Labels

Friday, September 2, 2016

ඇත් සවිය පරදන අතහැරීමේ අවිය

 මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි.
තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!

නිවන් මඟ වඩනා භික්‍ෂුවකට හුදෙකලාවේ උපරිමය ලැබිය හැක්‌කේ වනය තුළදීය. ගොදුරු ගමෙන් කිලෝමීටර් එකක්‌, දෙකක්‌ හෝ තුනක්‌ ඈතින්, දිය අගලක්‌ සමීපයේ ඇති කුටියකවන හුදෙකලාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හුදෙකලාවයි. රක්‍ෂිත තුළ ඇති හුදෙකලා කුටි වලට යන අඩිපාර අලි ඇතුන් ගමන් කරන අලිමංකඩයි. එහෙයින් මෙවැනි කුටි අසල රාත්‍රියට නිතර අලින් ගැවසේ. වනයේ අලි ඇතුනුත් නිවන් මඟ වඩන භික්‍ෂුවත් අතර ඇත්තේ පුදුමාකර සබඳතාවකි. අලි ඇතුන් භික්‍ෂුවගේ ඉව, සුවඳ හඳුනන්නාසේය. දෙගොල්ලෝම දෙගොල්ලන්ට හිංසා පීඩා කරනොගනිssති. නිදහසට ගරු කරති. නමුත් කැලයේ ආධිපත්‍යය මෙන්ම අලිමංකඩවල ආධිපත්‍යය පෙන්වීම අලින්ගේ සිරිතය. මෙවැනි අවස්‌ථාවල වනගත භික්‍ෂූන් මෛත්‍රිය වඩමින්, බුදුගුණ වඩමින්, අංගුලිමාල පිරිත, නාලාගිරි ගාථාව වැනි ආරක්‍ෂක විධි අනුගමනය කරමින් ඇතිවිය හැකි උපද්‍රවයන්ගෙන් මිදෙයි. ඉහත භාවිතයන් එක්‌ එක්‌ භික්‍ෂුවගේ අවබෝධය මත වෙනස්‌ය. නිරතුරුවම කැලයට ඇතුළුවන විට අප කරන්නේ නපුරු සතුන් මුණනොගැසේවා යන්න තමාගේ ආධ්‍යාත්මික ශක්‌තිය උපයෝගී කරගනිමින් අධිෂ්ඨානය කිරීමයි. ඔබ ඉහළ ආධ්‍යාත්මික ශක්‌තියකින් පරිපූර්ණනම් ඔබට අනිවාර්යයෙන්ම නපුරු සතුන් මඟහැරී යනු ඇත. මේවා හේතුඵල ධර්මයන්ය. ආශ්චර්යයන් නොවේ. හේතුව තමා තුළ ඇති ආධ්‍යාත්මික ශක්‌තියයි. සමහර විට ඔබ වඩින අඩිපාරේ ඒ මොහොතේ කඩා දැමූ අතු කොළ පාර පුරා වැටී ඇත. ඒ මොහොතේ දැමූ අලි බෙටි ඇත. අලි ගඳ තදින් නහයට දැනෙනු ඇත. එහෙත් ඔබට අලින් මඟහැරී ගොස්‌ ඇත. ඔබ දක්‍ෂ විය යුත්තේ මෙවැනි ක්‍රමයකට නපුරු සතුන් මඟහැරයැමටය. අත්හැරීම තුළින් ඔබ ලබන්නාවූ ආධ්‍යාත්මික ශක්‌තිය අතිප්‍රබලය. එවැනි ශක්‌තියකින් ඔබ අධිෂ්ඨාන කළහොත් ඔබට නොතේරුණද පොළොවද, පරිසරයද, නපුරු සතුන්ද කම්පාවට පත්වෙයි. එය ධර්මයේ බලයයි. තිරිසන් ලෝකයේ සතුන්ගෙන් ධර්මයේ බලය හොඳින් දැනෙන සතුන් අලි ඇතුන්ය. ඒ අයට තෙරුවන්ගේ ඉව හොඳින් දැනේ. එය අනන්ත කාලයක්‌ පාරම්පරිකව වනයේ වැඩ සිටින ධර්මය අවබෝධය ලැබූ භික්‍ෂූන් සමඟ ගැවසීමෙන් එම සතුන් ලැබූ ආභාසයයි. වනවාසී භික්‍ෂූන් දස දහස්‌ ගණනින් අතීතයේ වනයේ වැඩසිටියේය. අලි ඇතුන්ද එම පරිසරයේම කොටසකි. එහෙයින් භික්‌ෂුවගේ ගුණ සුවඳ හොඳින් හඳුනයි.

ඇතුන්ගේ කුංච නාදය කුමන හේතුවක්‌ නිසා කරන්නේ දැයි මේ භික්‍ෂුව නොදනී. නමුත් එය සුබ නිමිත්තකි. කුංච නාදය කරන ඇතුන් තුළ ඒ මොහොතේ ඇත්තේ ගාම්භීරත්වය, පෞරුෂත්වය, අදීනත්වය, නායකත්වය වැනි ෙච්තනාය. භික්‍ෂුවක්‌ වැඩ සිටි කුටිය සමීපයට රාත්‍රී යාමයේ පැමිණි තනි අලියෙක්‌ කුටියේ පිටුපස එක්‌ කොනක සිට මහා හඬින් කුංචනාද කළේය. තවත් මොහොතකින් එම අලියා කුටියේ අනික්‌ කොනට ගොස්‌ දෙවැනි වතාවටද මහා ශබ්දයකින් කුංචනාද කළේය. මීට පෙර අලි ඇතුන් කුංචනාද කරනවා භික්‍ෂුව අසා නොතිබුණු නිසා භික්‍ෂුව සිතුවේ අලියා කේන්තියෙන් වියරුවැටී කෑගසන බවයි. කුංචනාදය මහා හඬකින් හක්‌ පිඹින්නා ස්‌වරූපයෙන් කෙරෙන්නකි. සිහින් පිඹීමකින් පටන් ගන්නා හඬ ක්‍රමයෙන් වැඩිවී මහා දෝංකාරයකින් අවසන්වේ. ප්‍රදේශයම දෝංකාර දෙයි. කුංචනාදය පටන්ගෙන අවසන්වීමට තප්පර ගණනාවක්‌ ගතවේ. අවසන් වේගවත් හඬට ප්‍රදේශයම සලිතවෙයි. තවමත් කුංචනාදය යනු එය දැයි කියන්නට භික්‍ෂුව නොදනී. එහෙත් එය කුංචනාදය යෑයි අනුමාන කරමි.

අලියා මහා රත්‍රියේ මෙලෙස දෙවරක්‌ කුංචනාද පවත්වද්දී භික්‍ෂුව සිටියේ දොර ජනෙල් නොමැති, පරිසරයට නිරාවරණය වූ වනයේ කුටියකය. ඉදිරිපස බිත්තිය නොමැති නිසා ලණුවක එල්ලන ලද පරණ සිවුරකින් ඉදිරිපස ආවරණය කර තිබුණි. සැබැවින්ම භික්‍ෂුව සිතුවේ අලියා වියරු වැටී ඇති බවකි. අලියා වේගයෙන් කුටිය සමීපයේ සැරිසරන හඬ භික්‍ෂුවට හොඳින් ඇසේ. කොටින්ම අලියා කලබල ස්‌වභාවයක්‌ දැක්‌වීය. රාත්‍රී ඝන අඳුර සහ නිහඬභාවය නිසා අලියාගේ හැසිරීමේ ස්‌වාභාවය හොඳින් භික්‍ෂුවට දැනේ. දැන් මේ ජවනිකාවට පැය භාගයක්‌ පමණ ගොස්‌ය. මෙවැනි විටක දක්‍ෂ භික්‍ෂුවකට කළ හැක්‌කේ එකම එක දෙයකි. භික්‍ෂුවට මෙම සිදුවීම අභියෝගයකි. එහෙත් එම අභියෝගය ජයග්‍රහණයකට හරවාගැනීමට එය ආශිර්වාදයක්‌ කරගැනීමට භික්‍ෂුව දක්‍ෂ විය යුතුය. භික්‍ෂුව කලබලවූ අලියා ගැන සිතීම අතහැර, මේ සිතත් මේ කයත් මගේ නොවේ යෑයි අතහැරදමා කොට්‌ටයට හිසතබාගත්තේය. සිත අතහැරදැමූ නිසා කයේ කිසිම ක්‍රියාකාරීත්වයක්‌ නොමැත. ලොව ශේ්‍රෂ්ඨම අතහැරීම භික්‍ෂුව අධිෂ්ඨාන කරන මොහොතේම පරිසරය මහ පොළොව කම්පාවනු ඇත. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වලටද මේ අතහැරීම දැනෙනු ඇත. එහි දිව්‍ය, බ්‍රහ්ම වැසියන්ද සිදුවූයේ කුමක්‌දැයි බලනු ඇත.

"ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී" කියන්නේ මේ නිසාය. ඔබ සියල්ල අත්හළ මොහොතේ ඔබට විශ්වය කම්පාකරවන්න පුළුවන්. එය ඔබට තවත් සිදුවීමක්‌ පමණකි. හපන්කමක්‌ හෝ ආඩම්බරකමක්‌ නොවේ. ඔබ විශ්වාස කරන්න. භික්‍ෂුව තම සිත අතහැරදැමූ මොහොතේ එතෙක්‌ පැය භාගයකට වැඩි කාලයක්‌ කුටිය අසල කලබල ස්‌වරූපයෙන් හැසිරුණු තනි අලියා ආගිය අතක්‌ සොයාගැනීමට නොහැකිවිය. තනි අලියා අතුරුදන්වී පැය දෙකකට පමණ පසුව නැවත එම අලිමංකඩ ඔස්‌සේම වනය තුළට නිහඬව යනවා ඇසිණි. භික්‍ෂුවගේ අතහැරීමේ ශක්‌තියේ බලය තනියාටද දැනිණ.

ඉහත සිද්ධිය වන විට භික්‍ෂුව කරණීයමෙත්ත සූත්‍රය හැර වෙන කිසිම සූත්‍රයක්‌ කටපාඩමින් නොදැන සිටියේය. පිරිත් පොතක්‌ද භාවිත නොකළේය. සැබෑම මධ්‍යම ප්‍රතිපදාව අර්ථගන්වන තුන් සිවුරත්, පාත්‍රයත් පමණක්‌ කුටියේ තිබුණි. බලන්න නිවන් මඟ වැඩිය යුතු භික්‍ෂුවක්‌ මේ ජීවිතය තුළදීම නිවීම සාක්‍ෂාත් කරගැනීමට යායුතු මඟ. කැලය තුළට වඩිනවිටම ජීවිතය අතහැරලා. "කැලයේ අලි ඇතුළු නපුරු සතුන් සිටිනවා. ජීවිතයට අනතුරක්‌ වෙයි. කැලයේ යක්‌කු යක්‍ෂණියෝ ඉන්නවා. ඒ අය බියගන්වාවී, කරදර කරාවී, ආරක්‍ෂාවකට පිරිත් පොතක්‌ ගෙනියන්න ඕනි. කන්ද පිරිත දැනගන්න ඕනෙ." මෙවැනි සංඥා ඔබට තිබෙන්න බැහැ. මේ සංඥා ඔබට තිබෙනවා නම් ඔබ කැලයට හුදෙකලාවෙන්න යන්නත් එපා. ඔබ ශක්‌තිමත් වනතුරු ඉවසන්න. මඟවැඩු කල්‍යාණ මිත්‍රයන්ගෙන් උපදෙස්‌ ගන්න. ඔබ කැලයට යායුත්තේ zමම අතහැරීමටZ මිස zමම ආරක්‍ෂා කරගැනීමට, නොවේ.

ඔබ තුළ අයෝමය ආත්ම ශක්‌තියක්‌ තිබෙන්නෙ ඕනේ. එම ශක්‌තිය ඔබට දෙන්නේ ඔබේ පරිපූර්ණවූ ශීලය සහ සමාධිය තුළින්. නමුත් ඔබ මේ වන විට ශීලය, සමාධිය කරගසාගෙන සිටින්නේ නැහැ. ඒවත් බිමින් තබනවා. මොකද ඒවයේ ස්‌වභාවයත් අනිත්‍ය නිසා. දැන් ඔබට වැඩෙන්නේ ප්‍රඥාවයි. ඔබට වැඩෙන ප්‍රඥාව ඔබ දකින අලියාද, යක්‍ෂයෝද, යක්‍ෂණියෝද ඇසෙන ශබ්ද සහ දෝංකරද, ඔබට පෙනෙන දෙවියෝද, බ්‍රහ්මයෝද ඔබ දකිනුයේ රූපයක්‌ පමණක්‌ම බවයි. රූපයේ ස්‌වභාවය අනිත්‍යයි. භික්‍ෂුවද, අලියාද, කැලයද නිරතුරුම වෙනස්‌ වන සතර මහා ධාතූන්ගේ නිර්මාණයෝය. අපි භික්‍ෂුව, අලියා, කැලය වශයෙන් දකින්නේ එකිනෙකට වෙනස්‌ සතර මහා ධාතූන්ය. මේ සියල්ල අනිත්‍යභාවයේ රූකඩයෝය. එහි යමෙක්‌ හඳුන්වන සම්මුතියක්‌ තිබුණද ඒ තුළ සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැතිබව ඔබ දනී. එහි ඇත්තේ අනිත්‍ය පමණකි. නැතිදෙයකට ඇලීම, ගැටීම උපේක්‍ෂාසහගතවීම දැන් ඔබෙන් ගිලිහීගොස්‌ය. ඔබ දුටු දේ දුටු බවත්, ඇසුණ දේ ඇසුණ බවත් පමණයි දකින්නේ. ඒවා ගැන සිතන්න දෙයක්‌ නැහැ. මොකද ඒවා අනිත්‍යයට අයිති නිසා. 

අත්හැරිම 13 කොටස

2011 දෙසැම්බර් 25 ඉරිදා දින  දිවයින පුවත්පතෙහි පල වු ලිපියකි

No comments:

Post a Comment