කුල යන පාලි වචනයේ සිංහල තේරුම ගෘහය යන අදහසයි. ගෘහ ය, ගෙය නිවස යන වචන එක සමාන වගේ දක්නට ලැබුණාට එහි කුඩා කුඩා වෙනස්කමි තිබෙනවා. ගෘහණිය යන වචනයට දරුවෙකුගේ අර්ථයෙන් අම්මා යන අදහස ද, තරුණ ස්වාමිපුරුෂයෙකුගේ අර්ථයට අනුව බිරිඳක යන අර්ථයෙන්ද අර්ථගැන්වෙයි. ඇය ගෘහයට අධිපති තැනැත්තියයි.ගෘහපති යනු ගෙදර සිටින ප්‍රධානියායි. පියා හෝ පියෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයායි.
කුලය
එම දෙදෙනා ගෘහණිය සහ ගෘහපති යනුවෙන් හඳුන්වන අතර ගැහැනු දරුවෙකු විවාහ වුවාට පසු තමා දිගු කාලයක් සිටි නිවසින් පිටත්ව තම සැමියාගේ නිවස වෙත යාම පති කුලයට යාම ලෙස හඳුන්වයි. ගෘහයට පැමිණි එම දෙදෙනා එක කුලයක් ලෙස කුල සූත්‍රය තුළ හඳුන්වා දෙයි.ගෘහය, නිවස යන අදහස කුලය යන අර්ථය තුළ ඇතුළත් වෙයි.
නිවසක සිටින සැමියා සහ බිරිඳ එක්කාසු වූ විට එය එක කුලයක් වෙයි.ගෙදර සිටින සැමියයි බිරිඳයි එම ගෙදර දියුණු කරගෙන ජීවත් වන්නේ කෙසේද? යන කාරණා කුල සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. පළමුව සැමියා සහ බිරිඳ වුවත් , ගෘහණිය සහ ගෘහපති වුවත් පසුකාලීනව දරුවන් ලැබුණ පසු එය පවුලක් ලෙස හඳුන්වන අතර එය පවුල් ඒකකයක් වෙයි. සමාජයට යහපත් පුද්ගලයෙකු දායාද කරන පළමු ස්ථානය පවුලයි. පුතා සහ දුව හදා වඩා පාසලට බාරදෙන පළමු ස්ථානය නිවසයි. එම ගෘහයේ දියුණුව සහ පිරිහීම පිණිස පවතින කාරණා කිහිපයක් බුදුරජාණන් වහන්සේ පැහැදිළිව වදාරා තිබෙනවා.
තමන්ගේ නිවස ජයග්‍රහණයේ මාවත සඳහා මෙහෙයවීමට අවශ්‍ය වන කාරණා හතරක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරා ඇති බව බණ පොත තුළ සඳහන් වෙනවා. කුලයට යාමට බලාපොරොත්තු වන පිරිසගේ දියුණුව ඇතිකර ගැනීම සඳහාත්, කුලයට ඇතුළත් වී සිටින පිරිසගේ වැඩි දියුණුව සඳහාත් මෙම කාරණා පිළිබඳව අවබෝධයක් ලබාගැනීම වැදගත් වෙනවා.
ගෙදරක වැඩ කටයුතු කරන අවස්ථා තුළ යමි යමි බඩු බාහිරාදිය කැඩී බිඳී විනාශ වෙන අවස්ථා තිබෙනවා. ඇතැමි විට තමා ගත් බඩු බාහිරාදිය ගත් ස්ථානයෙන් තැබීමට ඇතැමි පුද්ගලයන්ට අමතක වීම නිසා එය නැතිව යනවා. නැතහොත් එළියට දැමූ බඩු බාහිරාදිය නිවස තුළට නොගැනීම නිසා එය එම ස්ථානයේම විනාශ වෙලා යනවා. අප ජීවත්වන නිවස තුළ පවතින ඇතැමි බඩු බාහිරාදිය විනාශ වෙලා යනවා. එම බඩු නැතිවීමට පෙර සොයා බැලිය යුතුයි.භෞතික කාරණාවන්ට අමතරව භෞතික නොවන කාරණා පිළිබඳව ද සොයා බැලිය යුතුයි. සැමියා සහ බිරිඳ අතර ඇතිවන අමනාපකමි පිළිබඳව විවාහ වන දිනයට මංගල පෝරුව තුළ සිටින ආකාරයටම ජීවිතය සොඳුරු නැතිවෙන්න පුළුවන්. සැමියා බිරිඳ අතර අමනාපකමි ඇතිවන අවස්ථා ඕනෑතරමි තිබෙනවා.එවැනි සිත් රිදවීම් අමනාපකමි පසුව හෝ අඩුම වශයෙන් සතියකට වතාවක්වත් දෙදෙනා අතින් සිදුවුණ අත්වැරදීම්, කටවැරදීම් , තමන්ගෙන් සිදුවුණ අඩුපාඩු දෙදෙනාම විසින් සාකච්ජා කළ යුතුයි.ඇතැමි විට තමන්ගෙන් සිදුවුණ අඩුපාඩු තමන් දන්නේත් නැතිවෙන අවස්ථා තිබෙනවා.ගෙදර දොර සුද්ද පවිත්‍ර කරන කටයුතු වගේම මනස තුළ තිබෙන කැළි කසළ සුද්ද පවිත්‍ර කරගැනීම සඳහා සාකච්ජා කළ යුතුයි.එවැනි කාරණා කුමන හේතුවක් නිසා සිදුවුණාද? එය එසේ සිදුනොවිය යුතුව තිබුණා නේද? නැවතත් එවැනි කාරණා සිදුනොවන ආකාරයෙන් කටයුතු කළ යුතුයි නේද?යමි සිදුවීමක් සිදුවෙලා තිබෙනවා නමි, එය සිදුවෙලා අවසන් නිසා එය නැවත ආපස්සට ඇදිය නොහැකියි.අනාගතය තුළ එවැනි කාරණා සිදුනොවන්න වගබලාගත හැකියි. දියුණුවන අඹුසැමි දෙදෙනෙක් නමි,දියුණුවීමට බලාපොරොත්තු වන අඹුසැමි දෙදෙනෙක් නමි, එම දෙදෙනාගේ දියුණුව පිණිස නැතිවුණ දේ සෙවිය යුතුයි. නැතිවුණ දේවල් යනුවෙන් සඳහන් කරන්නේ එතුවක් කාලයක් තිබුණ දේවල් පිළිබඳවයිි.තමන් නොලැබූ නොදන්නා කාරණා පිළිබඳව එය තුළ සඳහන් වන්නේ නැහැ.තමන් හොඳින් දන්නා හඳුනන නිවස තුළ තිබුණ බඩු බාහිරාදියයි. නිවස තුළ තිබුණ සතුට සමඟිය බඩු බාහිරාදිය වැනි කාරණා පිළිබඳවයි.
ගෙදරක තිබුණ බඩු බාහිරාදිය ඒ ඒ කාලය තුළ නොසෙවිවහොත් පසුකාලීනව එය අමතක වෙලා යනවා.ඇතැමි පුද්ගලයන් වැඩි ආරක්ෂාව සඳහා බඩු විශේෂ ස්ථානවල තබනවා. වැඩි ආරක්ෂාව සඳහා නුපුරුදු ස්ථානයක තැබීම නිසාම එවැනි දේ සිදුවන නිසා යමක් තබන විට තමාට හුරු පුරුදු ස්ථානයක තැබීමෙන් ගැටළු ඇතිවෙන්නේ නැහැ.තමා හිස පීරණ පනාව තමා තබා තිබෙන පුරුදු ස්ථානයේම තබනවා මිස කලබලයට වෙනත් ස්ථානයක තැබුව හොත් එයට පසුව එය අමතක වෙලා යනවා.ගෙදරක ජිවත්වන නිවැසියන් අත්‍යවශ්‍යයෙන්ම සිහිකල්පනාව ඇතිකරගෙන ජීවත් විය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. නැතිවුණ දේවල් සොයන්නෙ නැති වනවිට එම දේවල් නැත්තටම නැතිව යනවා මිස එම පවුලේ දියුණුවක් ඇතිවන්නේ නැහැ. නැති වුණ දේවල් පිළිබඳව සොයමින් විමසන විට ඉදිකටුව වැනි කුඩා දෙයක් වුවත් එය පිළිබඳව සොයා නොබැලුවහොත් එය පිළිබඳව විශාල ඇබැද්දියක් සිදුවෙනවා.කුඩා දෙයක් වුවත් ගණනකට නොගෙන සොයා නොබලා සිටීමෙන් එය අවශ්‍ය වූවිට නැවත සොයාබලන විට එය තිබුණ තැනින් නැතිවෙලාත් අවසානයි. එම අවස්ථා තුළ ඇතිවන කේන්තිය යාම නිසා කට ඇරෙනවා. කේන්තියෙන් කතා කරන විට පිටවන වචනත් එතරමි යහපත් නොවෙන්න පුළුවන්.එම වචන අසාගෙන සිටි තැනැත්තා සහ තැනැත්තිය තුළ ද ඇතිවන කේන්තිය නිසා ඇය හෝ ඔහුත් කේන්තියකින් යුතුව වචන පිටකිරීමට පටන් ගැනීම නිසාම නැතිවුණ දේ සොයනවා වෙනුවට මෙම දෙදෙනා තුළ රණ්ඩු සරුවල් ඇති කරගනී. එය තුළ වෙන ප්‍රශ්නයක් ඇතිවීමට පටන් ගනී. නැතිවුණ දේවල් නොසෙවීම පවුලක පිරිහීමට හේතුවන බවත් නැතිවුණ දේවල් පිළිබඳව සොයා බැලීම දියුණුයවට හේතුවන බවත් බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.
ප්‍රතිසංස්කරණය
දිරාගිය විනාශවී ගිය දේවල් නැවත ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ඇඳුමක බොත්තමක් ගැලවිලා ගිය විට සම්පූර්ණ ඇඳුම ඉවත නොදමා බොත්තම අල්වාගෙන එය පරිහරණය කළ යුතුයි. වැස්සට තෙමුන නිසා ගෙදරක පිටුපස දොර දිරායාමට පටන් ගෙන ඇත්නම්, දොරම දිරා විනාශ වී යාමට පෙර එහි අඩුපාඩුව සකස්කර ගත යුතුයි. නාන කාමරයක හෝ මුළුතැන්ගෙය තුළ යම් යම් ගැටළු නිසා දිරායාමට පටන් ගෙන ඇත්නම්, එය දිරා ගොස් කැඩීබිඳී යාමට ආසන්න වෙන තෙක් නොසිට එම ස්ථාන හැකි ඉක්මනින් විනාශ වීමට පෙර පිළිසකර කරගත යුතුයි. එම අඩුපාඩුව දැකපු විගස සාදා ගැනීමට උත්සාහ කරනවා මිස එය තවත් දිනකට කල් නොදැමිය යුතුයි.ඇතැම් නිවෙස්වල කූඹි සිටීම විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. කූඹ් ගෙදරට එන්නේ ගෙදර තුළ තිබෙන අපිරිසුදුකම නිසා මිස භූත පෙරේත දෝෂ නිසා නොවෙයි.භූත පෙරේත දෝෂ නිසා කූඹි නිවසට පැමිණෙන බව ඇතැමි පිරිස් සිතාගෙන සිටියත්, කූඹි එන්නේ ගෙදර තුළ පවතින අපිරිසුදුකම නිසයි.ගෙදර තුළ තිබෙන මුළු අපිරිසුදු වූවිට , ඇතැමි පිරිස් ගෙයි බිත්තිවල පිට කසාගන්නවා,තවත් පිරිස් බිත්තිවල තැනින් තැන ඔළුව තබන නිසා එම ස්ථානවල ඔළුවේ තිබෙන කුණු ගෑවිලා සැම තැනම කුණු පැල්ලම් දක්නට ලැබෙනවා.එවැනි ස්ථාන ප්‍රතිසංස්කරණය කරමින් නැවත සැදිය යුතුයි. ගෙදර ඇතිවන අඩුපාඩු කුඩා කුඩා පටන් ගැනීමෙන්ම හදාගත් විට යන වියදම අඩුවෙනවා.වහළය තුළ කොළ පිරිල පවතිනවා නමි නැවත පීලි දැමීමක් අවශ්‍ය නැහැ. එම කොළ රොඩු ඉ වත් කළ යුතුයි. පීලි දිරීමට පටන් ගතහොත් පසුකාලීනව විශාල වියදමක් ඒ සඳහා වියදමි කරන්න සිදුවෙනවා.තමාට ලැබෙන ආදායම අරපිරිමැස්මකින් යුතුව ජිවත් වන ආකාරය පිළිබඳව බුදුරජාණන් වහස්සේ දේශනා කර ඇත.
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකයේ අධ්‍යක්ෂක
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සරූ හිමි
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකයේ අධ්‍යක්ෂක
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සරූ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ඔක්තෝබර් 15 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment