Labels

Sunday, October 9, 2016

ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයමය

වාසෙට්ඨයෙනි, ඇතැම් සත්ත්ව කෙනෙක් අතර, මේ සිදු වූ දේ ගැන එනම් බොරු කියන්න, සොරකම් කරන්න, ගැරහුම් කරන්නා වූ ලාමක අකුසල් ධර්ම සිත්වල හට ගැනීම නිසා, මහත් කලකිරීමකට හේතු වූවා. අපගේ සිත්වල හටගත් මේ ලාමක අකුසල ධර්මයෝ බැහැරලීම කරන්නෝ නම් හොඳ යැයි සිතන්නට පටන් ගත්තා. මෙම සත්ත්වයෝ, සිත්වල හටගත් ලාමක පාපී අකුසල් බැහැර කිරීමේ අරමුණින් ගම අත්හැර වන ප්‍රදේශවල කුටි තනාගෙන තනිව භාවනා කරමින් ධ්‍යාන වඩමින් ජීවත්වන්නට වුණා.

වන ගත වූ මේ සත්ත්වයන්ට උයා පිහා ආහාරයට ගත යුතුදෙයක් නොමැති හෙයින් උදේ බොජුන් පිණිස උදයේ ද හවස බොජුන් පිණිස හවස ද මේ අය ගම්, නියම් ගම් රජ දහන්වලට පැමිණ පිණ්ඩපාතයේ ගොස් ආහාර සොයාගෙන නැවතත් වන ප්‍රදේශවල කුටිවලට ගොස් ධ්‍යාන වඩන්නට වූවා. මෙම සත්ත්වයනට අකුසල් බැහැර කරනවා යන අර්ථයෙන් බ්‍රාහ්මණ කියා නමක් පටබැඳුනා.

පාපකේ අකුසලේ ධම්මේ
බාහෙන්තීනි ඛෝ වාසෙට්ඨා
බ්‍රාහ්මණ, බ්‍රහ්මණා තේථව පඨමං
අක්ඛරං උපනිබ්බත්තං
 යනුවෙන්, 

එනම් පාපී අකුසල් බැහැර කරනවා යන අර්ථයෙන් බ්‍රාහ්මණ යන්නෙන් මේ සත්වයන්ට පළමු නාම ව්‍යවහාරය පහළ වුණා.

ධර්මයට අනුකූලව


වාසෙට්ඨයෙනි, මේ වන ගත අය භාවනා කරනවා එනම් ධ්‍යාන වඩනවා යන අර්ථයෙන් ‘ඣායකා’ කියා බ්‍රාහ්මණයන්ට දෙවැනි නාම ව්‍යවහාරයත් ඇති වුණා. වාසෙට්ඨයෙනි, එම සත්වයන් අතුරින් ඇතැම් කෙනෙක් වන ප්‍රදේශයන් හි ධ්‍යාන වැඩීම අපහසු වන්නා වූ බැවින් ගම් නියම්ගම් අසළට පැමිණිලා ග්‍රන්ථකරමින් එනම් ඉගැනීම්, ඉගැන්වීම් කටයුතු සිදු කළා. වාසෙට්ඨයෙනි, දැන් මොවුන් ධ්‍යාන නොකෙරෙත්, එනම් ධ්‍යාන නොකරන්නෝ යැයි අදහසින් ‘අජ්ඣායකයෝ’ යැයි තෙවැනි නාමයත් ව්‍යවහාර කිරීමක් ඇතිවුණා. මේ ආකාරයටයි බ්‍රාහ්මණ සමාජය ගොඩනැඟුණේ. බුදුරජාණන් වහන්සේ වදාළා වාසෙට්ඨයෙනි, ඔය බ්‍රාහ්මණ සමාජය ආරම්භය මෙන්න මේ ආකාරයට ධර්මයට අනුකූලවමයි. එසේ නොමැතිව දෙවියෝ මවලා නොවෙයි. ඒ නිසා මෙලොවත්, පරලොවත් ජනයා අතර ශ්‍රේෂ්ඨම වන්නේ ධර්මයමයි කියා.
වාසෙට්ඨයෙනි, මේ සතුන් අතෙරේ ඇතැම් කෙනෙක් මෛථුන ධර්ම සේවනය කොට එනම් කාම සේවනය කොට කාමභෝගී ජීවිත ගත කරමින්, එනම් කුඹුරු, වතුපිටි හදාගෙන හරකාබාන ඇති කරගෙන බඩු මුට්ටු විකුණමින් වෙළෙඳාම් කරන්නට පටන් ගත්තා. මේ ආකාරයෙන් එම අවස්ථාවේ නැඟුණු හෝ ප්‍රකට වූ කර්මාන්ත කරනවා යැයි කියන අදහසින් ‘වෛශ්‍ය’ යෝ යැයි නම ඇති වුණා.
වාසෙට්ඨයෙනි, ධර්මයම මේ ජනයා කෙරෙහි මෙලොවදී ද පරලොවදී ද ශ්‍රේෂ්ඨයි. බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන්නේ මහා බ්‍රාහ්මයාගේ මුඛයෙන්, බාහුවෙන්, කලවයෙන් හෝ යටිපතුලෙන් සත්වයා නැත්නම් මනුෂ්‍යයන් ඉපදුනා යැයි කියන බ්‍රාහ්මණ කතාව නොව ලෝක ස්වභාවය අනුව පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් අනුව ඔවුන්ට නම් හෝ ව්‍යවහාර ඇති වූ බව පෙන්වාදීමටයි. එලෙසම මෙහි පෙන්වා දෙන කරුණක් තියෙනවා. ඒ තමයි එකම සමාන සත්වයන්, අතර නාම ව්‍යවහාරයක් පමණක් සිද්ධ වන නිසා උස් පහත් භේදයක් ඇති විය නොහැකි බව මෙහි දී ප්‍රකටයි. මෙය ධර්මයෙන් මිස අධර්මයෙන් සිදු නොවේ. එම නිසා මෙලොවත් පරලොවත් මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයමයි.

සත්වයන් එක සමානයි


වාසෙට්ඨයෙනි, ඒ සත්වයන් අතුරෙන් යම් කෙනෙක් රෞද්‍ර හැසිරීම් ඉතාම පහත් හැසිරීම් ඇත්තෝ වූවෝ ද මොවුන් පහත් හැසිරීම් ඇත්තෝය. ඉතාම ලාමක හැසිරීම් ඇත්තෝය කියා ඔවුන් නම් කළාය ඔවුන් ශුද්‍රයෝය. ශුද්‍රයෝ යැයි නාම ව්‍යවහාරය පටන් ගත්තා. මේ නාමයත් හටගත්තේ එකහා සමාන සත්වයන් අතරෙන්මයි. එලෙසම ධර්මයෙන්මයි, අධර්මයෙන් නොවේ. එහෙයින් මෙලොවද, පරලොවද ධර්මයම මේ ජනයා කෙරෙහි ශ්‍රේෂ්ඨයි.
වාසෙට්ඨයෙනි, යම් හෙයකින් ක්ෂත්‍රීයයා සිය දහමට ගරහනුයේ මහණ වන්නෙමියි ගිහිගෙයින් නික්ම පැවිදි භූමියට පත්වෙනවාද? බ්‍රාහ්මණයා ද, වෛශ්‍යයා ද, ශුද්‍රයා ද සිය දහමට ගරහමින් මහණ වන්නෙමියි ගිහි ගෙයින් නික්ම පැවිදි ජීවිතයට පත්වෙනවා ද අන්න එවැනි කාලයක් ඇතිවෙනවා. මෙන්න මේ සතර මණ්ඩලයන්ගෙන් ම ශ්‍රමණ මණ්ඩලයාගේ ආරම්භය සිද්ධ වුණා. එනම් ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර කියන නම් ව්‍යවහාරයේ පැවතුණ කොටස් අතරෙන්මයි මේ පැවිදි මණ්ඩලය, එනම් පැවිදි පිරිස සකස්වෙන්නේ. ඒ ශ්‍රමණ මණඩලයාගේ ආරම්භය කියා කියන්නේ අන්න එයයි. එයත් එම සමාන සත්වයන් පිළිබඳවයි. අන් සත්වයන් පිළිබඳව නොවේ. එනම් ධර්මයෙන්මයි, අධර්මයෙන් නොවේ. වාසෙට්ඨයෙනි, මෙලොවත් පරලොවත් ධර්මය ම ජනයා කෙරෙහි ඉතාම ශ්‍රේෂ්ඨයි.
බුදුරජාණන් වහන්සේ නැවතත් මෙසේ දේශනා කරනවා. වාසෙට්ඨයෙනි, ක්ෂත්‍රියයා හෝ වේවා බ්‍රාහ්මණ හෝ වේවා, වෛශ්‍ය හෝ වේවා, ශුද්‍ර හෝ වේවා ශ්‍රමණයා හෝ වේවා මේ කවුරුන් වූවත් කයෙන්, වචනයෙන්, මනසින් දුසිරිත් කරලා මිථ්‍යාදෘෂ්ටිකව මිථ්‍යාදෘෂ්ටික කටයුතුවල යෙදීම හේතුවෙන්, එනම් ඒවා අනුගමනය කිරීම හේතුවෙන් මේ කය බිඳී ගොස්, එනම් විසිරී ගොස් යම් දවසක මරණයෙන් මතු සැප නැති, දුකකට ම හේතු වූ අප්‍රමාණ දුක් දෙන නිරයට පැමිණෙනවා.

බලවත් කුසලයකින් මිනිස් ලොවට


ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා වාසෙට්ඨයෙනි, ක්ෂත්‍රීය හෝ වේවා බ්‍රාහ්මණ හෝ වේවා, වෛශ්‍ය හෝ වේවා, ශුද්‍ර හෝ වේවා, ශ්‍රමණ හෝ වේවා මේ කවුරුන් වූවත් කයෙන්, වචනයෙන්, මනසින් යහපත් වූ සිරිත් ගුණ ධර්ම පුරා සම්මා දිට්ඨියෙන් යුතුව, සම්මා දිට්ඨිය සමාදානයෙන් යුක්ත වීම මේ කය විසිරීමෙන් එනම් මරණයෙන් මතු මනා සැප ඇති සුගති ලෝකයට පැමිණෙනවා. මෙලෙස උප්පත්තියක් ලබන්න කුලය හෝ ජාතිය බලපාන්නේ ද නැහැ.
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා වාසෙට්ඨයෙනි, ක්ෂත්‍රීය හෝ වේවා, බ්‍රාහ්මණ හෝ වේවා, වෛශ්‍ය හෝ වේවා, ශුද්‍ර හෝ වේවා, ශ්‍රමණ හෝ වේවා. මේ කවුරුන් වූවත් කයෙන්, වචනයෙන්, මනසින් දුසිරිතෙහිත් යෙදෙනවා එලෙසම සුචරිතයේත් යෙදෙනවා. සම්මා දිට්ඨියෙන් මෙන් ම මිථ්‍යාදෘෂ්ටියෙන් සිටිනවා ද? සමාදන්ව සිටිනවාද අන්න ඒ හේතුවෙන් මරණයෙන් මතු සැපත් – දුකත් දෙකම මිශ්‍රව විපාක ලැබෙන්න පුළුවනි කියන අදහසයි.
මේ අනුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ලෝකෝප්පත්ති කතාවේ ආරම්භයත් එහි විකාශනයත්, පුද්ගලයන්ගේ ජීවිත පැවැත්ම ගත කොට ඉන් අනතුරුව සුගතිය හා දුගතිය හිමිවන ආකාරය අපට ඉතාම පැහැදිලියි. බලවත් ලෙස කුසල කර්ම කරන අය සුගතියටත්, බලවත් ලෙස අකුසල කර්ම කරන අය දුගතියටත් යන බව පැහැදිලියි.
කුසල් අකුසල් මිශ්‍රව සිදු කරන අයට සැපදුක් දෙකම මධ්‍යස්ථව විඳින්නට සිදු වෙනවා. ඒ අපට මේ මනුෂ්‍ය ලෝකයේ ම දැක ගන්නට පුළුවනි. බලවත් ලෙස කුසල් කරපු අය සුගතියට යනවා. බලවත් ලෙස අකුසල් කරපු අය නිරයට යනවා. මනුෂ්‍ය ලෝකයේ උපත ලබන්නේ බලවත් වූ කුසල කර්මයකින් බව සැබෑවකි. එහෙත් අකුසල කර්මත් ඔවුන්ගේ ජීවිතවල තිබෙන නිසා ‘කම්මං සත්තේ විභජතී හීනප්පණීතතාය’ යනුවෙන් සඳහන් කළ අයුරින් කර්මයට සත්‍ය හීන, ප්‍රහීන හෙවත් උස් පහත් භේදයට පත් කරන්නේ ය යන අදහසට අනුව මනුෂ්‍යයෝ සැප මෙන් ම දුක් ද දුක් මෙන් ම සැප ද මිශ්‍රව විටින් විට ලබන බව පැහැදිලියි.

දුක සැප මිශ්‍රයි


නැවතත් බුදුරජාණන් වහන්සේ වදාළා, ක්ෂත්‍රීය හෝ වේවා, බ්‍රාහ්මණ හෝ වේවා, වෛශ්‍ය හෝ වේවා, ශුද්‍ර හෝ වේවා මේ කවුරුන් වූවත්, කයෙන්, වචනයෙන්, මනසින් සංවර වූයේ නම් මෙහි දී ධර්ම මාර්ගය තේරුම් කර ගන්නා වූ පිරිස ඒ ධර්ම මාර්ගය මනාකොට අනුගමනය කිරීමෙන් පාපී අකුසල ධර්ම මුළුමනින් ම ක්ෂය කිරීම හෙවත් නැති කිරීම පිරිනිවන්පෑම බව සඳහන් කරනවා. එනම් කෙලෙස් පරිනිර්වාණය ලෙස සඳහන් කරනවා. ධර්ම කතාවේ මෙය අනුගමනය කළ යුතු ධර්ම මාර්ගය හඳුන්වන්නේ බෝධිපාක්ෂික ධර්ම හැටියටයි. එනම් සත් තිස් බෝධිපාක්ෂික ධර්මයන්ය. තිස් හතක් වූ බෝධිපාක්ෂික ධර්මයෝ ය.

සත් තිස් බෝධිපාක්ෂික ධර්ම නම් බුදුරජාණන් වහන්සේ දවස මනාකොට දේශනා කළ ඒ උතුම් ධර්මයයි. එනම් සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යම් කෙනෙක් මේ බෝධිපාක්ෂික ධර්ම තිස් හත දියුණු කරගන්නවා නම් ඉතාම ශ්‍රේෂ්ඨයි එනම් එතැන ශ්‍රේෂ්ඨවන්නේ ධර්මයමයි.



බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක 
ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ බිනර අව අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ සැප්තැම්බර් 23 වන සිකුරාදා දින   බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment