බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස වූයේ භික්ෂු, භික්ෂුණී, උපාසක ,උපාසිකා යන සිවු කොටසය. ලොව තුළ බුදුසමය ස්ථාපනය වීමත්, චිරස්ථායිවීමත් උදෙසා මේ සිවු පිරිස වෙත භාරදුර වගකීමක් පැවරෙන බව බුදුරදුන්ගේ අදහස වූ බව පෙනේ. සිවුපිරිසෙන් උපාසිකා පිරිස කවරාකාර සන්නද්ධභාවයකින් යථෝක්ත වගකීමට උරදිය යුතුද? යන්න බුදුරදුන් මාරයා සමඟ වදාළ බුදුවදනකින් හඳුනාගත හැකිය.
පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවිකාවන් වන උපාසිකාවෝ වියත් විනීත විසාරද බහුශ්‍රැත ධර්මධර, ධර්මානුධර්මයන්හි පිළිපන් සාමීචියෙහි පිළිපන්, අනුධර්මචාරි වූවෝ නොවෙත්ද? තථාගත ධර්මය උගෙන ප්‍රකාශ නොකරෙත්ද? දේශනා නො කෙරෙත්ද? නො පනවත්ද? නො පිහිටුවත්ද? විවරණය නො කෙරෙත්ද? බෙදා නො දක්වත්ද? නොගැඹුරු නො කෙරෙත්ද? උපන් පරවාදයන් ඇත්නම් කරුණු සහිතව එහි වරද පෙන්වාදී නිවනට නැඹුරුකොට දේශනා නොකෙරෙත්ද? ඒ තාක්කල් පිරිනිවන් නොපාන්නෙමි.
මෙහිදී උපාසිකාව යනු කවරෙක්දැයි පළමුව හඳුනාගැනීම ඉතා අවශ්‍යය. උපාසිකා යනු පොහොයට සිල්සමාදන්වන වයෝවෘද්ධ කාන්තාවයන්ය. යන සමාජ ව්‍යවහාරයට සීමා නොවේ. බාල තරුණ මහලු භේදයක් නැතිව තෙරුවන් සරණගිය සියලුම කාන්තාවෝ උපාසිකාවෝය. ඔවුන් සමාජය තුළ සමාජ පන්ති, වෘත්තීය ආදි විවිධ වෙනස්කම් ඇත්තන් විය හැකිය.
බෞද්ධ උපාසිකාවක වෙතින් බුදුරදුන් අපේක්ෂා කළ පළමුවැනි ගති ලක්ෂණය වන්නේ ඔවුන් ව්‍යක්ත විය යුතු බවයි. මේ වූ කලී භාෂාමය ව්‍යක්තියට සීමා වූවක් නොවේ. සමාජය තුළ හෝ නිවසේ හෝ පැන නැගෙන අර්බුදයකදී බුදුසමයට අනුරූප වු විසඳුම තම ශක්ති ප්‍රමාණයෙන් පහදා දීම ඇයගේ වගකීමයි. බුදුසමයෙන් ලබාගත් දැනුම මත ඇයගේ විසඳුම යෝජනා කිරීමයි. සතෙකුට හිංසාකරන හෝ අන් සතු දෙයක් සොරකම් කරන කුඩා දරුවන් පිරිසකට එසේ නොකළ යුතු බව යෝජනා කොට ඉන් වළක්වන කුඩා දැරිය වියත් උපාසිකා ලක්ෂණ පිළිබිඹු කරයි. කොසොල් රජු සතුන් ඝාතනය කොට මාහායාගයක් කිරීමට සැරසෙද්දී මල්ලිකා බිසව මැදිහත්ව රජුට කරුණු වටහාදී එය වැළැක්වීමට ක්‍රියා කළහ.
විනීතභාවයද උපාසිකාවන් තුළ විද්‍යමාන විය යුතු චරිතස්වභාවයකි. උපාසිකාවක තුළ ධර්මානුකූල ශික්ෂණයක් තිබිය යුතුය. පන්සිල් දිවිහිමියෙන් සුරැකීම, සදාචාර සීමාවන්ගෙන් ඔබ්බට ගිය ඉඳුරන් පිනවීමට උත්සුක නොවීම, දස පුණ්‍යක්‍රියාවන්හි යෙදීම වැනි ප්‍රතිපදා මගින් ධර්මිෂ්ඨභාවයට පත් කාන්තාවක් සැබවින්ම විනීතය. විෂමාචාරවලින් කිලිටි වූ ස්ත්‍රී සමාජය තුළ ඇයගේ විනීතභාවය බුදුසමයට ගෞරවනීය බවක් ගෙන එයි. ශිෂ්ට සම්පන්න බව නම් මේ යයි වක්‍රව කියාපායි. මණිකාර කුළුපග තිස්ස කථාවේ මැණික් සැට්ටරා දොළොස් අවුරුද්දක් තම නිවසට පිඬු සිඟා වැඩි තිස්ස තෙරුන් වහන්සේ කෙරෙහි සැක උපදවා උන්වහන්සේට වධ හිංසා කිරීමට පෙළඹුණද ඔහුගේ සැදැහැවත් බිරිය තම විශ්වාසය බිඳ ගත්තේ නැත. ඒ ඇය ධර්මයෙන් ශික්ෂිත විනීත කාන්තාවක් වූ බැවිනි.
බෞද්ධ කාන්තාවක් විශාරද විය යුතු බවද එම දේශනා පාඨයේ දැක්වේ. බුදුරදුන්ගේ වෛශාරද්‍ය ගුණය පිළිබඳ ධර්මප්‍රදීපිකාවේ විස්තර වන්නේ බුදුරදුන් ‘සම්මා සම්බුද්ධ ‘ බවත් ආශ්‍රවයන් ඉතිරි නොකොට ක්ෂය කළ බවත් බුදුරදුන් පෙන්වා දෙන මාර්ගය ස්වර්ගමෝක්ෂ දෙකට හේතුවන බවත් එම ධර්මය නිවන් පිණිස හේතුවන බවත් කිසිදු දෙවියකුටවත් , මිනිසකුටවත් , එසේ නොවේ යයි අභියෝගයට ලක් කළ නොහැකි බවය. මේ වෛසාරද්‍ය කරුණු පැකිලීමකින් තොරව විශ්වාස කිරීම උපාසිකා ස්වභාවය විය යුතුය. තම විශ්වාසයෙහි සැකසංකා ඇතිකරගැනීම හෝ පටු ලාභප්‍රයෝජන උදෙසා එම විශ්වාසය පළුදු කර ගැනීම උපාසිකාවකට නොගැලපෙන්නකි. විසාරද ගුණවත් උපාසිකාවක් පුර්වෝක්ත විශ්වාසය මත පිහිටමින් හැම තන්හිම පෙනී සිටී.
උපාසිකා තොමෝ බොහෝ ඇසු පිරූ තැනැත්තියක් විය යුතුය. ඉන් අදහස් කරන්නේ ඇය ධර්මශ්‍රවණය කරන, දහම් පොතපත ඇසුරු කරන, ඒ තුළින් දියුණු කරගත් ධර්මඤාණයක් ඇත්තියක විය යුතු බවයි. ගිහි බෞද්ධ කාන්තාවක විසින් දතයුතු ධර්ම කරුණු අසා දැනගෙන තිබීම උපාසිකා ලක්ෂණ දියුණු පමුණු කරගැනීමට උපකාරි වේ. දුසිරිත්වලින් ඈත්ව මව්පියන්, ස්වාමිපුරුෂයන්, දූදරුවන්, යහළුයෙහෙළියන් අයත් සමාජය සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමට සිඟාලෝවාද සූත්‍රය, භාර්යාවරුන්ගේ විවිධතාවන් දැක්වෙන සත්තභරියා සූත්‍රය, විශාඛා මල්ලිකා ආදි බෞද්ධ උපාසිකාවන් පිළිබඳ තොරතුරු, ජාතකකතාවල එන බිරින්දෑවරුන් හා කාන්තාවන් පිළිබඳ තතු, තෙරණිවරුන් ගැන විස්තර ඉගෙන ගැනීම උපාසිකා ජීවිතයකට ඉතා වැදගත්ය. ගැඹුරු තථාගත ධර්මය මැනවින් හදාරා අන් අයටද දේශනාකිරීමට හැකියාව තිබුණු ඛුජ්ජුත්තරා උපාසිකා චරිතය මෙහිදී ඉතා ආදර්ශමත්ය.
ධාර්මික ප්‍රතිපදාවන්හි පිහිටීම උපාසිකා චරිතය සෝභාසම්පන්න කිරීමට හේතු වෙයි. භික්ෂුභික්ෂුණීන්ට සේම ස්ත්‍රී පුරුෂයන්ටද නිර්දේශිත ධර්මානුකූල ප්‍රතිපදා බුද්ධවචනයෙහි ඇතුළත්ය. පන්සිල්, අටසිල් ආදි චරණධර්මත් දානාදී පුණ්‍යකර්මත් භාවනා වැඩීම පිළිබඳ උපදේශත් ඒ අතර වේ. ඇතැම් සදාචාරාත්මක පිළිවෙත් ඍජුව සඳහන් නොකළත් බෞද්ධ ආචාරධර්මවලට අනුව උපකල්පනය කරගත යුතුය. ආගමික ස්ථානයකට යාමේදී සුදුසු ඇඳුම් පැළඳුම්, තමන්තුළ පැවතිය යුතු ආචාරශීලි පැවතුම්, කතාව, සිනාව ආදි කරුණු අනුධර්මචරණ සේ ගත හැකිය.
සාමීචිප්‍රතිපදාව යනු සමාජය තුළ සක්‍රීය භූමිකාවක් විද්‍යමාන කිරීමයි. සංකීර්ණ වූ සමාජය තුළ ආත්මපාරිශුද්ධිය සුරක්ෂිත කරගනිමින් සමානාත්මතාව නිහතමානී බව අර්ථචරියාව වැනි සාරධර්ම සජීවිකරණය කරමින් ගෞරවනීය වූත් සමාජශීලි වූත් ජීවිතයක් ගෙවීමය. විශාඛා සිටුදියණිය සාකේත නගරයේ සිට සැවැත් නුවරට ආ දිනයේම තමන් ලත් තුටු පඬුරු නුවරවාසින් වෙත බෙදා දෙමින් පැමිණියවුන්ට වයස අනුව නෑකම් ආරෝපනය කොට කතා කරමින් එක් දවසකදීම මුළු නගරවාසීන්ම නෑහිතවතුන් බවට පත්කරගත් බව සඳහන් වේ. තවත් වරෙක ඕ මත්පැන් ලොල් වූ කාන්තාවන් පන්සියයක් දෙව්රම වෙත කැඳවාගෙන ගොස් බණ ඇස් වූවාය. සමාජය තුළ සක්‍රිය භූමිකාවක් ඉදිරිපත් කිරීමෙන් උපාසිකාවක උරුමකර ගන්නා ගෞරවය හා අභිමානය බුදුසමයට මහත් රුකුලක් බව කිවයුතුය.
පූර්වොක්ත ලෙස සන්නද්ධ වූ උපාසිකාවක විසින් ස්වකීය ආචර්යවාදය මැනවින් උගෙන කියාදීම තේරුම්කරදීම ප්‍රස්තුත කාරණාවන්හිදීද ධර්මානුකූල අර්ථවිවරණ ලබාදීම හා නොගැඹූරු කොට ඉදිරිපත් කිරීම කළ යුතුය. සියලුකාන්තාවන් මහාධර්මදේශකයන් විය යුතු බවක් මින් අදහස් නොකෙරේ. තමන්ගේ දැනුම් සීමාවන් තුළ සිටිමින් කෙනෙකුට බුද්ධ මතය පැහැදිලිකරදීමේ සරල වගකීම ඇයගෙන් අපේක්ෂා කළ බව පෙනේ.
ලෝකය විවිධ ආගමික, දේශපාලනික ,ආර්ථික ආදි මතවාදයන්ගෙන් පිරී තිබේ. බෞද්ධ නොවන හා ඇතැම්විට බෞද්ධ සමාජය තුළද ධර්මවිරෝධී විග්‍රහයන් බොහෝ අවස්ථාවලදී අසන්නට ලැබේ. පදනම් විරහිත විවේචනයන්ට බෞද්ධ සංකල්ප පාත්‍ර වන අවස්ථා අනල්පය. මේවාහිදී නෑසූකන්ව සිටීම බෞද්ධ ශ්‍රාවකයකුට සුදුසු වන්නේ නැත.
මාකඳුර ශ්‍රී සරණංකරාරාමවාසී
හීනටිපනේ සීලරතන හිමි
හීනටිපනේ සීලරතන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ වප් අව අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ඔක්තෝබර් 22 වන සෙනසුරාදාදින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment