Labels

Wednesday, October 12, 2016

පූර්වාන්තයක් කෙළවරක් නොදකින සසර ගමනක ස්වභාවය


"තථාගත බුදුරජාණන් වහන්සේ විසින් අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේ දී පෙන්වා දුන් ඒ උතුම් දහම් කොටස් වර්තමාන යුගය තුළ ජීවත්වන ඔබ අප සියලු දෙනා විසින් නැවත නැවතත් සිහිපත් කළ යුතුයි. "
ලෝකයේ ආරම්භයත්, පැවැත්මත් මනුෂ්‍යයන්ගේ ජීවිතවල යහපත් ඇවතුම් පැවතුම් ඇතිවීමත් මනුෂ්‍යයන්ගේ චර්යාවේ ඇති වූ දුසිරිත් බව නිසා මනුෂ්‍යයන්ගේ පරිහානිය ඇතිවීමත් අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව එනම් ලෝක උප්පත්ති කතාව ඔස්සේ අප විසින් පසුගිය පෝය දින කීපය පුරා ඉගෙන ගනු ලැබුවා.

තථාගත බුදුරජාණන් වහන්සේ විසින් අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේ දී පෙන්වා දුන් ඒ උතුම් දහම් කොටස් වර්තමාන යුගය තුළ ජීවත්වන ඔබ අප සියලු දෙනා විසින් නැවත නැවතත් සිහිපත් කළ යුතුයි. මනුෂ්‍ය ප්‍රජාවගේ ආරම්භය ආභස්සර දෙවියන්ගේ ප්‍රජනනයෙන් හෙවත් මූලිකත්වයෙන් සිදු වූ බව ඉතාම පැහැදිලියි. එනම් මනුෂ්‍ය ලෝකයේ ආරම්භකයෝ නම් ආභස්සර දෙවියෝය කියන අදහසයි. මනුෂ්‍යයන්ගේ මුල දෙවියන්ගෙන් ආරම්භ වුණේ නම් මනුෂ්‍යයන්ට ද ඒ දේවත්වය පවතින හෝ පැවතුණු උතුම් ගුණ දිගටම පවත්වාගත යුතු බව දහම් කරුණු අපට මතුකොට දෙයි. දෙවියන්ගෙන් ආරම්භ වූ මනුෂ්‍යයන් දෙවියන් තුළ පැවතුණු යහගුණ නැතිකොටගෙන අමනුෂ්‍යයන් හැටියට ජීවිතය පවත්වාගැනීමට යොමුවීම ඉතාම සංවේග ජනකයි.

උතුම් දේවත්වය


තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්මයෙහි දෙවියන් පිළිබඳව සිහිපත් කරමින් උගන්වන භාවනා මාර්ගය දේවතානුස්සති නමින් විස්තර කෙරේ. එය දස අනුස්සති භාවනා කොටසෙහි දැක්වෙයි. දෙවියන් එම දේවත්වයට පත් වූයේ ශ්‍රද්ධා, සීල, ශ්‍රත, චාග, පඤ්ඤා නම් වූ පංචවිද ගුණ ධර්ම වැඩීමෙනි දියුණු කර ගැනීමෙනි. එම දෙවියන් නැවතත් මනුෂ්‍යයන්ට ආරම්භයක් සාදා දෙන්නේ ද එම ශ්‍රද්ධා, සීල, ශුත, චාග, ප්‍රඤ්ඤා නම් වූ ගුණ ධර්මවලින් ම යුතුවම බව ඉතාම පැහැදිලියි. ආභස්සර දෙවියන් මිනිස් පොළෝ තලයට බැසගත් කාලය තුළ ඔවුන් මහ පොළොවෙහි ජීවත් වූ සමය පිළිබඳව නැවතත් අපට සිහිපත් කළ හැකියි. මුල් අවධියේ දී ඔහුන් සියලු දෙනාම ඔවුන්නොවුන් කෙරෙහි ප්‍රසාදයෙන් යුක්තව විසූහ. හිරු සඳු පවා පහළනොවන්නට පෙර ඔවුන් මිහිතලයේ හැසිරුණේ ඔවුන්ගේ ශරීරයේ පැවතුණු වර්ණ ස්වභාවයෙනි, එනම් ශරීරයෙහි ආලෝකයෙනි. ක්‍රමක්‍රමයෙන් ආශාව ඇතිවීමත් සමඟ ඔවුන්ගේ වර්ණය පැහැය අඩුවීමත් එමෙන් ම ආශාව නිසා ම ස්ත්‍රී පුරුෂ භේදය ඇතිවීමත් ආශාව නිසා ම වර්ගයා බෝවීම හෙවත් මිනිස් ප්‍රජනනය ඇතිවීමත් අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි විය.

තෘෂ්ණාවෙන් සසරට බැඳීම


එම කාලය තුළ එම මනුෂ්‍යයන්ගේ පැවැත්මට හෙවෙත් ආහාරය පිණිස ඇල් සහල්, බදාලතාව මේ ආදී ස්වභාවික වූ රසයෙන්, ගුණයෙන් පිරිපුන් වූ ආහාරයන් පිළිබඳව අප දැන ගත්තෙමු. තෘෂ්ණාව, ආශාව වැඩිවෙන්න වැඩිවෙන්න අසිරිමත් වූ එම ස්වභාවික සම්පත්වල පිරිහී යෑමත් සිදු වූ බව පැහැදිලියි. මේ දීර්ඝ සංසාර ගමන කර්මානුරූපව පවතින්නේ තෘෂ්ණාව නිසා ම බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක.

“අනමතග්ගෝයං භික්ඛවේ
සංසාරො පුබ්බා කෝටි න පඤ්ඤායති
අවිජ්ජා නීවරණනං සත්තානං
තණ්හා සංයෝජනානං සංධාවත සංසරතං”

මහණෙනි, මේ සසරෙහි කෙළවරක් නැතිය අනමතග්ග යනුවෙන් සඳහන් කළේ එයයි. පූර්වාන්තයක් හෙවත්, ආරම්භයක් නොපෙනේ. කෙළෙවරක් නැති පූර්වාන්තයක් නොපෙනන සංසාර ගමනේ සත්වයන් ගමන් කරන්නේ කුමක් හේතු කොටගෙන ද අවිද්‍යාව හෙවත් නොදැනීම නිසා සත්වයෝ තෘෂ්ණාවෙන් කර්ම රැස්කොටගෙන සසරට බැඳෙති. එනම් භවය සකස්කර ගනිති. මෙසේ සසරට බැඳෙමින් භවය සකස්කර ගනිමින් වඩාත් ම නරක, තිරිසන්, ප්‍රේත, අසුර නම් වූ සතර අපායෙහි ඉපදෙමින් දුක්විඳිමින් දුවගෙන යති, හැසිරෙති. එනම් ඉපදෙමින් මරණයට පත්වෙමින් භවයෙහි සැරිසරති. මේ තුළ ද සඳහන් වන්නේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙන් අප ඉගෙන ගත් තෘෂ්ණාව නිසා ලොව පවතින බවත්, එසේ වුවත් ඒ තෘෂ්ණාව නිසා ම සත්වයන් වඩාත් ම දුක් විඳින බවත්ය.

හේතුප්‍රත්‍යයන්ගේ හටගැනීම


අවිද්‍යාව නම් වූ නොදැනීම, මුලාව නම් වූ වචනවලින් විස්තර කරන්නේ කුමක් ද? සියලු සංඛත හෙවත් සංස්කාර වස්තු හේතුප්‍රත්‍යයන්ගෙන් හටගනී. මෙහි හේතුප්‍රත්‍යය නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතරයි. එනම් තදගතිය, වැගිරෙන බව, උෂ්ණය සහ, වායුව යන සතරය. ලෝකයේ පවත්නා වූ සියලුම සවිඤ්ඤාණක, අවිඤ්ඤාණක වස්තූන් නිර්මාණය වී ඇත්තේ මේ පඨවි ආදී හේතුප්‍රත්‍යයන්ගෙනි. මේ හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත්ත සංඛත නම් වූ ලොව සියල්ලම අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් ත්‍රිලක්ෂණ ධර්මයට යටත්ය. යමක් වෙනස්වන්නේ නම් එය අනිත්‍යයයි. එනම් නිත්‍ය නොවේ. යම් තැනක වෙනස්වීමක් පවතින්නේ ද? එය දුකකි ඒ කෙරෙහි පවතින්නේ අකැමැත්තකි. ඒ කෙරෙහි සිතේ ඇති වන්නේ ගැටීමකි. තැති ගැනීමකි. සැලීමකි. එය දුක්ඛ වශයෙන් මෙහි හැඳින්වේ. මෙසේ දුක සකස් වන්නේ තමාට ඕනෑ විදිහට හෝ තම අභිමතය පරිදි නොපවත්නා නිසාය. එය අනත්ත නම් වීමය.
එසේ නම් අවිද්‍යාව මෝහය නම් සියලු සංඛත සංස්කාර වස්තූන් අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත්කොට දැක ගැනීමේ ඇති නොහැකියාවයි. මෙහි දැක ගැනීම හැටියට සඳහන් කරන්නේ නුවණින් දැක ගැනීමයි. විදර්ශනා නුවණින් ම දැක ගැනීමයි. ඔබ අප වගේ ම ලොව සියලු දෙනාටම පාහේ ලෝකයේ සියල්ල ම නැතිවන බව විනාශයට යන බව පිළිබඳව නුවණක් ඇත්තේය. එනම් දැනීමක් ඇත්තේය. එනමුත් විදර්ශනාව වශයෙන් දක්වන පරිදි අනිත්‍ය, දුක්ඛ, අනත්ත, ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට තමාගේ ජීවිතය පටන් මුළු ලොවම දෙස සම්‍යක් ප්‍රඥාවෙන් දකින්නට පුරුදු නොවීම හෝ පුරුදු නොකොට තිබීම නිසා ඒ සිතෙහි දැඩි ආශාව ඇතිවේ. එනම් බලවත් වූ තෘෂ්ණාවක් ඇතිවෙයි.

ප්‍රබල වූ ආශාව


යමක් කෙරෙහි සිතෙහි ආශාවක් හටගත්තොත් එය ස්ථිර නොවන බවට දැනුමක් පැවතියේ ද කෙසේ හෝ ඒ වස්තුව ලබා ගැනීමට උත්සාහ ගනී. මෙහි දී ඒ වස්තුව ලබාගැනීම පිණිස ප්‍රාණඝාතකිරීම, සොරකම්කිරීම, කාමමිච්ඡාචාරය, බොරුකීම, මත්වතුර, පරිහරණය කිරීමේ වැනි පස්පව්වලට ද, තවත් ඉදිරියට ගමන් කරමින් දස අකුසල්වලට ද යොමු වේ. අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දැනුමෙන් ඔබ්බට ගිය පරමාර්ථ වශයෙන් දකින නුවණක් යම් කෙනෙකුට තිබෙන්නේ නම් නිත්‍යනොවන, ස්ථිර නොවන විනාශයට පත්වන යමක් වෙනුවෙන් තවත් කෙනෙකුගේ ජීවිතයක් නැතිකිරීමට හැකි ද? යමෙක් තවත් කෙනෙකුගේ ජීවිතයක් නැති කිරීමට යෑමෙන් මෙලොව වශයෙන් ම ඔහු හෝ ඇය විසින් තමාගේ ජීවිතයට අනතුරක් කර ගනියි. පරලොව වශයෙන් සතර අපායම හිමිවෙයි. සොරකම, කාමමිච්ඡාචාර ආදී පාප ධර්මයන් කළ හැකිවන්නේ ද අනිත්‍ය වූ යමක් වෙනුවෙන් තමාගේ මෙලොව, පරලොව, දෙලොව ජීවිතය ම බලවත් සේ දුකකට ඇද දමා ගැනීමට හැකි ද? එහෙත් යම් වූ දැනුමක් පැවතුණත් පරමාර්ථ වශයෙන් එනම් සියලු සංඛත සංස්කාර වස්තූන් අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දැක ගැනීමට සිත නැවත නැවතත් පුරුදු කොට නොමැත්තේ නම්, ප්‍රබල වූ ආශාව දෙවියන්ගේ පටන් ආරම්භ වූ මේ ප්‍රබල වූ ආශාව සත්වයා හෝ මනුෂ්‍යයා මහත් වූ විපත්වලට ඇද දමයි. සියල්ල වෙනස් වූවත් එනම් ස්ථිර නොමැති වූවත් තමා කැමැති දෑ ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් මනසින් ලබාගැනීමට පොළඹවයි.
මෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ උපති සූත්‍ර දේශනාව සිහිපත් කළ හැකිය. තද ආශාවට නතුවන පළගැටියා පහන් දැල්ලට ළංවන්නේ එහි ඇති අනතුර ද නොතැකීමෙනි. හෝ අනතුර ගැන සිහිපත් නොවන්නේ සිතෙහි හට ගත්ත ද ආශාව නිසාය. එමෙන් ම ආරම්භයේ පටන් ප්‍රබල තෘෂ්ණාවෙන් ලොවක් හදන ජීවිත ප්‍රජනනයෙන් පටන් ගත් මනුෂ්‍යයෝ ඒ තද ආශාව නිසා ම පළගැටියන් මෙන් වරදට හසු වෙයි. ජීවිත විනාශ කර ගනිති. අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙහි දෙවියන්ගෙන් ලොවක් ආරම්භ කර මනුෂ්‍යයෝ දේවත්වය ලෙසම ලොව අසිරිමත් ස්වභාවික වස්තූන් ද ලබා ගතකළ සුවපත් වූ ජීවිතවලින් පිරිහෙන ආකාරය අප ඉගෙන ගත්තෙමු. අප දැනගත්තෙමු.

තෘෂ්ණාව භාග්‍යවතුන් වහන්සේ විසින් කොටස් තුනකට බෙදා දක්වන ලද්දේය. එනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙනුයි. කාම තණ්හා නම් ඇස, කන, නාසය, දිව, ශරීරය, මන නම් වූ ඉන්ද්‍රියන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතිවිලිවලින් පිනවීමට තිබෙන කැමැත්තයි. එය කාමච්ඡන්දය හැටියටත්, ඡන්ද රාගය, හැටියත් පෙන්වා දී තිබේ. මෙම පිනවීම හෙවත්, ඇස ආදී ඉන්ද්‍රියන් සතුටු කිරීම පස් ආකාරයකින් ඇති කර ගන්නා වූ කාම ගුණ හැටියටත් දක්වා තිබේ. මේවා පංචකාම ගුණ හැටියට දක්වයි. එනම්
“ඉට්ඨා ඛන්තා මනාපා ප්‍රිය රූපා කාමෝප සංහිතා රජනීයා”

එනම් ඉටු වඩන, මන වඩන, ප්‍රිය දැයෙහි කාමයෙන් යුත් ඇලුම් කරන යනුවෙනි

2016 ක් වූ ඔක්තෝබර් 09 වන ඉරිදා   දින ලිපිය

වර්තමාන පරිසරයෙහි බොහෝ මනුෂ්‍යයෝ අතෘප්තිකර ආශාවන්ගෙන් පිරිපුන්ව වාසය කරති. එනම් ‘මහිච්චතා’ නම් කොපමණ ලැබුවත් මදිය යන අදහස එහි කියැවෙයි. නිදසුනකින් දක්වතොත් ඇළදොළ ගංගා ගලාගෙන කොපමණ මහ සයුරට වැටුණත් එහි පිරීමක්, ඇතිවීමක් නැතිවා සේය. ‘මහිච්චතා’ නම් තදබල මසුරුකමයි.
අතෘප්තිකර ආශාවන්ගෙන් පිරිපුන් මනුෂ්‍යයා දැඩි ලෙස රූපයෙහි, ශබ්දයෙහි, ආඝ්‍රහණයෙහි, රසයෙහි, ස්පර්ශයෙහි, සිතිවිල්ලෙහි පංචකාම ගුණ පහළ කරගනිති. එනම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මය අමතක කොට දුටු අරමුණෙහි ප්‍රිය නම්, මෙසේ සිත සකස් කර ගනියි. ඒ අරමුණෙහි මගේ සිත කැමැතිය, මගේ සිත සතුටු කරන්නේය. ඒ වස්තුවට හෝ ඒ ආරම්මණයට මම වඩාත් ම කැමැතියි. එය නිමිති වශයෙන් ගෙන මම එහි ඇලී සිටිමි. මාගේ සිත ඒ වස්තුව නිසා කුල්මත් වන්නේය හෝ ඒ වස්තුව විසින් මගේ සිත කුල්මත් කරන්නේය යනුවෙනි. මෙහි දී ඔබට ගැටලුවක් සිතෙහි ඇතිවිය හැකිය ඒ කුමක් ද?

සිතෙහි සකස් වීම


අශ්‍රැතවත් පෘතග්ජන මනුෂ්‍යයෙකුගේ සිතෙහි එනම් සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ සිතෙහි කෙසේ වෙතත් ඔවැනි හැඟීම් පහළ වෙනවා නොවේද? යනුවෙනි, පහළ වන්නේ ය. බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන අදහස මෙයයි. ඔබ විසින් සීලය නම් වූ කායික, වාචසික සංවරයෙහි පිහිටා පැවැත්ම උදෙසා ජීවිතයත් බාහිර ලෝකයත් එක්ව වාසය කළ හැකිය. එනම් ඇසෙන් රූප බලා සතුටුවිය හැකිය. කනෙන් ප්‍රිය ශබ්දයෙහි සතුටු විය හැකිය. එය සංවරව පරිහරණයත් කළ හැකිය. නාසයෙන් ප්‍රිය ගන්ධයෙහි කැමැතිවිය හැකිය. විනයක් ඇතිව එය පරිහරණයත් කළ හැකිය. දිවෙන් රස ලැබිය හැකිය. එහි ඇති මිහිරි බව ඔබට වටහා ගත හැකිය. කයෙන් පහසුව ලැබිය හැකිය. ඒ පහසුව වෙනුවෙන් කටයුතුත් කළ හැකිය. මනසෙන් සිතිවිලි උපදවා ගත හැකිය. ඒ සිතිවිලි පවත්වාගත හැකිය. මෙහි දී සඳහන් කරන්නේ ඇසෙන් රුවක් පරිහරණය කරන විට ඔබ සීලයේ පිහිටා නම් ඔබටත් අන් අයටත් කරදරයක් නොවන ආකාරයෙන් ඒ රූපය පරිහරණය කළ යුතු බවය. එනම් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හැකිතාක් දුරට බැහැර වී ඒ රූපය ශබ්දය, ආඝ්‍රහණය, රසය, ස්පර්ශය, සිතිවිලි පරිහරණය කළ යුතු බවය. මුළු මනින් ම කෙලෙස් නැසූ උතුමෙකුට ඒ රූප ආදී ආරම්මණ හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් සංඛතයක් විනා රාගාදි කර්ම හෙවත් කෙලෙස් සකස් වීමට හේතුවක් නොවන්නේ ය. එනමුත් අශ්‍රැතවත් පෘතග්ජන ජීවිත පවත්වන සාමාන්‍ය පුද්ගලයෙකුට ඒවා සීලයේ පිහිටා පරිහරණය කළ හැකිය. එවිට රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් හෝ තවදුරටත් විස්තර කළොත් දැඩි ආශාව, වෛරය, ඊර්ෂ්‍යාව, පළිගැනීම, ප්‍රාණඝාතය සොරකම් කිරීම ආදී වශයෙන් පාපයෙන් බැහැරව ඒවා පරිහරණය කළ හැකි වන්නේ ය.

ත්‍රිලක්ෂණ ධර්මයට යටත්ය


මෙහි දී විස්තර කරන්නේ කුසල්, අකුසල් මැනවින් දැන ඒ අරමුණ කුසල් වන ආකාරයට පරිහරණය කළ යුතු බවය. අකුසල් වන ආකාරයෙන් පරිහරණය නොකළ යුතු බවය. තවදුරටත් විස්තර කළොත් පව හා පින පිළිබඳව අවබෝධය ඇති කරගෙන ඇස ආදී ඉන්ද්‍රියන් රූප ආදී අරමුණු සමඟින් ජීවිතය පවත්වන විට හැකිතාක්දුරට කුසල් මාර්ගය අනුගමනය කළ යුතු බවයි. සරලව සඳහන් කළොත් පුණ්‍යකාමීව කටයුතු කළ යුතු බවයි. අකුසල් නොකළයුතු බවයි. පව් නොකළ යුතු බවයි. ඒ වගේ ම ගැඹුරු අදහසක් ද මෙහි තිබේ. එනම් කුසල් වුවත් අකුසල් වුවත් පව් වූවත් පින් වූවත් කැමැතිවූවත්, අකමැතිවූවත් සියල්ලම අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් වන බවය.
එසේ නම් පිනටත්, කුසලයටත්, යහපතටත්, සුචරිතයටත් අපි යොමු වන්නෙමු. ඒ ජීවිතයේ පැවැත්ම පිණිසයි. ඒ කුසල් උපයෝගී කරගෙන අපි ජීවිතය සුවපත් කර ගන්නෙමු. කුසලය නිසා හෝ තද ඇලීමකට අප නොයන්නෙමු හේතුව කුසල් කරන්නේ ජීවිතයේ යහපත වෙනුවෙනි. ලෝක ස්වභාවය අනුව සියලු සංඛත හෙවත් සංස්කාර ධර්මයෝ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බැවින් යමක් හොඳ වුණත්, නරක් වුණත් ඒ සියල්ලම වෙනස් වන්නේ ය. ඒ කිසිවක් නිත්‍ය නම් නොවන්නේය. මේ බව මනසින් පුරුදු කරන විට අපේ සිත කිසිවක නොඇලී නොගැටී උපේක්ෂාවට පත්වීමට සකස් වේ. මෙහි උපේක්ෂාව හැටියට සඳහන් කරන්නේ කර්ම රැස්නොවන ස්වභාවයට පත්වීමයි. මෙය රහත් මඟේ කතාවයි.

දේවත්වයේ ගුණ නැතිකර ගැනීම


අශ්‍රැතවත් පෘතග්ජන අයෙක් නම් පැවැත්ම නිසා ධනයක් සොයා ගනී. ඒත් ඒ ධනය සොයන්නේ පස්පව් දස අකුසල් නොකරමිනි. එනම් සීලයේ පිහිටා ධර්මානුකූලවයි. එසේ ධර්මානුකූලව සීලයේ පිහිටා ගත් අය ධනය හොඳින් පරිහරණය කරයි. එහෙත් එහි උපාධානයකට නොපැමිණෙයි. එනම් මගේය, මම වෙමි, මට ඕනෑ විදිහට මේවා සදාකාලිකව පවතී යැයි නොසිතයි. උපාදානය නොකරගනියි යනුවෙන් සඳහන් කළේ ඒ අදහසයි. කාම තණ්හාවෙන් පිරිපුන් මනුෂ්‍යයෝ මේ පරමාර්ථ ධර්මය නොදැක සියල්ල කෙරෙහි ම තදින් බැඳී වඩාත්ම යොමුවන්නේ පස්පව් දස අකුසලයන්ටය.
යම් කෙනෙක් ධර්මානුකූලව උපයා ගත් වස්තුවෙහි පවා අනිත්‍ය බව නොදැනීම නිසා තමා සතු වස්තුවෙහි පවා ආශාවක් ඇතිකරගෙන මෙලොව ජීවිතය ම සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයන්ට හසු වී උපායාසය නම් බලවත් සිත් තැවුල්වලට හසු වී ඒ ධනයට පවත්වා ගත් ධනයට හෝ වස්තුවට හෝ දූ දරුවන්ට හෝ කුමකට හෝ ඇති කරගත් ආශාව නිසා මරණින් මතු නැවතත් නිරයෙහි හෙවත් දුගතියෙහි උපදී. මේ දිගු සසර කතාවක දුක්විඳින මගවිය හැකිය. දෙවියන්ගෙන් ආරම්භ වූ ලෝකයෙහි දැඩි ආශාවට තෘෂ්ණාවට පත්වන මනුෂ්‍යයෝ දේවත්වයේ පැවැති ගුණ නැති කර ගනිමින් විනාශයට පත්වන ආකාරය මේ කතාවෙන් පැහැදිලියි.

බ්‍රාහ්මණයන් බවට පත්විය හැකිය


මෙසේ ලෝකයා විනාශයට පත්ව යන ගමනක කලාන්තරයකින් ලොවට පහළවන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වේ. මේ යුගය තුළ නම් එය අපගේ ගෞතම ලොව්තුරා බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ පහළ වූ කාලයේ එදා දඹදිව නම් වූ සමාජ ක්‍රමයෙහි පැවැති ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන කොටස් හතරෙහි බෙදීම් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ මෙම අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙහි මැනවින් පැහැදිලි කළ බව ඔබට මතක ඇතැයි සිතමි.
රාජ්‍ය කරන්නට සමාජය තුළින් ම පත්කරගත් පිරිස ක්ෂත්‍රියන් බවට පත් වුණා. එක හා සමානවම ශරීර ලද එක හා සමානව ම ජීවිතය පැවැත් වූ පිරිසකගෙන් නායකත්වයට සුදුසු පිරිසක් ක්ෂතී‍්‍රයන් බවට පත් වූ බව පැහැදිළියි. ගොවිතැන් කරමින් වෙළෙඳාම් කටයුතු කරමින් සිටි පිරිස වෛශ්‍ය නමින් හැඳින් වූ බව පැහැදිළියි. ශුද්‍රයන් බවට පත්වූයේ වඩාත් ම පාප ධර්මයන්ට යොමු වූ පිරිසයි. බ්‍රාහ්මණයන් බවට පත් වූයේ ගෘහ ජීවිතයේ ඇති සම්බාධ, දුක්කම්කටොළු වටහා ගනිමින් කාම සේවනයෙන් බැහැර විය යුතුයි. බ්‍රහ්මචරියාව ආරක්ෂා කළ යුතුයි, පවසමින් ඉදිරිපත් වූ පිරිසයි.
එසේ නම් මේ පිරිස් සතරම එකම සමාජයක කොටස් විනා උස් පහත් භේදයක් හැටියට සලකා ඔවුනොවුන්ට නිගරු කළ හැකි නොවන්නේ ය. පස් පව් කරමින් ශුද්‍ර බවට පත් වූ අය යහපත් වූ අය බවට පත්වන්නේ නම් එනම් ඒ අයත් සම්බාධ සහිත දුක් කම්කටොළුවලින් පිරි ගෘහස්ථ ජීවිතවලින් බැහැරට පැමිණ කාමභෝගී ජීවිතයෙන් බැහැරවන්නට සිතන්නේ නම් ඔවුන්ටත් බ්‍රාහ්මණයන් බවට පත්විය හැකි වන්නේය. යම් කෙනෙකුට නායකත්වයේ හැකියාවක් වන්නේ නම් වෛශ්‍ය නම් වූ ගොවිතැනින් වෙළෙඳාමෙන් බැහැරව හෝ ධ්‍යාන කිරීමෙන් බැහැරව එනම් බ්‍රාහ්මණ තැනින් බැහැරව පාලනය කිරීම තැන් නම් වූ නායකත්වයක්දී ම නම් වූ ක්ෂත්‍රීය තත්ත්වයට පත්විය හැකියි. සමාජයේ ඕනෑම පිරිසකට ඒ ස්වභාවයට පත්විය හැකියි.
අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවට අනුව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ධර්ම කතාව නම් අපේ හදවත, සිත අවධි කිරීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අයුරින්, උපතින් යම් කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නම් නොවේ. ක්‍රියාවෙන් ම බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් බවට ම පත් වන්නේ ය. මෙහි වසලයෙක් යනු දුසිරිත් කරන පුද්ගලයා යනුවෙනි.

සැබෑ ස්වභාවයේ අනවබෝධය


වර්තමාන සමාජ පරිසරය තුළ අපි බොහොමයක් දෙනා කර්මය හා ඵලය පිළිබඳව අවබෝධයක් හෝ අඩුම තරමේ දැනුමක් ඇතිකරගෙන සිටිමු. මූලික පියවරේ දී කර්මය හා ඵලය පිළිබඳව ඇතිකර ගන්නා වූ දැනුමට අනුව තෘෂ්ණාවේ ඇති භයානක බව ලාමක බව, හීන බව, ග්‍රාම්‍ය බව තේරුම්ගත යුතුය. පාලනයක් නැති ආශාව නිසා ජීවිතයේ සෞම්‍ය වූ බොහෝ දේ අහිමි කරගත් ආදී මනුෂ්‍යයන් වගේ ම වර්තමානයේ අපත් බොහෝ දේ තිබියදීත් මානුෂික සංතෘෂ්ඨිය නැතිකර ගන්නේ මේ අතෘප්තිකර ආශාව නිසාය. පාලනයක් නැති, සංයමයක් නැති, ආශාව නිසාය. ආශාවේ හෙවත් තෘෂ්ණාවේ ආදීනවයන් තේරුම් නොගැනීම නිසාය. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද අරමුණක ඇති සැබෑ ස්වභාවය අපි විසින් තේරුම් ගත යුත්තෝ වෙමු.

සත්වයෝ අනවබෝධයෙන් යුක්තව මනුෂ්‍යයන්ගේ ආරම්භක කතාවේ මෙන් ක්‍රම ක්‍රමයෙන් තෘෂ්ණාවට ම පත්වී තමා සතු බාහිර වස්තු නැතිකර ගත්තා වගේ ම තමාගේ සිතේ පවත්නා සංතෘෂ්ඨියත් සැනසිල්ලත් නැතිකර ගන්නේ මේ අනවබෝධය නිසාමය. ආස්වාදයෙන් ආදීනව යැයි සඳහන් කරන්නේ මෙන්න මේ කොටස මනාව තේරුම් ගැනීමයි.
කිසිදු කෙනෙක් උපතින් හෝ සමාජය කියන පරම්පරා කතාවකින් උසස් හෝ පහත් යැයි සිතා ගැනීම හෝ එසේ සිතාගෙන ඔවු නොවුන්ට ගරු කිරීම හෝ නිගරු කිරීම බෞද්ධ දර්ශනයට නොගැළපෙන බවයි. තථාගත බුදුරජාණන් වහන්සේගේ දහමට නොගැළපෙන බවයි. අඩුම තරමේ තිරිසන් ලෝකය නම් සතුන් අතර පැහැදිලි වෙනසක් තිබේ. මනුෂ්‍යයන් අතර එවැනි වෙනසක් දකින්නට නැත්තේ ය. සියලු මනුෂ්‍යයෝ ම උපදින්නේ මවකගෙන් එකම ආකාරයකින් බව ඉතාම පැහැදිලි කරුණකි. මෙවැනි පැහැදිලි නිදසුන් පවතිත් දී තවත් පිරිසක් උපතින් ම උසස් කියා හෝ පහත් කියා භේද කර ගැනීමට හෝ උස් පහත් භේද ඇතිකරගෙන සමාජය තුළ ගැටලු සාදා තෘෂ්ණාවට ම තවත් උදව්කරමින් මෙලොව ගුණ ධර්ම පිරිහීමටත්, පරලොව නසාගැනීමත් උපකාර කිරීම බලවත් වූ වරදක් වන්නේ ය. අධ්‍යාත්මික කතාවේ දී කිසිදු අයෙක් උපතට අනුව උසස් යැයි හෝ පහත් යැයි සලකා ජීවිතය පුරාම එවැනි කෙනෙකුට උසස්වීමකට අවස්ථාවක් හෝ ගරුත්වයක් ලැබීමට අවස්ථාවක් නොදී කටයුතු කිරීම බුදු දහමට අනුව මහත් සේ විරුද්ධ ක්‍රියවකි. අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙන් අප ඇතිකරගත් බලවත් වූ ම පාඩම නම් එකම සමාජයක එකම මිනිස් තලයක සිටි පුද්ගලයෝ ඔවුන්ගේ ක්‍රියාවන් අනුව උසස් පහත් වීමට පත්වීමයි.

උසස් බවක් ඇති කර ගත හැකිය


ඒ වගේ ම යම් කෙනෙක් පහත් වුණා නම් ඔහුට හෝ ඇයට නැවතත් යහපත් වූ ගුණ ධර්ම ඇතිකර ගැනීමෙන් උසස් බවක් ඇති කරගත හැකි විය යුතුය. ඒ වගේ ම යම් කෙනෙක් එක්තරා කාලයක යහපත් වූ ගතිගුණ ඇතිකරගෙන නාමයක් හදාගත්තත් බ්‍රාහ්මණ වශයෙන් හෝ උසස් නාමයක් වශයෙන් හදාගත්තත් පසු කලෙක පහත් දේවල් සිදු කරන්නේ නම් තවදුරටත් බ්‍රාහ්මණ හෝ උසස් නාමයෙන් රැඳී සිටීමට ඔහුට හෝ ඇයට සදාචාරාත්මක අයිතියක් නැත්තේ ය. ඔහු හෝ ඇය නැවතත් අර පහත් ම කියන අදහසට එන්නේ ය. මේ දෙකින් පෙන්වන්නේ අප අප විසින් හැකිතාක්දුරට අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට සංඛත සංස්කාර වස්තූන් විදර්ශනා කරන්නට හෙවත් පරමාර්ථ ධර්ම වශයෙන් බලන්නට සිත පුරුදු කිරීමයි. සමාධිය දියුණු කිරීමයි. භාවනාව දියුණු කිරීමයි. එහි දී තෘෂ්ණාවේ ඇති භයානක බව තේරුම් අරගෙන දෙලොව වශයෙන් පිරිහීමට යා නොදී මෙලොවදීම මනුෂ්‍යයන් ලෙස එනම් උසස් මනසක් ඇතිව ඉපදුනු පිරිසක් හැටියට ජීවිතය පවත්වා ගැනීමට හැකිය. දෙවියන් දෙවියන් බවට පත් වූණේ ශ්‍රද්ධා, සීල, ශුැත, චාග, ප්‍රඤ්ඤා, නම් වූ ගුණයන් වඩා නම් ඒ දෙවියන්ම මනුෂ්‍යය ලෝකයේ ආරම්භය සාදා දුන්නේ නම් ඒ දේවත්වයේ ගුණ අපට නැවතත් ඇති කරගෙන පවත්වාගත හැකිය.

දෙවියෙක් දිව්‍යාංගනාවක් විය හැකිය


මුල් දහම් කොටසේ පැහැදිලිකළ අයුරින් දේවතානුස්සති භාවනාවේ දී අප සිදු කරන්නේ දෙවියන් තුළ පවත්නා ශ්‍රද්ධා, සීල, ශුත, චාග, පඤ්ඤා නම් වූ මේ ගුණ මා තුළ ද ඇත්තේ ද යනුවෙන් මෙනෙහි කිරීමත් ඒ ගුණ තමා තුළ ඇතිකරගැනීමට උත්සාහ ගැනීමයි. එනම් දෙවියන් බවට පත්වීමෙන් භාග්‍යවතුන් වහන්සේ ‘සංවාස’ සූත්‍රවල දේශනා කළ අයුරින් ගිහි ගෙදරක ස්වාමියාට, බිරිඳකට ‘දේවෝ දේවියා සද්ධිං සංවසති’ යනුවෙන් සඳහන් කළ අයුරින් දෙවියෙක් දිව්‍යාංගනාවක් හැටියට වාසය කළ හැකිය. ඉන් අදහස් කළේ බෞද්ධ හෙවත් බුදු දහමේ පෙන්වා දෙන සසර හෙවත් භව චක්‍රය අනුව සුගතියේ උපදින, එනම් දෙව්ලොවවල උපදින චාතුම්මහාරාජිකය, තාවතිංසය ආදී වශයෙන් දෙව්ලොව උපදින දෙවියන් ද ඇත්තේය. ඒ වගේ ම දෙවියන්ගේ පවත්නා ගුණ ඇතිව මනුෂ්‍ය ලෝකයේ ද ජීවත්වන මනුෂ්‍යයන් ද ඇත්තේය යන අදහසයි.

එසේ නම් අප සියලු දෙනාම ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා කිසිදු අයෙක් උපත හෝ පරම්පරාව අනුව උසස් පහත් භේදයට සදාකාලිකව පත් කොට අගරු හෝ නිගරු ස්වභාවයක් නොව මනුෂ්‍යයන් හැටියට උසස් ම ගුණයන් පවත්වාගෙන මූලික පියවරක් වශයෙන් ශ්‍රද්ධා, සීල, ශුැත, චාග, ප්‍රඤ්ඤා ගුණ වඩාගෙන දෙවියන්ගෙන් ලැබුණු මනුෂ්‍යත්වය ඒ ලෙසින් ම පවත්වා ගන්නට උත්සාහ කළහොත් අප බොහෝ දෙනෙක් අතර රහසේ හෝ සිත්වල පවත්නා බේදයන් බැහැරකොට බුදු දහමේම මනාකොට පෙන්වන හැම කෙනෙකුටම ජීවත්වන්නට අයිතියක් ඇත්තේ ය, හැම කෙනෙකුටම අධ්‍යාත්මික දුකින් නිදහස්වීමට අයිතියක් ඇත්තේ ය යන අදහස මතුකොට දැකිය හැකි වන්නේ ය. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට සමාජ සම්මතයේ පවතින කිසිදු බේදයක් අදාළ නොවන්නේය. එකම දේ නම් දස පාරමී ගුණ සම්පූර්ණ කිරීමත්, ඉන් අනතුරුව විදර්ශනා මාර්ගයට යොමුවීමත්ය. එනම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට යොමුවීමත්ය. අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේ ආරම්භය යම් විටක අප හැම කෙනෙකුටම මනඞකල්පිත ලෙස යම් තැනක හැඟුණත්, එහෙත් මේ උතුම් සූත්‍ර දේශනාව කෙළවර වන්නේ සමාජයේ සමානාත්මතාවය ඇති කරමින් උසස් මනසක් පවතිනවා යැයි යන මනුෂ්‍යයන්ට ඒ උසස් මනස එසේ ම පවත්වා ගනිමින් මේ සසර ගමනේ පවත්නා සියලු දුකින් නිදහස්ව උතුම් නිර්වාණබෝධය පිණිසමයි


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක 
ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි








ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ බිනර අමාවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ සැප්තැම්බර් 30 වන  සිකුරාදා හා  වප් පුර අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ඔක්තෝබර් 09 වන ඉරිදා   දින   බුදු සරණ පුවත්පත් දෙකෙහි  පළ වූ ලිපියකි

No comments:

Post a Comment