Labels

Sunday, October 9, 2016

නාම රූපය අවබෝධ කරගත්තොත් විඤ්ඤාණය නිරුද්ධ වේ

නාම රූප ධර්ම පිළිබඳව තවදුරටත් පැහැදිලි කර ගනිමු. අර මුලින් කිව්ව විඤ්ඤාණය ඊට කලින් මතක්කරන්න වෙනවා මේ විඤ්ඤාණ – නාමරූප දෙක කියනකොට ඇයි අවිද්‍යාව, සංස්කාර ගැන සිතුවේ නැත්තේ කියලා කෙනෙක් අහන්න පුළුවන්.
මේ ඔක්කොම කෙරෙන්නේ අවිද්‍යා පසුබිමේ නොදැනීම නිසා. අර සුනඛයාගේ නොදැනීම නිසා අර විධියට ග්‍රහණය කරලා නැට්ට වන වනා හිිටියා වගේ.
මේ සක්කායදිට්ඨියෙන් බැඳුනු පුද්ගලයා තුළ - ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනාකරලා තියෙන්නේ ‘අවිජ්ජා නීවරණස්ස භික්ඛවේ බාලස්ස තණ්හාය සම්පයුත්තස්ස එවං අයං කායො සමුදාගතො’ අවිද්‍යාවෙන් වැසුණා වූ තණ්හාවෙන් බැඳුනාවූ මේ අශ්‍රැතවත් පෘථග්ජනයාට මේ කය ලැබිලා තියෙනවා. ‘ඉති අයං වෙව කායො බහිද්ධාව නාමරූපං’ මේ කයයි නාමරූපයයි ‘ඉත්ථෙතං ද්වයං’ මෙන්න මේ දෙක නිසා ස්පර්ශයත් සළායතනයත් ඇතිවෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ කිව්වේ මොකක් ද? අවිද්‍යාවෙන් වැසිලා තණ්හාවෙන් බැඳිලා ඉන්න මේ සත්ත්වයාට මේ කයක් ලැබිලා තියෙනවා. මේ කයේ අර විඤ්ඤාණය මතුවෙනවා. ස්පර්ශ, අර කියාපු ප්‍රත්‍යයන් ආපු හැටියේ. ඊළඟට ඒ එක්කම අර නාමරූපය විහිදිලා යනවා ආයතන හයක් හැටියට. ඒ ආයතන හය තමයි අප කිව්වේ දැන් මේ පින්වතුන් ඉන්ද්‍රිය හැටියට හඳුන්වන ඒවා ආයතන වෙන්නේ ක්‍රියාකාරිත්වයක් ඇති තැනයි.

ක්‍රියාකාරිත්වයක් ඇති තැනටයි ආයතනය කියලා කියන්නේ. ඉන්ද්‍රිය තියෙනවා ඇහැ තියෙනවා පෙනෙන්නෙ නැහැ. කන තියෙනවා ඇහෙන්නේ නැහැ. නමුත් අන්න අර ප්‍රත්‍යය ඇවිල්ලා කි‍්‍රයාත්මක වුණ වෙලාවයි අප ආයතන කියලා කියන්නේ. මේ චක්ඛු ඉන්ද්‍රිය තිබුණට චක්ඛු ආයතනය නැහැ. ආයතනය ඇති වෙන්නේ හේතු ප්‍රත්‍යයන් එක්ක සම්බන්ධ වුණ තැනයි. ගිනි පෙට්ටියේ ගිනිකූර වැදුන තැනයි ගින්දර පැන නගින්නේ. අන්න සිතාගන්න නොතේරෙනවා නම් අන්න සළායතනයට බෙදිලා යනවා නාමරූපය. එතකොට විඤ්ඤාණය කියන මායාව තුළ අර නාමරූපය විහිදිලා යනවා.

මේ ශරීරය අතීතයේ බදාගත්තු තණ්හාව නිසා අපට දකින්න ඕනෑ. අහන්න ඕනෑ, රස බලන්න ඕනෑ. විඳින්න ඕනෑ. ඒ නොසන්සිඳුනු තණ්හාව නිසා අර අශ්‍රැතවත් පෘථග්ජනයාට මේ කය ලැබිලා තියෙනවා. මේ කයට ඔන්න නාමරූපය එකතු වෙනවා. ඒ නාමරූපය ඊළඟට ඒක තුළින් සළායතනය ගොඩනැගෙනවා. ඉතින් පටිච්චසමුප්පාදයට නංවලා යනවා. සළායතන නිසා ඵස්ස ඵස්ස පච්චයා වේදනා’ වේදනාව නිසා තණ්හාව තණ්හාව නිසා උපාදානය අන්තිමට උපාදන ස්කන්ධ පහක් ගොඩනැගෙනවා. ඒකයි අප කිව්වේ මේ අවස්ථාව ගැන සිතලා බලන කොට ආපසු මේකට අදාළ මගේ මේ ජීවිතයේ මේ අවස්ථාව අද දින මේ මොහොත ගතවුණා කියලා කියන්න පුළුවන් වන්නේ මේ මේ රූපයක් ඒ අවස්ථාවේ තිබුණා. මේ වගේ වේදනාවක් මේ වගේ සංඥාවක් ඔය ඔක්කොම බේරිලා යනවා අන්තිමට තැන්පත් වෙනවා පංචඋපාදානස්කන්ධයක් හැටියට.

නමුත් මෙන්න මේක හැදෙන්නේ කොහොමද? කියන එකත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක මහා ගැඹුරු දේශනාවක්. මහා සළායතනනික නමින් ඇති ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා මේ පංචඋපාදානස්කන්ධය ගොඩනැගෙන හැටිත් මේක ලිහිලායන හැටිත්, ගෙවිලා යන හැටිත්. ඒකට යොදන වචන දෙක “උපවය – අපවය’ උපවය කියලා කියන්නේ එක් රැස්වීම. අපවය කියලා කියන්නේ ගෙවීයාම. එතකොට පංචඋපාදාන ස්කන්ධයක් ගෙවිලා යන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ඒ සූත්‍රයේ ‘යථාභූත ඤාණ’ කියන වචනයෙන්. යථාභූතඤාණය කියල කියන්නේ. ඇත්ත ඇති සැටි පිළිබඳ අවබෝධය. දැන් අප තේරුම් ගත්තා යථාභූතඤාණය කියල කියන්නේ අනිත්‍යතාවටයි. අනිත්‍යතා දර්ශනයටයි, යථාභූතඤාණය කියලා කියන්නේ ඇත්ත ඇති හැටියට දැකීම කියන්නේ අනිත්‍යතා දර්ශනයයි. ඒකමයි අර විධියේ උපමා බුදුරජාණන් වහන්සේ දුන්නේ. එතකොට දැන් මෙතැනදී බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා යම් කෙනෙක් මේ පංචඋපාදානස්කන්ධය ගොඩනඟා ගන්නේ කොහොමද කියලා දක්වන්නේ අර සළායතනය ක්‍රියාත්මකවීමේ දී මේ පින්වතුන් දන්නවා ඒකට අදාළ දේවල් තමා ඇස, රූපය, ඊළඟට ඇස පිළිබඳ විඤ්ඤාණය, ඊළඟට ඒ ඇසත් රූපයත් විඤ්ඤාණයත් එකතුවුණ තැන ස්පර්ශය, ඊළඟට ස්පර්ශය නිසා වේදයිතයන් එනවා. ඔන්න ඔය කියන කාරණා හැම එකක් ම යථාභූත වශයෙන් ඒවායේ අනිත්‍ය ස්වභාවය නොදන්නා නිසා කෙනෙකුට උපාදාන ස්කන්ධයක් ගොඩනැගෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මොහොතක් මොහොතක් පාසා මේක පිළිබඳ අනිත්‍යතාව ගැන අවබෝධයෙන් සිටින කෙනාට ඒවා එකතු වන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය ගෙවී යාමට උපකාර වෙනවා එතකොට අනිත්‍යතා දර්ශනය, අනිත්‍යතා දර්ශනය, යථාභූත දර්ශනය නොමැතිව මමය, මාගේ ය කියලා නිත්‍ය සංඥාවෙන් ග්‍රහණය කරන අවස්ථාවේ අන්න පංචඋපාදානස්කන්ධයක් ගොඩනැගෙනවා. නිරන්තරයෙන් අනිත්‍ය සංඥාව ඇතිව ඉන්නකොට අරවා එතන එතනම ඉවරයි. එතන එතනම ඉවරයි. ඒවා ගොඩනැගෙන්නේ එකතු වෙන්නේ නැහැ. ඒකයි එතන ප්‍රකාශ කරන්නේ.

ඔන්න ඊළඟට ඒ කාරණය වඩාත් පැහැදිලි වන ගැඹුරුම සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය ‘අනිච්චතා සූත්‍රය’ නමින් හඳුන්වනවා. මහ පුදුම විධියට බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍ර දේශනාව කරන්නේ. ඇතැම් කෙනෙකුට ඒක අහනකොට පවා අනිත්‍යතා කියන සමාධියට වැටෙන බව තේරෙනව. ‘මහණෙනි, ඇස අනිත්‍යයි වෙනස්වන සුළුයි. අන්‍යාකාරයකට පත්වන සුළුයි. රූපය අනිත්‍යයි, වෙනස්වන සුළුයි. අන්‍යාකාරයකට පත්වන සුළුයි. ඊළඟට මෙන්න මේ දෙකම ඒ විධියට අනිත්‍යයි. ඊළඟට ඒවා නිසා ඇතිවන චක්ඛු විඤ්ඤාණය. එතකොට ඇසත් රූපයත් එකතුවුන තැන යම් චක්ඛු විඤ්ඤාණයක් ඇතිවනවා ද ඒකත් අනිත්‍යයි. අන්‍යාකාරයකට පත්වනවා. වෙනස්වන සුළුයි. ඊළඟට ඒවා නිසා ඇතිවන චක්ඛු විඤ්ඤාණය. එතකොට ඇසත් රූපයත් එකතුවුන තැන යම් චක්ඛු විඤ්ඤාණයක් ඇතිවනවා ද ඒකත් අනිත්‍යයි. අන්‍යාකාරයකට පත්වනවා. වෙනස්වන සුළුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට දේශනා කරනවා යම් හේතුවක් ප්‍රත්‍යයක් නිසා විඤ්ඤාණය ඇතිවුණ ද ඒ හේතු ප්‍රත්‍යය අනිත්‍යයි. එතකොට කොහොමද විඤ්ඤාණය නිත්‍ය වන්නේ? යමක් හටගත්තු හේතු ප්‍රත්‍ය අනිත්‍ය නම් විඤ්ඤාණය නිත්‍යවන්නේ කොහොමද? එහෙම අහන්නේ මොකද? විඤ්ඤාණය නිත්‍යයි කියලා ගන්න නිසා. එතකොට ඇසත් අනිත්‍යයි ඒ කියන්නේ නිතරම සැලෙන සුළුයි. නිරන්තරයෙන් බිඳිලා යන සුළුයි. රූපයනුත් එහෙමයි. නමුත් ඒවා එකතු වුණු තැන අප විඤ්ඤාණය කියලා අල්ල ගන්නවා නිත්‍ය හැටියට. චක්ඛු විඤ්ඤාණය කියලා එහෙම. එතකොට යම් කෙනෙක් ඇහේ අනිත්‍යතාව එතන එතනම දකිනවා නම් රූපයන්ගේ අනිත්‍යතාව එතන එතනම දකින තත්ත්වයකට අපේ සිත පත්කර ගත්තොත් ප්‍රඥාවෙන්, එතන විඤ්ඤාණයක් නැහැ. විඤ්ඤාණය කොහොමද නිත්‍ය වෙන්නේ?ඊළඟට ඒ තුන එකතුවුණ තැන ස්පර්ශයයි කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනව. නමුත් ඒ චක්ඛු සම්ඵස්සයත් අනිත්‍යයි කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනව. සැලෙනවා නිරන්තරයෙන් වෙනස් වෙනවා. එතකොට අහනවා ඊළඟට යම් හේතුන් නිසා ස්පර්ශය ඇති වුණා නම් ඒ හේතු ප්‍රත්‍ය අනිත්‍ය නම් කොහොමද ප්‍රතිඵලය – ඒකෙන් මතුවන චක්ඛු සම්ඵස්සය නිත්‍ය වෙන්නේ. ඊළඟට චක්ඛු සම්ඵස්සය නිසයි වේදයිතය ඇතිවන්නේ. ඒකත් අනිත්‍යයි. වෙනස්වන සුළුයි. ඒකත් සැලෙන සුළුයි. නමුත් ලෝකයා ඒ වේදයිතයත් වේදනාවත් නිත්‍ය හැටියට සලකනවා. ඔන්න ඔය විධියට පියවරෙන් පියවරට බුදුරජාණන් වහන්සේ ඒත්තු ගන්වන්න උත්සාහ කරනවා මේ සළායතනයේ - නිෂ්පාදනාගාරයේ - හැම පියවරක් ම සැලෙන සුළුයි වෙනස්වන සුළුයි.

වෙනස් ආකාරයකට පත්වන සුළුයි. නමුත් අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු පුද්ගලයා ඒ අනිත්‍යතාව දකින්න අසමත්ව නිත්‍ය සංඥාවෙන් ඝන සංඥාවෙන් ඒවා ග්‍රහණය කරනවා.

අන්න ඒක තමා අර විදර්ශකයා පිළිබඳව කියනකොට රාශි සංඥාව. මේ ඝනය බිඳෙන අවස්ථාවක් තිබෙනවා. ඒ බිඳෙන්න උපකාරවන්නේ නාමරූපය පිළිබඳ අවබෝධයයි. නාම රූපය පිළිබඳව අවබෝධයෙන්. දැන් අර සුනඛයා අර විධියට ඒදණ්ඩ උඩ ඉඳගෙන වල්ගය වන වනා ඉන්න අවස්ථාවේදී ටිකකටවත් සිතුවොත් මේ මගේ ම ඡායාවය කියලා ඒ වැඩේ නවත්තලා ඉවත්වෙලා යනවා නෙ. අන්න ඒ වගේ මේ නාමරූපය පිළිබඳ අවබෝධය ගැඹුරට යන්න යන්න එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනව නාමරූපය හරියට අවබෝධ කරගත්තොත් විඤ්ඤාණය එතනම නිරුද්ධ වෙනවා කියලා.


පැපිලියාන සුනේත්‍රා මහා දේවි පිරිවෙන් විද්‍යායතනයේ
විහාරාධිකාරී දර්ශනපති
පුස්සැල්ලයායේ චන්දිම හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ බිනර අව අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ සැප්තැම්බර් 23 වන සිකුරාදා දින   බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment