Labels

Wednesday, October 12, 2016

ධනය කළමනාකරණය කිරීම

දැහැමින් ඉපැයූ ධනය කළමනාකරණය කිරීමේ පළමු පියවර පසුගිය බිනර අව අටවක පෝදා (23) ලිපියෙන් ඉදිරිපත් කරන ලදී. එහි සෙසු පියවර තුන පිළිබඳ මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ. ඒ යටතේ උපයන ලද දැහැමි ධනය ගින්නෙන්, ජලයෙන්, රාජසන්තක වීමෙන්, සොරුන්ගෙන් ,අපි‍්‍රය පුද්ගලයන්ට අයත් වීමෙන් ආදි ආපදාවලින් ආරක්ෂා කරගත යුතුවේ.
එවැනි ආපදාවලදී ධනය වැය කොට නිරුපද්‍රිත බවට පත්විය යුතුවේ. මෙම කරුණින් අදහස් කරන්නේ උපයන ලද ධනය විනාශයට හේතුවන ස්වාභාවික විපත් හා උවදුරු දුරු කරගැනීමත් සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමත්ය. ලෝකය හැම අතින්ම නිරුපද්‍රිත හා ආරක්ෂා සහිත තැනක් නොවේ. නිතර නිතර ගින්න, ජලය හා භූමිකම්පා වැනි ස්වාභාවික ආපදාවන්ට මුහුණ දීමට සිදුවේ.
එවැනි අවස්ථාවලදී නිවාස ඉඩකඩම් ආදී නොයෙක් නිශ්චල හා චංචල දේපළ විනාශයට පත්විය හැකිය. එසේම සොර සතුරන් විසින් වස්තුව කොල්ලකන අවස්ථා තිබේ. ඇතැම් විට පාලකයන්ගේ මැදිහත්වීම නිසා උපයාගත් දේපළ රාජසන්තක විය හැකිය. දේශපාලන පළිගැනීම් හේතුවෙන් ධනය විනාශ වීමට ඉඩ තිබේ. එසේම පවරාදෙන ලද ධනය අනුවණ දූ දරුවන් හා වෙනත් පුද්ගලයන් විසින් අවභාවිතා කරනු ලැබීමෙන් විනාශ විය හැකිය. මෙවැනි අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවිය හැකිය. එම උවදුරුවලින් ආරක්ෂා වීමේ ක්‍රමයක් අවශ්‍ය වේ. දේපළ හා ධනය සුරක්ෂිත කරගැනීමේ පියවර රැසක් වර්තමාන ලෝකයේ අනුගමනය කරනු ලැබේ. විවිධ රක්ෂණ ක්‍රම හා සුරැකුම් මගින් අවධාරණය කරන්නේ ධනය ආරක්ෂා කරගැනීමේ එම පිළිවෙතයි. ධනය හා දේපළ ආරක්ෂා කරගැනීමේදී එවැනි රක්ෂණ ක්‍රමවල සහාය ලබාගැනීම අනිවාර්යෙන්ම අවශ්‍ය වේ. එම සේවය සඳහා සැළකිය යුතු ධනයක් වැය කිරීමට සිදුවේ. සිඟාලෝවාද සූත්‍රයෙහි දැක්වෙන පරිදි ධනය කොටස් හතරකට බෙදා එක් කොටසක් ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා තැන්පත් කරගත යුතුවේ. විවිධ අපාදාවන්ගෙන් තම ධනය හා දේපළ ආරක්ෂාකරගැනීමට අවශ්‍ය උපක්‍රම භාවිතා කරමින් ඒ සඳහා යම් ධනයක් වැය කිරීම වනාහි ධනය නිසිතැන යෙදවීමකි. නිසි ලෙස වැයකිරීමකි.

යුතුකම් හා වගකීම් පංචබලි සංකල්පයෙන්


ධනය වැය කිරීමේ තෙවන පියවර අතිශය පුළුල් එකකි. මිනිසා වනාහි උපතින්ම සමාජ සත්ත්වයෙකි. සමාජයෙන් තොරව හුදකලා පැවැත්මක් ඔහුට නොමැත. තම අවශ්‍යතා සඳහා අන් අයගේ සහාය අනිවාර්යෙන්ම අවශ්‍ය වේ. එම සහය ලබාගැනීමට තමා විසින්ද කළ යුතු යුතුකම් රැසක් තිබේ. බුදුසමය එම යුතුකම් හා වගකීම් පංචබලි සංකල්පය යටතේ පැහැදිලි කරයි. පංචබලි සංකල්පය මගින් පෙන්වා දෙන්නේ පුද්ගලයා තම අවශ්‍යතා සම්පාදනය කරගැනීමේදී ක්‍රියාවට නැංවිය යුතු වගකීම් පහකි. ඤාති බලි, අතිථි බලි, පුබ්බපේත බලි, රාජබලි, දේවතා බලි යනු එම පංචබලි බලි කර්මයන්ය. පළමු වැන්නෙන් පවුලේ ඤාතීන් වෙත කළ යුතු යුතුකම් ද, දෙවැන්නෙන් තම නිවසට පැමිණෙන ආගන්තුකයන්ට කෙරෙන සංග්‍රහද, තෙවැන්නෙන් මළවුන් වෙනුවෙන් කළ යුතු යුතුකම් හා වගකීම් ද, සිව්වැන්නෙන් රජය වෙනුවෙන් ඉටුකල යුතු යුතුකම් ද, පස්වැන්නෙන් දෙවියන් උදෙසා කරන පුද පිළිවෙත් ද අදහස් වේ. සමාජ සත්ත්වයෙකු වශයෙන් මෙම යුතුකම් ඉටු කිරීම අන්තර්පුද්ගල සමාජ සම්බන්ධතා වර්ධනය කරගැනීමට හේතුවේ. පළමු හා දෙවන බලි කර්ම මඟින් සාමාජික සුරක්ෂිතතාව අවධාරණය වේ. තෙවැන්නෙන් කරුණාව හා කෘතගුණ සැළකීම යන සාධු ධර්ම වර්ධනය කිරීම අදහස් වේ. පුරවැසියන්ගේ සුභ සාධනය හා ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයක වගකීම වේ. රජයකට එම වගකීම ඉටුකිරීම සඳහා මුදල් අවශ්‍ය වේ. රජය ජනතාවගෙන් ලබාගන්නා අය මුදල් වැය කොට සුභ සාධනය පවත්වාගෙන යනු ලැබේ. විශේෂයෙන් ජනතාවට ලබාදෙන විවිධ සේවාවන් පවත්වාගෙන යන්නේ ජනතාවගෙන් ලැබෙන අයමුදල් වලිනි. විවිධ ක්‍රම ඔස්සේ ලබාගන්නා සේවයට නිසි පරිදි අයබදු ගෙවීම මහජනයාගේ වගකීමකි. රජයෙන් සැපයෙන විදුලිය, ජලය හා වෙනත් පහසුකම් ලබාගෙන නිසි පරිදි මුදල් නොගෙවීම වංචා කිරීමක් වේ. එසේම සෙසු අයගේ අයිතිවාසිකම්ද උදුරාගැනීමක් වේ. එබැවින් ලබාගත් සේවයට අදාළ බදු ගෙවීම නිසි පරිදි ධනය වැය කිරීමක් වේ. සිව්වන බලි කර්මයෙන් අදහස් වන්නේ එකී බදු මුදල් ගෙවීමයි. දේවතා බලි යනුවෙන් අදහස් වන්නේ දෙවියන් උදෙසා කරන පුද පිළිවෙත්ය. සාමාන්‍ය ගිහි ජනතාව විවිධ ආගමික විශ්වාසවල එල්ඹගෙන කටයුතු කරන අතර ලෞකික අභිමථාර්ථ සාධනයෙහිලා විවිධ දෙවිවරුන් කෙරෙහි පුද පිළිවෙත් පවත්වනු ලැබේ. සිංහල බෞද්ධයන්ද එවැනි පිළිවෙත්

සමාජ සදාචාරය ගොඩනැගීම


අනුගමනය කරන අතර එමගින් තම ලෞකික අපේක්ෂා ඉටුකර ගැනීමට උත්සුක වුවද සංසාර විමුක්තියක් බලාපොරොත්තු නොවේ. මෙනිසා මෙම කරුණ විචාර බුද්ධියෙන් සළකා වටහාගත යුතුවේ.
ආධ්‍යාත්මික මඟපෙන්වීම ආගමික නායකයන්ගේ ප්‍රධාන වගකීම වේ. එම වගකීම ඉටු කිරීම පිණිස පූර්ණකාලීනව කැපවූ පිරිසක් අවශ්‍ය වේ. නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධයක් නොමැති එම පිරිස යැපෙන්නේ මහජනයාගෙන් ලැබෙන අනුග්‍රහ මගින්ය. ධනය වැය කිරීමේදී තමා පිළිගත් ආගමික ආයතනවල අවශ්‍යතාද සැපිරිය යුතුවේ. පත්තකම්ම සූත්‍රයේ එන සිව්වන පියවර යටතේ විස්තර කෙරෙන්නේ එකී ආධ්‍යාත්මික උතුමන් උදෙසා කෙරෙන පරිත්‍යාග වෙනුවෙන් මුදල් වැය කිරීමයි. ශ්‍රමණ, බ්‍රාහ්මණ යන පොදු වචනය බුදුරදුන් භාවිතා කළේ එකල භාරතයේ සිටි සියලුම ආගමික කණ්ඩායම් හැඳින්වීම පිණිසය. භික්ෂු– භික්ෂුණී දෙපිරිස ද ශ්‍රමණ සංඛ්‍යාවට අයත් වේ. පත්තකම්ම සූත්‍රයේ දැක්වෙන පරිදි ආත්ම දමනයෙන් හෙවත් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත (එකමත්තානං දමෙන්ති) ආධ්‍යාත්මික වශයෙන් පවත්නා කෙලෙස් ධර්ම සමනය කරන (එකමත්තානං සමෙන්ති) හෙවත් උසස් චිත්ත සමාධියෙන් යුක්ත ආධ්‍යාත්මික කෙලෙස් ධර්ම මුළුමණින් නිවාදැමු (එකමත්තානං නිබ්බාපෙන්ති) උතුමන් උදෙසා මතු ස්වර්ග සංඛ්‍යාත සැප විපාක ලබාදෙන දක්ෂිණාව හෙවත් දානය සිදුකිරීම ධනය වැය කිරීමේ අවසන් පිළිවෙත වේ. තමා දැහැමින් උපයන ලද ධනය වැය කළ යුත්තේ ආධ්‍යාත්මික වශයෙන් එවැනි උසස් උතුමන් පෝෂණය කිරීම පිණිසය. එය තම ධනය නිසිතැන යෙදවීමකි.

පත්තකම්ම සූත්‍රයේ එන යෝග්‍ය කර්ම හතරෙන් ධනය නිසි ලෙස පරිභෝජනය කිරීම, බෙදාහැරීම හා පින් කිරීම යන කරුණු තුන අදහස්කර තිබේ. පරිභෝජනයේදී තමා ගැන පමණක් නොව තමා ඇසුරුකොට පවතින අන් අය ගැනද සැළකිලිමත් විය යුතුවේ. යමක් තනිව පරිභෝජනය කිරීම පිරිහීමේ ලක්ෂණයක් ලෙස පරාභව සූත්‍රයේ සඳහන් වේ. බෙදා ගැනීමේ උසස් සදාචාරාත්මක ගුණය දානය හා චාගය යන ප්‍රතිපත්ති යටතේ අවධාරණයකර තිබේ. අවසාන විමුක්තිය සාක්ෂාත් කිරීමේ පිළිවෙත අනුපූර්ව ප්‍රතිපදාවකින් යුක්තවේ. එය ශීල සමාධි පඤ්ඤා යන ත්‍රිවිධ ශික්ෂා යටතේ පෙන්වාදී තිබේ. ආරම්භයේදී නිවන් ලැබෙන පිළිවෙතක් බුදුරදුන් දේශනා කර නොමැති බව අනුපූර්ව ප්‍රතිපදාවෙන් පැහැදිලි වේ. විමුක්තිය තෙක් සැපවත් සංසාරික පැවැත්මක් ගැන උනන්දුවන පුද්ගලයා විසින් පින් රැස් කිරීම අවශ්‍ය වේ. එකී අරමුණ වෙනුවෙන් පින් රැස් කිරීම සඳහා ද ධනය වැය කළ යුතුවේ. මේ අනුව ඉහතින් දැක්වූ සිව් පියවර ධනය නිසි ලෙස කළමනාකරණය කරගැනීමේ බෞද්ධ පිළිවෙත ලෙස නම් කළ හැකි වේ. මෙම පිළිවෙත් අනුව උපයන ධනය වැය කිරීම නිසි තැන නිසිපරිදි වැය කිරීමක් ලෙස හැඳින්විය හැකිය. එසේ කරන්නෙකු තුළ ධනය වැය කිරීමෙන් ලැබෙන සතුටක් මිස දුකක් දෝමනස්සයක් ඇති නොවේ.


කොළඹ විශ්වවිද්‍යාලයේ 
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
රාජකීය පණ්ඩිත 
උඩුහාවර ආනන්ද හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ බිනර අමාවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ සැප්තැම්බර් 30 වන  සිකුරාදා   දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment