Labels

Wednesday, October 12, 2016

කීර්තිය ඇතිවීමේ හේතු මොනවාද?

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
උට්ඨානවතො සතිමතො
සුචිකම්මස්ස නිසම්ම කාරිනො
සඤ්ඤ තස්සච ධම්ම ජීවිනො
අප්පමත්තස්ස යසොභිවඩ්ඪති

“සුපින්වත්නි”


සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි. කුම්භ ඝෝෂක නම් සිටුපුත්‍රයාගේ ස්ථානෝචිත ප්‍රඥාව හා කාර්යශූරත්වය අරබයා මේ ගාථා ධර්මය දේශනාකොට වදාළ සේක.
එක් කලෙක මෙම රජගහනුවර සිටුපවුල අහිවාතක නම් දරුණු රෝගාබාධයකින් පීඩා විඳින්නට විය. දාසයන්, කම්කරුවන් මෙන්ම ගවයන්, සුනඛයන් පවා මරණයට පත්වූ අතර සිටුවරයා හා සිටුදේවිය මරණාසන්න ඇඳේ සිට තම පුතාට කතාකොට “පුතුනි” මේ රෝගය ඉතා දරුණුය. අපගේ ජීවිතයද ඉතා අවදානම්ය.
ඔබ මේ රෝග පීඩාවෙන් බේරෙන්නට නම් බිත්තියක් පලා පිටව ගොස් කොහේ හෝ පළාතක ජීවත්වන්න, අසවල් තැන හතළිස් කෙලක් ධනය නිදන්ගත කොට ඇත. යම් දිනෙක ඒවා උදුරාගෙන ජීවත් වෙන්න යයි කඳුළු පිරිදෙනෙතින් යුක්තව කීහ. සිටු පුතාද මරණ බියෙන් චලිතව දෙමව්පියන් වැඳ බිත්තියක් පලා පිටව ගොස් ඈත පර්වත ප්‍රදේශයක ජීවත්වන්නේ දොළොස් වසරක් ගත කළහ. යළි දිනෙක ගම් පළාතට අවුත් දෙමව්පියන් කී සටහන් අනුව නිධන්ගත ධනය බලා තිර වශයෙන් තියෙන බව දැනගෙන එහෙත් ඒවා දැන්ම නොගත යුතුය. මා දන්නා හඳුනන අයත් නෑදැයොත් නොමැත. එබැවින් පසු දිනෙක අවශ්‍යතා අනුව ධනය ගන්නෙමියි යන චේතනාවෙන් දැනට මම බැල මෙහෙවර කරමින් ජීවත් වන්නෙමියි සිතා රෙදිකඩක් ඇඳ භතක වීථියට ගොස් මටද රැකියාවක් දෙන්න යයි බැගෑපත්ව ඉල්ලීය. භකකයෝද, ඔබට සුදුසු රැකියාවක් ඇත. එනම් මිනිසුන් පහන්දොරම නැගිටුවා නියමිත රැකියාවලට යෙදවීමේ “ පබෝධන චෝදන කර්මයයී යයි යනුවෙන් කියා එය රාජකාරිය වශයෙන් පැවරුහ.

මෙසේ එම රැකියාව සඳහා නිවසක් ඇතුළු සියලු අවශ්‍යතාද වැටුපක්ද ලැබුණු අතර මොහු දිනපතා පහන්දොර නැගිට වීදි දිගේ ගොස් මහා ශබ්ද නගා ජනතාව පුබුදු කරවන්නේය. මේ නිසා ඔහුට “කුම්භඝෝෂක” යන නමද ආරූඪ විය. දිනක් මොහුගේ මෙම ශබ්ද අසා බිම්බිසාර රජතුමාද මොහු පිළිබඳව විමසා දැනගෙන මහාධනවතෙකු බව තීරණයට එළඹ චර පුරුෂයන්ගේ හා පරිචාරිකාවකගේ උපාය මාර්ගයෙන් රජ ගෙදරට ගෙන්වා ක්‍රමයෙන් ඔහුගේ ධනයද රාජාංගණයට එක් රැස් කරවා සතළිස් කෝටියක් ධනය වෙනත් කෙනෙකුට නැති බැවින් ඔහුට “මහාසෙට්ඨි” තනතුරුද පිරිනමා ස්ථාපිත කළහ. අනතුරුව මොහු බුදුරජාණන් වහන්සේ ළඟට කැඳවා ගෙන ගොස් මුල පටන් මොහුගේ ජීවන චාරිකාගමනය දැන්වූ පසු අප බුදුරජාණන් වහන්සේ මෙකී ගාථාධර්මය දේශනාකොට වදාළසේක. උත්සාහය, සිහිඇති බව, පවිත්‍ර කර්මය, පරීක්ෂාකාරි බව, සංවර බව, දැහැමි ජීවිතය, අප්‍රමාදය යන මෙම කරුණු හත ඇති තැනැත්තාගේ යසස වැඩෙන්නේය

උට්ඨාන වීර්ය – කෙනෙකුගේ කායික, මානසික උත්සාහය ලෞකික අපේක්ෂා සඵල කරගැනීමට මෙන්ම ලෝකෝත්තර සැප සම්පත් ලබාගැනීමටද අත්‍යාවශ්‍ය වන්නේය. උත්සාහයේ කාලවශයෙන් යෙදීම අනුව අවස්ථා තුනකි. ආරම්භ ධාතු නික්ඛමධාතු පරක්කමධාතු වශයෙන් දැක්වෙන අතර” යමක් කරන්නට ඕනෑ යනුවෙන් අදිටන් කරගැනීම ආරම්භ ධාතු නමින්ද එය කරන අවස්ථාව නික්කම නමින්ද ඉදිරියට කරගෙන යාම පරක්කම නමින්ද හැඳින්වෙන්නේය. දෛනික වශයෙන් ආහාරපාන ගැනීම, අධ්‍යාපන හා රැකී රක්ෂා ව්‍යාපාර කරණ කරවන අයට මෙන්ම දාන ශීල, බන භාවනාදීි විමුක්ති මාර්ගයෙහි නිරතවන අයටද මෙම ත්‍රිවිධ අවස්ථාවන්ට අයත් වීර්ය සාකල්‍ය වශයෙන්ම අවශ්‍ය වේ.

සතිය හෙවත් සිහිකල්පනාව වීර්ය සමීපයටම අවශ්‍යවන අතර එය ලබා ගැනීමෙහිලා සතර සතිපට්ඨාන භාවනාව නිතර වැඩිය යුතුය. විවිධ අරමුණුවල එල්ලෙන සිත එක් අරමුණක තබා ගැනීම සිහිය ලබා ගැනීමේ එකම මාර්ගයයි. විවිධ අරමුණුවල රැඳෙන සිතට චිත්තවිවේකයක් නැති අතර අරමුණෙන් අරමුණට සීඝ්‍රව මාරුවීමක් මිස සිතීමක් නොමැත. සිත වැඩූවිට ප්‍රඥාවද වැඩෙන්නේය. මෙසේ සති සම්පජඤ්ඤය සෑම කාර්යකටම අත්‍යාවශ්‍ය වන්නේය.
පුද්ගලයෙකුගේ පිරිසුදුකම බාහිර හා අභ්‍යන්තර වශයෙන් දෙඅකාරවන අතර බාහිර පවිත්‍රකම සීමා සහිත වන අතර අභ්‍යන්තර පවිත්‍රකමේ සීමාව ආශ්‍රව ක්ෂය කිරීමේ ඤාණයයි. එය ලබාගන්නා තුරු දැනුමේ ප්‍රමාණයට අවකාශයේ ප්‍රමාණයට පව් කාය,වාග්, මනෝකර්ම පවිත්‍ර විය යුත්තේය.

නිසම්ම කාරිනො – යම් කාර්යක් කිරීමට පෙර සුපරීක්ෂාකාරි වීම එම කාර්යෙන් උපරිමයෙන් ප්‍රයෝජන ලබාගැනීමට හැකිවන්නේය. කරණ කාර්ය ගැනද එයට හේතුවද, එමෙන්ම අවසන ප්‍රතිඵලයද සිතීම ප්‍රඥාගෝචර වන්නේය.
යං කත්වා නානුතප්පති ආදි නයින් අප බුදුරදුන් විසින් වදාළ පරිදි සැම පුද්ගලයෙකුටම බුද්ධි මට්ටමෙන් සිතා මතා ක්‍රියා කළ යුතුවේ. සිතීම, ආරම්භය, විශ්ලේෂණය , ක්‍රියාව යන සංසිද්ධි අවසාන ප්‍රතිඵලයේ ගුණාගුණ ලැබීමට ආසන්න කාරණා වන්නේය.
සඤ්ඤතස්ස – කායාදී තිදොර පිළිබඳ සංවර භාවයයි. එහි ප්‍රතිඵල වශයෙන් සංහිඳියාව ඇතිවන්නේය.
ධම්ම ජීවිනො – ගිහි ජීවිතය ගතකරන අයගේ ධාර්මික රැකීරක්ෂා ආත්මීය ආරක්ෂාවට මෙන්ම ජීවන වෘත්තියේ චිරකාලීන පැවැත්මට හේතුවන්නේය. දැහැමින් ,සෙමින් සිව්පසය පරිභෝගය පැවිදි ජීවිතයේ ධාර්මිකත්වයට මෙන්ම පැවිදි පරමාර්ථය සඵලවීමට හැකිවන්නේය.
අප්පමත්ත – විපිළිසර නොවීම හෙවත් අප්‍රමාදය මෙලොව පරලොව අභිවෘද්ධියට හේතුවන්නේය.

උට්ඨාන වීරියේ පටන් කොට ඇති මෙම කරුණු හත එකිනෙකට සාපේක්ෂව සබඳතාවයක් පවත්නා අතර ලෞකික වශයෙන් භවභෝග සම්පත්, පරිවාර සම්පත්, කීර්ති ප්‍රශංසා ලැබීමට වාසනාභාගී වන්නේය. එමෙන්ම ධාර්මික ජීවිතය ආර්යමාර්ග ප්‍රතිපදාවේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග තුන සපුරාලීමට හේතු වේ. සීලවිශුද්ධියට අයත්වන මෙම ආර්යමාර්ගාංග සම්පූර්ණ වීමෙන් දුක්ඛ නිරෝධගාමිණි ප්‍රතිපදාව නම්වූ නිවනින් සැනසීමේ උතුම් මාර්ගයට පැමිණීමත් ආර්යසත්‍යාවබෝධයත් සිදුවන්නේය.
හැඟීම හා බුද්ධිය අතර විශාල පරතරයක් ඇති අතර මෙහි දැක්වූ ධර්ම කරුණු තම තමන්ගේ හැඟීමෙන් පිළිපැඳීමට වඩා බුදු ,පසේබුදු මහරහතන් වහන්සේලාගේ අදහස් අනුව තියුණු බුද්ධියෙන් දැන ගැනීමත් , පිළිපැදීමත් සසර දුකින් නිදහස්ව ලබන උතුම් නිවන් සුවයෙන් සැනසීමට වාසනාභාගි වන්නේය.

ඔබ සැමට තෙරුවණ් සරණයි!





අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය 
ශාස්ත්‍රවේදී පණ්ඩිත 
අමුණුපුර පියරතන හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ බිනර අමාවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ සැප්තැම්බර් 30 වන  සිකුරාදා දින   බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment