ආදර්ශමත් නායකත්වයක් වශයෙන් ක්‍රියා කිරීමේදී බොහෝ කැපකිරීමක් කළහැකි විය යුතුය.අසිරිමත් සම්බුද්ධ දිවියේ පමණක් නොව බෝසත් අවධියේ සිටම බුදුරදුන් තුළ මෙය ඉතා හොඳින් දක්නට ලැබුණි. නායකයෙකු වශයෙන් ධනය, බලය,කාලය,වස්තු සම්පත්තීන් මෙන්ම විශේෂයෙන් ශ්‍රමය කැප කළ හැකිවිය යුතුවේ. එසේ නොමැත්තෙක් සැබෑ නායකයෙකු ලෙස සැලකිය නොහැක. තමන්ට ලැබෙන සැපසම්පත්තීන් පවා කැපකිරීමට නායකයාට හැකිවිය යුතුමය.මේ අරුතින් ගත් විට අප බුදුරදුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදර්ශවත් සැබෑ නායකයෙකි.
බෝසතාණන් වහන්සේ සසර පිරූ පාරමිතා තුළින්ම පැහැදිලි වන්නේ උන්වහන්සේගේ කැපකිරීම් වල ස්වභාවයයි. දානය යනු කැපකිරීමකි. තමන් සතු තමන්ට ප්‍රයෝජනවත් දෙයක් තවත් පිරිසක් විෂයෙහි බෙදාදීම හැමෝටම කළ නොහැකිය. බෝසතාණන් වහන්සේ පරිත්‍යාග කළේ භෞතික සම්පත් පමණක් නොව තම ශරීරය, ඇස් ඉස්, මස් මෙන්ම දූ දරුවන් පවා වෙස්සන්තර ආත්ම භාවයෙහිදී පරිත්‍යාග කළහ. එය මිහිපිට කෙනෙකුට කළ නොහැකි දෙයකි.
සීලයද, එසේමය. තමන්ගේ ඉන්ද්‍රියන් මනාව පාලනය කරමින් යහපතට පමණක් හිත යොමු කිරීම සාමාන්‍ය කෙනෙකුට කළ නොහැක්කකි. එහෙත් බෝසතාණන් වහන්සේ එය පාරමිතාවක් ලෙස පිරූහ. තමන්ගේ කය පිනවීමට අන්‍ය සම්පත් පවා හිරිකිතයකින් තොරව යොදාගන්නා ඇතැම් නායකයන් සිටින සමාජයක උන්වහන්සේ බෝසත් අවධිය තුළ පවා කය, වචනය මනාව පාලනය කරගනිමින් කටයුතු කළහ. එය මහා කැපකිරීමකි. සියල්ලන්ටම එසේ කළ නොහැක. නෙක්ඛම්ම පාරමිතාවම මහා කැපකිරීමකි. තමන්ගේ සියලු සැපසම්පත් අතහැර කටයුතු කිරීම අගය කළ යුත්තකි. දියුණු මනසක් නැත්තෙකුට එවැන්නක් කළ නොහැකිය. සැබෑ නායකයෙකු නම් සියල්ල අතහැරීමට ඕනෑම අවස්ථාවකදී කටයුතු කළ යුතුය. එසේ නොමැතිව අතහැරීම දරාගැනීමට නොහැකිව ඕනෑම අයහපතක් සිදුකිරීම ගැරහිය යුතුවේ. එය වනාහි මුහුණත් සමඟ තරහවී නහය කපාගැනීමක් හා සමානය. බුදුරදුන් බෝසත් සමයේදී පවා එවැනි අතහැරීම් සඳහා තම සිත සකසා ගත්හ. නායකයා ගේ වටිනාකම වැඩිවන්නේ අත්හැරීම
සිදුකරන ප්‍රමාණයටය. තෘෂ්ණාවෙන් සියල්ල බදා ගැනීම සුදුසු නොවේ. ආදර්ශවත් නායකයෙකු හඳුනාගැනීමට ඇති ප්‍රධාන මිනුම මෙම නෙක්ඛම්ම පාරමිතාවයි. අනෙක් සියලු පාරමිතාවන් තුළින්ද බිළිඹිබු වන්නේ බෝසත් අවධියේ පවා උන්වහන්සේ සිදු කළ කැපකිරීමයි. එය මහත් වූ ගුණයකි. නායකයෙකුගේ අතීත භාවිතය සහ වර්තමාන ක්‍රියාකාරිත්වය මගින් වඩා හොඳින් ඔහු පිළිබද තීරණය කළ හැකිය. බුදුරදුන් එවැනි ආදර්ශ සැපයු අනුහස් උත්තමයෙකි.
බුද්ධත්වය ලැබීම විෂයෙහි උන්වහන්සේ විසින් සිදුකළ කැපකිරීම් අතිමහත්ය. විශේෂයෙන් යුවරජ තනතුරු හා අනාගත රාජ්‍යත්වය උන්වහන්සේ කැපකළහ. රජවරු අතර උන්වහන්සේ ගේ ක්‍රියාව කෙතරම් අගය කටයුතුය. තම බලය රැකගැනීම විෂයෙහි ඕනෑම දරුණු තීරණයක් ගැනීමට ඇතැමුන් පසුබට නොවේ. ඒ අතර සිදුහත් බෝසතාණෝ තම රාජ්‍ය පවා අනවශ්‍ය ලෙස සලකා බැහැර කළහ. එසේම තම දේවිය , සුඛෝපභෝගි මාලිගා අත්හැරියහ.
සිදුහත් බෝසතාණන් වහන්සේ තමන්ගේ දාරක ස්නේහය කැප කළහ. එසේ සිදුකළේ බොහෝ පිරිසකට යහපතක් සලසාදීමේ අරමුණ ඇතිවය. නායකයා යනු එවැන්නෙකි. අශෝක රජු නිරන්තරව ප්‍රකාශ කළේ ද සියලු රටවැසියන් මාගේ දරුවෝය. (සවේ මානුසා මම පජා) යනුවෙනි බෝසතාණන් වහන්සේ තම සම්පත් සියල්ල මෙසේම කැප කළේ, බොහෝ පිරීසකට යහපත සැලසීමේ අටියෙන් මිස තම දියුණුව සලසා ගැනීම සඳහා නොවේ. මෙහිදී දියුණුව ලෙස අරුත් ගැන්වෙන්නේ භෞතික දියුණුවය.
තුන්වේල සඳහා සිදුහත් කුමරුට බොහෝ රස බොජුන් ලැබේ. එය කැපකොට පිණ්ඩපාතයෙන් ලැබෙන කටුක ආහාර තම ජීවිත පැවැත්ම උදෙසා යොදාගත්හ. එසේම ලාභය වාසිය තකා සිටු මැදුරුවලට පමණක් පිණ්ඩපාතය සඳහා නොවැඩියහ. ගෙපිලිවලින් පිණ්ඩපාතය සිදුකළහ. බුද්ධත්වයෙන් පසු ප්‍රථම වරට කිඹුල්වතට වැඩි අවස්ථාව මෙයට කදිම නිදසුනකි. එහිදී තම රජමාලිගයෙන් දානය වැළඳීමට අවස්ථාව තිබියදී පිණ්ඩපාතයෙහි වැඩියහ. සුද්ධෝදන රජ එසේ නොකරන්න යැයි ඉල්ලා සිටි අවස්ථාවේ උන්වහන්සේ දේශනා කළේ බුද්ධවංශය කටයුතු කරන්නේ මෙසේය යනුවෙනි. මෙයින් පැහැදිළිවන ප්‍රධානම කරුණ වන්නේ පිළිගත් සම්මතයන් පටු වාසි උදෙසා නායකයා විසින් උල්ලංඝනය නොකළ යුතු බවයි.
බුදුරදුන් කාලය මෙන්ම තම ශ්‍රමය කිසිදු ලාභ ප්‍රයෝජනයකින් තොරව කැප කළහ. මීට දැක්විය හැකි ප්‍රධානම උදාහරණය උන්වහන්සේ ගේ දින චරියාවයි. දවස කොටස් පහකට බෙදමින් සියලු සත්වයන්ට සෙත සැලසීය. එහිදී තමන් වහන්සේට විවේක ගැනීමට වෙන්කරනු ලැබුයේ ඉතා සීමිත කාලයකි. අනෙක් සෑම තත්පරයක්ම බොහෝ දෙනාට හිතසුව පිණිසම යොමු කළහ. සැබෑ නායකයා මෙබන්ඳෙක් විය යුතුය. එනම් තමන් යටතේ සිටින සත්වයාට මෙන්ම ස්වභාවදහමටද තම කාලයෙන් උපරිම සේවාවක් සැපයීම අත්‍යවශ්‍යය. භෞතික මිළ මුදලින් ගණනය කළ නොහැකි වුවද ස්වභාව දහම සම්පතකි. එසේ නොකිරීම නායකත්ව භූමිකාව හඳුනා නොගැනීමකි. බුදුරදුන් කැපකිරීම් කළ නායකයෙකු ලෙස ස්වභාව දහමේ ආරක්ෂාව උදෙසා තම කාලය , ශ්‍රමය, කැප කළහ. උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට පැහැදිළි කළේ කෙලෙස් වනය සිඳින්න. ස්වභාවික වනය නොසිඳින්න යනුවෙනි. බුදුරදුන් තම ශ්‍රමය, කැප කළ නායකයෙකි. එනම් බුද්ධත්වය ලැබීමෙන් පසුවද ලෝක ධර්ම චාරිකාවෙහි යෙදුණහ. තමන්ගේ ශ්‍රාවකයන්ට ධර්ම චාරිකාවෙහි හැසිරෙන්න යැයි අවවාද කරමින් තමන් වහන්සේ එසේ සිදු කළහ. බොහෝ විට සිදුවන්නේ මීට හාත්පසින් වෙනස් ස්වභාවයකි. නායකත්වයට පැමිණීමට බොහෝ කැපකිරීම් සිදුකළද පැමිණීමෙන් පසු එය අමතක කර දැමීමයි. එසේ පැවති බලය නායකත්වය අහිමිවීමෙන් තව කැප කිරීමක් සිදු කිරීමට පෙළඹෙයි. තමන්ට හැකියාව තිබියදී එසේ කැප කිරීම් සිදු කළ හැකිනම් එය බොහෝ සෙයින් වැදගත්වේ. නායකත්වයන් අපේක්ෂා කරන්නන් විසින් මේ තත්වය හඳුනාගත යුතුය. අතැමුන්ට පිහිට වීම සඳහා බොහෝ දුර බැහැර උන්වහන්සේ වැඩියහ.
නිරන්තරවම සැප ලැබීමේ අරමුණු උන්වහන්සේ තුළ නොතිබුණි. තම දානය ඇතැම් විට කීර්තිය උන්වහන්සේ යහපත් අරමුණු වෙනුවෙන් කැපකළහ. තම පිරිස වර්ධනය කිරීමේ අරමුණින් ජනපි‍්‍රය තීරණ නොගත්හ. සෑම විටම කුමක් අහිමි වුවද ගත යුතු යථාර්ථවාදි තීන්දු ගැනීමට පසුබට නොවූහ. එය කෙටිකාලීන අවාසි ඇතිකළද දීර්ඝ කාලීනව සසුනට මහත් භාග්‍යයකි. නායකත්වය හැඩ ගැස්විය යුත්තේ එසේය.
කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය
කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ බිනර පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ සැප්තැම්බර් 09 වන සිකුරාදාදින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment