මෙසේ දෙමාපියන්ගේ මෙලොව හා පරලොව සුභසාධනයත් දරුවන් විසින් ඉටුකළ යුතුවන අතර එම අන්‍යෝන්‍ය යුතුකම් නිසි පරිදි කිරීම පවුල් සංස්ථාව නිවැරැදිව සාමූහිකත්වයෙන් ඉදිරියට යාමට ප්‍රමුඛ හේතුවක් ලෙසින් බුදුදහම අවධාරණය කරයි.
යමෙක් මවත් පියාත් දැහැමින් උපයන ලද දෙයින් පෝෂණය කෙරේද ( යො මාතරං වා පිතරං වා මච්ඡේ ධම්මෙන පොසති) මව්පියන් කෙරෙහි එසේ උවටැන් කිරීමෙන් එබඳු පුද්ගලයන් පණ්ඩිතයන්ගේ ප්‍රශංසාවට ලක්වන අතර මෙලොව මෙන්ම පරලොව දී සතුටුවන්නකු වන බව (ඉධෙවනං පසංසන්ති පෙච්ච සග්ගෙ පමොදති) අංගුත්තර නිකායේ දී පැහැදිලි කොට ඇත. මාපියනට සැලකීම පුද්ගල දියුණුවට හේතුවක් බව මංගල සූත්‍රයෙදීත් අවධාරණය කරන අතර එසේ නොවන කල්හි පුද්ගල පිරිහීම හා සමාජ ගර්හාවට පත්වීමට හේතු කාරක බව පරාභව මෙන්ම වසල සූත්‍රයේදී පෙන්වා දී ඇත.
පවුල් දිවියේ ආරම්භය විවාහය තුළින් සනිටුහන් වේ. ආවාහ විවාහ, යුග දිවිය , පවුල් සංස්ථාව කුටුම්භක සංරක්ෂණය වැනි විවිධ නම්වලින් හඳුන්වනුයේ ද ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය එකට බැඳී දුක සැප දෙක බෙදාගැනීම පිණිස හා පරපුරක් බිහිකිරීම අරඹයා මාපිය සෙවණින් ඉවත්ව වෙන්ව පවුලක් ලෙසින් ජීවිතය ආරම්භ කිරීමයි. ගෘහස්ථ සංස්කෘතියේ විවාහ ජීවිතය එක් අංගයක්වන අතර එහි සාර්ථකත්වයට අරමුණු කොටගත් සදාචාරාත්මක උපදේශන පද්ධතියක් බුදුදහමින් අවධාරිතය.
අවිවාහකයන්ගේ වගකීමෙන් තොරවූ ජීවිතයකට වඩා වගකීම් සහිත යුතුකමින් බැඳුනු දිවිපෙවෙත ගෘහස්ත සදාචාරයට වඩාත් හිතකරය. එබැවින් උභය පාර්ශ්වයන්හි ඇති චර්යාවන් එකිනෙක පටලවා ගනිමින් කරුණු විමසංනයට ප්‍රවේශ වීමෙන් ප්‍රශ්න හා ගැටලු ඇතිවීමද නොවැළැක්විය හැකිවේ.
විවාහය යන්න කවරෙක්ද ?එහි වගකීම් හා යුතුකම් කවරේද? යන්න පිළිබඳ පූර්ව දැනුමක් ලබා තිබීම සාර්ථක යුග දිවියකට මඟ හෙළිකිරීමක් වේ. එහි දී පිරිමි පාර්ශ්වයට මෙන්ම කාන්තා පාර්ශ්වය ද දැනගත යුතු මෙන්ම අනුගමනය කළ යුතු කරුණු ගණනාවක් වේ. මීට හේතුව පවුල් දෙකක වන බන්ධනයක් විවාහය තුළින් නිරූපිත වීමය. එබැවින් එම පවුල් අතර සමඟිය හා සාමූහික බව එක්තැන් කරනු ලබන අංගයක් ලෙසට ද විවාහය යන්න අර්ථ ගන්වා ඇත. කුල ප්‍රවේශයේ සිට ම මෙම සාමූහික බව රැක ගැනීමත් එම පවුල් අතර ජීවත්වන අනෙක් පිරිස් සමඟ කටයුතු කිරීමත් සිය විවාහ දිවිය දෙදෙනාගේ බැඳීම මත ඉදිරියට ගෙනයාමත් යන කරුණුද විවාහය හා අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතින බැවින් විවාහ පේක්ෂක අවස්ථාවේ සිටම සිය දිවිය සැලසුම් කර ගැනීම අවශ්‍ය කාර්යයක් වේ. මෙහිදී යුග දිවියකට පිවිසෙන කුල කාන්තාවක් විසින් ගත යුතු ක්‍රියාමාර්ග කවරේද? යන්න පිළිබඳව ද පතිකුලයට යාමට සැරසුන විශාඛාව වෙත ඇය ගේ පියා වූ මිගාර සිටුවරයා දුන් අවවාද වත්මන් වනිතා පරපුරපුරට පූර්වාදර්ශයක් සපයයි.
පස්කම් සැප සදාචාරාත්මක විඳීම බුදුදහම තුළින් ප්‍රතික්ෂේපිත නොවන අතර එබඳු වූ පවුල් දිවිය අර්ථවත් කිරීමට, නිරවුල් කිරීමට, ධාර්මිකව , පී‍්‍රතිමත්ව හා සැනසිල්ලේ ගත කිරීමට අවශ්‍ය වැදගත් වූ උපදෙස් හා ප්‍රතිපාදන රැසක් බුදුදහම තුළින් අවධාරණය කර ඇත. ලෝකයේ උතුම් දෑ අතර කාන්තාවද වන බව දේවතා සංයුත්තයේ දී පැහැදිලි කර ඇති අතර උසස් ගතිගුණවලින් හෙබි ස්වාමි දියණිය තරම් ස්වාමියාට උසස් මිතුරකු ද නැති බව පෙන්වා දී ඇත. නුවණැති සිල්වත් නැදිමයිලන් පුදන පතිවත රකින කත ඉතා ශ්‍රේෂ්ඨ බවත් ඈ රජුන් වැන්නන් බිහිකරන්නියක් බව දක්වමින් ස්වාමි භක්තිය ඇති කාන්තාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රසාදයට පත්වූ බව කෝසල සංයුත්තයෙන් පැහැදිලි වේ.
අංගුත්තර නිකායේ සංවාද සූත්‍රයේ දී ස්ත්‍රී පුරුෂ යුග පැවත්ම එක්තරා රූපක ක්‍රමයකට දක්වා ඇත. එනම්
1. මළ මිනිසෙක් මළ ස්ත්‍රියක් සමඟ වාසය කරයි.
2. මළ මිනියක් දෙව්දුවක් සමඟ වාසය කරයි.
3. දෙවියෙක් මළ ස්ත්‍රියක් සමඟ වෙසෙයි.
4.දෙවියෙක් දෙව්දුවක් සමඟ වාසය කරයි. යනුවෙනි.
පස්පව් දස අකුසලින් හා දූෂිත මෙන්ම සමාජ විරෝධි ක්‍රියාවන්හි නිරත පිරිස් මෙහිදී මළ මිනියකට බුදුරජාණන් වහන්සේ විසින් උපමා කර තිබේ. සිතිවිලි හා ක්‍රියාකාරිත්වයෙන් අංශ දෙකක යන දෙදෙනෙකුට එක්ව කටයුතු කිරීමේදි ප්‍රශ්න පැන නගින අතර එබඳු වූ ගති සිරිත් සාර්ථක පවුල් දිවියක් ගෙනයාමට බාධකාරි වේ. කුසලයට හා යහපතට නැඹුරු වු දිවිය දෙවියනට උපමා කරන බුදුරජාණන් වහන්සේ මෙම කොටස් හතරෙන් වඩාත් ප්‍රසංසාවට ලක් කර ඇත්තේ සිවුවන කොටසය. දෙවියෙක් හා දෙව්දුවක් එකට වෙසෙන කල එම දෙදෙනාගේ අදහස් සමානය. ක්‍රියාකාරිත්වය සමානය. සුචරිතවත්ය. එබැවින් එබඳු වූ විවාහ දිවියක් වඩාත් සාර්ථකය යන අදහස බුදුදහමින් අවධාරණය කෙරේ.
සාර්ථක යුග දිවියකට පදනම් වන වැදගත් කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකොට ඇත. එනම්.
1.සද්ධා
2. සීල
3.චාග
4. පඤ්ඤා
යනු එම ගුණාංග හතරය. සද්ධා යනු ඔවුනොවුන් දෙදෙනා අතර ඇති විශ්වාසය හෙවත් භාවමය හැඟීමයි. සීල යනු චරිත සංවර්ධනය හෙවත් සංයත බවයි . චාග යනු පරානුකම්පාව හෙවත් ත්‍යාගශීලි බවයි. පඤ්ඤා යනු යමක් නිසි පරිදි අවබෝධ කොට ගැනීමට ඇති නුවණයි. විවාහක අඹුසැමියන් දෙදෙනා අතර මෙම ගුණාංග දියුණු කර ගැනීමට කටයුතු කරන්නේ නම් එම යුගදිවිය අර්ථාන්විතව හා සැපවත් කර ගත හැකි මෙන්ම අන්‍යෝන්‍ය අවබෝධය දියුණු කර ගනිමින් විවාහයක් තුළින් අපේක්ෂිත අරමුණු නිසි පරිදි ඉටු කොට ගැනීමටද හැකිවේ.
විවාහය යනු ස්වාමියා හා භාර්යාව අන්‍යෝන්‍ය ගෞරවය හා පේ‍්‍රමය පදනම් කොට ගෙන යන චර්යා මාර්ගයක් මිස ප්‍රමුඛත්වය අරඹයා කරනු ලබන තරඟයක් නොවන බව පැහැදිලිවම බෞද්ධ සදූපදේශවලින් හෙළිදරව් වේ. සිඟාලෝවාද සූත්‍රය මෙබදු, උපදේශනවලින් සමන්විත සූත්‍ර ධර්මයක් වේ. සිඟාලෝවාද සූත්‍රයේ දී අඹුසැමියන් වශයෙන් එකිනෙකා වෙත ඉටු කළ යුතු යුතුකම් කවරේද යන්න පැහැදිලිව පෙන්වා දී ඇත. ස්වාමියාගෙන් බිරිඳ වෙත ඉටු විය යුතු යුතුකම් පහක් මෙන්ම බිරිඳගෙන් ස්වාමියා වෙත ඉටු විය යුතු යුතුකම් පහක් පෙන්වා ඇත. එනම්
1.ගරු සම්මාන දැක්වීම
2.බිරිඳට අවමන් නොකිරීමෙන්,
3.අනාචාරයේ නොහැසිරීම
4. යස ඉසුරු පවරාදීම.
5. අලංකාර වස්ත්‍රාභරණ අවශ්‍යතා ඉටුකිරීම යනුවෙනි.
ඉහත සඳහන් යුතුකම් ලබන පතිනිය විසින් සිය ස්වාමියා කරුණුූ පහකින් සංග්‍රහ කළ යුතු වේ.
එනම්
1. මනාව සංවිධානය කරන ලද කටයුතු ඇත්තියක් වීම
2. සැමියාගේ පිරිසට මනාව සංග්‍රහ කරන්නියක් වීම.
3.අනාචාරයේ නොහැසිරීම,
4. සැමියා උපයන දේ මනාව ආරක්ෂා කිරීම
5. සියලු කටයුතුවල දක්ෂව හා අනලස්ව යෙදීමෙන් සංග්‍රහ කළ යුතුවීම. යන කරුණු පසින් සිය ස්වාමියා වෙත යම් භාර්යාවක් උපස්ථාන කරන්නේ වී නම් සිය ස්වාමියාගේ ආදරය, කරුණාව තමා වෙත නිරතුරුවම දිනාගන්නියක් විය හැකි බව මෙහිදී අවධාරණය කෙරේ. එමෙන්ම ගෘහයක වැඩි වගකීමක් ස්වාමි දියණිය වෙත නිරායාසයෙන්ම පැවැරී ඇත. එබැවින් ඇයගේ කාර්යයන් කෙසේ සකස් විය යුතුව තිබේද? යන්න පිළිබඳව ද බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ කුමාරිකෝවාද සූත්‍රයේ දී දේශනා කොට ඇත.
සැකය පසෙකලා විශ්වසනීයත්වය ගොඩනඟා ගෙන යහපත් ගතිවලින් යුතුව එකිනෙකා කෙරෙහි ආදර ගෞරව සම්ප්‍රයුක්තව වෙසේ නම් එම යුගදිවිය ඉතා සැනසිලිදායකය. අර්ථාන්විතය. සමජීවි වැනි සූත්‍රවලදී මහලු විය දක්වා සමඟියෙන් වෙසෙන අඹුසැමියන් බුදුරදුන්ගේ ප්‍රසංසාවට ලක්ව ඇත. චරිතයෙන් පිරිහුණ පිරිමියකු හෝ ගැහැනියකගේ නායකත්වය ඇති නිවසක හෝ ආයතනයක ආර්ථික වශයෙන් පරිහානියක් ඇතිවීම එක් හේතුවක් ලෙස බුදුරජාණන් වහන්සේ කුල සූත්‍රයේ දී පෙන්වති. අයථා දෑ සඳහා මුදල් යෙදවීම මත මූල්‍ය කළමනාකරණය බිඳවැටෙන අතර ඒ තුළින් මතුවන කලහාකාරිත්වය යුග දිවිය නිසි පරිදි පවත්වා ගැනීමට බාධාවක් බව මින් ගම්‍ය කෙරේ.
කායික හා මානසික හා වයස් පරතරය අතින්ද නොගැළපෙන පුද්ගලයන් අතර විවාහය පුද්ගල පිරිහිමේ එක් මඟක් සේ බුදුරජාණන් වහන්සේ පරාභව සුත්‍රයේ දී පෙන්වා ඇත. වෘද්ධත්වයට පත් පුද්ගලයකු නව යෞවනියක් විවාහ කර ගැනීම (තස්සා ඉස්සා න සුපති – තං පරාභවතො මුඛං) මෙහි නොගැලපීම යනු එම කාන්තාව කෙරෙහි නිරතුරුව වෘද්ධයා සැකයෙන් සිටින අතරම කාන්තාව වෘද්ධයා කෙරෙහි ද්වේශයෙන් වෙසෙයි. එබැවින් දෙදෙනා අතර ගැටුමකට එම ක්‍රියාදාමය යොමුවන අතර පරිහානිය ද එසමඟම ඔවුන් වෙත ලඟාවීම නොවැළැක්විය හැකිය. වෙස්සන්තර ජාතකයේ ජූජක බමුණා ද මුහුණ දෙනුයේ මෙබඳු වූ ඛේදවාචකයකටය. එමෙන්ම අන්ධභූත ජාතකය ද මෙබඳු වූ කථා පුවතක් ගෙන හැර දක්වයි.
සංයුත්ත නිකායේ සක්ක සංයුත්තයේ දී එසේ ආචාරශීලිව සුචරිතවත් අඹු සැමියනට සක් දෙව් පවා ප්‍රශංසා කළ බව දැක්වේ. ධාර්මික නිරවුල් හා චරිතමත් යුගදිවියක් ගත කරන අඹුසැමියන් සමාජයේ ගෞරවයට හා පුජනීයත්වයට පත්වන අතර ඔවුන් ඇති කරන සමාජය සදාචාරාත්මක වන බව නොකිව මනාය. එමෙන්ම ලිංගිකත්වයට පමණක් විවාහ සබඳතාව සීමාකර ගනිමින් අනෙකුත් සදාචාරාත්මක රාමුවෙන් බැහැරවන සෑම යුග දිවියක්ම නිමාවනුයේ අඳුරින් බවද වත්මන් සමාජ දෙස අවධානය යොමු කරන විට පෙනීයයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ඉතිහාස අධ්‍යයන අංශයේ
මහාචාර්ය
හඟුරන්කෙත ධීරානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ බිනර අව අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ සැප්තැම්බර් 23 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment