Labels

Friday, September 16, 2016

දිවා රැය වැඩිය යුතු සදාචාරය

නියම බෞද්ධයා කවුරුන්ද? යන වග හඳුනාගත හැක්කේ ඔහු විසින් සිදුකරන ලද ක්‍රියාවන් මුල් කරගෙනය. සමාජයට වැඩදායි යහපත් දෙයක් කරන්නේ නම් ඔහු සදාචාර සම්පන්න පුද්ගලයෙකු වන්නේය. ඒ අනුව බුදු දහමේ සදාචාරය යනුවෙන් ඉගැන්වෙන්නේ යහපත් හැසිරීමයි. යහපත් හැසිරීම තුන්ආකාරයකින් විය යුතුය. කයින් සංවර වීම ,වචනයෙන් සංවර වීම, මනසින් සංවර වීම එම තුන් ආකාරයයි.


කායෙන සංවරො සාධු – සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධු – සාධු සබ්බත්ථ සංවරො

යනුවෙන් උගන්වා ඇත්තේ එයයි. සදාචාර සම්පන්න පුද්ගලයෙකු නිර්මාණය වන්නේ උප්පත්තියෙන්ම නොවේ. ඉපදෙන දරුවා ක්‍රමයෙන් වැඩිවියට පත්ව නොයෙක් ක්‍රියාකාරකම් ඔස්සේ විවිධාකාරයේ පෙළඹීම්වලට යොමු වෙයි. එබඳු පෙළඹීම් ඇතැම්විට හොඳ දෙයකට හෝ නරක දෙයකට විය හැකිය. නරක ක්‍රියාවන්ට යොමු නොවී හොඳ ක්‍රියාවන්වලට යොමුවීම සඳහා බුදුදහම උපදෙස් දෙයි. ඒ අනුව නිවැරදි ප්‍රතිපත්තිවලට යොමුවී ක්‍රියා කිරීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් දේශනා කළ එකම ශාස්තෘන් වහන්සේ බුදුන් වහන්සේය. ඒ සඳහාම වෙන් වූ සූත්‍ර කිහිපයක් පෙළ දහම තුළින් සොයා ගත හැකිය. සිඟාලෝවාද සූත්‍රය, වසල සූත්‍රය , පරාභව සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය හා මහා මංගල සූත්‍රය ඉන් සමහරකි. මෙකී සූත්‍රවලින් පෙන්වා දෙන්නේ අයහපත් ක්‍රියාවන් සිදු කිරීමෙන් සිදුවන හානිය හා ඒවායින් අත්මිදී යහපත් ක්‍රියාවන් සිදු කළ යුත්තේ කෙසේද? යන්න ඉගැන්වීමයි. ඡන්දා, දොීසා,භයා, මෝහා යන සතර අගතියෙන් තොරව කටයුතු සිදු කිරීමට උපදෙස් දෙන බුදුදහම වැඩෙන දරුවාගේ පටන් වැඩිමහළු පුද්ගලයා දක්වා ක්‍රමයෙන් ගොඩනඟා ගතයුතු දහම් මොනවාද? යන්න පෙන්වා දෙයි.

සදිසා නමස්කාරය


සිඟාලෝවාද සූත්‍රයේ පෙන්වා දෙන සදිසා නමස්කාරය ශිෂ්ට සම්පන්න, සදාචාර සම්පන්න අංග සම්පූර්ණ මිනිසෙකු නිර්මාණය කිරීමේදී බෙහෙවින් ඉවහල් වේ. නූතන සමාජය දෙස බලන කළ මව්පිය දූ දරුවන්, ගුරු සිසුන්, අඹුසැමියන් , රජුන් හා රටවැසියන්, කම්කරුවන් හා ස්වාමියන්, ගිහියන් හා පැවිද්දන් අතර විවිධ වාද විවාද, තර්ක, විතර්ක, ගැටුම්, නොසන්සුන්තාවයන් ඇති වී ඇත්තේ ඔවුනොවුන් අතර නිසියාකාර අවබෝධයක් නොමැතිකම නිසාය. සිඟාලෝවාද සූත්‍රයට අනුව පුද්ගලයෙකු හැඩ ගැසෙන්නේ නම් මෙවැනි අකටයුතුකම් සිදුවීම වළක්වාලිය හැකිය.
වසල සූත්‍රයේ ඉගැන්වෙන “න ඡච්චා වසලෝ හෝති න ජච්චා හොති බ්‍රාහ්මණො” ආදි ගාථාවෙන් කියවෙන පරිදි මිනිසෙකු උප්පත්තියෙන් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ නැත. “කම්මනා වසලො හොති කම්මනා හොති බ්‍රාහ්මණො” යන දේශනාවට අනුව එසේ වන්නේ තමන් සිදු කරන කර්මයන්ට අනුවය. යමෙක් මේ පිළිබඳ දැනගෙන, යථාර්ථය අවබෝධ කරගෙන කටයුතු සිදු කරන්නේ නම් සමාජය තුළ සිදුවන බොහෝ අකටයුතු ක්‍රියාවන් පහව යයි.

සදාචාරසම්පන්න ක්‍රියා


මුළු මහත් සමාජයේ වාසය කරන සෑම පුද්ගලයෙකු තුළම ගොඩ නගා ගත යුතු සදාචාර සම්පන්න ක්‍රියාවන් පිළිබඳ විස්තරයක් ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් වේ. එහි ඉගැන්වෙන අධර්ම කරුණු අතරින් ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම, මත්පැන් පානය, සූදුව, නරක මිතුරන් ආශ්‍රය කිරීම යන කරුණු සදාචාර සම්පන්න ගති පැවතුම් යටපත් කරන හේතු කාරණා බව පෙන්වා දිය හැකිය.
විශේෂයෙන්ම මෙකී කාරණාවන් තරුණ පරම්පරාවට අතිශයින් වැදගත් වෙයි. තරුණ අවධියේදී නොයෙක් වැරදි ක්‍රියාවන්වලට පෙළඹීමක් ඇති කිරීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. ඔවුන් එම වැරදි ක්‍රියාවන්ගෙන් මුදවා ගැනීම සඳහා බුදු දහම පෙන්වා දෙන මාර්ගය අනුගමනය කළ යුතුය.
තරුණ කාලය හුදෙක් තම ආශාවන් මුදුන් පමුණුවා ගැනීම කෙරෙහි පමණක් යොමු නොවී යහපත් ක්‍රියාදාමයන් සිදු කිරීම සඳහා පෙළඹවීම තිබිය යුතුය. කුඩා කාලයේ දී ඇතැම් දරුවන් වැරදි ක්‍රියාවන්ට යොමු වන්නේ සමාජය විසින් ඔහු ග්‍රහණයට ගෙන ඇති නිසාය. මැදිවියට යන විට මේ සෑම දෙයක් පිළිබඳව ම තේරුම් ගැනීමේ නුවණ පහළ වෙයි. එහෙත් ඒ වනවිට කාලය බොහෝ දුරට ගෙවී අවසානය.

මිනිසා පහතට හෙළන කරුණු


මිනිසා පහතට හෙළන කරුණු පිළිබඳ ඉගැන්වීම් ඇති සූත්‍රයක් ලෙස පරාභව සූත්‍රය ද වැදගත් තැනක් ගනී. තමන් සිදු කරන කාර්යයන් තුළින්ම තමාගේ පිරිහීම ඇති වන බව පෙන්වා දීම මෙම සූත්‍රයේ අරමුණ වේ. ධර්මානුකූලව යමක් සිදු නොකොට හුදෙක් කාමභෝගි ජීවිතයක් ගත කරන්නා දවසින් දවස පිරිහීමට පත් වේ. එසේ නොවී ධර්මානුකූලව කෙනෙක් වාසය කරන්නේ නම් ඔහු ධර්මය විසින්ම ආරක්ෂා කරන බව “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි” යන බුදු වදනින් කියවේ.
නිතර කම්මැලිකමින් සිටීම, අනවශ්‍ය දෑ කථාකරන පිරිස් ඇසුරෙන් සිටීම, උත්සාහවන්ත කම නොමැතිවීම, ස්ත්‍රී ලෝලිත්වය , සුරාව, සූදුව වැනිදේ කෙරෙහි ඇලීම පුද්ගලයාගේ පිරිහීමට හේතුවන කාරණා ලෙස පෙන්වා දිය හැකිය. පවුලක ප්‍රධානියා පිරිහෙන්නේ නම් එකී පවුලේ අනිත් උදවිය ද පිරිහීමට පත් වේ.
ඉන්පසු ක්‍රමයෙන් එය සමාජ ගත වී සමාජයද පිරිහෙයි. මෙම න්‍යාය ක්‍රමයෙන් උත්සන්න වී පුද්ගලයා තුළ ඇතිවෙන සදාචාරය ද පිරිහී ආචාර සම්පන්න නොවු සමාජයක් බිහි වේ.

අටතිසක් මංගල


සමාජයක සදාචාරය දියුණු වීම උදෙසා කරුණු කියවෙන සූත්‍රයක් වශයෙන් මහා මංගල සූත්‍රය පෙන්වා දිය හැකිය. එහි අඩංගු වන දියුණුවීමේ දොරටු තිස් අට අනුගමනය කරන යම් කෙනෙක් වේනම් ඔහු සදාචාර සම්පන්න පුද්ගලයෙකු වන්නේය. අසේවනාච බාලානං යන ගාථාවෙන් පටන්ගෙන පුට්ඨස්ස ලෝක ධම්මේහි යන ගාථාව තෙක් කියවෙන්නේ සදාචාර සම්පන්න සමාජයක් බිහිවීම සිදු වන්නේ කෙසේද? ඒ සඳහා සිදුකළ යුතු ක්‍රියාවන් මොනවාද? යන්න පිළිබඳවය. මෙහි අඩංගු ක්‍රියාවන් හුදෙක් දැනගැනීම පිණිස පමණක් නොව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු දෙයක්ද වන්නේය.
මංගල සම්මත යැයි ගැනෙන දියුණුවට හේතු වන කරුණු පිළිබඳව දැන ගැනීම දෙවියන් හා මිනිසුන්ට තිබුණු ලොකුම ගැටලුව විය. ඒ සඳහා බුදුරජුන් පෙන්වා දුන් කරුණු අතිශයින්ම වැදගත් වෙයි. බාලයන් ඇසුරු කිරීමෙන් වැළකීම, පණ්ඩිතයන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම, මව්පියන්ට සැලකීම, අඹුදරුවන්ට සංග්‍රහ කිරීම, දන්දීම දැහැමිව කටයුතු කිරිම ආදි නොයෙක් කරුණු ඉදිරිපත් කර ඇත්තේ සමාජය සදාචාර සම්පන්න එකක් බවට පත් කිරීමේ අභිලාෂයෙනි.

මෙත් සිත පැතිරවීම


මීට අමතරව බොහෝ දෙනෙක් දන්නා කරණීය මෙත්ත සූත්‍රයෙන්ද සදාචාරවත් සමාජයක් බිහි කරලීම සඳහා කරුණු ඉදිරිපත් කෙරී ඇත. ලෝක සත්වයා වෙත මෛත්‍රිය පැතිරවීම සදාචාර ක්‍රියාවකි. මෙලොව දියුණුවටත් පරලොව දියුණුවටත් හේතු වන කරුණූූ කාරණාවන් බොහෝමයක් මෙම සූත්‍රය තුලින් පෙන්වා දී ඇත.

දකින, නොදකින, ලඟ සිටින, දුර සිටින සෑම සත්වයෙක්ම සුවපත් වෙත්වා යැයි යමෙකුට ප්‍රාර්ථනා කළ හැකිනම් ඒ පුද්ගලයා සදාචාරවත් ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් වෙයි. එපමණක් නොව සෑම සත්වයෙක්ම කල්පනා කළ යුත්තේ තමන්ගේ සැපත මෙන්ම අනුන්ගේ ද සැපතයි. තමන්ගේ දුක මෙන්ම අනුන්ගේ දුක පිළිබඳවද සලකා බැලිය යුතුය. දෙමව්පියන්ට සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම, සමාජ චාරිත්‍ර වශයෙන් ගැනේ.එසේ නොමැති වූ විට පුද්ගලයා පමණක් නොව සමාජය ද පිරිහී විසමාචාර සමාජයක් බිහිවීමට හේතු වෙයි. මේ අනුව පැහැදිලි වන්නේ බුදුදහම සදාචාරවත් සමාජයක් බිහි කිරීම උදෙසා නොයෙක් සූත්‍ර දේශනා කර ඇති බවය.



මල්වතු විහාරීය විංශත් වර්ගික කාරක සංඝ සභික 
අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය 
දර්ශනපති 
වැලිවිට සෝරත හිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ බිනර පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ සැප්තැම්බර් 16 වන සිකුරාදා දින   බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment