Labels

Sunday, October 16, 2016

දානය සහ පරිත්‍යාගය කාරණා දෙකක් වන්නේ ඇයි?

"දන් දීම ඉතාම යහපත් ක්‍රියාවක් වුවත් පරිත්‍යාගය ඊට වඩා වෙනස් කාරණාවක්.දානය යනු දීම වන අතර පරිත්‍යාගය යනු අතහැරීමක් වෙයි. අතහැරීම යනු කුමක්ද?අතහැරීම කළ යුත්තේ ශරීරයෙන්ද? සිතෙන්ද? ශරීරයෙන් දීල සිතෙන් අතනොහැර සිටිය හැකියි.ශරීරයෙන් නොදී සිතෙන් අතහැරිය හැකියි. ශරීරයෙනුත් දීල සිතෙනුත් අතහැරිය හැකියි.ශරීරයෙනුත් නොදී සිතෙනුත් අතනොහැර තියාගත හැකියි. ඉහත සඳහන් කළ දැනුම විඳීම අවබෝධය යන කාරණා තුනෙන් අවබෝධය යන කාරණාවෙන් මෙම කාරණා පිළිබඳ අවබෝධය ලබාගත හොත් නිවන් දැකිය හැකියි. "
ගෞරවනීය ස්වාමීන්වහන්ස ,
දානං සීලං පරිච්චාගං යනුවෙන් දශරාජ ධර්ම තුළ පළමුව දානය ද, දෙවනුව සීලයද තෙවනුව පරිත්‍යාගයද වශයෙන් සඳහන් වෙනවා. පළමුව දානය ලෙස පිළිගෙන පරිත්‍යාගය තුන්වන කාරණාව ලෙස පිළිගැනෙයි. දානය එක කාරණාවක් ලෙසද , පරිත්‍යාගය එක කාරණාවක් ලෙසද සඳහන්ව තිබෙනවා.දානය යනු පරිත්‍යාගය නොවෙයිද? දානය සහ පරිත්‍යාගය කාරණා දෙකක් වශයෙන් සඳහන් වන්නේ ඇයි? දානය සහ පරිත්‍යාගය අතර තිබෙන්නාවූ වෙනස ධර්මානුකූලව අවබෝධ කරගන්නේ කෙසේද?

දානය වෙන කාරණාවක් . පරිත්‍යාගය තවත් කාරණාවක් බව අවබෝධ කොට ගත යුතුයි.දානය සහ පරිත්‍යාගය යන වචන දෙක නිවැරැදිව අවබෝධ කරගත හොත් නිවන් දැකිය හැකියි .මෙම වචන දෙක ඒතරමටම බරයි. අමාමහ නිවනින් සැනසෙන්නට එම වචන දෙක තේරුම් ගැනීම අවශ්‍යයි.අපට කුමන කාරණාවක් අසන්නට ලැබුණත්, එය තුළින් කරුණු තුනක් ලැබෙනවා. එම කරුණු තුනෙන් කරුණු දෙකක් නිවන සඳහා උපකාර වන්නේ නැහැ. එක කාරණාවක් පමණක් අප හොඳින් නිවැරැදිව අවබෝධ කොට ගත යුතුයි. බණක් ඇසුවත් , ගීයක් ඇසුවත් ,කතාවක් ඇසුවත් , බැලුවත් කුමන කාරණාවක් පිළිබඳව වුවත්, ඇසෙන් හෝ කනෙන් නැතහොත් ශ්‍රව්‍ය දශ්‍ය වශයෙන් සන්නිවේදනය කරන විට මනස තුළට කරුණු තුනක් ඇතුළත් වෙනවා.පළමු කාරණාව වශයෙන් දැනුමද,දෙවන කාරණාව වශයෙන් විඳීමද,තුන්වන කාරණාව ලෙස අවබෝධයද වශයෙනි. දැනුමෙන් සහ විඳීමෙන් නිවන් ලැබෙන්නේ නැහැ.නිවන් ලබාගැනීම සඳහා නිවැරැදි අවබෝධය තිබිය යුතුයි.

දැනුමයි අවබෝධයයි


දත්ත සහ තොරතුරු ලෙස දැනුම බවට පත්වන්නේ විවිධ විෂයයන් පිළිබඳ ඤාණයයි. පුද්ගලයකුගේ ජීවිත කාලය තුළම අල්ප මාත්‍ර දැනුම් සමිභාරයක් පමණක් මනස තුළ රඳවා ගත හැකියි.විවිධ විෂයයන් පිළිබඳ සියලුම දැනුමි සමිභාරය සම්පූර්ණයෙන්ම මනස තුළට දමා ගැනීමේ හැකියාවක් කිසිම පුද්ගලයකුට ලැබෙන්නේ නැහැ. එම නිසාම කිසිම පුද්ගලයකු උගත් වන්නේ නැහැ. උගත් යනු ලෝකය තුළ තිබෙන්නාවූ බිලියන ගණනක දැනුම් පද්ධතියක් තුළ එක පද්ධතියක එක විෂය අංශුවක් පිළිබඳව කුඩා ප්‍රමාණයක් දැනගැනීම උගත් ලෙස හෝ ආචාර්ය මහාචාර්ය යනුවෙන් හඳුන්වයි.එම නිසාම දැනුම ලබාගෙන අවසන් කළ නොහැකි බවට බුදුපියාණන් වහන්සේ ලෝක විෂයය අචිනත්‍යය බවට වදාරා ඇත. ලෝකය තුළ තිබෙන්නාවූ විෂයයන් පිළිබඳව සිතල අවසන් කරන්න බැහැ.බුදුපියාණන් වහන්සේ සමීපයෙහි වැඩ සිටිමින් වැඩියෙන්ම ධර්මය පිළිබඳව දැනුම ලබා සිට ආනන්ද හාමුදුරුවන් රහත් වීමට පෙර නගර සභා සනීප ආරක්ෂකව සිටි සුනීත නිවන් දැක්කා බුදුපියාණන් වහන්සේ සමීපයෙහි තුන්සිය හැටපස් දවස තුළ පැය විසිහතරම වැඩ සිටි ආනන්ද හාමුදුරුවන්ට පෙර අනාථ දරුවෙකු වූ සෝපාක නිවන් දැක්කා. සැමදාම බණ ඇසූ ආනන්ද හාමුදුරුවන්ට පෙර යාචකයකුව සිටි රාධ නිවන් දැක්කා. මහ ධන සිටුවර වෙත කුමාරයාගේ ඉඩම මිළදී ගෙන බුදුපියාණන් වහන්සේට වැඩ සිටීමට මනරමි වෙහෙර හැදූ අනේපිඬු සිටුතුමාට පෙර ගෙල වැළලාගෙන මැරීමට උත්සාහ කළ රජ්ජුමාලා නිවන් දැක්කා.මහ ධන සිටුවර විශාඛාව වනාහි වාහන දොළහකට පිරවිය හැකි ආභරණ තිබුණ එම ආභරණ උපයෝගී කරගෙන පූර්වාරාමය ගොඩනැගූ විශාඛාවට පෙර කුස්සි අමිමා වූ කුජ්ජුත්තරාව නිවන් දැක්කා. දැනුමයි අවබෝධයයි අතර තිබු වෙනස එයයි.අවබෝධය සඳහා සීමා මායිමි, සූදුසුකම්, අධ්‍යාපන සුදුසුකම් නැහැ. එය අධ්‍යාපනය තුළින් ලැබිය හැක්කක් නොවෙයි. ධනවත්කමෙන්ද, හිතවත්වීමෙන් ද, ආගම වැළඳ ගැනීමෙන්ද ලැබිය හැක්කක්ද නොවෙයි. එම නිසා දානය පිළිබඳවත් පරිත්‍යාගය පිළිබඳවත් අවබෝධය ලබාගැනීම, දැනුම ලබනවාට වඩා වැදගත්.

දානයයි පරිත්‍යාගයයි


දානයයි පරිත්‍යාගයයි අතර තිබෙන්නාවූ වෙනස ඉතාම පැහැදිළි ලෙස විග්‍රහ කරනවා නමි, දානය යනු අතහැරීම ම නොවෙයි . දානය දීම තුළ තිබෙන්නා වූ අපේක්ෂාවත් පරිත්‍යාගය තුළ තිබෙන්නාවූ අපේක්ෂාවත් වෙනස්. උදාහරණයක් වශයෙන් දානය පිළිබඳව විග්‍රහ කරණු ලැබුවහොත් , යමිකිසි පුද්ගලයකු තමන් සන්තක දෙය අනුන් සන්තක කිරීම , අනුන් සන්තක දේ තමන් සන්තක කරගැනීම යන කාරණා දෙක පමණක් පිළිබදව සිතුවහොත් තමන් සන්තක දෙය අනුන් සන්තක කිරීම එකක් සිතුවහොත් අනුන් සන්තක දෙය තමා සන්තක කරගැනීම එකකට එකක් වෙනස් කාරණා දෙකක් වෙයි. අනුන් සන්තක දෙය තමා සන්තක කරගැනීම හොරකම වෙයි. තමන් සන්තක දෙය අනුන් සන්තක කරදීම දානයයි.දානය දීම ඉතාම යහපත් ක්‍රියාවක්.එය කළ යුතු ක්‍රියාවක් සේම එහි කිසිදු වරදක්ද නැහැ. දාන දීම පරිත්‍යාගය නොවෙයි බව අවබෝධ වෙනවා.දන් දීම ඉතාම යහපත් ක්‍රියාවක් වුවත් පරිත්‍යාගය ඊට වඩා වෙනස් කාරණාවක්.දානය යනු දීම වන අතර පරිත්‍යාගය යනු අතහැරීමක් වෙයි. අතහැරීම යනු කුමක්ද?අතහැරීම කළ යුත්තේ ශරීරයෙන්ද? සිතෙන්ද? ශරීරයෙන් දීල සිතෙන් අතනොහැර සිටිය හැකියි.ශරීරයෙන් නොදී සිතෙන් අතහැරිය හැකියි. ශරීරයෙනුත් දීල සිතෙනුත් අතහැරිය හැකියි.ශරීරයෙනුත් නොදී සිතෙනුත් අතනොහැර තියාගත හැකියි. ඉහත සඳහන් කළ දැනුම විඳීම අවබෝධය යන කාරණා තුනෙන් අවබෝධය යන කාරණාවෙන් මෙම කාරණා පිළිබඳ අවබෝධය ලබාගත හොත් නිවන් දැකිය හැකියි.
දෙන්නේ ශරීරයෙන් වුණාට අතහැරිය යුත්තේ සිතෙන්. යමෙකුට පරිත්‍යාග නොකර දිය හැකියි.එසේ ලබාදෙන්නේ අනුග්‍රාහක මානසිකත්වය තුළයි. අනුග්‍රාහක බුද්ධියයි පූජා බුද්ධියයි දෙකක්. අනේ පවි කියමින් නැති බැරි පිරිසට දීම , වැඩිපුර තිබෙන නිසා දීම ,නාස්ති වෙන නිසා දීම,අනුග්‍රාහක බුද්ධියයි.
ඇතැමි අවස්ථාවල නිෂ්්පාදන අතිරික්තයක් ඇතිවූ විට වෙළෙඳ පොළ ආර්ථිකය මිළ පාලනය කරගැනීම සඳහා වෙළෙඳ පොළ අතිරික්තය නිකුත් කරන ක්‍රමයක් සහ රටවල් විසින් රටවලට පරිත්‍යාගශීලීභාවය පෙන්වමින් මුදාහරින ස්වභාවයක් තිබෙනවා. එයද දානය සේ සැළකිය හැකිද? මෙම සියල්ලම දානය මිස පරිත්‍යාගය නොවෙයි. දානය පරිත්‍යාගයට වඩා වෙනස් වූවක්.


පරිත්‍යාග කරන්නේ කෙසේ්ද? පරිත්‍යාගය යනු සමිපූර්ණයෙන්ම සිතෙන්ම අතහැරීමයි.තමාගේ වයස අවුරුදු සියය දක්වා ගණනය කළ හොත් එම සියයෙන් වර්තමාන වයස අඩුකරනු ලැබුවහොත් තමන්ට අවුරුදු සියය පිරෙන අවුරුද්ද කීයද? යනුවෙන් ගණනය කරගන්න. තමන්ට අවුරුදු පනහ යැයි සිතුව හොත් 2066දී අවුරුදු සියය සමීපූර්ණ වෙයි. ඔබ සතුව මා සතුව තිබෙන්නාවූ ඉඩමි, ගෙවල් දොරවල් යාන වාහන මිළ මුදල් රන් රීදී මුතු මැණික් යන තමා සතු සියලු සන්තකයන් හා ඔබ හා මා හා සිටින්නාවූ ලැබැඳියන් සියවෙනි උපන් දිනය සමරන විට අප ලඟ සිටීවිද?තව අවුරුදු පනහක් නමි 2066 වන විට ඔබ සතු තනතුරු ඉඩකඩම් ගෙවල් දොරවල් යානවාහන තිබෙයිදි? ඥාතීන් සිටීවිද? අප අතිශයින් ආදාරය කළ ළබැඳියන් අප හා රැඳී සිටීවිද? සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ යැයි කියා කීවාට කීවා මිස, ඉර හඳ තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ යැයි කියා කීවාට සියවැනි ජන්ම දිනය සමරණ විට කී දෙනකුට නමි, එම තත්වය හිමිව තිෙබිද? කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ අතහැරීමට අපට අනිවාර්යෙන්ම සිදුවෙනවා නමි, අතහැරීමට සිදුවෙනවාමයි.


2016 ක් වූ ඔක්තෝබර් 09 වනදා ඉරිදා  ලිපිය

"ඉතාම සුන්දරව අලංකාරව ජීවත් වූවාට වරදක්හෝ තහනමක් නැහැ.එම සියල්ල කවදා හෝ අපට නැතිවන බව තේරුම් ගන්න. ලෝකයට සාපේක්ෂව ද්‍රව්‍යාත්මක දේවලට සාපේක්ෂව ජීවිතය යනු අතිශයින්ම ටික කාලයක්. ඔබත් මමත් වෙසෙන්නාවූ නිවසට, ඉඩමට වත්තේ ගහකොළට සාපේක්ෂව බැලුවත් ටික කලකි. එම නිසා නිවැරැදිව දානය සහ පරිත්‍යාගය අතර වෙනස වටහා ගත යුතුයි."


අතහැරීමට සිදුවන කාරණාව සිතට පුරුදු වෙලා සිටින එක පුරුදු නොවී සිටිනවාට වඩා වටින්නේ නැද්ද?අනිවාර්ය සිද්ධාන්තය අනිවාර්ය අද්දැකීම අතහැරීමයි. අවසාන විග්‍රහයේදී මෙම ශරීරය අතහැරීමයි.අපට අපගේ ශරීරයත් අනිවාර්යෙන්ම අතහැරීමට සිදුවෙනවා.ශරීරය අතහැරීමත් සමඟම අප සතු සියල්ලම අතහැරීමට සිදුවෙනවා. එම අතහැරීම පුරුද්දක් බවට පත් කරගෙන එම අතහැරීමට තරමි සිත ශක්තිමත් කරගැනීම පරිත්‍යාගය ලෙස කිව හැකියි. දානයයි පරිත්‍යාගයයි අතර වෙනස එයයි.

පරිත්‍යාගය

නිවන සාක්ෂාත් කරගැනීමට නිවන සැබෑව තේරුම් ගැනීමට නමි, දන් දීමෙන් යමක් අපට ලැබෙන්න පුළුවන් බවත් පරිත්‍යාගයෙන් අපට කිසිවක් නොලැබෙන බවත් තේරුමි ගත යුතුයි. දන් දීලා ප්‍රාර්ථනා කළ හැකියි. අප බොහෝ දෙනා ප්‍රාර්ථනා කරන්නාසේ දෙවි මිනිස් සැප කෙළවර අමාමහ නිවන් සුවය ලැබීමට දෙවි මිනිස් සැපද ලබා ඉතිරි වුවහොත් නිවන් දැකීමට සිතයි . දෙන්නේ වෙනත් ආකාරයකට ගන්න නමි,සමහර විට දෙවි මිනිස් දෙකෙහිම සැප ලබා යන්න ප්‍රර්ථනා කරනවා නමි,දානය එයම නමි, නිවනට ප්‍රතිපක්ෂ ගමනක යනවා දෝ කියා සිතෙනවා.දන් දීම ඉතාම යහපත් ක්‍රියාවක් දන්දීම කළ යුතුයි. එම දානය දෙන ආකාරය තුළ කුඩා සංශෝධනයක් කළ යුතුයි. පරිත්‍යාගය පුරුදු කිරීම උදෙසා දානය මාධ්‍යයක්. සිතෙන් අතහැරීම පුරුදු වීමට නමි, දානය උපක්‍රමයක් වෙයි.
රිලේ තරඟයකදී රිලේ යෂ්ටිය හයියෙන් අල්වාගෙන ෙවිගයෙන් දුවගෙන යනවා අප දැකලා තිබෙනවා.ෙවිගයෙන් දුවගෙන දුවගෙන යන විට තව ක්‍රිඩකයකු අත දිගහැර ගෙන එම යෂ්ටිය ලබාගැනීම සඳහා මඟ බලා සිටිනවා. නිවැරැදිව එම තැනැත්තාට එය දිය යුතුමයි.රිලේ යෂ්ටිය ඔහු අත තබා අප ගමන නිමා කරන විට රිලේ යෂ්ටිය ගත් පුද්ගලයා අප රිලේ දිවිවා හා සමාන අඩු වැඩි ෙවිගයකින් දිව්වත් ඔහු එය රැගෙන ගෙදරට දුවන්නේ නැහැ. එම යෂ්ටිය ලබාගැනීම සඳහා තවත් පුද්ගලයකු මඟ බලා සිටිනවා. රිලේ යෂ්ටිය රැගෙන දුවන්නා සේමතමා අප කොයිදේත් රැගෙන දුවන්නේ. කාගෙදෝ ඔප්පුවක් රැගෙන අප එය හයියෙන් අල්වාගෙන දුවගෙන ගිහින් දරුමල්ලන්ගේ අත උඩ තබමින් අප අතහරිනවා. ඔවුන් එය රැගෙන දුවලා දුවලා ඔවුන් ඔවුන්ගේ දරුමල්ලන්ගේ අත උඩ තබමින් අතහරිනවා. රිලේ යෂ්ටියයි ඔප්පුවයි අතර තිබෙන්නාවූ එකම වෙනස නමි ඔප්පුව රැගෙන ෙවිගයෙන් දුවන්නේ ඉඩමට නඩුත් කියන ගමන්මයි.අතහැරීම අනිවාර්ය වූ නියමිත දෙයක් වුවත් ජීවිතයේ ගැටෙන අර්බුද සමූහයක් ගොඩනැගෙනවා.ජීවිතය පිළිබඳව කලකිරිය යුතු බව මේ තුළින් අදහස් වන්නේ නැහැ. වාහනය හොඳ මදි නමි, අලුත් වාහනයක් ගත්තාට ගැටළුක් නැහැ. නමුත් එම වාහනයත් දිරෙන බව අවබෝධ කරගත යුතුවාසේම නොදිරුවත් එය අතහැරදමා යා යුතු බව අවබෝධ කොට ගත යුතුයි. හොඳ ඉඩමක් ලබාගත්තාට ගැටළුවක් නැහැ එය හොඳින් නඩත්තු කිරීම අපගේ වගකීමක්.එම ඉඩම අතහැර දමා යා යුතු බව යටි මනසින් අවබෝධ කරගන්න.

සුන්දර නවාතැන

තටිටු තුන හතරක නිවසක් අවශ්‍ය නමි එයත් ගොඩනගාගෙන සුන්දර නවාතැනක් බවට පත් කරගෙන ලස්සනට පාවිචිචි කරන්න. මනස්කාන්ත ශ්‍රී නිවසක් හැදුවත් එය අතහැර දමා යා යුතු බව අවබෝධ කරගත යුතුයි. ආදරයෙන් සිප වැළඳගෙන හිස අතගාන්න.ඉතාම ආදරයෙන් වෙළී සිටින්න . එහෙත් දෙන්නාගෙන් එක් අයෙකු අනෙකාට පෙර අනිවාර්යෙන්ම අතහැර යාමට සිදුවෙන බව අවබෝධ කරගන්න. එයාට පිටුපසින් තව අයෙකු යනවාම තමයි. එම දෙදෙනාටම පෙර තවත් අයෙකු යනවාම තමයි. තුන් දෙනාටම පිටුපසින් තවත් කවුරුන් හෝ එනවාම තමයි. එන තැන පැහැදිළි නැහැ පෙරහැරේ සිටින තැන පැහැදිළි නැහැ කාට පෙර යනවාද ? යන තැන පැහැදිළි නැහැ. එකම පෙරහරයි එම පෙරහරේ යනවාම තමයි යන්න පමණක් පැහැදි ලියි. එය නිවැරැදිව අවබෝධ කරගන්න. ආභරණ පළඳමින් අලුත් ඇඳුම් අඳිමින් ඉතාම සුන්දරව අලංකාරව ජීවත් වූවාට වරදක්හෝ තහනමක් නැහැ.එම සියල්ල කවදා හෝ අපට නැතිවන බව තේරුම් ගන්න.

සොඳුරු ගිහි ජීවිතය

ලෝකයේ තිබෙන සෞන්දර්යය අත්දකින්න එපා යනුවෙන් බුදුපියාණන් වහන්්සේ වදාරා නැහැ. ලස්සන බවත් සුන්දර බවත් අත්විඳින්න. ජවසම්පන්නව ධෛර්ය සමිපන්ව ජීවිතය ජයග්‍රහණය කිරීමට මනස හුරුකරවන්න. සත්‍ය වශයෙන්ම යහපත් සොඳුරු ගිහි ජීවිතයක් ඔබ ගත කරන්න. අභ්‍යන්තරය තුළ කොතැනක හෝ සඟවා ගත යුත්තේ අනිවාර්යෙන්ම එය අතහැර යා යුතුමයි යන කාරණාව.එය ඇත්තම ස්වභාවයයි. පරිත්‍යාගය යනු එයයි. දානය දීම තුළ යමක් පතන්න පුළුවන්. පරිත්‍යාගය තුළ යමක් පැතිය නොහැකියි. රජකෙනකුටත් අංක එක දානය අංක දෙක සීලය අංක තුන පරිත්‍යාගය ලෙස සඳහන් වන කාරණාවම සාමාන්‍ය පුරවැසියාටත් අතහැරීමට සිදුවෙනවා.

අචිරං වතයං කායෝ හෙවත් මෙම කය ටික කලකි යනුවෙන් බුදුපියාණන් වහන්සේ වදාරා ඇති ගැඹුරු වාක්‍ය තේරුම් ගත යුතුයි. ලෝකයට සාපේක්ෂව ද්‍රව්‍යාත්මක දේවලට සාපේක්ෂව ජීවිතය යනු අතිශයින්ම ටික කාලයක්. ඔබත් මමත් වෙසෙන්නාවූ නිවසට, ඉඩමට වත්තේ ගහකොළට සාපේක්ෂව බැලුවත් ටික කලකි. එම නිසා නිවැරැදිව දානය සහ පරිත්‍යාගය අතර වෙනස වටහා ගත යුතුයි. මෙම කාරණාව නිසා ජීවිතය පිළිබඳව හෝ අප සතු වෙනත් සන්තකයන් පිළිබඳව කලකීරීමට හෝ පත් නොවිය යුතු බව ඉතාම හො ඳින් අවබෝධ කොට ගත යුතුයි. සියල්ල ජවසමිපන්නව කිරීමටත් , නිරෝගිමත්ව හැසීරීමටත් එකී උද්‍යෝගය සමඟ ඉතාමත් ගැඹුරු තැනක සන්සුන් මනසක් ඉතාම හොඳ උත්තරීතර මිනිසකු ලෙස ජීවත් වීමටත් හැකියාව ලැබෙනවා. ඕනෑම මොහොතක අතහැර යාමට හැකි පිවිතුරු නිදහස් නිවහල් මනසක් ඇතිවීම තුළ නිවන ග්‍රහණය කරගැනීමට හැකිවෙනවා. අපට අමාමහ නිවනින් සැනසීම ලැබෙනවා.






කැලණිය විශ්ව විද්‍යාලයේ 
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය 
ඉඳුරාගාරේ ධම්මරතන හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ බිනර අමාවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ සැප්තැම්බර් 30 වන  සිකුරාදා හා  වප් පුර අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ඔක්තෝබර් 09 වන ඉරිදා   දින   බුදු සරණ පුවත්පත් දෙකෙහි  පළ වූ ලිපියකි

No comments:

Post a Comment