Labels

Friday, September 16, 2016

බුදුරදුන්ගේ ආදර්ශවත් නායකත්වය

බුදුරදුන්ගේ නායකත්වයේ සුවිශේෂී ගුණය වන්නේ යථාවාදී තථාකාරි තථාවාදී යථාකාරි ගුණයයි. එනම් කියන දේ කරන බව හා කරන දේ කියන බවයි. උන්වහන්සේ ගේ සමස්ත දේශනාවන් තුළම මේ තත්ත්වය දැකිය හැකිය. ඉගැන්වීම හුදු වචන ප්‍රලාප බවට පත් නොවූහ. යමක අඩුපාඩුකම් දැකීම පහසු වුවද නිවැරදිව සිදුකිරීම අපහසුය. ඒ අතර බුදුරදුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයෙක් වූහ. උන්වහන්සේගේ භාවිතය තුළින් ඉහත ගුණය ඔප්පුකර පෙන්වූහ. එවැනි අවස්ථා රාශියක් බෞද්ධ ඉතිහාසයේ දක්නට ලැබේ.
බෝසත් අවධියේ පටන්ම උන්වහන්සේ තුළ මෙය දක්නට ලැබුණි. කළගුණ සැලකීම සිදුකරන ලෙස සඳහන් කළා පමණක් නොව තමන්ට බුදුවීමට සෙවන දුන් ඇසතු බෝරුකට ප්‍රත්‍ය උපකාර සිදුකළහ. එහිදී උන්වහන්සේ තුළින් දැකිය හැකිවන්නේ කෘතවේදිත්වය ප්‍රකාශ කළ යුත්තේ මිනිසාට පමණක් නොවන බවයි. සිත්පිත් නැති වස්තූන්ටද එය සිදු කළ යුතු බවයි. මව්පියන්ට සලකන ලෙස දේශනා කළා සේම ප්‍රායෝගිකව උන්වහන්සේ එය ඉටුකර පෙන්වූහ. ගිලනුන්ට උවටැන් සිදුකරන මෙන් දේශනා කළා මෙන්ම පූතිගත්තතිස්ස හිමියන්ට උපස්ථාන සිදුකරමින් එය මනාව පෙන්වා වදාළහ. උපදෙස් දීමට පමණක් සීමා නොවී ක්‍රියාවෙන් එය සිදු කළහ.

නායකයෙකු නම් මෙම ගුණයෙන් යුක්තවීම අත්‍යාවශ්‍ය. එසේ නොමැතිව දීර්ඝ කාලයක් පැවතිය නොහැක. බොරුවට, වංචාවට ආයුෂ කොටය. එය නායකත්වය අපේක්ෂා කරන්නන් විසින් තේරුම්ගත යුතුය. බුද්ධ කාලීන සමාජයෙහි ඇතැම් ඉගැන්වීම් ඉතා ඉක්මනින් පිරිහී ගියේ නායකත්වය තුළ පැවති බොරුව හා වංචාව නිසාවෙනි. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2560 ගතවන මේ මොහොතේ පවා බුදුදහම පවතිනුයේ නායකත්වය තුළ තිබු මෙම ගුණසේ ශක්තිය නිසාවෙනි.
නායකත්වය තනතුරු ප්‍රදානයේදී මෙන්ම කටයුතු කිරිමේදී සැලකිල්ලට ගත යුත්තේ හැකියාවන්ය. හිතවත්කම් ඥාතීත්වයන් පිළිබඳ සිතමින් කටයුතු නොකළ යුතුය. බුදුරදුන් කිසිවිටකත් අනවශ්‍ය ඥාති සංග්‍රහ සිදුනොකළහ. ඥාති සංග්‍රහ සිදු කළේ අවශ්‍ය පමණින්ය . එයද තම ආයතනයට, රටට, දර්ශනයට හානි නොවන ලෙසිනි. උදාර අරමුණු වෙනුවෙන් ඥාතිකම් යොදාගත්හ. උන්වහන්සේ දේශනා කළේ “කිඹුල්වතින් එන සුළඟත් සැප බවයි” එසේ වුවද තම අරමුණට හෝ පිරිසට හානි ලෙස එම ඥාතිකම් යොදාගත්තේ නැත. නන්ද, රාහුල හිමිවරුන්ට ඥාති සංග්‍රහය ලෙස විමුක්ති ලාභය ලබා දුන්හ. එහෙත් තම පිරිස තුළ ඔවුනට බලයක් ලබා නොදුන්හ. ඔවුන්ද තමන්ට එක් ශ්‍රාවකයෙක් විය. සුද්ධෝදන රජුට මෙන්ම මහාමායා දේවියට සැලකුම් කළහ. ප්‍රජාපති ගෝතමියට අසීමාන්තික ගෞරවයක් ලබා දුන්හ. එසේ සිදුකළේ තම පිරිසට අරමුණට දර්ශනයට හානි නොවන ලෙසියි. සැම විටම අරමුණෙහි අවශ්‍යතාවම සැලකිල්ලට ගත්හ.ඡන්න හිමියන් කෙතෙක් උත්සාහ කළද අනවශ්‍ය ගෞරවය ලැබීමට අවස්ථාව නොදුන්හ. එපමණක් නොව ඔහුට යථාර්ථය තේරුම කරදීම උදෙසා බ්‍රහ්ම දණ්ඩනය පැනවීමට ආනන්ද හිමියන්ට උපදෙස් ලබාදුන්හ. දෙව්දත් හිමියන් ඥාති සංග්‍රහ බලාපොරොත්තු වූහ. එහෙත් බුදුරදුන් එසේ සිදුනොකළහ. සංඝ සමාජය එකතු වී පාලනය කරමු යැයි සිදුකළ යෝජනාව බුදුරදුන් ප්‍රතික්ෂේප කළහ. එවිට එකඟ වූයේ නම් සසුනේ විනාශයම එයම විය හැකිව තිබුණි. තුන්කල් දක්නා නායකයෙකු ලෙස එසේ සිදුකිරීමට උන්වහන්සේ කටයුතු නොකළහ. රාහුල හිමියන්ට සැලකුම් සිදුකළේද සුනීත සෝපාකට හා සමානවය. තම පුත්‍රයා යැයි වැඩි සැලකිල්ලක් දැක්වූයේ නැත.

තනතුරු ප්‍රදානයේදීද ඥාතිකම් සැලකිල්ලට නොගත්හ. වගකීම් පැවරිය යුත්තේ සුදුස්සාට මිස ඥාතියාට නොවේ. එසේම ඥාතීන්ම මත පමණක් තනතුරු ප්‍රදානය කිරීම නිසා ක්‍රියාකාරිත්වය අඩාල විය හැකිය. බුදුරදුන් මේ තත්ත්වය මනාව වටහා ගනිමින් කටයුතු කළහ. බුදුරදුන්ගේ නායකත්වය තුළ දක්නට ලැබුණ ආදර්ශවත්ම භාවය මෙයයි.

වෛරය, ක්‍රෝධය, උන්වහන්සේ තුළ කුමනාකාරයකින් හෝ තිබුණේ නැත. සියලු කෙලෙස් ප්‍රහීණ කළ උතුමෙකු ලෙස එවැන්නක් කෙසේවත් තිබිය නොහැක . විශේෂයෙන් නායකයෙකු තුළ එවැනි අයහයපත් සිතිවිලි පවතින්නේ නම් ආයතනය තම පිරිස මෙහෙයවීම ඉතා අපහසුය. තමන් වහන්සේට වෛර, ක්‍රෝධ කළ පිරිස්වලට උන්වහන්සේ මෛත්‍රිය කළහ. ඒ සඳහා බොහෝ උදාහරණ දැක්විය හැකිය. අක්කෝස භාරද්වාජ සූත්‍රය ඊට කදිම නිදසුනකි. තමන් වහන්සේට ආක්‍රෝස කරද්දී එය ඉතා සරල ලෙස භාරගත් අවස්ථාව අන්‍ය ආගමිකයෙකු ගේද ප්‍රසාදයට හේතුවේ. නායකයෙකු සැබෑ නම් විවේචන දොස් පරොස් ඉවසමින් තම ගමන යා යතුය. සම්බුද්ධ සාසනයෙහි උන්නතියට හේතුවූයේ මෙම උතුම් නායකත්ව ගුණයයි.





කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය 
කොලොන්නාව පුරාණ විහාරවාසී 
සියඹලාගොඩ ධම්මින්ද හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ බිනර පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ සැප්තැම්බර් 16 වන සිකුරාදා දින   බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment