරන්නේ තමන් යම් ස්ථානයක වස්වසා සිටින බව සිහි ගැන්වීමයි. “සත්තාහ කරණය” යන්නෙන් අදහස් කරන්නේ වස් විසූ ස්ථානයෙන් බැහැරට යනවිට නැවත දින හතක් ඉක්ම යාමට පෙර එම ස්ථානයට පැමිණෙන බව සනිටුහන් කොට යාමයි. ජල ගැලීම් ආදී අනතුරු දායක තත්ත්වයකට මුහුණ දීමට සිදුවුවහොත් එදිනටම නොපැමිණියත් දින හතක් ඉක්මයාමට පෙර පැමිණීමට මෙයින් ඉඩකඩ සලසා දී ඇත. මේ අනුව වස් ශික්ෂාපදය ඉතා සිහිකල්පනාවෙන් ආරක්ෂා කර ගත යුත්තක් බව පැහැදිලි වේ.


වස් කාල පරිච්ඡේදය තුළ සැදැහැවත් ගිහියා විසින් සිවුපසය සපයා දෙනු ලබයි. මේ නිසා ගිහි පින්වතුන්ට නිතර දෙවේලේ විහාරස්ථාන කරා පැමිණීමට සිදුවේ. තම රාජකාරී කටයුතු පවා අතපසු කරගෙන ඇතැම් දායක පින්වතුන් විහාරස්ථානවලට පැමිණෙන්නේ වස් විසීමට තමන් ආරාධනා කළ භික්ෂූන් වහන්සේගේ දුක සැප සොයා බැලීමටයි. ඒ අවස්ථාවල මල්, පහන්, දැහැත් ගිලන්පස ආදිය ද රැගෙන ඒමට අමතක වන්නේ නැත. විහාරස්ථානවලට පැමිණ මළු, පෙත්මත් මළු අමදිති. පරවීගිය මල් අස්කොට මල් ආසන පවිත්‍ර කරති. මල් පහන් පූජා පවත්වති. භික්ෂූන් වහන්සේ සමඟ සතුටු සාමිචියේ යෙදෙති. මේ නිසා වෙනත් කාල වලට වඩා බැඳීමක් විහාරස්ථාන හා භික්ෂූන් කෙරෙහි හටගනු ලබයි. භික්ෂූන් වහන්සේ ද එසේ නිතර විහාරස්ථානයට යන එන දායක පක්ෂය කෙරෙහි කරුණාවක් මෛත්‍රියක් ඇතිකර ගනී. ඔවුනට අවශ්‍ය පරිදි දිනපතා හෝ සතියකට වරක් හෝ මල් පූජා, බෝධි පූජා, ධර්මදේශනා පවත්වති. ආගමික අංශයෙන් කළහැකි, සියලු දේම ඔවුන් වෙනුවෙනුවෙන් ඉටු කරති. කායික, මානසික, පීඩාකාරී තත්ත්වයන්ගෙන් මුදවාලීමට උපදෙස් අනුශාසනා ලබා දෙති. සිඟාලෝවාද සූත්‍රයේදී පෙන්වාදී ඇති පරිදි ගිහි පැවිදි සම්බන්ධය වඩ වඩාත් තහවුරු කර සාමකාමී සමාජයක් ගොඩනැංවෙනු ඇත. වස් කාල පරිච්ඡේදය තුළ සිදු කෙරෙන ආගමික කාර්යයන්ට සහභාගීවන ගිහි පිරිසට ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇතිකර ගැනීමට හැකියාව ලැබේ. ඔවුන් අතර වාද බේද නැත. සාමකාමී සහජීවන රටාවක් ඇතිකර ගැනීමට හැකියාව ලැබේ. එසේ ලබන යහපත් දිවි පැවැත්මෙන් සසර කෙටිකර සදාකාලික විමුක්තිය ඉතා ඉක්මනින්ම සලසා ගැනීමට හැකිවනු ඇත.

පේරාදෙණිය උඩඊරියගම, 
දෙවෙල්කොණ පුරාණ විහාරාධිපති 
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත 
දුම්බර සෝරත හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ නිකිණි අමාවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ අගෝස්තු 31 වන බදාදා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment