Labels

Thursday, October 27, 2016

පවාරණය වන චීවර පූජාව



සම්බුද්ධ ශාසනයෙහි උගන්වනු ලබන ආමිස පින්කම් අතර, අග්‍රගණ්‍ය වූ මහා පින්කම කඨින චීවර පූජාව ලෙස දුර අතීතයේ සිට බෞද්ධයන් විසින් ශ්‍රද්ධාවෙන් පිළිගත් කාරණාවක්. කඨික චීවර පූජාව තුළ ඉතාමත් වටිනා කුසල ප්‍රතිපදාවන් භික්ෂූන් වහන්සේට දියුණු කර ගන්න පුළුවන් මෙන්ම එය දායකයන්ටත් එකසේ වැදගත් පුණ්‍ය කර්මයක්. මෙහි ඉතිහාසය මෙන්ම එහි තිබෙන ප්‍රබලත්වය මේ සා විශාලව පවතින්නේ ඒ හා සම්බන්ධ විනයානුකූල කාරණා සහ ධර්මයට අනුගත වූ කාරණාත් මුල්කරගෙනයි.
මෙහි ඉතිහාසය දෙස බලන විට බුදුරජාණන් වහන්සේ කඨින චීවර පූජාව සම්පූර්ණයෙන්ම විනය කාරණාත් සමඟ සම්බන්ධවයි දේශනා කොට තිබෙන්නේ. ඒ ගැන කථා කිරීමේදී වස් ආරම්භය පිළිබඳවත් කථා කරන්න සිදුවෙනවා. එදා භාරතයේ තිබූ සමාජ වටපිටාව තුළත් දේශගුණික වටපිටාව තුළත්, ඇසළ පුර පසළොස්වක පොහොයෙන් ආරම්භ වී වප් පුර පසළොස්වක පොහොය දක්වා දිවෙන මේ කාලය වස්සාන සෘතුව ලෙස හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ සිට වසර විස්සක් වන කාලය තුළ භික්ෂූන් වහන්සේට විනය ශික්ෂාපද පැනවීමක් සිදුකර තිබුණේ නැහැ. මුල් කාලයේදී මේ ශාසනයට ඇතුළු වූ සියලුම කුල පුත්‍රයන් සංසාර දුකෙන් නිදහස් වීමේ පරම පවිත්‍ර චේතනාවෙන්ම මේ ශාසනයට ඇතුළු වූ නිසා ශාස්තෘන් වහන්සේට, සද්ධර්මයට හෝ ආර්ය මහා සංඝරත්නයට කැළලක් සිදුවන වරදක් සිදුවූයේ නැහැ. නමුත් කාලයාගේ ඇවෑමෙන් ලාභ සත්කාරවලට ගිජු වූ සමහර නොයෙක් දෙනා ශාසනයට ඇතුළු වූ නිසා ශාස්තෘන් වහන්සේට මෙන්ම සද්ධර්මයටත්,සංඝරත්නයටත් අගෞරව වන කටයුතු සිදුවුණා. ඒ වටපිටාව තුළයි බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාපද පැනවූයේ. මුල් අවුරුදු විස්ස තුළ ශික්ෂාපද පැනවීමක් නොවූ නිසාත්, වස්සාන කාලයේදී වර්ෂාව අධික කාලයක් නිසාත්, භික්ෂූන් වහන්සේ බොහෝ කරදරවලට මුහුණ දුන්නා. ඒ වගේම අන්‍ය ආගමිකයන්ගේ චෝදනාවලටත් ලක්වුණා. මේ වස්සාන කාලය තුළ සියලුම තවුසන් එක තැනක වාසය කරන කාලයේ ශ්‍රමණභවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ ඒ කුඩා සතුන් නිල් තණකොළ ආදිය පාගමින් චාරිකාවේ හැසිරෙනවා කියා චෝදනා කළා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දැනගත් පසුව භික්ෂූන් වහන්සේ රැස්කර ශාස්තෘන් වහන්සේ විනය ශික්ෂා පදයක් පැනවූ සේක. පෙර බුදුරජාණන් වහන්සේ යමින් “මහණෙනි ඔබලාට මේ වස්සාන කාලයේ එක තැනක සිට දහම් මාර්ගය දියුණු කර ගැනීමට අනුදැන වදාරමියි” වදාළ සේක. එය තවත් ආකාරයකින් “පෙර වස” මෙන්ම “පසු වස” කියාද හඳුන්වනු ලැබේ. පෙර වස ඇසළ පුර පසළොස්වක පොහොයෙන් ආරම්භ වුවත්, යම් භික්ෂුවකට එදින පෙර වස් සමාදන් වීමට නොහැකි වූවානම් ඒ භික්ෂුව පසුවස් සමාදන් වීමට නිකිණි පුර පසළොස්වක පෝය දිනට පසුදින වස් සමාදන් විය හැකි බව වදාළා. ඒ වස්සාන කාලය වප් පුර පසළොස්වක පොහොයෙන් අවසන් වේ. භික්ෂුන් වහන්සේ සීමා මාලකයක් තුළ මේ පවාරණ විනය කර්මය සිදුකරයි. ඒ පවාරණ විනය කර්මය සිදු කරන්නේ වස් ශික්ෂාපදය සමාදන් වී වැඩසිටි භික්ෂුන් වහන්සේ නැවත විසිරි යාමට පෙර තමන්ගේ සිතින්, කයින්, වචනයෙන් ශාස්තෘන් වහන්සේට සද්ධර්මයට හෝ සංඝයාට යම් වරදක් අවැඩක් සිදුවූවානම් ඒවා නිවැරැදි කර ඒ ස්ථානයෙන් පිටත්වී යාමයි.
ඒ අනුව බලනවිට ප්‍රධාන වශයෙන් දායක පින්වතුන් ආරාධනා කළත්, නොකළත් සියලුම භික්ෂුන් වහන්සේ වස් වසා වැඩසිටීම අනිවාර්ය කාරණාවක් වෙනවා. ඒ පෙර වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ නමක් වැඩ සිටින ස්ථානයක් මුල්කරගෙනයි කඨින පින්කමක් සිදු කළයුත්තේ. එසේ භික්ෂූන් වහන්සේ වස් වසා එය ආරක්ෂා කරනවා මෙන්ම සැදැහැවත් දායක පිරිස් උන්වහන්සේට වස් ආරාධනා කර සිව්පසයෙන් උපස්ථාන කර අප්‍රමාණ වූ පින් රැස්කර ගන්නවා.
ඒ නිසා මේ වස්සාන කාලයේ පිනට කුසලයට යොමුවෙනවා කියන්නේ අප වෙනදාටත් වඩා පිනෙන් පෝෂණය වීමත්, සීලය දියුණු කර ගැනීමත්, ධර්ම ඤාණය , මෙන්ම භාවනාව දියුණුකර ගැනීමට යොමුවීම වැදගත්. ඒ මාස තුන මුළුල්ලේ තමාගේ සිත කය, වචනය යන තිදොර සංවර කරගෙන අකුසලයන් දුරුකර කුසලයට අනුව ප්‍රතිපාදාවන් සමඟ ජීවත්වීම මේ කඨින මහා පින්කම් මේ සා ආනිසංශ වන්නේ.
සාකේතීය නුවර වස් වසා භික්ෂූන් වහන්සේ බොහෝ පිරිසක් සැවත්නුවර ජේතවනාරාමයට වැඩමවන අවස්ථාවේදී මේ අධික වර්ෂාව නිසා භික්ෂූන් බොහෝ පීඩාවන්ට පත් වී ඇති අයුරු දුටු බුදුරජාණන් වහන්සේ අමතර චීවරයක් අනුදැන වදාළ සේක. මහණෙනි, වස් සමාදන් වී පවාරණය වූ භික්ෂූන්ට කඨින චීවරය අනුදැන වදාරමි, කියා ඒ චීවරය අනුදැන වදාළ සේක. මේ කඨින චිවර පුජාව මේ සා ආනිශංස පූජාවක් ලෙස දුර අතීතයේ සිට පැවැතගෙන එනු ලබන්නේ. බෞද්ධයන් බොහෝ ශ්‍රද්ධාවෙන් වාර්ෂිකව මේ පින්කම සිදු කරනු ලබන්නේ එහි ආනිශංස පක්ෂය හොඳින් තේරුම් ගත් නිසායි.

එය උපමාවක් ලෙස මෙසේ සඳහන් වෙනවා. ඒකඝන දියමන්ති පර්වතය හෝ මහාපොළොව කම්පා කරවන්නට වෙනස් කරවන්නට සතරමහා දිග්භාගයෙන් හමන වාතයට පුළුවන්කමක් නැතිවා මෙන්ම මේ කඨින චීවර පූජාවෙන් ලැබෙන ආනිශංස පක්ෂය වෙන කිසිවෙකුගෙන් සොලවන්න, විනාශ කරවන්න පුළුවන්කමක් නැති බව සඳහන් වෙයි.




මහාවිහාර වංශික ස්‍යාමෝපාලි වනවාසී සංඝ සභාවේ 
කෑගලු දිසා අනුශාසක සහ 
මහරගම ශ්‍රී ජයතුංග යෝගාශ්‍රමයේ අනුශාසක
හැඳල දමිත හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ වප් අව අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ඔක්තෝබර් 22 වන සෙනසුරාදාදින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment